Home » දවසෙ පඩියට වැඩට ආපු මං අද සහකාර උප සභාපති

දවසෙ පඩියට වැඩට ආපු මං අද සහකාර උප සභාපති

එයිට්කන් ස්පෙන්ස් සමූහයේ සහකාර උප සභාපති-Food & Beverage දිමුතු කුමාරසිංහ හෙවත් චෙෆ් DK

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment
දිමුතු හැදූ ඩො. මි. 35ක නිල් මැණික් ආලේ­පිත ලොව මිල අධි­කම කේක් නිර්මා­ණය

 – Culinary Olympics තරඟාවලියේ රන් පදක්කම් පහක් දිනූ ලොව එකම සූපවේදියා සිළුමිණට කතා කරයි
– අතහරින්න හිතෙන තැන තමයි අල්ලගෙනම ඉන්න ඕන

දිමුතු කුමාරසිංහ හෙවත් ‘චෙෆ් DK’, ලංකාවේ නම ලෝකෙට ගෙනියපු සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ බ්‍රෑන්ඩ් එකක්. 2004 අවුරුද්දේ ජර්මනියේ පැවති Culinary Olympics තරගාවලියේ රන් පදක්කම් 5ක් දිනා ගත් ලොව එකම සූපවේදියා දිමුතු.

2006 ලෝක කුසලාන සූපවේදී තරගාවලියේ රන් පදක්කම් 4ක් දිනාගත් ලොව එකම සූපවේදියාත් දිමුතු.

දෙවතාවක් ම තබපු ලෝක වාර්තා සමඟ ඔහු ඉතිහාසගත වන්නේ, මුළු ලෝකයේම සූපවේදීන් 16,000 ක් කරට කර තරඟ වැදුණු මහා මංගල්‍යය දෙකක දී රන් පදක්කම් 9ක් තමන්ගේ රටට අරගෙන ගිය එකම සූපවේදියා විදියට.

ඔහු ඔලිම්පික් දිනලා මේ 2024ට අවුරුදු 20ක්. වැදගත්ම දේ, මේ අවුරුදු 20ටම ලෝකයේ කිසිම රටකට බැරි වුණා, දිමුතු තබපු ඒ ලෝක වාර්තාව බිඳ හෙළන්න.

ඔහු සූපවේදයේ ඕල්රවුන්ඩර් කෙනෙක්. ජාත්‍යන්තර තලයේ සූපවේදී තරගවල ජූරි සභිකයෙක්. විනිශ්චයකරුවෙක්. නවක සූපවේදීන් සඳහා වැඩසටහන් සහ වැඩමුළු පවත්වමින් ලොව පුරා තරුණ පරපුර වෙත තම දැනුම සහ අත්දැකීම් බෙදා දෙන ආචාර්යවරයෙක්.

මේ සියල්ලෙන් මිදුණු නිස්කලංක මොහොතක ඔහු චිත්‍ර ශිල්පියෙක්. නිසොල්මනේ හැඩක් රුවක් අඹන මූර්ති ශිල්පියෙක්.

මතුගම නවුත්තුඩුව ගමේ ඉපද සුප‍වේදයෙන් ජාත්‍යන්තරයට ගිය දිමුතු ගේ කතාව තරුණ පරම්පරාවට පූර්වාදර්ශ වන්නේ හේතු ගණනාවක් නිසා.

ඒ හැම හේතුවක්ම, ඔහු හා සමග කළ මේ කතාබහේ අන්තර්ගතයි. ඉතින් ‘චෙෆ් DK කියවන්න. ඔබේ ජීවිතයටත් ගන්න යමක් එහි තිබේවි.

ඔබ ගැන කියන්න කැමති හොඳම හැඳින්වීම කුමක්ද…

මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මාව හඳුන්වන්නේ ‘චෙෆ් DK’ නමින්. ඒ ආමන්ත්‍රණයට මං කැමතියි. ඒ වගේම මේ චෙෆ් ඇඳුමට යටින් ඉන්නේ බොහොම සරල මනුස්සයෙක්. ජීවිතය විඳින කෙනෙක්.

