Home » ණය ප්‍රතිව්‍යුහගතකරණයට ද්විපාර්ශ්වීය ණය හිමියන් සමඟ එකඟතාවට පැමිණීම ගැන විද්වත් අදහස්

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ද්විපාර්ශ්වීය ණය හිමියන් සමඟ එකඟතාවට පැමිණීම ගැන විද්වත් අදහස්

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය රටට ආදරය කරන සියලු දෙනා ලැබූ සුබ ආරංචියක් බව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ණය ගෙවා ගත නොහැකිව, බංකොලොත් ලේබලයට වැදී සිටි රටක් ලෙස වසර 2ක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වීම විශාල ජයග්‍රහණයක් බවත් එහිදී සඳහන් කළේය. මෑත ඉතිහාසයේ ලෝකයේ කිසිදු රටක් කෙටි කාලයක් තුළ මෙවැනි සුවිශේෂ

ජයග්‍රහණයක් ලබාගෙන නැති බව ද ජනාධිපතිවරයා පැවසීය. අප සියලු දෙනා එක් වී ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම තුළ රටට විසඳුමක් මෙන්ම සහන ලැබෙන බව ද එහිදී අවධාරණය කෙරිණි. මේ, ඒ සම්බන්ධයෙන් විද්වතුන් සිළුමිණට පළ කළේ මෙවැනි අදහස්ය.

IMF වැඩසටහනත් සමඟ එකතුවී අපි ගොඩනැඟූ විශ්වාසය තහවුරු කිරීමක්
– ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද

දැනට ඇ‍ෙමරිකානු ඩොලර් බිලියන 38කින් ප්‍රමාණයකින් ඩොලර් බිලියන 10ක ප්‍රමාණයක් තමයි සාකච්ඡාවකින් අනතුරුව ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට යොදවා ගෙන තියෙන්නේ.පැරිස් සමාජය ඉන්දියාව අතර තමයි ගිවිසුම්වලට එළඹුණේ. මුදල සම්බන්ධයෙන් බැලුව හොත් පැරිස් සමාජය බිලියන හතරකට විතර ආසන්න සංඛ්‍යාවක්. එය ප්‍රමාණාත්මකව පොඩි සංඛ්‍යාවක් වුණාට අපි විශ්වාස කරනවා මේ දක්වා ගොඩනැඟූ මූල්‍ය විනය සහ IMF වැඩසටහනත් එක්ක එකතුවෙලා අපි ගොඩනැඟූ විශ්වාසය මේ හරහා තහවුරු කිරීමක් සිද්ධ වුණා කියන කරුණ වැදගත් වෙනවා. IMF වැඩසටහනත් එක්ක අපි ඉදිරියට යන අතරතුරේ ණය හිමියන් සමඟ ඇති කරගත් සාකච්ඡා දීර්ඝ කාලයක් ගිහිල්ලා විශ්වාසය ඇති කරගෙන තියෙනවා. ලංකාවට අනාගතයේදී සංවර්ධනයක් එහෙම නැත්නම් මුදල් උත්පාදනයක් ආදායම් උත්පාදනයක් කරලා එම ණය ගෙවීමේ හැකියාවක් තියෙනවා කියන තහවුරුවක් මේ හරහා ඇවිත් තියෙනවා. මේ වැඩසටහන හරහා රටක් හැටියට ඒ පණිවුඩයක් අපිට ලබා දීලා තියෙන එක සුබදායකයි. ඒකෙන් අදහස් කරන්නේ නැහැ සමස්ත ණය කපලා දාලා තියනවා කියන කරුණ.

