Home » බම්බලපිටියේ ත්‍රීවීල් හොරු පොලිසියට හෙළි කළ රහස

බම්බලපිටියේ ත්‍රීවීල් හොරු පොලිසියට හෙළි කළ රහස

by thanushika
July 6, 2024 12:30 am 0 comment

මිනීමැරුම් කොල්ලකෑම් සහ සංවිධානාත්මක අපරාධ සිදුකර පලා ගොස් සැඟවී සිටින පුද්ගලයන් කුමන මොහොතක හෝ පොලිස් අත්අඩංගුවට පත්වන්නේ අපරාධයක් සිදුකර කිසිවකුට වසංවී සිටිය නොහැකි යයි යන ධර්මතාව පසක් කරමිනි. මේ ආකාරයට ඉතා සංවිධානාත්මක අපරාධ සිදු කරන ලද කල්ලි කණ්ඩායම්වල සාමාජිකයන් දීර්ඝ කාලයකට පසුව හෝ පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිදුවීම් ගණනාවක් පසුගියදා වාර්තා විය.

මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සිදුකර පලාගොස් වසර ගණනාවක් සැඟවී සිටි පුද්ගලයන් රැසක් මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව සිටින්නේ අපරාධ සිදුකර සැඟවීම එතරම් ලෙහෙසි පහසු නොවන බව පසක් කරමිනි. මේ අතරිනුත් ඉතා සුවිශේෂීම කාරණය වන්නේ මෙසේ අත්අඩංගුවට ගන්නා ඇතැම් අපරාධකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යද්දී එතෙක් මෙතෙක් පොලිසියටවත් හෙළිකර ගැනීමට නොහැකි වූ අපරාධ ගැන තොරතුරු එම පුද්ගලයාගෙන් අනාවරණය කරගැනීමට හැකි වීමයි. ඊට ආසන්නම උදාහරණය තණමල්විල පොලිසිය පසුගියදා සිදු කරන ලද විමර්ශනයයි.

තණමල්විල ප්‍රදේශයේ ගොවිබිමක පිහිටි කුඩා නිවෙසක සැක කටයුතු පුද්ගලයකු සිටින බවට බුද්ධි තොරතුරුවලින් හෙළිවූ අතර පොලිසිය අදාළ ගොවිබිමට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යද්දී හෙළි වූයේ එම පුද්ගලයා මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් අවුරුදු ගණනාවක් තිස්සේ පොලිසිය සොයමින් සිටි අයකු බවයි. වාහනයක් කුලියටගෙන එහි රියැදුරු ඝාතනය කර අදාළ වාහනය පැහැර ගැනීම සම්බන්ධයෙන් සැකකරු පොලිසියට අවශ්‍යව සිටි අයකු බවද විමර්ශනවලදී හෙළි විය. එහෙත් පොලිසිය මේ වගක් මුලින් දැන නොසිටි අතර ප්‍රශ්න කිරීමේදී මේ ඝාතනය ගැන තොරතුරු හෙළි විය.

පොලිසිය පසුගිය දිනවල සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලදී මෙලෙසම සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ගණනාවක්ගෙන් ඔවුන් කලින් සිදු කරන ලද අපරාධ පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විය.

මේ සිද්ධියද එවැන්නකි. වාර්තා වූයේ කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙනි.

ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් සොරකම් ගණනාවක් පසුගිය දිනවල රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ අතර ඒ අතරිනුත් පළමු තැන ලැබුණේ ත්‍රිරෝද රථ සොරකම්වලටය. අතරමඟ නවතා යන ත්‍රිරෝද රථ සොරකම් කරගෙන ගොස් ඒවා කැබලිවලට ගලවා කොටස් වශයෙන් විකිණීම, ලියාපදිංචි අංකය, චැසි එන්ජින් අංක වර්ණය පවා වෙනස්කර අඩු මිලට විකිණීම ඉතා සංවිධානාත්මක ලෙස දිගින් දිගටම සිදුවුණු අතර පොලිසියේ අවධානයද විශේෂයෙන් මේ පිළිබඳව යොමු වූයේ යුක්තිය මෙහෙයුමටද ත්‍රිරෝද රථ සොරකම් පිළිබඳ විමර්ශනද එක්කාසු කර ගනිමිනි. ත්‍රිරෝද රථ සොරකම් සහ සමානව මෝටර් බයිසිකල් සොරකම් ගණනාවක් ද පොලිසියට වාර්තා වී තිබිණි.

ත්‍රිරෝද රථ මෙන්ම මෝටර් බයිසිකල් සොරා ගන්නා කල්ලි කණ්ඩායම් ඒවා කෑලිවලට ගලවා අමතර කොටස් ලෙස අලෙවි කිරීම හෝ එන්ජින් චැසි අංක වෙනස්කර අඩු මිලට අලෙවි කිරීම එසේත් නැත්නම් සොරකම් කරන ලද මෝටර් බයිසිකල්වලින් ගොස් අපරාධ සිදුකර පසුව අදාළ මෝටර් බයිසිකලය කුමන හෝ ස්ථානයක දමා පලා යාම පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබිණි.

