පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂිකාවක වන ඇය ව්‍යාපාරික පවුලක සාමාජිකාවකි. එබැවින් ඇගේ අත මිටද ලොකු මුදලක් නිතර ගැවසිණි. දිනක් ඇගේ ජංගම දුරකතනයට වෙබ් ලංකා ලාංඡනයට සමාන ලාංඡනයක් සහිත වට්ස් ඇප් සමූහයක් සම්බන්ධ වන්නේ ඇයවද එම සමූහයට එක්කර ගනිමිනි. මෙම වට්ස් ඇප් සමූහය මඟින් සිදුවූයේ ක්‍රිප්ටෝ කරන්සි ප්‍රවර්ධනය කිරීමකි. ඒ තුළින් ක්රිප්ටෝකරන්සිවලින් ලැබෙන ප්රතිලාභ ගැන පුළුල් ප්‍රචාරයක් සිදුකරන්නට වූයේ එහි මුදල් ආයෝජන කිරීමෙන් විශාල වාසියක් ලැබෙන බව සඳහන් කරමිනි.
ආකාර්ෂණීය එම ප්‍රචාරණ යන්ත්‍රණය නිසාම ඊට හිත ගිය ඇය රුපියල් 5,000ක මුදලක් එහි ආයෝජනය කරනු ලබන්නේ සැබෑ ලෙසම ඒ කියන ආකාරයට ප්රතිලාභ ලැබෙන්නේදැයි කියා සැක හැර දැනගැනීමේ අපේක්ෂාවෙනි.
අන්තර්ජාලයේ ක්‍රියාත්මක වූ ආයෝජන සමාගමක් වූ එහි ඇය මුදල් ආයෝජනය කිරීමත් සමඟ ක්‍රිප්ටෝ කරන්සි මිලදී ගැනීම වෙනුවෙන් ඇය ආයෝජනය කළ මුදලට වෙන දේ බලා ගැනීමට පවා පහසුකම් ලැබී තිබුණේ ය. දිනෙන් දින රුපියල් 5,000 වර්ධනය වන්නට වූයේ රුපියල් 100,200, 300 , 500 ප්රමාණයන්වලිනි. රුපියල් 5,000ක මුදලක් බැංකුවේ තැන්පත් කිරීමකින් හෝ වෙනත් ආයෝජනයක් කළාට වඩා ඉහළ වටිනාකමක් ලැබෙමින් එම මුදල මාසයක් දෙකක් යන්නට මත්තෙන් දෙගුණ වන විට ඇයට තවත් අවස්ථාවන් අන්තර්ජාලය ඔස්සේ ලැබෙන්නෙට වූයේ ඇගේ අන්තර්ජාල ගිණුමේ ඇති මූල්‍යමය වටිනාකම ඉහළ නන්වමිනි. ඒ අතර ඇයට මුදල් උපයාගන්නට හැකි වීඩියෝ ක්‍රීඩාද ලැබෙන්නට විය.
එම වීඩියෝ ක්‍රීඩාවෙන් ජයගත් විට රුපියල් 500ක් 1000ක් වැනි මුදලක්ද ගිණුමට බැර වන අයුරු ඇයට පෙනෙන්නට වූවාය. ඒ අතර ඒ අය නම් කරනු ලබන ටික්ටොක් හි හුවමාරු වන වීඩියෝ සඳහා ලයික් සහ කමෙන්ට් දැමීමෙන්ද අමතර මුදලක් ඇගේ ගිණුමට ලැබෙන්නට විය.
මෙසේ බලා සිටියදීම ඇගේ ගිණුම ඉහළට යන විට ඇය තව තවත් ලාභ අපේක්ෂාවෙන් ක්‍රිප්ටෝ කරන්සි වෙනුවෙන් මුදල් ආයෝජනය කරන්නට ගත්තාය. රුපියල් ලක්ෂයක් දෙකක් ඇගේ අන්තර් ජාල ගිණුමේ එකතු වන විට එම මුදල් ලබා ගැනීමට ඇයට සිතුණේ එම මුදල තමාට ලැබේදැයි ඇතිවුණු සැකයක් මතය. එහිදී ඇය මෙම මුදල් ආයෝජනය කළ වට්ස්ඇප් සමූහයේ ඇඩ්මින්වරයා ඇයට දැනුම් දෙන්නේ බැංකු ගිණුම් අංකයක් ලබාදෙන ලෙසය. ඒ අනුව ඇය සිය බැංකු ගිණුම් අංකය ලබාදුන් විට ඇගේ අන්තර් ජාල ගිණුමේ තිබුණු සියලු මුදල් ඊට බැර කරනු ලබන්නේ විශ්වාසය වඩාත් තහවුරු කරමිනි.
