Home » ආර්ථික ඝාතන

ආර්ථික ඝාතන

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

විද්‍යාව සහ තාක්ෂණය සමඟ එකට බැඳුණ නව ආර්ථික සම්ප්‍රදායක් ලෝකයට හඳුන්වා දුන් ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන ඉලෝන් මස්ක් ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය දිනා ගත්තේ ඔහු ටෙස්ලා නම් විදුලි මෝටර් රථයක් සැලසුම් කිරීම සමඟය. එහෙත් ඉලෝන් මස්ක් ව්‍යාවසායකයෙක් ලෙස ලෝකය දිනා සිටිනුයේ ඊට බොහෝ කලකට පෙර සිටය. රැකියා විශාල ගණනක් ජනනය කරමින් අභ්‍යවකාශය තෙක් සිය ව්‍යාපාර පුළුල් කළ අතිශය නිර්මාණශීලි මිනිසෙක් වූ මස්ක් ආර්ථික ඝාතකයෙක් ලෙස හැඳින්වීමට ජාතික ජන බලවේගය නොහොත් ජනතා විමුක්ති පෙරමුණ පසුගිය සතියේ ඉදිරිපත් විය.

ලෝකය පිළිබඳ විසල් කියවීමකින් තොර ජ.වි.පෙ. වැනි පක්ෂයක් ඉලෝන් මස්ක් වැන්නෙක් ආර්ථික ඝාතකයෙක් ලෙස දැකීම පුදුමයක් නොවනා බව එම පක්ෂයේ මෙන්ම ඔවුන් අයත් වන වාමවාදී දේශපාලන පක්ෂ කුලකයේ අතීත හැසිරීම් විමසිමේදී පැහැදිලි වෙයි. එහත් සඳ සහ ග්‍රහලෝක ජයගත් මිනිසා හිරු ජය ගැනීමට සැලසුම් කරනා වර්තමානයේ ලංකාවේ අනාගත ජනාධිපති වීමට සූට් මසාගෙන සිටිනා අනුර කුමාර සහෝදරයාගේ පක්ෂය තවමත් ඉන්නේ සඳට ගල් ගසන යුගයේ වීම කනගාටුවට කරුණකි.

බිලියනපති ව්‍යවසායකයෙකු වූ ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් ලෙස ජ.වි.පෙ. සහ ජා.ජ.බ. විධායක සභිකයෙක් වන සුනිල් හඳුන්නෙත්ති විසින් හඳුන්වා දී පැයක් යන්නට පෙර ඔහුට එල්ලවූ බරපතළ විරෝධතාවය මධ්‍යයේ සිය මුග්ධ ප්‍රකාශයට සමාව ඉල්ලන තැනට හඳුන්නෙත්ති පසුබැස්සේය. සැබැවින්ම එය මෙරට ස්මාර්ට් පරපුර විසින් ජ.වි.පෙ. බංකොලොත් දේශපාලනය බිත්තියට හේත්තු කිරීමක් ලෙස දැක්විය හැකිය.

ලෝක ආර්ථිකයේ ඉලෝන් මස්ක්ගේ භූමිකාව ලංකිකයන් හොඳින් දනී. එහෙයින් ඔහු පිළිබඳ වැඩිදුරටත් කතා කරනවාට වඩා මෙවැනි අමනෝඥ ප්‍රකාශයක් කිරීමට ජ.වි.පෙ. සිහින ආණ්ඩුවේ මුදල් ඇමති, සුනිල් හඳුන්නෙත්ති වැන්නෙක් පෙලඹීමේ නිධාන කතාව විමසා බැලීම වටී .

ධනවතුන්, ව්‍යවසායකයන් සහ ආයොජකයන් ජ.වි.පෙ. ප්‍රමුඛ වාමාංශික කඳවුර තවමත් දකින්නේ කොල්ලකරුවන් ලෙස. ඔවුන් සිතන්නේ සියලු ව්‍යාපාර ජනසතු විය යුතු බවකි. යම් පුද්ගලයෙක් සිය පෞද්ගලික ධනය ආයෝජනය කරමින් පවත්වාගෙන යන කර්මාන්තයක සියලු බදු, සේවක වැටුප් ආදිය ගෙවිමෙන් අනතුරුව උපයාගන්නා ලාභය ජ.වි.පෙ. දකින්නේ මහා මංකොල්ලකෑමක් ලෙසය. ඔවුනගේ බංකොලොත් න්‍යාය අනුව නම් ඒ ලාභයද සේවකයන් අතර බෙදා දිය යුතුය. එවිට එම ව්‍යාපාර පවත්වාගෙන යන ආකාරය ඔවුනට ප්‍රශ්නයක් නොවේ. සාර්ථකව පවත්වාගෙන ගිය ව්‍යාපාර අවුල් කර, අනතුරුව රාජ්‍ය මැදිහත්වීම් මඟින් රජයට පවරාගෙන ” ජනසතු” නම් ලේබලය ගසා සදාකාලික ජාතික ණය බවට පත් කරනා ඉතිහාසයක් ලංකාවේ ඇත. ඊට මූලික හේතුව ජ.වි.පෙ. ප්‍රමුඛ වාමාංශික දේශපාලනයේ කුහක සිතුවිලි මිස අනෙකක් නොවේ. වාමාංශික දේශපාලනයේ පෞද්ගලික දේපොළ කියා දෙයක් නැත. මිරිස් ගලත් අමුඩ ලේන්සුවත් හැර සියල්ල ජනසතු කිරීම අපේ රටේද කලක් පැවති ක්‍රමය විය.