චිත්‍ර ඇඳලා කරන්න දෙයක් නැහැයි කියලා හිතන දරුවන්ට ඔබ පූර්වාදර්ශයක්…

මුල් කාලේ Ice Carving, Vegetable Carving වගේ නිර්මාණවලින් පටන් අරගෙන Pastry Artist, Kitchen Artist, Hot kitchen, Food presentation, Training… මේ හැම අංශයකම ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න මට මූලික අඩිතාලම වැටුණේ මා තුළ තිබූ කලාත්මක හැකියාව නිසා. අද මම නිර්මාණාත්මක චොක්ලට් නිෂ්පාදනයේ සෑම දෙයක්ම දන්නවා. චිත්‍ර හා මූර්ති මගේ විනෝදාංශය. මට ගෙදර පොඩි කලාගාරයක් තිබෙනවා.

සූපවේදය කලාවක්. මා තුළ තිබෙන චිත්‍ර ඇඳීමේ, කැටයම් කැපීමේ සහ ඇඹීමේ හැකියාවයි වෙනස් මාන ඔස්සේ සංවර්ධනය වී මේ තාක් දුර පැමිණියේ. ඒ නිසා චිත්‍ර හැකියාව තිබෙන දරුවන්ට සුවිශේෂී ගමනක් යන්න පුළුවන්. මං එහෙම කියන්නෙ මගේ ජීවිත අත්දැකීමෙන්.

මොකක්ද ඔබේ පළමු රස්සාව….

මගේ අයියා මාව ‘රිවරිනා’ හෝටලයේ ‘ට්‍රේනින් කුක්’ කෙනෙක් විදියට සම්බන්‍ධ කළා. ඒ, ප්‍රධාන සූපවේදි චන්දන ඩී. අල්විස්ගෙ උදව්වෙන්. හය මාසයක් විතර යනකල් මං අල ලූනු ගෝනි ගණන් සුද්ද කළා. තට්ටු ගණන් පිඟන් සේදුවා. හවසට මුළු කුස්සියම හේදුවා. ‘සීනියර් චෙෆ්’ ලට තේ හැදුවා. දවසේ පඩිය රුපියල් 17.50යි.

නිල්කොට කලිසමයි කාකි පාට ෂර්ට් එකයි ඇඳලා කුස්සියේ වැඩකරන කොට සුදු යුනිෆෝම් ඇඳගත්තු ‘චෙෆ්’ ලා යනවා එනවා. ඉතින් ඒ ඇඳුමට මං හරි ආස වුණා. කුස්සිය හෝදන ගමන් මං හිතෙන් හිතුවා, ‘කවද හරි මාත් ඔය ‘යුනිෆෝම්’ එක අඳිනවාමයි..’ කියල. ඇත්තටම ඒක මං දකින ලස්සන හීනයක් වුණා.

ඔබ ඒ හීනය හඹා ගියේ කොහොමද…

වැඩ කිරීමෙන්. යළි යළිත් වැඩ කිරීමෙන්. හෝටලයක් කියන්නේ අධ්‍යාපන ආයතනයක්. මේ වගේ තැනකට එන ඕනෑම කෙනෙක් ටික කාලයක් වැඩ කරද්දි භාෂා දෙක තුනක්වත් යන්තමින් හරි ඉගෙන ගන්නවා. ජාත්‍යන්තර මට්ටමේ සංග්‍රහ, පිළිවෙළ, ඉවසීම, තව කොයි තරම් දේවල් ද? සූපවේදයට සංචාරක හෝටල් ක්ෂේත්‍රයට ඇලුම් කරන ගම්වල තරුණ තරුණියන් බොහෝ දෙනකුට ලෝකය දිනන්න ලැබෙන හොඳම විශ්වවිද්‍යාලයක් තමයි හෝටල් ක්ෂේත්‍රය කියන්නේ. මං සියලු ජාත්‍යන්තර ජයග්‍රහණ දිනාගත්තේ වැඩ කරමින්. හැබැයි වෘත්තීය ජීවිතයේ සෑම කාලවලදීම හොඳ නායකයන් ලබන්න තරම් මං වාසනාවන්ත වුණා.

කවුද ඒ හොඳ නායකයන්…

පළමු කෙනා චෙෆ් චන්දන ඩී. අල්විස්. වයස අසූ ගණනක්. දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. මාව වයස 17දී ජොබ් එකට ගත්තේ චෙෆ් චන්දන. ඊළඟට චෙෆ් ජෙරාඩ් මෙන්ඩිස් තමයි මාව පළමුවරට පිටරට යැවුවේ. ඒ බහරේන් ඉන්ටර්කොන් හෝටලේට. පිටරට හෝටලයක වැඩ කරන අත්දැකීම් ලබන්න පුළුවන් වුණේ ඔහු ඒ අවස්ථාව මට දුන් නිසා.