එම මුදල් ඇගේ බැංකු ගිණුමේ බැර කිරීමෙන් අනතුරුව ඇඩ්මින්වරයා ඇයට පණිවුඩයක් තබන්නේ බැංකු ගිණුම්වල නිකරුණේ මුදල් රඳවාගෙන තිබීම පලක් නොවන බැවින් වැඩි මුදලක් ආයෝජනය කර කෙටි කාලයක් තුළ විශාල ලාභයක් උපයා ගන්නා ලෙසය. ඇය ඒ යෝජනාව ගැන දෙවරක් සිතා බලන්නට නොගියාය. විටෙන් විට ලක්ෂ පහ, දහය වැනි ප්රමාණයන්වලින් මෙහි මුදල් අයෝජනය කළාය. ඒ අඩුම තරමින් තමන් මේ මුදල් ආයෝජනය කරනු ලබන්නේ මොන වගේ පිරිසක් මෙහෙයවන ව්‍යාපාරයකටද යන්නවත් සොයා බැලීමකින් තොරවය.
මෙසේ ඇය රුපියල් ලක්ෂ 54ක පමණ මුදලක් මෙහි ආයෝජනය කළාය. එහිදී ඇයට වෙනත් ක්‍රිප්ටෝකරන්සි වර්ගවල අයෝජන පල්ලම් බහින විට ඇය ආයෝජනය කළ ක්‍රිප්ටෝ කරන්සිවල වටිනාකම බලා සිටියදීම ඉහළ යන අයුරු ඇය දුටුවාය. ඇය විසින් සිදුකරන ආයෝජන යම් තැනකදී නතර වීමත් සමඟ සිදුවන්නේ ඇය විසින් මුදල් ආයෝජනය කළ ක්‍රිප්ටෝ කරන්සිට එකවරම බිංදුවට ඇදවැටීමය. එහිදී ඇය වට්ස් ඇප් සමූහයේ ඇඩ්මින්ට ඇමතූ විට ඔහුගෙන් ඊට පිළිතුරු ලැබෙන්නේ “කරන්න දෙයක් නැහැ. ඔබ ආයෝජනය කළ ක්‍රිප්ටෝ කරන්සියේ වටිනාකම දැන් කඩා වැටුණා. ඔබට තිබුණා ඉහළ වටිනාකමක් තිබුණු වෙලාවේ මුදල් නිදහස් කර ගන්න. ඊට අපි අවස්ථාවක් ලබාදී තිබුණා” යැයි කියාය.
තමා උගුලකට හසුවී විශාල මුදලක් අහිමි කරගත් බව ඇයට වැටහෙන්නේ ඒත් සමඟිනි. තවත් අයකුට මෙවැනි දෙයක් සිදුනොවීමට වග බලා ගැනීමක් ලෙස ඇය මේ ගැන කියන්නට යන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ඇයට සිදුවූ මෙම වංචා ගැන පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සටහන් වන්නේ පසුගිය 13 වෙනිදාය.
ඇය විසින් කළ මේ පැමිණිල්ල කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න සහ අධ්යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය යන මහත්වරු විමර්ශන කටයුතු භාර කරනු ලබන්නේ මූල්‍ය විමර්ශන අංශයටය. ඇය මෙම වංචාවට හසුවූ වට්ස්ඇප් සමූහයත්, ඇය විසින් මුදල් තැන්පත් කළ බැංකු ගිණුම් දෙකක තොරතුරු හැරුණු කොට මූල්‍ය විමර්ශන අංශයේ නිලධාරීන්ට විමර්ශනයක් පැවැත්වීමට තරම් කිසිදු තොරතුරක් ආරම්භක අවස්ථාවේදී නොවීය. ඒ ඇයවත් තමා හසුවූයේ කාගේ උගුලකටදැයි දැන නොසිටි බැවිනි.