මේ තුළින් පියවරෙන් පියවරට සංවර්ධනයට හෝ මූල්‍ය විනය, ලංකාවේ ආර්ථිකය පියවරෙන් පියවරට ඉදිරියට යාම සාක්ෂාත් කරගැනීමක් හැටියටයි මම මෙය දකින්නේ. මේ සමඟම නැවතිලා තියෙන හුඟක් සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙනවා. විවිධ රටවල් සමඟ ඇති කරගත්ත ගිවිසුම් නැවත පණ ගන්වන්නට හැකියාව ලැබෙනවා. මෙම ණය ගෙවීමේ තත්ත්වය මත 2028න් පස්සේ තමයි ණය ගෙවන්න වෙන්නේ; ආදායම් උත්පාදන මාර්ග කෙරෙහි ඉදිරි අවුරුදු හතරක කාලය තුළ අපි විශාල වශයෙන් අවධානය යොමු කරන්න අවශ්‍යයි. විශේෂයෙන් ඩොලර් ඉපයීම කෙරෙහි අපේ අවධානය යොමු කරන්න ඕනෑ. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම අත්‍යවශ්‍යයි. ඒ හරහා නැවතත් අපිට ණය ගෙවන්න පටන් ගන්නා විට නැවතත් මූල්‍ය පීඩනයක් පැමිණිය හැකියි.

මුදල් රටෙන් එළියට ගලාගෙන යන කොට අපේ ඩොලර් එකට තියෙන ඉල්ලුම් සැපයුම් බලවේග අනුව ඩොලර් එකේ අගය අඩුවෙන්න වෙනස් වෙන්න සම්භාවිතාවක් තියෙනවා. එනිසා මෙය ණය විරාමයක්. ගෙවන්න තියෙන කාලය පසුවට තැබීමක්. ඒ පිළිබඳ සතුටු වෙනවා වගේම මේ ණය විරාමය අපි වහාම ප්‍රයෝජනයට ගත යුතුයි.

ඒ විරාමය තුළ රටක් ලෙස අපිට ප්‍රවේශයක් ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් අපි ණයක් ගෙවන්න කාලයක් ඉල්ලන්නේ ආදායමක් උපයලා අපි ඉන්න තත්ත්වයෙන් යම්කිසි ඉහළ මට්ටමකට පැමිණ ණය ගෙවීමේ හැකියාවක් ලැබෙනවා කියන විශ්වාසය මත. අනිවාර්යෙන් අපි කළ යුතු දේ තමයි අවුරුදු කීපය ඉතාමත් සූක්ෂමව සැලසුම් කරගෙන අපට තියෙන විභවතාවන් හඳුනාගෙන ආදායම් උත්පාදන මාර්ගවලට යොමු වීමයි. විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකත්වය ඉහළ නංවමින් මේ කටයුත්ත කරන්න ඕනෑ. මේකට සතුටු වෙලා ටික කාලයක් ණය ගෙවන්න තියෙනවා කියලා ප්‍රමාදවීම හොඳ නැහැ. මේ ලැබිලා තියෙන සහන කාලයක් බව අපි තරයේ සිතට ගත යුතු සේම මෙය රටේ සංවර්ධනයට විශේෂයෙන්ම කඩඉමක් කර ගත යුතුයි.

පෞද්ගලික ණය හිමියන් සමඟ ඇති කර ගන්නා ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. විදේශීය ද්වීපාර්ශ්වික ගිවිසුම් සම්බන්ධයෙන් එකඟතාව මත පෞද්ගලික ණය හිමියන් සමඟ කටයුතු කිරීමේදී අපට තියෙන සහනය පදනම් කරගෙන අනාගතයේදී ගෙවන්න තියෙන මුදල් පදනම් කරගෙන සාකච්ඡාවන් ඉදිරියට ගෙන යා යුතුයි. මේ සමඟ ඉදිරියේදී ගිවිසුම්වලට එළඹුණාම රටක් වශයෙන් කළ යුතු දේ තමයි මේ සඳහා අවශ්‍ය කෙටිකාලීන සැලසුම හා දිගුකාලීන සැලසුම්වලට අදාළ පියවරයන් තැබීම. ඒ නිසා ණය ගෙවීමට ඇති පරිසරය කුමක්ද, අපි කොහොමද ගෙවන්නේ, ඒකට ඇති සැලැස්ම, ණය ගෙවාගෙන යන විට රටේ තියෙන අනෙකුත් වියදම් කරන්නේ කොහොමද, රටේ තියෙන සාර්ව ආර්ථික සැලැස්ම පදනමක් මත ඉඳලද කරන්නේ, ඒත් එක්කම ඇති වන උද්ධමනය, විදේශ විනිමය පීඩනය වැනි කරුණු දෙස බැලිය යුතුයි.