මගේ වෘත්තීය ජීවිතය එහෙම පිටින්ම අනික් පැත්ත හැරෙව්වේ එයිට්කන් ස්පෙන්ස් සමූහයේ, ආහාරපාන අංශයේ සහකාර උප සභාපතිවරයා ව සිටි ගැමුණු ගුණවර්ධනය මහත්මයා. මං පළමු වතාවට ඔලිම්පික් තරග වදින්න යද්දී, චෙෆ් හැපී හෙවත් චෙෆ් කීර්ති හපුගස්දෙණිය මං වෙනුවෙන්ම ඒ ගමන යන්න ඔස්ට්‍රේලියාවේ සිට පැමිණියා.

ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කුමක්ද…

ගැමුණු ගුණවර්ධන මහතාගේ හමුවීම. ඔහු තමයි මගේ හැකියාවන්වලට වටිනාකමක් ලබා දුන්නේ. එතුමා හැමතිස්සෙම කිව්වේ මිනිස්සු අතින් තමයි වැරැදි වෙන්නේ; ඒ නිසා වරදක් වූ සැණින් සේවකයෙක් අත්හරින්න එපා. විශේෂයෙන් පරණ සේවකයන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන්න එපා, කියලා.

‘ඒක, කිරි අරගෙන මස් කඩේට එළදෙන දෙනවා වගේ වැඩක්…’ කියලයි එතුමා හැම වෙලාවෙම කිව්වේ. අදටත් මම රිටයර් වෙච්ච චෙෆ්ලට පුළුවන් තරම් වැඩ කරන්න අවස්ථාව දෙනවා. ඒක වැඩ කරන්න කැමැති ඒ අයට විශාල සතුටක්.

ඔබට ගැමුණු ගුණවර්ධන මුණ ගැහෙන්නේ එයිට්කන් ස්පේන්ස් සමාගමේ දී…

ඔව්. මම 2000 වසරේ එයිට්කන් ස්පේන්ස් සමාගමට එන වෙලාවේ සභාපති වෙලා හිටියේ හෝටල් ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන ප්‍රේමා කුරේ මහත්මයා. එතුමා සම්ප්‍රදාය කඩලා වැඩකරුවන් ඔසවා තැබූ, සේවකයන් වෙනුවෙන් නිර්භය තීන්දු තීරණ ගත් ප්‍රධානියෙක්. ගැමුණු ගුණවර්ධන වැනි දක්ෂ පරිපාලන නිලධාරියෙක් ඔසවා තැබූ ගෞරවය හිමි වන්නේත් ප්‍රේමා කුරේ මහත්මයාට. ගැමුණු ගුණවර්ධන මහත්මයා තමන්ගේ නායකයාගෙන් උකහා ගත් දේ අපිට නිර්ලෝභීව ලබා දුන්නා. මම ඔලිම්පික් දිනුවේ, ලෝක කුසලානය දිනුවේ ගුණවර්ධන මහත්මයා ගේ අප්‍රමාණ දිරිදීමෙන්. සෑම විටම ඔහු අප වෙනුවෙන් සභාපතිවරයා ඉදිරියේ මැදිහත් වුණා.

දැන් මම ඉදිරි පරම්පරාවට ලබා දෙන්නෙත් ඔවුන්ගෙන් ජීවිතයට එකතු කර ගත් ඒ නායකත්වයේ පාඩම්.

දිමුතු අයියා සහ මල්ලි සමඟ

දිමුතු අයියා සහ මල්ලි සමඟ

අද මේ දැවැන්තයන් දෙදෙනා ම ජීවතුන් අතර නැහැ නේද?

ඔව්. මේ දෙදෙනාම 2023 වසරේ මිය ගියේ, තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් වැඩ කරලා. මට මතකයි ප්‍රේමා කුරේ මහත්මයා වරක් සිළුමිණ පුවත්පතට ම කියා තිබූ දෙයක්.

“නියම වැඩකරුවන් වෙනුවෙන් තීරණ ගන්න නායකයෙක් හැටියට මං බය වුණේ නැහැ. වැඩකරන දක්ෂයන් ඔසවා තැබීම ප්‍රධානියකු ගේ වගකීමක්.