මෙහිදී මූල්‍ය විමර්ශන අංශයේ නිලධාරීන්ගේ විශේෂ අවධානයකට ලක්වන්නේ ඇය විසින් විටෙන් විට මුදල් බැංකුගත කළ ගිණුම් දෙක කෙරෙහිය. එම ගිණුම් දෙකේ හිමිකරුවන් වූයේ පේරාදෙණියේ පදිංචි පිය පුතු යුවළකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුලින්ම කොටු කර ගන්නේ ඔවුන් දෙදෙනාවය. විමර්ශන වලදී අනාවරණ වූයේ මේ පිය පුතු දෙදෙනාද මෙම වංචාවට හසුවූවන් බවය. ඔවුන් දෙදෙනා බැංකු ගිණුම් දෙකක් විවෘත කර එහි අන්තර්ජාල බැංකු කටයුතු කිරීමේ පහසුකම් සහිත රහස් අංකද වංචාකරුවන් අතට පත්කර තිබුණේය. ඒ උපක්‍රමශීලිව එම අංක වංචාකරුවන් විසින් ලබාගෙන තිබුණු බැවිනි. විමර්ශනයේදී පෙනී යන්නට වූයේ මෙම පිය පුතු යුවළද වින්දිතයන් බවය. ඒ අය සිර කරගෙන තබා ගැනීමෙන් පලක් නොවන බව වටහාගත් මූල්‍ය විමර්ශන අංශයේ නිලධාරීන් එම බැංකු ගිණුම් දෙක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලබන්නේ වට්ස් ඇප් සමූහය ඔස්සේද මෙම වංචාකරුවන් කොටුකර ගැනීමට තාක්ෂණික මෙහෙයුමක නිරතව සිටින අතර තුරදීය.
මෙහිදී විමර්ශන නිලධාරීන්ට පෙනී යන්නේ ඒ එක් බැංකු ගිණුමකින් අන්තර්ජාලය ඔස්සේ කළ ගෙවීමක් මඟින් සිදුකර තිබුණු පීසා ඇණවුමක් කෙරෙහිය. අන්තර්ජාල වංචාකරුවන්ට කිට්ටු වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ සේවයේ නිරතව සිටි දක්ෂ විමර්ශකයන්ට ඒ පීසා ඇණවුම ඉහටත් උඩින්ය. විමර්ශන නිලධාරීන් අදාළ පීසා සමාගම සම්බන්ධකර ගනිමින් එම පීසා ඇණවුම ගැන වැඩි තොරතුරු සොයා බලන්නට ගත්තේය. මීගමුව ප්‍රදේශයේ පිහිටි පීසා අවන්හලකින් එම ඇණවුම ලබාදී ඇති බව එහිදී පෙනී ගියේය. එම පීසා ඇණවුම ලොකු එකකි. එම ඇණවුම මීගමුවේ පිහිටි පීසා අවන්හලෙන් රැගෙන ගියේ කොහේටදැයි විමර්ශන නිලධාරීහු සොයා බැලූහ. එහිදී පෙනී යන්නේ මෙම පීසා ඇණවුම රැගෙන ගොස් ඇත්තේ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි ඒ.ජේ. විලා එකට බවය.
මූල්‍ය විමර්ශන අංශයේ නිලධාරීන් මෙම තොරතුරු අනාවරණ කරගත් සැණින් එම ස්ථානයට කඩා පනින්නට ගියේ නැත. ඒ තැන ගැන තොරතුරු සොයන්නට ගත්තේය. ඒ මීගමුවේ ඇති මෙවැනි විලා කුලියට ගන්නේ දිනක් දෙකක් ගත කර යන අය බැවිනි. විශේෂයෙන් සංචාරකයන්ය. මේ වන විට එහි සිටින්නේ වෙනත් පිරිසක් විය හැකි වූ බැවින් කිසිවකුටත් නොදැනෙන්නට මේ තැන ගැන සොයා බලන්නට විමර්ශන නිලධාරීන් වග බලා ගත්තේය.
මාස දෙකකට පෙර රුපියල් ලක්ෂ 15ක මාසික කුලියකට ලබාගත් එම විලා එකේ විදේශිකයන් පිරිසක් රැඳී සිටින බවට වූ තොරතුරු එළියට එන්නේ එහිදීය. විදේශිකයන් දහ පහළොස් දෙනෙක් එහි රැඳී සිටින බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගියේය. මේ ස්ථානයට මීගමුවේ පීසා අවන්හලෙන් වරකට දෙවරකට වඩා වැඩියෙන් පීසා මිලදී ගෙන තිබිණි. ඒ නිසාම මේ තැන ගැන පීසා අවන්හලේ සේවකයෝ බොහෝ පිරිසක් දැන සිටියහ. ඒ එකවර දහ පහළොස් දෙනෙකුට සරිලන පීසා ඇණවුම් සිදු කෙරුණු බැවිනි.
