Home » සී.අයි.ඩී. – පී.එච්.අයි. වෙස්ගෙන කතුන් කොල්ලකන තුන්දෙනාටම වැඩ වැරදුණු හැටි

සී.අයි.ඩී. – පී.එච්.අයි. වෙස්ගෙන කතුන් කොල්ලකන තුන්දෙනාටම වැඩ වැරදුණු හැටි

by thanushika
June 1, 2024 12:30 am 0 comment

ඔහු 70 හැවිරිදිය. කොළඹ මරදාන සීමන්ස් පෙදෙසේ පදිංචි කොළඹ මහ නගර සභාවේ විශ්‍රාමික නිලධාරීවරයෙකි. ඔහු සංවිධානාත්මක කොල්ල කල්ලියක නායකයාය. ඔහුගේ කල්ලියේ ඉතිරි දෙදෙනා ද කොළඹ පදිංචිකරුවෝය. එක් අයකු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනෙකා බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකි.

මොවුන් කොළඹ සිට ත්‍රිරෝද රථයකින්, කොළඹ නගරයේ හෝ ඒ අවට නගර කරා පිටත්ව ගොස් සිය මෙහෙයුම ආරම්භ කරන්නේ ඉතා සූක්ෂ්මවය.

මුලින්ම එම ත්‍රිරෝද රථයෙන් බැස ගන්නා 70 හැවිරිදි පුද්ගලයා අදාළ නගරයේ ඔබමොබ ඇවිදිමින් හොඳින් කනකර ආභරණ පැලඳි වයෝවෘද්ධ කාන්තාවක සමඟ කතාවකට මුල පුරන්නේ නගරය පිළිබඳ තතු විත්ති විමසමිනි.

එසේ විනාඩි කීපයක් ගතවත්ම ඔවුන් අසලට පැමිණෙන ත්‍රිරෝද රථයක සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, බුද්ධි අංශයේ නිලධාරීන් යැයි කියා ගන්නා පුද්ගලයන් දෙදෙනෙකු මුව ආවරණය නොපැලඳ ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීම වැනි කාලීන සිදුවීමක් පිළිබඳ වැරදි සෞඛ්‍ය හැසිරීමක් පෙන්වා මේ දෙදෙනා අත්අඩංගුවට ගන්නා බව පවසා, ඔවුන් දෙදෙනා ත්‍රිරෝද රථයට නංවා ගන්නේ 70 හැවිරිදි පුද්ගලයා බොරුවට විරෝධය දක්වන අතරතුරේදීය.ඉන් පසුව ත්‍රිරෝද රථයෙන් පැමිණි සංවිධානාත්මක කණ්ඩායම කාන්තාවට සහ රඟපෑමේ නිරතව සිටින තමාගේම සගයාට පෙන්වා දෙන්නේ රටේ නව නීති රාශියක් අලුතෙන් හඳුන්වා දී ඇති බවයි. මොවුන් සතු වටිනා කනකර ආභරණ ගලවා තම ගමන් මලුවලට දමා ගන්නා ලෙස කල්ලිය පවසයි. ඒ නියෝගයට අනුව මුලින්ම ක්‍රියාත්මක වන 70 හැවිරිදි පුද්ගලයා තමන් පැලඳ සිටින “ඉමිටේෂන්” රන් ආභරණ සියල්ල ගලවා තම ගමන් මල්ලේ දමා ගනී.

එය අනුකරණය කරන කාන්තාව ද ඇගේ ස්වර්ණාභරණ සියල්ල ඇයගේ අත් බෑගයේ දමා ගනී. මඳ වේලාවකින් ඔවුන්ගේ ගමන් මලු, අත් බෑග් සියල්ල ත්‍රිරෝද රථයේ රියැදුරු විසින් පරීක්ෂා කිරීමකට ලක් කරන අතර, පසුව මඳ වේලාවකින් මොවුන් දෙදෙනාට තරයේ අවවාද කර නිදහස් කිරීමට මෙම නිලධාරීන් පියවර ගනී.

ඒ අවසරයෙන් ත්‍රිරෝද රථයෙන් බැස ගන්නා මෙම වයෝවෘද්ධ කාන්තාව තම අත් බෑගයේ ඇති ස්වර්ණාභරණ යළිත් පැලඳ ගැනීමට උත්සාහ ගන්නේ දෙවියන්ට ද ස්තුති කරමිනි. එහෙත් ඇයට දෙවියන් සිහි වන්නේ තවදුරටත් එම ස්වර්ණාභරණ තම අත් බෑගයේ නොමැති බව පසක් කරගැනීමෙන් අනතුරුවය.

මෙවැනි අත්දැකීමකට ආඬිඅම්බලම, පීල්ලවත්ත නගරයේදී මුහුණ දුන් වයෝවෘද්ධ කාන්තාවක් මේ පිළිබඳ කටුනායක පොලිසිය වෙත ඉකුත් මැයි මස 8 වැනිදා පැමිණිලිකර තිබූ අතර කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කරමින් විමර්ශන කටයුතු ආරම්භ කෙරිණි. ඒ අනුව ඉකුත් මැයි මස 12 වැනිදා එම පුද්ගලයන් තිදෙනා ආඬිඅම්බලම, වල්පොළ ප්‍රදේශයේ මෙවැනිම කොල්ලයකට සූදානම් වෙමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

මේ ආකාරයට මොවුන් තිදෙනා කිරිඳිවැල, කිරුළපන, කටාන, වෙන්නප්පුව, අවිස්සාවේල්ල, යක්කල, පෑලියගොඩ, ආදුරුප්පු වීදිය, මරදාන, පන්නල සහ කොටහේන පොලිස්බල ප්‍රදේශ තුළ ද මංකොල්ලකෑම් රාශියක් සිදු කර තිබුණි.

අත්අඩංගුවට ගත් තිදෙනා මැයි මස 13 වැනිදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පියවරගෙන තිබූ අතර එහිදී මොවුන් තිදෙනා දින 07 ක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය විසින් අවසර දී තිබේ .

මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් මත මීගමුව සහකාර පොලිස් අධිකාරී ගාමිණී රත්නායකගේ අධීක්ෂණය යටතේ කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දහම් මාරසිංහ, එම අංශයේ උප පොලිස් පරීක්ෂකවරු වන මොහොමඩ් නිෂ්මි, මනෝජ් ප්‍රියදර්ශන, සැරයන් 37371 සුනිල්, කොස්තාපල්වරුන් වන 37627 කුමාර සහ 96820 සඳමාල් යන නිලධාරිහු විසින් සිදු කරමින් සිටිති.

කටුනායක ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division