මෙලෙස ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් සොරකම් කරන සංවිධානාත්මක කණ්ඩායම් පිළිබඳවද සොයන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ බුද්ධි නිලධාරියකුට පසුගිය දිනෙක තොරතුරක් ලැබෙන්නේ බම්බලපිටිය පොලිස් වසමේදී පසුගිය දිනෙක කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කරගෙන ගොස් තිබුණු ත්‍රිරෝද රථයක් රත්මලාන දුම්රිය පොළ පාරේ කිසියම් ස්ථානයක නවත්වා ඇති බවය.

එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සොයා බැලීමෙන් අනතුරුව එහි සත්‍යතාවයක් ඇති බව දැනගත් පොලිස් කණ්ඩායමක් ක්ෂණිකව ක්‍රියාත්මක වී රත්මලාන දුම්රියපොළ පාරේ අදාළ ස්ථානයට යන්නේ හැකි ඉක්මනිණි. එහිදී ත්‍රිරෝද රථය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.

එලෙස සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් වෙන වෙනම ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ මේ පුද්ගලයන් දෙදෙනා කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවලට ගොඩවී අතරමඟදී තියුණු ආයුධ එල්ලකර ත්‍රිරෝද රථ රියැදුරන් බිය ගන්වා ඔවුන් සතු මිල මුදල්, රන් භාණ්ඩ කොල්ලකා රියැදුරාද ඇද දමා ත්‍රිරෝද රථ පැහැරගෙන යන සංවිධානාත්මක කණ්ඩායමකට අයත් අය බවය.

මේ සැකකරුවන් දෙදෙනාගෙන් එලෙස දීර්ඝ ලෙස ප්‍රශ්න කළ පොලිසිය තවත් සුවිශේෂී කාරණයක් අනාවරණය කරගන්නේ ඔය අතරය. සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් පාණදුර, හිරණ ප්‍රදේශයේදී පසුගිය දිනෙක සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ අයකු බවට තොරතුරු හෙළිවන්නේ ඔය අතරය. හිරණ ප්‍රදේශයේදී කොල්ලයක් සිදු කිරීමට ගිය අවස්ථාවකදී මේ කොල්ලකරු පොල්ලකින් පහර දීම නිසා පුද්ගලයකු ජීවිතක්ෂයට පත්විය.

පාණදුර, හිරණ ප්‍රදේශයේදී මෙලෙස ඝාතනය කර තිබුණේ වෙළෙඳසල් හිමියෙකි. මේ සැකකරු වෙළෙඳසල් හිමියා බිය ගැන්වීම සඳහා පොල්ලකින් පහරදී ඇති අතර එහිදී වෙළෙඳසල් හිමියා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බරපතළ තුවාල සහිතවය.

සැකකරුවන් දෙදෙනාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී ඔවුන් දෙදෙනා බම්බලපිටිය, හිරණ, පාණදුර දකුණ, ගල්කිස්ස පොලිස් වසම්වල සිදු කරන ලද ත්‍රිරෝද රථ කොල්ලකෑම්, රන් ආභරණ පැහැර ගැනීම් ඇතුළු අපරාධ රැසක තොරතුරු හෙළි විය.

මෙලෙස අල්ලා ගන්නා ලද දෙදෙනාගෙන් ප්‍රධාන සැකකරු සම්බන්ධ තවත් සුවිශේෂී සිද්ධියක් පොලිසිය විසින් අනාවරණය කරගන්නේ ඔය අතරය. ඒ මීට කලකට පෙර දුම්රියේ ගමන් කළ යුවළකගේ අත්පා කැපෙන සේ කඩුවලින් පහරදී තුවාල කර ඔවුන් සතු රන් ආභරණ කොල්ලකා ඇත්තේ මේ පුද්ගලයා විසින් බවය. එම සිද්ධිය එම දිනවල රටේ ප්‍රධාන පුවතක් විය.

මේ පුද්ගලයන් දෙදෙනා විසින් සොරකම් කරන ලද ත්‍රිරෝද රථ දෙකක්, ජංගම දුරකතන පහක්, රන් භාණ්ඩ උකස් කරන ලද රිසිට්පත් කීපයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරංජන් අබේවර්ධන, සහකාර පොලිස් අධිකාරි ඒ. ජී. වයි. එස්. කීර්තිසිංහ යන නිලධරයන්ගේ උපදෙස් මත කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එච්.සී. අජිත් කුමාර, උප පරීක්ෂක බිනෝයි මෙරිනෝ, කොස්තාපල්වරුන් වන (30861) විපුලසේන, (26024) කුමාර, (35676) අවිශ්ක, (103430) සඳකැළුම්, (104928) ඉෂාර, පොලිස් කොස්තාපල් රියැදුරු (99023) වර්ණකුලසූරිය යන නිලධාරින් විමර්ශන සිදුකරන ලදි.

ඡායාරූප කොට්ටාව ප්‍රදීප් කුමාර

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division