මේ හැම කරුණක්ම අනාවරණ කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ නිලධාරීන් මේ ස්ථානය වටලන්නේ පසුගිය 25 වෙනිදා රාත්‍රී කාලයේදීය. එතැන කුඩා සන්නිවේදන මධ්‍යස්ථානයකි. මේස මත තැබූ පරිගණක පෝලිමකි. ජංගම දුරකතනද ගොන්නකි. ඒ හැම එකකටම අන්තර්ජාල සම්බන්ධතා ලබාදී තිබුණේය. එහි ඒ වන විටත් 15ක පිරිසක් රැඳී සිටියහ. ඒ හැම දෙනෙක්ම අත්අඩංගුවට ගනු ලැබුවේ පලායාමට කිසිදු ඉඩක් නොතබමිනි. ඒ අය අතර පකිස්තානුවෝ පමණක් 07ක් වූහ. ඒ හැරුණු කොට මේ අය අතර ඇල්ජීරියානුවන් දෙදෙනෙක්, මලයාසියානුවන් දෙදෙනෙක්, තායිලන්ත ජාතිකයන් දෙදෙනෙක්ද සමඟ ශ්‍රී ලංකිකයන් දෙදෙෙනක්ද විය. ඔවුහු දෙදෙනා මෙම ජාවාරමේ මෙරට නියෝජිතයෝය.
මෙහි සිදුවූයේ සංවිධානාත්මක මූල්‍ය වංචාවකි. මේ පිටුපස සිටියේ චීන ජාතිකයන් පිරිසකි. වැටලීම සිදුවන විට චීන ජාතික ප්‍රධානියා එහි රැඳීී සිටියේ නැත. ඩුබායි, ඝානා ඇතුළු රටවල් කිහිපයකම ශාඛා ව්‍යාප්තය. ශ්‍රී ලංකාවේ ද ශාඛාවක් ස්ථාපිත කරමින් වැඩේට ඔවුන් බැස ඇත්තේ මාස දෙකකට පෙරය. මාස දෙක තුනකට වඩා ඔවුන් එක තැන රැදෙන්නේද නැත. ශ්‍රී ලංකාවේ ශාඛාවක් පිහිටුවීමට මුල පිරෙන්නේ ඩුබායි ශාඛාවේ ශ්‍රී ලංකිකයන් දෙදෙනෙක් සේවයේ නිරතව සිටි බැවින් ඔවුන්ගේ මග පෙන්වීම මතය. අත්අඩංගුවට ගත් අය අතර සිටි ශ්‍රී ලංකිකයන් වූයේ ඔවුන් දෙදෙනාය.
දකුණු ආසියාතික කලාපයම ඔවුන් මෙහි සිට ආවරණ කරමින් ඒ වන විටත් ඉන්දියා, පකිස්තාන්, නේපාල, බංගලාදේශ,මාලදිවයින, භූතානය, ඇෆ්ගනිස්ථාන් ආදී දකුණු ආසියාතික රටවල්වල වැසියන් විශාල පිරිසකට ක්‍රිප්ටෝ කරන්සි අලෙවි කරමින් හිතා ගන්න බැරි තරමේ වංචාව ඒවන විටත් නිරතව සිටියේය.
මෙම ජාවාරම චීනය කේන්ද්‍ර කර ගත් ලොවපුරා විහිඳුණු දැවැන්ත වූ මූල්‍ය වංචාවක් බව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ හමුවේ සහ එම ස්ථානයේ තිබුණු පරිගණක හා උපාංග පරීක්ෂා කිරීමේදී විමර්ශන නිලධාරීන්ට පෙනී ගියේය. අත්අඩංගුවට ගත් සෑම අයෙක්ම පාහේ ඒ වන විටත් ඩුබායි හා ඝානාවල ඇති ශාඛාවල සේවයේ නිරත වූවෝය. ඔවුන් සමඟ මෙරටට පැමිණි පිරිස අත්අඩංගුවට ගත් ප්‍රමාණයට වඩා වැඩි බව ප්‍රශ්න කිරීම් හමුවේ විමර්ශන නිලධාරින්ට පෙනී යන ලඳී.
