ඔහුගේ නම ඉබ්‍රහිම් කාද්රි. නමුත් මහමඟ දී ඔහු හමුවන බොහෝ දෙනෙකු සිතන්නේ තමා ඉදිරියේ සිටින්නේ සුපිරි නළු ෂාරුක් ඛාන් කියා යි. ඉබ්‍රහිම්ගේ පෙනුම ඒ තරමටම ෂාරුක්ගේ පෙනුමට සමානයි. පෙනුම විතරක් නොව ඔහුගේ ඉරියව්, කතා බහ ආදිය ද ඒ වගේම බවයි සඳහන් වන්නේ.
ෂාරුක්ට අතිශයින් සමාන මේ පෙනුම නිසාම අද වනවිට ඉබ්‍රහිම් කාද්රි විශාල ප්‍රසිද්ධියක්, ජනප්‍රියත්වයක් දිනාගෙන සිටිනවා. විශේෂයෙන් ඔහු ෂාරුක්ගේ ඉරියව් පාමින් ඉදිරිපත් කරන වීඩියෝ ආදිය සමාජ මාධ්‍ය තුළ බොහෝ රසික රසිකාවියන් ආකර්ෂණය කර ගන්නට සමත්ව තිබෙනවා. ෂාරුක්ගේ ජනප්‍රියම ඉරියව්වක් වන දෑත් දෙපසට විහිදා දක්වන ඉරියව්ව පෙන්වන වීඩියෝවක් ද මෑත කාලයේ ඔහු නිකුත් කර තිබුණා. ඉබ්‍රහිම් මෙය රූපගත කර තිබුණේ ගුවන් තොටුපළකදීයි. මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත නිකුත් වී කෙටි කාලයක් ඇතුළත මිලියන 50 කට ආසන්න නැරඹුම් සංඛ්‍යාවක් එයට ලැබී තිබූ බව සඳහන්.
ඉබ්‍රහිම් වරක් පවසා තිබුණේ දැන් තමා සම්පූර්ණයෙන්ම වාගේ ෂාරුක්ගේ ‘ප්‍රතිබිම්බයක්’බවට පත්ව ඇති බවයි. තමාට විවිධ රටවල පැවැත්වෙන අවස්ථාවන්ට සහභාගි වන ලෙස ඇරයුම් ලැබෙන බවත් ඔහු පවසා තිබෙනවා. ඒ නිසාම තමාගේ ආර්ථික තත්ත්වය ද යහපත් වී ඇති බවයි ඉබ්‍රහිම් කියන්නේ.
ඉබ්‍රහිම් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජුනගාත් නමැති ප්‍රදේශයේ උපන් කෙනෙක්. 2017 වනතුරුම ඔහු කටයුතු කර තිබුණේ ගොඩනැඟිලි ආදියේ තීන්ත ආලේප කරන්නෙකු හැටියට යි. කෙසේ නමුත්, සියල්ල වෙනස් වීමට පටන් ගත්තේ ඉබ්‍රහිම්ට ඇත්තේ ෂාරුක් ඛාන්ගේ පෙනුමට සමාන පෙනුමක් බව ඔහුගේ හිත මිතුරන් මෙන්ම ඔහුට හිතවත් අය නිතර කියන්නට පටන් ගැනීමත් සමඟයි.
මිතුරන්ගේ මේ කතා මුලින් ඔහු එතරම් ලොකුවට ගණන් අරන් තිබුණේ නැහැ. නමුත් ඉබ්‍රහිම් ඒ ගැන ටිකක් බැරෑරුම්ව සිතන්නට පටන්ගෙන තිබුණේ ෂාරුක් රඟපෑ Raees නමැති චිත්‍රපටය නැරඹීමෙන් පසුවයි. මෙහි ෂාරුක් රඟපාන්නේ තරමක් වෙනස් චරිතයක්. මෙම සිනමාපටය නැරඹීමෙන් පසු තමා ගේ කායික හැඩරුව සහ හැසිරීම් වඩාත් ෂාරුක්ට සමාන වන සේ හැඩ ගස්වා ගැනීම සඳහා පියවර ගත් බව ඔහු සඳහන් කර තිබුණා.
කෙසේ නමුත් මඟතොට හමුවන අය තමා ෂාරුක් යැයි සිතීම නිසා තමාට විශාල ආදරයක් ලැබෙනවා වගේම යම් අභියෝග එල්ල වන බව ද ඉබ්‍රහිම් පවසනවා. සමහර අවස්ථාවල තමාට ආරක්ෂකයන් යොදා ගන්නට ද සිදුවන බවයි ඔහු කියන්නේ. ෂාරුක්ගේ ප්‍රතිරූපයට හානි නොවන ආකාරයෙන් කටයුතු කිරීමට තමා නිතරම වගබලා ගන්නා බවත් ඔහු සඳහන් කරනවා.
පෙනුමෙන් ෂාරුක්ට සමාන වීම නිසා ඉබ්‍රහිම් මේ වනවිට ලෝක ප්‍රසිද්ධියට පත්ව සිටියත් තවමත් ඔහු එක් වරක්වත් ෂාරුක් මුණගැසී නැහැ. ෂාරුක් මුණගැසීම සඳහා ඔහු තුළ ලොකු උනන්දුවකුත් නැති බවයි පෙනෙන්නේ. ඒ ගැන විමසන විට ඔහු දෙන්නේ අපූරු පිළිතුරක්.
“මට හිතෙන්නේ මම ෂාරුක් ඛාන් මුණගැසුණු දාට සියල්ල වෙනස් වෙයි කියලයි. ඒක හරියට මේ වගේ. ඔබ ඉතා වටිනා සුඛෝපභෝගී මෝටර් රථයකට ආසාවෙන් ඉඳලා අන්තිමේ ඒක ලබා ගත්තට පස්සේ ඒ ගැන තිබුණු උනන්දුව නැතිව යනවා. මම ෂාරුක් හමුවුණොත් සමහර විට දැන් මා තුළ ඔහු ගැන ඇති පිස්සුව අඩු වේවි” ඉබ්‍රහිම් පවසනවා. “නමුත් බැරි වෙලාවත් ෂාරුක් මාව මුණගැහෙන්න කැමැත්ත පළ කළොත් මම ඉතාම සතුටින් ඔහු හමුවෙන්න යනවා. නමුත් මගේ පැත්තෙන් ගත්තොත් ඔහු හමුවෙන්න යන්න මගේ හිතේ බලාපොරොත්තුවක් නැහැ” අන්න එහෙමයි ඉබ්‍රහිම් කියන්නේ.
ෂාරුක් ගැනත් මේ දිනවල බොහෝ තොරතුරු පළ වෙනවා. ඔහු King නමැති චිත්‍රපටයක මේ වනවිට රඟපාමින් සිටින බවයි පැවසෙන්නේ. මෙම චිත්‍රපටයේ ඔහු රඟපාන්නේ ඔහුගේ දියණිය සුහානා සමඟ බවත් පැවසෙනවා. King චිත්‍රපටය තාත්තා සහ දියණිය එකට රඟපාන පළමු සිනමාපටය යි.
කසුන් අරවින්ද