2028න් පස්සෙත් අපට මුහුණ දීමට සිදුවන මේ තත්ත්වයන්ට, අභ්‍යන්තර කම්පනයන්ට ඔරොත්තු දීමට හැකි වන අවදානම් කළමනාකරණයන් කුමක්ද? ඒ අවදානම් කළමනාකාර ක්‍රියාවන් ධරණීය තිරසර භාවය ගැන අපට හිතන්න වෙනවා. අපිට ලැබුණ මේ විරාමය යහපත් මට්ටමට පරිවර්තනය කරලා අවශ්‍ය වැඩ පිළිවෙළවල් සකස්කර ගත්තේ නැත්නම් නැවතත් අපිට ණය ගෙවන්න පටන් ගත්ත අවස්ථාවේ සිට ආර්ථික අර්බුදයට පත්වෙන්න සිදු වෙයි. මේ උත්සාහයට ජාතියක් හැටියට සියලුම පාර්ශ්වයන්ට අප ස්තූති වන්ත විය යුතුයි.

ඊට අමතරව අපිට මේ උපදෙස් ලබා දීපු ආයතනවලට, මේ ලබපු සහනය පදනම් කරගෙන සතුටු විය යුතුයි. විවේචනය කරනවාට වඩා පුද්ගලයන්ගෙන් ලබා ගත්ත ණය, දේශීය ණය සියල්ල ප්‍රතිව්‍යුහගතකරණය කර අවසන් කර අවසානයේ රටේ සංවර්ධන සැලැස්ම, මුදල් ඉපයීම විදේශ විනිමය ඉපයීම, ඊට අදාළ මානව සම්පත හුරු කිරීම, ඊට අදාළ තාක්ෂණය සහිත කටයුතු කිරීම, කෘෂිකර්මය තාක්ෂණය සමඟ බද්ධ කිරීම වැනි කටයුතු සිදු කළ යුතුයි. 2028 ණය ගෙවීමට ආදායමක් උපයලා රටේ සංවර්ධනය ජය ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමට දැන්ම සිට වග බලා ගත යුතුවනවා. මෙහිදී වැදගත් වන්නේ ලැබෙන සහනය පමණයි. එය විශාල සහනයක්. ඒ සහනය මත හිඳගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව තමයි අපි ක්‍රියා කරන්න ඕන.


ණය ගෙවීමට අවශ්‍ය කරන ආර්ථීක සැලසුම් සකස් කළ යුතුයි
– කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නවරත්න බණ්ඩා

ණය ගෙවන්නේ නැතුව 2028 වන තෙක් අපට නිහඬව ඉන්න පුළුවන්. මේ කාලය තුළ පොලිය මුළු මුදලට එකතු වෙනවා. ඉන් අනතුරුව පොලියටත් පොලිය එකතු වෙනවා. වසරක් අවසානයේ ගෙවිය යුතු පොලිය මුදලට එකතු වෙනවා. ඒ මුදල එකතු වී විශාල පොලියක් හැදෙනවා. සහන කාලය කියලා මේකට කියන්නේ 2043 වන කල් ගෙවන්න පුළුවන්. අපි ණය ගත්තේ වසර 5කින් ගෙවන්නම් කියලා; ඒ කාලය 2043 දක්වා ගෙවන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ වසර 15ක් දක්වා ගෙවිය හැකියි. මේ 15 තුළ සියලුම ණය පොලියත් සමඟ ගෙවිය හැකියි. අපි 2022දී ණය ගෙවන්න බැරි බව සඳහන් කරනවා. එදා සිට එනම් 2022 සිට 2028 දක්වා අදාළ පොලිය අපි ගෙවන්න අවශ්‍යයි. පොලියත් සමඟ මුළු මුදලට එකතු කර ගෙවිය යුතුයි. එය මාසයකට හෝ වර්ෂයකට ප්‍රමාණය ගණනය කර ගෙවන්න අවශ්‍යයි. වසර 15ක්ගෙවා නිම කරන්න අවශ්‍යයි. මේ කාලය තුළ ඩොලර් ටික වෙනත් දේවල්වලට පාවිච්චි නොකර රටේ සංවර්ධනය සඳහා යෙදවීම කළ යුතුයි.