ඒත් එක්කම එම නිලධාරීන්ට දැන ගන්නට ලැබෙන්නේ මෙවැනිම මධ්‍යස්ථානයක් කොච්චිකඩේ පැත්තේ තවත් විලා එකක ස්ථාපිත කර ඇති බවය. රිච්වින් විලා නැමැති එම ස්ථානයද මහා රෑම විමර්ශන නිලධාරීන් වටලනු ලබන්නේ එහි සිටි අයට පැන ගන්නට කිසිදු ඉඩක් නොතබමිනි. එහි සිටි අය අතර පකිස්තානුවන් 15 දෙනෙක්ද, බංග්ලාදේශ ජාතිකයෙක්ද, ඉන්දියානුවෙක්ද, ඉන්දුනීසියානුවෙන්ද සිටියේය. ඒ 18 දෙනාවත් මූල්‍ය විමර්ශන අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගත්තේය. මේ තැන කුලියට ගෙන තිබුණේ රුපියල් ලක්ෂ 12ක මාසික කුලියකටය. ඒ හැරුණු කොට තවත් මෙවැනිම මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට රුපියල් ලක්ෂ 25ක මාසික කුලියකටද ඒ කිට්ටුව පාතින් තවත් විලා එකක් ලබාගෙන තිබුණේය. එම ස්ථානය පිහිනුම් තටාකයක් සහිත සංකීර්ණයකි. ඒ තැන කුලියට ගෙන ඇත්තේ ද මෑතකදීය.
වැටලීමට ලක්වූ තැන් දෙකේ සිටියදී අත්අඩංගුවට ගත් පිරිස 33 දෙනෙකි. ඔවුහු වයස අවුරුදු 19ත් 31ත් අතර පසුවූවෝය. ඒ අතර සිටි 22 දෙනෙකුම පකිස්තානුවන්ය. සෙසු 11 දෙනා ඇල්ජීරියානු, තායිලන්ත, මලයාසියාව, බංග්ලාදේශ, ඉන්දියාව, ඉන්දුනීසියාව යන රටවල අය වූහ. ඒ අය අතර කාන්තාවෝ ද සිටියහ. ඒ අය ඉන්දියාව, මලයාසියාව, ඉන්දුනීසියාව සහ ඇල්ජීරියාව යන රටවල අයය. මේ අයව මෙහි රඳවාගෙන සිටියේ යැයි විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ සෙසු අයගේ ලිංගික අවශ්‍යතා සංතර්පණය කිරීමටය. ඒ මෙහි ආ කිසිවෙකුටත් විලා එකෙන් පිටතට අඩියක් තැබීම පවා තහනම් වූ බැවිනි. කන්න බොන්න මෙන්ම ඉඳුම් හිටුම් ඇතුළු හැම පහසුකමක්ම ඔවුන් ඉන්නා තැනටම සපයා දී තිබුණේ සයිබර් වහලුන් ලෙස එහි මේ අයව රඳවා තබා ගනිමිනි. ඒ වෙනුවට මේ අයට ලැබෙන මාසික වැටුප ශ්‍රී ලංකා රුපියල්වලින් ලක්ෂ හත අටකි.
විශ්වවිද්‍යාල සිසුවිය අල්ලාගත් ආකාරයට වට්ස්ඇප් සමූහය මඟින් මුදල් ආයෝජනය කිරීමට කෙරෙන පොලඹවා ගැනීම හැරුණු කොට මෙහි හැකර් කණ්ඩායමක්ද ක්‍රියාත්මකය. ඒ බැංකු ගිණුම්වලට රිංගා මුදල් සොරාගැනීමටය. ආයෝජනය කළ මුදල් ලාභය සමඟ ගැනීමට යම් අයෝජකයෙක් පෙලඹුණහොත් ඒ අයට මුදල් බැර කරනු ලබන්නේ හැකර්වරුන් විසින් අත්පත් කරගත් අන්සතු බැංකු ගිණුමකිනි. සරසවි සිසුවියගේ ගිණුමටද මුලින් මුදල් බැර කර තිබුණේ එසේ වෙනත් අයෙකුගේ ගිණුමකට රිංගාය.
