Home » පෙමට බෑ කීවාට යුවතියන්ට දුන් දඬුවම

පෙමට බෑ කීවාට යුවතියන්ට දුන් දඬුවම

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment

– තමන් පෙම් කළ යුවතියන් දෙදෙනෙකුගේ නිරුවත් රූ හදා අන්තර්ජාලයට දැමූ පුද්ගලයන් දෙදෙනෙක් සී.අයි.ඩී. අත්අඩංගුවට
– බළපිටියේදී ඇල්ලූ හිටපු නාවික සෙබළා යුවතියන්ගේ නිරුවත් ඡායාරූප ඇගේ යාළුවන්ටත් යවලා

මුහුණු පොත ඇතුළු අන්තර්ජාලය ඔස්සේ විශේෂයෙන් තරුණ කාන්තාවන් සහ සිසුවියන්ට සිදුවන අකටයුතු අසාධාරණ ක්‍රමයෙන් ඉහළ යන බවක් පෙනෙන්නට ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය මඟින් දිනපතාම පාහේ වාර්තා වන ප්‍රවෘත්ති නිසාය.

විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන තරුණ තරුණියන් අතර සිදුවන ආරවුල් අමනාප, වෛරය බොහෝ අවස්ථාවලදී අවසන් වන්නේ පෙම්වතියට අන්තර්ජාලය ඔස්සේ අගතියක් ඇති කිරීමෙනි. මෙවන් බොහෝ අවස්ථාවල පෙම්වතුන්ගේ ප්‍රේමය වෛරයට හැරී පෙම්වතියගෙන් පලිගන්නේ පෙම්වතිය මීට පෙර පෙම්වතාට එවා තිබුණු නිරුවත් ඡායාරූප මුහුණු පොත සහ අන්තර්ජාලයට එක්කර පෙම්වතිය අපහසුතාවට පත් කිරීමෙනි. එසේත් නැත්නම් පෙම්වතියගේ මුහුණ පරිගණක ක්‍රියාවලියකින් නිරුවත් කාන්තා රූපවලට බද්ධකර අන්තර්ජාලයට සහ මුහුණු පොතට මුදා හැරීමෙනි. මින් දෙවැනි අවස්ථාව සම්බන්ධයෙන් පොලිසිය, පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය පසුගිය දිනවල සැලකිය යුතු විමර්ශන සංඛ්‍යාවක් සිදු කරන ලදි.

ප්‍රේමය බිඳී යාම නිසා උරණ වූ පෙම්වතුන් දෙදෙනෙකු තම පෙම්වතියගේ මුහුණ නිරුවත් කාන්තා ඡායාරූපවලට බද්ධකර අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධීන් දෙකක් රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් පසුගියදා විමර්ශනය කර තිබුණි. පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරිගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඉසුරු ගුණතිලක විසින් මෙම විමර්ශන සිදු කරනු ලැබීය.

මෙහි මුල් සිද්ධිය වාර්තා වූයේ කොළඹ ප්‍රදේශයෙනි. ඇය 19 හැවිරිදි යුවතියකි. පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය කොළඹ වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක සේවිකාවක ලෙස සේවය කළාය. එම ප්‍රදර්ශනාගාරයේම සේවයේ නියුතු 39 හැවිරිදි පුද්ගලයෙක් මේ යුවතියට ප්‍රේම කළේය. ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකි. 19 හැවිරිදි යුවතිය මේ පුද්ගලයා ‘ළඟින්’ ආශ්‍රය කළත් ඔහු තමාට ප්‍රේම කරන බව දැන සිටියේ නැත. 19 හැවිරිදි යුවතියට ආර්ථික අපහසුතා ඇති වූ අවස්ථාවල 39 හැවිරිදි පුද්ගලයා ඇයට මුදල්වලින්ද උපකාර කළේ යටි හිතේ ඇය සම්බන්ධව ආදරයක් ඇතිවය.