ඩොලර් අපි අපේ රටේ ආර්ථීක සංවර්ධනයට යොමු කළ යුතුය. මේ කාලයේදී අපි කෘෂි කාර්මික සහ කාර්මික වශයෙන් රට සංවර්ධනය කළ යුතුයි. එහිදී අපිට 2028 සිට ණය ගෙවීමට හැකියාව ඇති වෙනවා. විදේශ රැකියාවලින් විශාල මුදලක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කරන්න පුළුවන්. කෘෂි කර්මාන්ත දියුණු කිරීම මඟින් ආනයනය සඳහා යන මුදල අඩු වෙනවා. එසේම සංචාරක කර්මාන්තය දියුණු කිරීමෙන් ඩොලර් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා. පුහුණු සේවකයන් විදේශවලට යැවීමෙන් විශාල විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලබාගන්න පුළුවන්. එසේම ධීවර කර්මාන්ත ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය කිරීමට හැකියාව ලැබෙයි. ඒ වගේම පලතුරු පිටරට යැවිය හැකියි. ටයර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන යැවීමට හැකියාව පවතිනවා.

පොල් ආශ්‍රිත කර්මාන්ත දියුණු කළ හැකියි. මල්වර්ග විසිතුරු මත්ස්‍ය වර්ග මඟින් විශාල ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. බී ලූනු, රතු ලූනු වගා කළ හැකියි. මුංඇට, කව්පි වැනි දේශීය ධාන්‍ය වර්ග වගා කිරීම තුළ ආනයන සඳහා වැය වන විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි වෙයි. මේ දේවල් කෙරෙහි අවධානය යොමු කරමින් රට ස්වයංපෝෂිත කරන්න පුළුවන් නම් 2028 වන විට අති විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරි කරගත හැකියි. මිනිසුන්ගේ මනස වෙනස් කරන්න අවශ්‍යයි. පරිභෝජන රටාව වෙනස් කළ යුතුයි. විදෙස් භාණ්ඩ තමයි අපි අගය කරන්නේ. දේශීය භාණ්ඩවලට ඉල්ලුම වැඩි කළ යුතුයි. දේශීය චින්තනයක් ඇති කළ යුතුයි. රට තුළ මානසික විප්ලවයක් අනිවාර්යෙන්ම ඇති කළ යුතුයි. එය ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවෙයි. අපිට ඩොලර් ඉතිරි කරගත හැකි ක්‍රියාමාර්ග අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතුයි. පොදු ප්‍රවාහනයට මිනිසුන් හුරු කරන්න පුළුවන් නම් ඇත්තටම අපිට අතිවිශාල වශයෙන් තෙල් මිලක් ගෙවන්න වෙන්නේ නැහැ. අපි අපේ භාණ්ඩවලට වෙළෙඳපොළක් හදන්න පුළුවන් ජාතියක් වෙන්න අවශ්‍යයි. ඇත්තටම දේශපාලනඥයන් ජනතාවට ඇත්ත පහදා දිලා වැඩ කළ යුතුයි. දේශපාලන පොරොන්දු නොවෙයි රට දියුණු කරන්න හැකි ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. දේශීය චින්තනය පිළිබඳව ජනතාව දැනුම්වත් කරමින් විශාල ආර්ථීක පරිවර්තනයක් කළ යුතුයි.


අපේ මූල්‍ය ක්‍රමය පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීම තහවුරු වීමක්
– කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