ගණකාධිකාරිවරයෙක් විදියට එයිට්කන් ස්පෙන්ස් ජාලයට බැඳුණු මම සභාපති දක්වා ආවේ කොහොමද… මගේ ප්‍රධානියා නිර්ලෝභීව මට අවස්ථාවක් දුන්නු නිසා. ඒ වගේම, අවංකව මං වැඩ පෙන්වපු නිසා. මමත් මං යටතේ ඉන්න මිනිසුන්ට එහෙම නොකළොත් මොකක්ද මගේ නායකත්වයේ වටිනාකම. නියම ප්‍රධානියකු ළඟ කුහක සිතිවිලි තිබෙන්නට බැහැ. තමන් අකැමැති පුද්ගලයකුගේ වුණත් වැඩ හොඳ නම් ඔහු අගයන්න ඕනේ. ඒ වගේම නායකයකුට පුළුවන් වෙන්න ඕනේ, කෙනෙකු දෙනවට වඩා දෙයක් ඔහුගෙන් උකහා ගන්න.

ඒ කාලේ 8,000ක් විතර හිටපූ එයිට්කන් ස්පේන්ස් සමාගමේ ගැමුණු ගුණවර්ධන වගේ පරිපාලන නිලධාරින්, වෙෆ් දිමුතු කුමාරසිංහ වගේ ලෝක සූරයන් බිහි වුණේ සම්ප්‍රදාය කඩමින් මං ඔවුන් ඔසවා තැබූ නිසා…” ඉතින් අප ඉදිරි පරම්පරාවට දෙන්න ඕනේ, එතුමා කියූ මේ සැබෑ නායකයකුගේ වටිනාකම්.

දරා ගැනීම සහ අභියෝගවලට මුහුණ දීම ඔබේ ජීවිතය ඇසුරින් පහදමුද…

2012 Culinary Olympics තරගයේ දී විනිශ්චයකරුවන් ඉදිරියේ පේන පැය 8ක් එක දිගට වැඩ කළ යුතු වුණා. තරගෙ පටන් අරන් පැයක් ගියේ නෑ මගේ ඇඟිලි දෙකක් කැපුණා. මැහුම් 5-6ක් ගහන තරමට කැපුමක්. මගේ සහායක කිව්වා, චෙෆ් අපි දාලා යමු කියලා. ඒත් හිතේ තිබුණු හයියට පැනඩෝල් දෙකක් බීලා, ග්ලවුස් හයක් එකට දාලා වැඩ කළා. මට තේරෙනවා ඇඟ ටිකෙන් ටික පණ නෑ වගේ. නමුත් කොහොම හරි අල්ලගෙන හිටියා. තරගය ඉවර වුණා. මාව රෝහලට ගෙනිච්චා. ග්ලවුස් ගලවද්දී අත නිල් වෙලා. ලේ තට්ටුවකින් වැහිලා. ඩොක්ටර්ස්ලා බය වුණා. එයාලා හිතුවේ මගේ අත මැරිලා කියලා. පැය අටක් පැය හතකට ආසන්න කාලයක් අත කැපිලා තියෙද්දිත් නොනවත්වා වැඩ කරපු නිසයි එහෙම වුණේ. එදා අපි දෙන්නා පළවෙනි ස්ථානයට රන් පදක්කම් 8ක් දිනූවා. ජීවිතේ අත්හරින්න බැරි අවස්ථාවක් නම් කොහොමහරි විඳ දරා ගෙන අල්ලගෙන ඉන්න ඕනේ. ඒකයි මගේ විදිය.

අද ඔබ ලංකාවේ සහ ලෝකයේ ඉහළම සූපවේදී සංගම්වල සාමාජිකයෙක්…

2012 වසරේ පටන් අදටත් ලංකාවේ Chefs Guild එකේ Chairman තනතුරේ සිටින්නේ චෙෆ් ජෙරාඩ් මෙන්ඩිස්. මම ඒ 2012 වසරේ පටන් Chefs Guild එකේ president ලෙස කටයුතු කරනවා. ඒ වගේම ලෝක සූපවේදීන්ගේ සංගමයේ සාමාජිකත්වයට අමතරව,

