Home » තාත්තාගේ රන් – මුදල් උස්සා පෙම්වතිය පෝසත් කරන්න පුත්‍රයා ගහපු ගේම

තාත්තාගේ රන් – මුදල් උස්සා පෙම්වතිය පෝසත් කරන්න පුත්‍රයා ගහපු ගේම

by thanushika
July 6, 2024 12:30 am 0 comment

වත්තේ නවතා තිබූ ලොරියක ආරක්ෂාවට තැබූ රුපියල් ලක්ෂ 16කට ආසන්න වටිනාකමකින් යුත් රන් බඩු සහ මුදල් සොරකම් කළ තරුණයකු සහ තවත් පුද්ගලයකු ඇහැටුවැව පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදි. මේ සිද්ධියේ විශේෂත්වය වන්නේ සැකකරු මුදල් සහ රන් බඩු අයත් පුද්ගලයාගේ පුත්‍රයා වීමය. සෙසු සැකකරු පුත්‍රයා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යුවතියගේ පියායි.

ඉකුත් දා සිදු වූ මේ සොරකම සම්බන්ධ සැකකරුවන් පසු දිනයේම එම පැමිණිල්ල ලද සැණින් කොටුකර ගැනීමට පොලිසියට හැකි විය.

මේ සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

පැමිණිලිකරු ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකි. ඔහු අන් අයගේ ආරක්ෂාව උදෙසා තම සේවාව කැප කළත් තම පුතාගෙන් නිවසේ තිබූ දේපොළ ආරක්ෂා කිරීම ඔහුට ලෙහෙසි පහසු කාර්යයක් නොවුණි. මේ නිසාම තම පියා නිවසේ නිදා ගන්නා විටදී පවා මුදල් හා රන් බඩු කොට්ටය යට තබා නිදා ගන්නේය. ඒ ඒවා සොර සතුරන්ගෙන් රැක ගැනීමට නොව පුතාගෙන් ආරක්ෂා කර ගැනීමටය.

ඔහු තමන් යන එන තැනට පවා ඒවා රැගෙන ගියේය. ඉකුත් දා උදේ ඔහු තම ලොරි රථයෙන් බුලත් කොටුවට ගියේ එහි සේවකයින් වැඩ කරනවා බලන්නටය.

එසේ යන විටත් අල්මාරියේ තිබූ ‘සේසතම’ ඉන් ඉවතට ගෙන රථයට දැම්මේය. රථය වත්තේ හෙවණක නවතා රන් බඩු, මුදල් එහි කැබින් එකට දමා දොරගුළු වසා ඔහු බුලත් වත්තට ගොස් ආපසු එන විට රථයේ ඉදිරි දොර වීදුරුවට ගලකින් ගසා බිඳ දමා එහි සුරක්ෂිතව තැබූ සියල්ලම රැගෙන ගොස්ය. සොරකම කර ඇත්තේ තම පුතාය. ඒ නිසා පොලිසියට නොගොස් පුතා සොයන්නට උත්සාහ කළේය. ඒ සිද්ධිය ගොඩින් බේරා ගැනීමටය.

නමුත් ඔහු ආගිය අතක් නැත. මේ නිසා පියා පුතාට එරෙහිව පසු දින පොලිසියේ පිළිසරණ පැතීය. මුදලින් 58,000ක් සහ රුපියල් පහළොස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් රන් බඩු සියල්ල පුතා සොරාගෙන ඇතැයි පියාගේ පැමිණිල්ලේ සඳහන් විය.

ඇහැටුවැව පොලිසිය මේ සිද්ධිය අවට පොලිස් ස්ථාන වෙතද දැනුම් දුන්නේය. ඔත්තුකරුවන් වටේට දැම්මේය. ගත වූයේ නිමේෂයකි. ස්ථානාධිපතිට තොරතුරක් ලැබුණි. ඒ ‘පුතා’ තවත් අයෙකු සමඟ මීගලෑව දෙසට යන බවය. ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් ඒ පසුපස ලුහුබැඳ ගොස් නගරයේ රාජ්‍ය බැංකුවක් අසලදී දෙදෙනාම කොටුකර ගන්නේ විනාඩි කීපයක් ඇතුළදීය.

තාත්තාගෙන් සොරාගත් මුදල් රුපියල් 58,000 අතරින් රුපියල් 484ක් හැරෙන්නට සියල්ලම ඒ වන විට වියදම් කර අවසන්ය. ඒ මුදල් වැයකර අලුතින් ස්මාර්ට් ජංගම දුරකථනයක්, ඔහුට සහ පෙම්වතියට පවර් බෑන්ක් දෙකක් සහ පෙම්වතියට ගමන් බෑගයක් අරගෙන දී තිබුණි.

උකස් තබන්නට රැගෙන ගිය රන්මාල 02ක්, අත්පලඳනාවක්, මංගල මුදු 03ක්, තැලි 02ක්, කරාඹු ජෝඩු 02ක් ඇතුළු රන් ග්‍රෑම් හැටකට ආසන්න බරකින් යුත් රන්බඩු සියල්ලම සොයා ගැනීමට පොලිසියට හැකි විය. සැකකරු මේවා රැගෙන පලාගොස් පෙම්වතියගේ නිවසේ එදින කාලය ගත කොට පසුදින ඇගේ පියා වන අනාගත මාමණ්ඩි සමඟින් ආභරණ බැංකුවට උකස් තැබීමට පැමිණීම විශේෂත්වයකි. එම රන් බඩු උකස් තබා ගන්නට ගිය මුදලින් පෙම්වතියට හිත පිරෙන්නට තෑගි භෝග අරගෙන දෙන්නට ඔහු සැලසුම් කර තිබුණි.

ඔවුන් දෙදෙනා මෙන්ම පදවාගෙන ගිය යතුරුපැදිය ද අත්අඩංගුවට ගැනිණි. සැකකරුවන් ගල්ගමුව මහේස්ත්‍රාත් ඩී. එම්. රවීන්ද්‍ර රන්ජන් බණ්ඩාර වෙත ඉදිරිපත් කෙරිණි. ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කෙරුණි. සොරා ගත් සියලු රන් බඩු අනන්‍යතාව තහවුරු කර පැමිණිලිකරුට මෙදිනම ලබාදීමට ද මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.

අවුරුදු 23 ක් වයසැති මෙම තරුණ පුත්‍රයාට එරෙහිව බාල අපරාධ තුනක් සම්බන්ධව ගල්ගමුව අධිකරණයේ තවමත් නඩු විභාග වෙමින් පවතී. ඔහු වසර පහකට අත්හිටුවූ සිර දඬුවම් ලබා සිටින අයෙකි. මෙම තත්ත්වයන් නිසාම පුතාගේ කැරැට්ටුව දන්නා පියා තම පුතාගෙන් රන්බඩු සහ මුදල් ආරක්ෂා කර ගැනීමට දැඩි වෙහෙසක් ගන්නේ ඒ නිසාම බවද පොලිසිය සඳහන් කළේය.

වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාර සහ ගල්ගමුව සහකාර පොලිස් අධිකාරී ජීවක රාජපක්ෂ යන නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් ඇහැටුවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.එන්.රත්නායක, පොලිස් පරීක්ෂක ෂෙල්ටන් රාජපක්ෂ, සැරයන්වරුන් වන උදයසිරි (4210), ආරියතිලක (29776), සහ කොස්තාපල් රියැදුරු කරුණාරත්න යන නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහභාගි වුහ.

පොල්පිතිගම නන්දන කැලේගම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division