Home » නව නිවස හදන ඉඩමේ බෑවුම උතුරට නම් නිවැසියන්ට සුබපල

නව නිවස හදන ඉඩමේ බෑවුම උතුරට නම් නිවැසියන්ට සුබපල

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

– ඉඩමට ප්‍රවේශ මාර්ග නිරිතට ඊශානයට තබනු එපා
– භූමියේ පිහිටීම අසුබ නම් ජලය ගලා යන දිශාව වෙන්කර ගන්න
– ඉඩම මිලදී ගැනීමට පෙර මුහුණත් දිශාව ගැනත් සැලකිලිමත් විය යුතුයි

වාස්තු විද්‍යාවෙන් බලාපොරොත්තු වන්නේ විශ්ව ශක්තීන් මිනිසාට හිතකර අයුරින් භාවිත කරමින් ඒවායේ උපරිම ඵල නෙළා ගෙන සැප, සතුට, වාසනාව, නීරෝගී බව සහිතව ජීවත් වීමට සුදුසු නිවසක් ඉදිකර ගැනීමයි. විශ්වයේ පවතින ග්‍රහ වස්තූන් සැලකිල්ලට ගනිමින් පුරාණ ඍෂිවරුන් විසින් පෙන්වා දුන් රිතී මාලාවකින් මෙම වාස්තු විද්‍යාව පෝෂණය වී ඇත. ඒ අනුව මිනිසා නිවසක් සෑදීමේදී මෙම වාස්තු ශිල්ප ක්‍රම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම අතීතයේ සිටම පැවතුණි.

වාස්තු විද්‍යාව පිළිබඳව අප අවධානය යොමු කළ යුත්තේ නිවසක් සෑදීම සඳහා භූමියක් තෝරා ගන්නා අවස්ථාවේ සිටය. මෙහිදී ඉඩමේ පිහිටීම, ඉඩමේ හැඩය, ඉඩමේ බෑවුම ආදිය පිළිබඳව සලකා බැලිය යුතුය. උතුරට, ඊශානට සහ නැඟෙනහිර දිශාවට බෑවුම් සහිත ඉඩම්, ඉතා සුබදායක වන අතර, දකුණට, නිරිතට සහ බටහිරට බෑවුම් වන ඉඩම් අසුබදායකය.

බෑවුම දකුණු දිශාවට පවතින ඉඩම්වල හදිසි අනතුරු ආදී අපල උපද්‍රව නිතර ඇතිවේ. බටහිරට බෑවුම් වන ඉඩම්වල දූ දරුවන්ගේ දියුණුවට බාධා ඇති වේ. දරු සම්පත් නොලැබේ. එබඳු භූමිවලට දේවාකර්ෂණයද නොලැබේ. ඉඩමේ බෑවුම ගිනිකොන දෙසට තිබේ නම් එම භූමියේ වසන අය අතර නිතර අඬ දබර ඇතිවේ.

එමෙන්ම විසකුරු සතුන්ගෙන් නිවැසියන්ට හානි සිදුවිය හැකිය. වයඹ දෙසට බෑවුම් වන භූමි සම ඵල ලබාදෙන අතර එබඳු භූමිවල නිවැසියන් නිතරම ගෙදරින් පිටත වාසය කිරීමට කැමැත්තක් දක්වයි. එහි නිවැසියන් වැඩි කලබලයකින් තොරව තමන්ගේ පාඩුවේ ජීවත්වීමට කැමැති අය වෙයි.

උතුරු දිශාවට බෑවුම් වන භූමි රාජශ්‍රීය ලබා දෙන භූමි බව දැක්වේ. එබඳු භූමිවල වාසය කරන නිවැසියන් දිනෙන් දින දියුණුවට පත්වේ.

එමෙන්ම මෙම බෑවුමේ බලපෑම ඇති වන්නේ එය අංශක 22 ½ ට වඩා වැඩි නම් පමණි. මඳ බෑවුම් සහිත ඉඩම් මෙම බෑවුම් දෝෂයේ බලපෑමට ලක් නොවේ. කිසියම් නිවසක භූමි අසුබ ලෙස පිහිටා ඇත්නම් ජලය ගලායන දිශාව වෙනස් කර එය සුබදායක කර ගැනීමටද පුළුවන.

ඉඩමක් මිලදී ගැනීමේදී ඉඩමේ මුහුණත් දිශාව පිළිබඳවද සැලකිලිමත් විය යුතුය.

ඉඩමේ මුහුණත් දිශාව තීරණය වන්නේ, ඉඩමේ ප්‍රවේශ මාර්ගය යෙදී ඇති දිශාව අනුවය. ඉඩමට ප්‍රවේශ මාර්ගය යෙදී ඇත්තේ උතුරු දිශාවෙන් නම්, ඉඩමේ මුහුණත උතුර වේ. දකුණු දිශාවේ නම්, ඉඩමේ මුහුණත දකුණ වේ.

මේ ආකාරයට ප්‍රවේශ මාර්ගය පිහිටි දිශාව ඉඩමේ මුහුණත් දිශාව වේ.

ඉඩමට ප්‍රවේශ මාර්ගය ඊශාන හෝ නිරිත දිශාවෙන් හැර වෙනත් ඕනෑම දිශාවකින් තිබීම සුබදායකය. ඊශාන හෝ නිරිත දිශාවෙන් ප්‍රවේශය තිබුණද, නිවස සාදන විට නිවාස සැලසුම එම දෝෂය නැති වන ලෙස සකස් කර ගත හැකිය.

ජ්‍යෙතිෂවේදී වාස්තු විද්‍යාවේදී විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division