• Golden Horseshoe Team

• Valet Club Luxembourg

• South Indian Culinary Association

• Saudi Arabian Chef Association

• Turkey Culinary Federation

• Ukrainian Culinary Union

• Emirates Culinary

කියන ජාත්‍යන්තර සූපවේදී සංසදවල යාව ජීව සාමාජිකත්වය මා වෙත පිරිනමා තිබෙනවා. ඒ නිසා වසරකට කිහිපවරක් ජාත්‍යන්තර තරග විනිශ්චය කරන්නට රට රටවලට යෑමට සිදු වනවා. ලෝකයේ සිටින ජ්‍යෙෂ්ඨ දැවැන්ත සූපවේදීන් සමඟ කරට කර එකම විනිශ්චය මණ්ඩලයක වැඩ කරන්න ලැබෙන එක මං වගේ පුංචි තැනකින් ආ කෙනකුට අභිමානයක් තමයි. හැබැයි ඊට වඩා මං කැමැති, අපේ තරුණ සූපවේදී පරම්පරාව මගේ ආදර්ශය ගෙන මටත් වඩා ඉදිරියට යනවා නම්.

ඔබේ මවුපියන් සහෝදර සහෝදරියන් ගැනත් කියන්න…

මම උපන්නේ මතුගම නාවුත්තුඩුව ගමේ. චෙෆ් දමිත් ඉන්ද්‍රජිත් මගේ අයියා. චෙෆ් අමිත දර්ශන මගේ මල්ලි. රම්‍යා දර්ශනී මගේ අක්කා. තාත්තා පිරිමි දරුවෝ තුන්දෙනාට ම කැමති මඟක යන්න දුන්නා. අපි නිදහසේ එකම මඟක වෙනස් මාන තෝර ගත්තු සහෝදරයන් තුන්දෙනෙක්. මගේ අයියා මටත් කලින් සම්මාන දිනපු දක්ෂ සූපවේදියෙක්. ගිය අවුරුද්දේ එයා නැති වුණා. මගේ මල්ලිත් එවැනිම ජාත්‍යන්තර සම්මාන දිනූ සුපවේදියෙක්. ඇත්තටම මල්ලියි මමයි මේ ක්ෂේත්‍රයට යොමු වුණේ අයියා වැඩ කරන විදිය දැකලා.

පුංචි කාලේ ගැනත් කියන්න…

ඉස්සර වෙසක් පොසොන් ළං වෙනකොට තාත්තා දන්නවා කොල්ලෝ තුන්දෙනා ගේ කණපිට හරවනවා කියලා. අපි තුන්දෙනාගේ රටේ නැති ඉල්ලීම්; බට පතුරු පුවක් කඳන් චීන කොළ ලයිට් වැල් තීන්ත ටින් වගේ හුඟක් දේ ඒ ලැයිස්තුවේ තිබුණා. ඒ කිසි දෙයක් නැහැයි බැහැයි නොකියා තාත්තා අරන් දුන්නා. සල්ලි නාස්ති කරනවා; බොරු වැඩ කරනවා, කියල අම්මවත් තාත්තවත් අපිව වැළැක්වුවේ නැහැ. එයින් ධෛර්යවත් වෙලා පුළුවන් තරම් දන්න ශිල්ප දාලා, අපිට හිතිච්ච දේ නිදහසේ නිර්මාණයට නැඟුවා.

අපි තුන්දෙනා එකතු වෙලා එහෙම හැදූ තොරණට චිත්‍ර ඇන්දේ අයියා. මල්ලියි මමයි ලයිට් වැල් ඇදලා තොරණ හැඩ කළා. තොරණ බලන්න ගමේ මිනිස්සු අපේ මිදුලට එනවා දැකලා හුඟක්ම සතුටු වුණේ තාත්තා. සමහර විට කොල්ලො තුන්දෙනාගේ හපන්කම් ගැන යටි හිතින් එයා සතුටු වෙන්න ඇති. ඒ පුංචි කාලේ අම්මා උයන බතක හොද්දක රහ ඇරෙන්න, සූපවේදයක් ගැන අපි අහලා තිබුණෙවත් නැහැ. හැබැයි අපි තුන්දෙනාටම හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඒ චිත්‍ර ඇඳිල්ලම තමයි සූපවේදයේ වෙනස් මඟකට අපිව යොමු කළේ.

අම්ම තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳම දේ කුමක්ද…

ඩබ්.ටී.ජී. ලීලාවතී මගේ අම්මා. කේ. ඩී. ගුණසේන මගේ තාත්තා. මගේ අම්මා ඇත්තටම රහට උයපු කෙනෙක්. ඒ ආභාසය අපිට ලැබෙන්න ඇති. කලාත්මක හැකියාවන් පිහිටලා තිබුණේ තාත්තට. ඒ දෙන්නාගෙන් ජීවිතයට ලැබුණු දේ නිසයි අපි මෙච්චර දුරක් ඇවිත් තිබෙන්නේ.