දැනට ලැබී තියෙන තොරතුරු අනුව ද්වීපාර්ශ්වීය ණයකරුවන් ලෙස ඉන්දියාව ජපානය ප්‍රධාන අනෙකුත් අපට ණය ලබා දුන් අය ණය ගෙවීම ආරම්භ කිරීමට සහන කාලයක් ලබා දී තියෙනවා. ඒ සමඟම කාල සීමාවත් දීර්ඝ කර ඇත. චීනය සමඟත් වෙනම සාකච්ඡා කර ඒ හා සමානවම ඊට අදාළ සහන ලබා ගැනීමට කටයුතු කරන බව සඳහන් වී තියෙනවා. පොදුවේ ගත් විට මෙය හොඳ ආරංචියක් . එය අඛණ්ඩව කරගෙන ගොස් වෙළෙඳ ණය සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කර ගන්න හැකියාව ලැබුණොත් මෙරට පැත්තෙන් බලද්දි ධනාත්මකව සිතිය යුතු දෙයක්. එසේම වඩාත්ම දුෂ්කර කටයුත්ත වී තියෙන්නේ වෙළෙඳපොළ ණයයි. වෙළෙඳපොළ ණය තවම එකඟත්වයකට පැමිණිලා නැහැ. වෙළෙඳපොළින් ගත් ණය පිළිබඳවත් එකඟතාවකට පැමිණි පසු තවත් ඉදිරි පියවරක් යා හැකියි. අනෙක් කොටස නම් බහුපාර්ශ්විය ණයයි. ඒවා ලෝක බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වීය මුලාශ්‍රවලින් ලබාගත් ණයයි. ඒවා පිළිබඳව ලොකු ගැටලුවක් තියෙන්නේ නැහැ. එහි අමාරුම කොටස නම් වෙළෙඳපොළ ණයයි. ඒ ණය පිළිබඳව කොච්චර කපා හරිනවද? පොළි අනුපාතික ගෙවීමට සහන කාලයක් දෙනවද? ගෙවා නිම කළ යුතු කාලය කොතරම් ද යන කරුණු පිළිබඳව තවත් තීන්දුවකට පැමිණිය යුතුයි.

ඒ ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කර ගිවිසුම් ගත වූ පසුවයි සංවර්ධිත රටවල නැවත ණය දෙන්න පටන් ගන්නේ. රටක් ලෙස මෙය සාධනීය ලක්ෂණයක් සහ අපේ මූල්‍ය ක්‍රමය ජාත්‍යන්තර පිළිගැනීම තහවුරු වීමක්. මූල්‍ය ක්‍රමය පිළිබඳ ස්ථාවර මට්ටමක් ඇතිවීම සිදු වෙයි. නැවත ණය ද්විපාර්ශ්වීය ණය ලබාගැනීමට පහසුවක් ඇති කරගැනීමට නම් වෙළෙඳපොළ සම්බන්ධ ණය ගිවිසුමත් අත්සන් කොට තිබිය යුතුයි. ණය සම්බන්ධයෙන් ගත්විට කොටස් තුනක් තියෙනවා. රටවල් අතර වෙන වෙනම ගිවිසුම් ගත වීම් හෙවත් ද්විපාර්ශ්විය ණය, වෙළෙඳපොළ ණය සහ බහුපාර්ශ්වීය ණය. මේ සියල්ල පොදු වේ ගත් කල්හි තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පුර්ණයි කියලා කියන්නේ. අමාරුම කොටස තමයි ඉතුරු වෙලා තියෙනවා. ද්විපාර්ශ්වීය ණය මෙන් නොව වෙළෙඳපොළ ණය කෙළින්ම ආයතනවලට සහ පුද්ගලයන්ට, ප්‍රාග්ධනයට පොලී ආදායමට කෙළින් ම බලපානු ලබයි. ඒ නිසා එය සංකීර්ණ ක්‍රියාවලියක්. එය අනිවාර්යෙන් විසඳා ගැනීමට හැකියාව ලැබෙයි. ඉන් අනතුරුව රට සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.


මෙය රටට සුබ ආරංචියක් එහෙත් විපක්ෂවලට අසුබ ආරංචියක්
– පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න