විශ්වවිද්‍යාල සිසුවිය පමණක් නොව, මෙම වංචාවට මෙරට වැසියෝ විශාල පිරිසක් දැනටමත් හසුවී හමාරය. ඒ අය අහිමි කරගත් මුදලද සුළුපටු නැත. මේ එක් කණ්ඩායමක් පමණි. මේ අය විවිධ මුහුණුවරින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ මොහොත වන විටත් ඉලක්ක හඹායති. ලොව පුරා විශාල පිරිසකගේ සාක්කුවට තට්ටු කරන මෙම සංවිධානාත්මක ජාලය විසින් ඒ හැම අයෙකුවම රැවටීමට ලක්කරනුයේ ඉතා සූක්ෂ්ම ලෙසිනි. මුදල් රැස් කිරීමට ඔවුන් විසින් ලබාදෙන වීඩියෝ ගේම් පවා හැම විටම සකස්කර ඇත්තේ ද ජයග්‍රහණය හිමිවන ආකාරයට අනුවය. එසේම අසන ප්‍රශ්නයට කුමන පිළිතුරත් දුන්නද පරිගණක තිරයේ එය සටහන් වන්නේ නිවැරදි පිළිතුරක් ලෙසිනි. ඒ හැම ජයග්‍රහණයකටම ආයෝජන මුදලට කීයක් හරි එකතු කරමින් මෙම රැවටීම සිදුකරනු ලබන්නේ ඉතා සූක්ෂ්මවය. විශ්වවිද්‍යාල සිසුවිය පවා හසුවන්නේ එම රැවටීමටය.
“මේ අය මනඃකල්පිත ලෝකයකට රැගෙන ගිහින් සිදුකරනු ලබන්නේ මාර්ගගත ගෙවීම් ක්‍රමයකට නැති නම් විශාල ලාභයක් ලබන ආයෝජනයකට පෙලඹවීමයි. මෙහි සැබෑ ව්‍යාපාරයක් නැහැ. කෘත්‍රිමව අන්තර්ජාලයේ නිර්මාණය කළ ලෝකයේ සොයාගන්නවත් නැති ව්‍යාපාරයකටයි අන්තිමට මේ පිරිසට රැවටෙන අය වැඩි ලාභ අපේක්ෂාවෙන් සේසතම අයෝජනය කරන්නේ”. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මෙම වංචාව සිදුවන ආකාරයේ තරම කියා පෑවේ එසේය.
“මේ අය සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු ප්‍රචාරයක් කරනවා. ඒ අය පෙන්වා දෙන්නේ මහන්සියක් නොමැතිව ලෙහෙසියෙන්ම මුදල් උපයාගන්න පුළුවන් කියලයි. මේකේ ඇති භයානකම තත්ත්වය තමයි මෙහි මුදල් ආයෝජනය කරන කිසිවෙකුත් දන්නේ නැහැ; මේ මුදල් නැවත ලැබෙයිද කියලා. මෙහි ඇති අවධානම ගැන හිතන්නවත් බැරි විදිහටයි රැවටීමට ලක්කරන්නේ. මේ අය විවිධ වීඩියෝගේම් හඳුන්වල දීලා සීමාරහිත ඩේටා පහසුකම් පවා ලබාදෙනවා. එම ඩේටා පාවිච්චි කරන කොට දන්නෙම නැතිව එම ඩේටා පාවිච්චි කරන අයගේ දුරකතනය හැකර්වරුන් සිය ග්‍රහණයට ගන්නවා”. එහි තියෙන හැම දත්තයක්ම සොරා ගැනීමට ලක්වෙනවා” යැයිද එම නිලධාරියා පෙන්වා දුන්නේ මෙහි ඇති භයානක තත්ත්වය ගැනය.
මේ හැම දෙයක්ම හෙළිදරව් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් සිදුකරනු ලබන විමර්ශන ඔස්සේය. මෙම වංචාවේ සැඟවුණු තැන් බොහෝය. වංචාවට හසුවූ පිරිස දස දහස් ගණනකි. ඒ අය ගැන මෙන්ම සැඟවුණු රහස් හෙළි කර ගන්නට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් උත්සහ ගන්නේ වැටලීමට ලක්වූ විලා දෙකේ තිබී සොයාගත් ජංගම දුරකතන 109ත් පරිගණක 46ත් ටැබ් 02ත් ඇතුළු උපකරණ වෝහාරික පරීක්ෂාවකට ලක්කරමිනි. ඒ ඔස්සේ මෙම ජාවාරමේ මහ මොළකරු කොටුකර ගැනීමට හැකිවනු ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිටින්නේ දැඩි විශ්වාසයක් ඇතිවය.
මෙම ජාවාරම මෙහෙයවන ලද ජාවාරම්කරුවන් වන චීන ජාතිකයින් රටින් පලායාමට සූදානමින් කටුනායක ගුවන්තරවලට පැමිණ සිටි අවස්ථාවේදී 26වෙනදා දහවල් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර චීන කාන්තාවක් ද සිටී.
ගයාන් කුමාර වීරසිංහ