මේ පුද්ගලයා 19 හැවිරිදි යුවතියට තම ආදරය ප්‍රකාශ කරන්නේ ඔය අතරේදීය. යුවතිය කෙළින්ම එය ප්‍රතික්ෂේප කළාය. තමන්ට 19 හැවිරිදි යුවතියගේ ආදරය නොලැබෙන බව දැනගත් 39 හැවිරිදි පුද්ගලයා උරණ විය. ඔහු යුවතියට පාඩමක් උගන්වන්නට තීරණය කරන්නේ ඉන් අනතුරුවය. ඒ සඳහා ඔහු තෝරා ගන්නේ අන්තර්ජාලයයි. 19 හැවිරිදි යුවතියගේ මුහුණ පරිගණක තාක්ෂණයෙන් නිරුවත් ඡායාරූපයකට බද්ධකර එය අන්තර්ජාලයට මුදා හැරිය සැකකරු ඒ බව ආයතනයේ සෙසු සේවක සේවිකාවන්ට පෙන්වා තිබිණි. මේ බව දැනගත් 19 හැවිරිදි යුවතිය 39 හැවිරිදි පුද්ගලයා කළ පහත් ක්‍රියාවෙන් කම්පා වූවාය. ඇය ඒ බව රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය.

පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ඉසුරු ගුණතිලක කොස්තාපල්වරුන් වන තේෂාන් සහ හේවගේ යන නිලධරයන් අදාළ ප්‍රදර්ශනාගාරයට ගොස් විමර්ශන ආරම්භ කරන්නේ එහි නිලධාරීන් සහ සේවකයන් කීප දෙනෙකුගෙන් ද කටඋත්තර ද ලබා ගනිමිනි.

මෙහිදී හෙළි වන්නේ සැකකාර 39 හැවිරිදි පුද්ගලයා 19 හැවිරිදි යුවතියගෙන් පළිගැනීමට සහ ඇය සමාජයේ නරක ගැහැනියක බව සෙසු අයට ඒත්තු ගැන්වීමට මේ ක්‍රියාව සිදුකර ඇති බවයි. ඉන් අනතුරුව ඔහු සැකපිට අත්අඩංගුවට ගැනිණි.

මෙහි දෙවැනි සිද්ධියද මීට සමාන එකකි.

බළපිටිය ප්‍රදේශයේ පදිංචි හිටපු නාවික සෙබළෙකු තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන්නේ කලක සිටය. මේ දෙදෙනා අතර කිසියම් හේතුවක් නිසා ප්‍රේම සබඳතාව නැවැත්වීමට තරුණිය තීරණය කළාය. ඒ පසුගියදාය. මින් උරණ වූ බළපිටියේ පදිංචි හිටපු නාවික සෙබළා පෙම්වතියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මාර්ගයෙන් පෙම්වතියගේ මිතුරු මිතුරියන් වෙත යොමු කරන්නේ ඇය අපහසුතාවට පත් කිරීම සඳහාය. මේ වට්ස්ඇප් ඡායාරූප ලැබුණු අය යුවතිය අමතා ඇයට මේ බව පවසන්නේ ඉන් අනතුරුවය.

තරුණිය මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කළාය. එහි උප පොලිස් පරීක්ෂක ඉසුරු ගුණතිලක ඇතුළු කණ්ඩායමක් සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව සැකකාර හිටපු නාවික සෙබළා අත්අඩංගුවට ගැනිණි. ඔහුගේ ස්ථීර පදිංචිය බළපිටිය, පාරුතොටය.

සැකකාර හිටපු නාවික සෙබළා අධිකරණයට ඉදිරිපත් කළ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධරයන් අධිකරණයට කරුණු වාර්තා කරමින් මේ සිද්ධියට හේතු පාදක වූ කරුණු කාරණා ද මුළුමනින්ම හෙළි කරන ලදි. ඒ අනුව මේ සැකකරු පරිගණක පනත මෙන්ම ලංකා දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව වරදක් සිදුකර ඇති බවද අධිකරණයට දැනුම් දෙන ලදි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන්කර නැති බවද සැකකරු නාවික හමුදාවේ සේවය කර ඇති බවට එම මූලස්ථානයෙන් වාර්තා කැඳවිය යුතු බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ විමර්ශන නිලධරයෝ අධිකරණයට කරුණු වාර්තා කරන ලදි. ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂිකා දර්ශිකා කුමාරිගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නදීකා ගුණසේකර, උප පොලිස් පරීක්ෂක ඉසුරු ගුණතිලක ඇතුළු නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලදි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division