ණය සහන කාලයක් ලැබීම, සහ ණය සහන කාලය සඳහා 2028 දක්වා කල් ලබා ගැනීම පිළිබඳව කතා කිරීමේදී විශේෂයෙන් කිවයුතු කරුණක් නම් අපි බැංකුවකින් ණයක් ගත්තත් ණය ගෙවීමට බැරි වන විට බැංකුව යම් යම් සහන දෙනවා. අපි ණය ගෙවන්න බෑ කියලා සඳහන් කරන විට ඒ රටවල් කොහොම හරි ණය ගෙවන්න කියලා අපිට බල කළොත් වෙන්නේ තිබුණු තත්ත්වයෙන් අත්මිදෙන්න බැරි වීමයි. එසේ වුවහොත් වෙන්නේ තවදුරටත් මේ ණයවල හිරවෙලා සිටීමටයි. දැන් අපිට අවුරුදු හතරක සහන කාලයක් ලැබිලා තියෙනවා. දැන් ණය නෑ වගේ පෙණුනාට ඇත්ත වශයෙන් ම අපි ණය ගෙවිය යුතුයි. බංකොලොත්භාවයෙන් අපිට සම්පූර්ණයෙන්ම අයින් වෙන්න අවශ්‍යයි. අපි 2028 වෙනකම් ණය ගෙවන්න ඕන නෑ කියන්නේ බංකොලොත්භාවයෙන් ණයෙන් මිදුණා කියන එක නොවෙයි. නමුත් අපිට 2028 වෙන තුරු ණය නොගෙවා ඉන්න පුළුවන්. 2028 වෙන තුරු කාලය අපිට විදේශ විනිමය රැස්කර ගන්න අවශ්‍යයි. විදේශ විනිමය යොදාගෙන සංවර්ධන කටයුතු මෙන්ම අහිමි වූ රැකියා, අහිමි වූ රාජ්‍ය වියදම් යනාදිය මේවා අපිට ආරක්ෂා කරන්න අවස්ථාවක් තියෙනවා. මේ ඔස්සේ ආර්ථික වර්ධනය වේගවත් කර ගන්න මේ අවුරුදු හතර අපිට ප්‍රයෝජනවත් වෙනවා. අවුරුදු හතරක් යනකල් ගෙවීම ආරම්භ කරන්න ඕනේ නැහැ. ඒ මුදල් ආර්ථික වර්ධනයට අදාළ ව්‍යාපෘතිවල යොදවාගන්න පුළුවන්කම අපිට තියෙනවා. 2028 සිට 2043 දක්වා අවුරුදු 15ක් තුළ අපි ණය ගෙවනවා කියන්නේ ණය ගෙවන ප්‍රමාණය ඉතා අඩු ප්‍රමාණයක තියාගෙන අපිට ගෙවාගෙන යන්න පුළුවන්. අවුරුදු පහළොවක් ගෙවීමට ඉඩ ප්‍රස්ථා හිමිවීමෙන් එහි සහනය වැඩියි. එකවර විශාල මුදලක් ගෙවා ගන්න අපහසු නිසා අවුරුදු පහළොවකින් මේ ණය ගෙවන්න කියලා තියෙනවා. මෙය ශ්‍රී ලංකා ආණ්ඩුවට ලැබුණ විශාල සහනයක්.

අපි විදේශ විනිමය උපයන්නෙත් බොහොම හෙමින්. ඒකයි යථාර්ථය. ඒ වගේම අපේ අපනයන ආදායම බොහොම හෙමින් දියුණු වෙන්නේ. අලුතෙන් විදේශ විනිමය ඉපයීම බොහොම සීමා සහිතයි. සංචාරක ව්‍යාපාරය අපි දියුණු කළ යුතුයි. අපට අවුරුද්දකට තියෙන්නේ බොහොම සීමා සහිත විදේශ විනිමය ප්‍රමාණයක් පමණයි. ආපසු ගෙවන්නට සිද්ධ වුණොත් එය අපිට ආර්ථිකයට දරාගන්න බැරි වෙනවා. මෙතන අවුරුදු පහළොවක් කියන්නේ අපිට ටික ටික අඩු වාරිකවලින් ගෙවාගෙන යන්න පුළුවන්. ඒ අතරතුර අපේ සංචිත ප්‍රමාණ වර්ධනය කරගැනීම කළ යුතුයි. සංචිත වැඩිවූ විට අපිට රුපියල ශක්තිමත් වීම වැනි ආර්ථික වාසි රැසකට මඟ පෑදෙනවා.