70 දශකය වන තෙක් හොඳින් පවත්වාගෙන ගිය ලංකාවේ වැවිලි කර්මාන්තය රජයට පවරාගෙන විනාශ කිරීමේ පාපී කුමන්ත්‍රණයේ පීතෘවරු වන්නේද එවකට පැවති සමගි පෙරමුණු රජය විනාශ කළ වාමාංශික පක්ෂ බව ඉතිහාසයේ සඳහන් වීම ඊට එක් නිදසුනකි.

සාර්ථකව පවත්වාගෙන යන කර්මාන්ත තුළ වර්ජන ඇති කර ඒවා විනාශ කිරීමත්, එසේ නොකර සිටීමට නම් එම කම්කල් හිමියන්ගෙන් කප්පම් ලබා ගැනීමත් නූතන වාමාංශික දේශපලන පක්ෂ නියෝජනය කරනා වෘත්තීය සමිති ක්‍රියාධරයන්ගේ මූලික ආදායම් මාර්ගය වී ඇත. එම තත්ත්වයට මුහුණ දෙමින් කප්පම් ගෙවීමට නොහැකි වූ ඇතැම් ව්‍යවසායකයන් ලංකාවේ කම්හල් අකුළාගෙන බංග්ලාදේශයට පසුබැසීම සුලබ තත්ත්වයකි. එවන් දේශපාලන පරපුරක් නියෝජනය කරනා ජ.වි.පෙ. ට ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් වීම පුදුමයක් නොවේ.

දේශපාලන වාසි තකා බලලෝභී දේශපාලනඥයන් දියාරු කරන්නේ පෞද්ගලික අයතන පමණක් නොවේ. යාන්තමින් ඔළුව උස්සාගෙන එන රාජ්‍ය ආයතනද වැරදි දේශපාලන අතපෙවීම් මඟින් නැති කර දැමීම ලංකාවේ සුලබ අත්දැකීමකි. උගුරට හොරා වාමාංශික ගුළි ගිලින්නට හදනා දක්ෂිණාංශික දේශපාලන පක්ෂද මේ ව්‍යසනයේ කොටස් කාරයෝය. අඛණ්ඩව පාඩු ලැබූ විදුලිබල මණ්ඩලය ඉතා සුළු ලාභයක් ලබන්නට ගත් සැණින් එම ලාභය පාරිභෝගිකයන්ට බෙදන්නයි ඉල්ලා උසාවි යන්නට මෙරට විපක්ෂ නායකයා කටයුතු කිරීම ඊට කදිම නිදසුනකි.

ලාබ සියල්ල බෙදා ආයතන සියල්ල භාණ්ඩාගාරයෙන් නඩත්තු කිරීම වූ කලී සියලු බර මහජන කර පිට තැබීමක් බව ඔවුන් හොඳින්ම දනිති. එහෙත් දේශපාලන වාසි තකා ඒ බව සඟවති. සැබැවින්ම ආර්ථික ඝාතකයෝ වන්නේ මේ පහත් හැසිරීම් සහිත දේශපාලන පක්ෂ නොවේද? ස්වෝත්සාහයෙන් දියුණු වන ව්‍යපාරිකයන් තම මව් රටින් බැහැරව සිය ව්‍යාපාර ජාලය ව්‍යාප්ත කරනා විට ඔහු ආර්ථික ඝාතකයෙක් ලෙස නම් කරනා පක්ෂ මැලේසියවේ කොකෝ රජු ලෙස හැඳින්වූ උපාලි විජේවර්ධන අද සිටියා නම් ඔහුද ආර්ථික ඝාතකයෙක් ලෙස නම් කිරීමට ඉඩ තිබේ.

ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් ලෙස හැඳින්වූ ජ.වි.පෙ.ට අනාගතයේදී මෙරට ව්‍යවසායකයන්ද ඒ ආකාරයට පෙනීමේ පුදුමයක් නැත. ලබ්බට තැබූ අත පුහුලට නොතබන්නට කිසිම හේතුවක් නැත. ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ සිටිනා ජාත්‍යන්තරය ජයගත් ව්‍යාපාරිකයන් මතද මතු දිනයක ආර්ථික ඝාතක ලේබල ගැසීමට ජ.වි.පෙ. පෙලඹීමට ඉඩ ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division