ඔබේ බිරිය සහ දරුවන් ගැනත් කියන්න…

දිමුතු, ජාත්‍ය­න්තර තරග විනි­ශ්ච­යක දී.

දිමුතු, ජාත්‍ය­න්තර තරග විනි­ශ්ච­යක දී.

මං දහස් ගණන් ගෝල බාලයෝ බිහි කළාට මගේ ළමයි තුන්දෙනාම අද ඉන්නේ වෙනත් ක්ෂේත්‍රවල. ලොකු දුව රන්දි. පුතා මානෙත්. දෙන්නම මැලේසියාවේ ඉංජිනේරු උපාධි සඳහා ඉගෙන ගන්නවා. පොඩි දූ පහන්මා, උසස් පෙළ පන්තියේ. මගේ බිරිය චමිලා බද්දෙවිතාන, පානදුර ශාන්ත අන්තෝනි විදුහලේ ගුරුවරියක්. ඇය මට දී තිබෙන නිදහස නෙවෙයි නම් මට මේ තරම් මානසික සුවයකින් මටවත් රටටවත් ජයග්‍රහණ අත්කරගන්න ලැබෙන්නේ නැහැ. සමහර දවස් තිබුණා, සතියට දවසක්වත් මගේ දරුවෝ මාව නොදැකපු. මගේ ජීවිතයේ හැමදාම පළමු තැන ලැබුණේ රැකියාවට. දෙවනුවයි ගෙදර. මට ඉන්නේ ඒ යථාර්ථය තේරුම් ගත්තු බිරියක්.

ඔබ ඔබ ගැන සතුටුවන කෙනෙක් ද…

ඔව්. මට හැමදාම හොඳ නායකයන් හම්බ වුණා වගේම, මමත් නායකත්වයට ආ විට මගේ කණ්ඩායමට හොඳ නායකයෙක් වුණා කියන සතුට මට තිබෙනවා. රුපියල් 17.50 දවසේ පඩියට පුංචි තැන ඉඳන් වැඩ කන්දරාවක් කරපු මම, චෙෆ් කෙනකුට යන්න පුළුවන් ඉහළම තැනට ඇවිත්. දැන් මං ඉන්නේ එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහයේ, ආහාරපාන අංශයේ සහකාර උප සභාපතිවරයා විදියට. ඒ කියන්නේ මාව බඳවා ගත්තු මගේ බොස් ගැමුණු ගුණවර්ධන මහතා හිටපු තනතුරේ. සියලු මනුෂ්‍යයන්ට යහපත කළ විට තමන්ට ද එය ආපසු ලැබීමේ සතුට මම අත්විඳිනවා. ඊට වැඩිය වෙන මොනවද.

ඔබට පුළුවන්නේ පිට රටක මීට වැඩිය හොඳ වැටුපකට වැඩ කරන්න…

මං මේ සමාගමට ඇවිත් දැන් අවුරුදු 24ක්. එයාලා මාව 2004 ඔලිම්පික් යැව්ව නිසයි මේ හැම ජයග්‍රහණයක් ම මම උදාකර ගත්තේ. ඒ වටිනාකම මට දීලා කොම්පැනිය මාව බලා ගන්නවා. වෘත්තීය ජීවිතයේ සතුට කියන්නේ සල්ලි ම නෙවෙයි. අද මම තරුණ සූපවේදීන් දහස් ගණනක් පුහුණු කරන්නේ අපේ සමාගම මට දී තිබෙන මේ නිදහස නිසයි. ඒ සූපවේදීන් හැමෝම අපේ හෝටල් සමූහයට අයත් අය නෙවෙයි. නමුත් ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කරන සේවයක් ලෙසයි සමාගම එය සලකන්නේ. මම මගේ රට වෙනුවෙන් යුතුකම් ඉටු කළා ය කියන සතුට මං විඳින්නෙත් සමාගම මට දී තිබෙන මේ නිදහස නිසා.

ඉතින්, පිටරටක ගිහින් උපයන මිලියන ගණනක ලොකු වැටුපකට වඩා මං විඳින ඒ ආත්මීය සතුට මට වැදගත්.

 

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division