IMF සහ සමුළුව චීනය ඉන්දියාව ජපානය වැනි ණය දුන් රටවල් සම්බන්ධයෙන් අපි කටයුතු කරගෙන යද්දී විපක්ෂවලින් මේවාට විශාල වශයෙන් විරෝධතා ආවා. අසුභවාදී අදහස් පළ කළා. දැන් අපි දන්නවා අවුරුදු දෙකක් ඇතුළත සාර්ව ආර්ථික විචල්‍යයන් ශක්තිමත් වෙලා තියෙනවා. ආර්ථිකයේ ස්ථායීතාව බොහොම දැඩි විදිහට ඇවිත් තියෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය මේ ණය ගෙවීමේ ප්‍රශ්නය. ණය බර එක පාරට වසර හතරක් අයින් කළා වගෙයි. මේක ඇත්තටම මේ රටට සුබ ආරංචියක්. විපක්ෂයට නම් අසුභ ආරංචියක්.


ඉදිරියේදී රටක් ලෙස දෙපයින් නැඟී සිටිමට හැකි වන සංවාදයක් ඇති විය යුතුයි
– ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනාංශයේ මහාචාර්ය නලින් අබේසේකර

මේ අවස්ථාවේ ණය කල් දමා ගැනීම තුළ යම් ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි මේ තුළ අපි ගොඩක් උත්කර්ෂයට ළඟා විය යුතු නැත්තේ ඒ ණය අපි 2028දී ගෙවිය යුතු නිසයි. එයින් එහා ගිහිල්ලා රටේ ආයෝජන සිදු කර දෙපයින් නැඟී සිටිය යුතු සාකච්ඡාවක් සංවාදයක් සහ විවාදයක් රට තුළ සිදු විය යුතුයි. රටක් ලෙස IMF සමඟ අපේ සම්බන්ධය ඇතිවෙන්නේ 1950දී පළමු වැනි ණය ලබා ගැනීමෙන්. දැන් මේ කතා කරන්නේ 17 වැනි ණය ගැන. ලංකාව IMF එකත් එක්ක තියෙන සහසම්බන්ධය ණය ගැනීම සම්බන්ධයෙන් මම පෞද්ගලික විශ්වාස කරන දේ තමයි අපේ රටේ ලොකු විවාදයක් ඇති විය යුතුයි. අවාසනාවකට අපේ රටේ කතා කරන්නේ IMF එකේ ණය ගැන පමණයි. අපි කොහොමද ණයවලින් එළියට ගිහිල්ලා රටක් හැටියට ඉස්සරහට යන්නේ කියන සංවාදයට අපි තවමත් ප්‍රමාද වෙලා තියෙනවා. ඒ ගැන කතාබහ අඩුයි. අපි කතා කරන්න ඕන 18 වැනි වතාවටත් IMF එකෙන් ණය ගන්නෙ නැත්තෙ කොහොමද? 19 වැනි වතාවට නැවත ණය ගන්නේ නැතිව ඉන්නේ කොහොමද කියන එක ගැනයි. විශේෂයෙන්ම මේ වෙලාවේ IMF එකේ ණය අපිට ගන්න වුණා. කොවිඩ් සහ අපේ රටේ වංචා දූෂණ නිසා රට ආර්ථික වශයෙන් බින්දුවට වැටුණා.

බුදු දහමේ කියනවා ණය නොවී සිටීම සැපයක් කියලා. ඒ වගේම ණය ගැනීම සම්බන්ධයෙන් කියනවා දිළිඳු බවේ දුෂ්ට චක්‍රය කියලා. එය මනුස්සයටත් අදාළයි. දිළිඳු බවේ දුෂ්ට චක්‍රයට අපි ඇතුළත් වෙනවද එහෙම නැත්නම් ණය මානසිකත්වයෙන් මිදිලා යම්කිසි කාලයක් වැය කරලා ණයෙන් එළියට ගිහිල්ලා 2050 වෙද්දි රටේ මිනිස්සු කොතනට ද පත් කරන්න ඕනේ, රටේ මිනිස්සුන්ට එක එක පොඩි පොඩි සහනාධාර දෙනවට වැඩිය ව්‍යවසායකත්ව කරණය බලාත්මක කරන ක්‍රමවේදයක් මේ රටේ ඇති විය යුතුමයි. ආණ්ඩු පක්ෂය, විපක්ෂය මේ රටේ වෘත්තීය සංගම්, විශ්වවිද්‍යාල සියලු දෙනාම එකතු වෙලා රට ගොඩගන්න ක්‍රමවේදයක්, IMF නොයා ඉන්න ක්‍රමවේදයක් අපි සිතිය යුතුයි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division