Home » මස් රාත්තලම ඉල්ලන (මොඩර්න්) ෂයිලොක්ලා

මස් රාත්තලම ඉල්ලන (මොඩර්න්) ෂයිලොක්ලා

by Mahesh Lakehouse
July 6, 2024 12:28 am 0 comment

ගුරුවරු දෙවියන් යැයි සැලකේ. ඒ ගුරුවරයාට සිසුන් දක්වන ගෞරවය නිසාමය. දිසාපාමොක් ගුරු සමයේ අධ්‍යාපනය ලබන්නට එන රාජ රාජ මහාමාන්‍යාදීන්ගේ දරුවන් අතරින් හොඳම ශිෂ්‍යයාට තම දියණිය සරණපාවා දුන් බව ජාතක කතාවල දැක්වේ. කෙසේ වුව ද අගහිඟකම්වලින් පෙළෙන සිසුන්ට කුමන අයුරකින් හෝ උපකාර කිරීමට සමස්ත ගුරු පරපුර අතීතයේ සිටම කටයුතු කළහ. මුදල් වටිනාකම පසෙක තබා ඔවුන් තම සිසුන්ට ශාස්ත්‍රය ප්‍රගුණ කළහ.

එවන් ගුරු පරපුරක් ඔන්ලයින් ක්‍රමයකට හැඩගැසීම දියුණු තාක්ෂණ ක්‍රමයක් වුවත් මුදල්මය වටිනාකමක් ගුරු භක්තිය හා මුසුව ඇති බව පෙනී යයි. අද ගුරුවරයා තම වැටුප් ඉල්ලා කලක සිටම වැටුප් අරගලයක නිරතව සිටිති. තමන් වැඩ කරන පාසලට අධ්‍යාපනය බෙදීම අතහැරදමා ඔවුන් මෙම අරගලය වෙනුවෙන් කටයුතු කිරීමට පෙලඹී තිබේ.

මෙයට වසර දහපහළොවකට පමණ පෙර මේ ෂයිලොක්ලා පිරිසම ගුරුවරුන්ව පාරට බැස්සවීම වෙනුවෙන් තවත් අපූරු දෙයක් හඳුන්වා දී තිබිණි. අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගයට පිළිතුරු ලියූ සිසුන් තම ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටියේ සිසුන් කොටසක් විදේශ අධ්‍යාපනයට අයදුම් කිරීමටය. ඒ සඳහා අයදුම් කිරීමේ අපේක්ෂාවෙන් සිටි තමන් පිළිතුරු පත්‍ර පරික්ෂා නොකිරීම හේතුවෙන් ප්‍රතිඵල ප්‍රමාද වන බව පෙනෙන්නට විය. සිසුන් පිරිසෙන් දෙදෙනෙක් තම දෙමාපියන් සමඟ ගොස් නීතිඥයින් හමුවී මේ සඳහා නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කළහ. සිසුන්ට අධ්‍යාපනය ලැබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළ වගන්තියක් නිසා සිසුන්ගේ මූලික අයිතිවාසිකම් මේ මඟින් කඩවන බව නීතිඥයන් පෙන්වාදීමෙන් පසු සිසුන්ගේ උපදෙස් පරිදි මේ වගඋත්තරකරුවන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

මේ පෙත්සම්වලට වගඋත්තරකරුවන් ලෙස ගුරු සංගම්වල නියෝජිතයන්ගේ නම් සඳහන් කර තිබුණි. ඔවුන් නම් ජෝශප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ සහ පූජ්‍ය යල්වල ඥාණසේකර යන හිමිනමක් ඇතුළු නමක් ගුරුවරුන් පිරිසකි.

මේ පෙත්සම සලකා බැලුවේ විවෘත අධිකරණය ඉදිරියේය. එවකට අගවිනිසුරු පදවිය ඉසිලූ සරත් එන්. සිල්වා මහතා ප්‍රධාන විනිසුරු මඬුල්ලක් මෙම පෙත්සම් විභාග කිරීමට යොදවා තිබිණි.

පෙත්සම් දෙකම එක පෙත්සමක් සේ සලකමින් අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළේය. එපමණක් නොව පෙත්සමේ සඳහන් වගඋත්තරකරුවන් සියලු දෙනාටම අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසටත් නියෝග කළේය.

පසු දිනයකදී වගඋත්තරකරුවන් සියල්ලම අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ. අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ඉදිරියේ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පයිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් කියා සිටියේ වගඋත්තරකරුවන් පිරිස අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම වර්ජනය නිසා සිසුන්ගේ ප්‍රතිඵල ප්‍රමාද වන බවත් එසේ වීමෙන් ඔවුන්ට වෙනත් රටවල විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතියට අගතියක් සිදුවන බවත්ය.

මෙම කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අතර වගඋත්තරකරුවන් පිරිස දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළහ.

වගඋත්තරකරුවන් පිරිස රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ නියෝගයෙන් පසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සානුකම්පිතව සලකා බලා වගඋත්තරකරුවන් ඇප මත මුදාහරින ලෙසය.

මෙම නියෝගයෙන් පසු එදින අධිකරණ කටයුතු නිමාවූ නිසා වගඋත්තරකරුවන් පිරිස බන්ධනාගාර නිලධාරින් යටතට පත් කළහ. වගඋත්තරකරුවන් සමඟ උසාවියට පැමිණි ඔවුන්ගේ හිතවතුන් හතර අතේ දුවන්නට වූහ. සුදුසු ඇපකරුවකු සහ මුදල් සොයා ගැනීම ඉක්මනින් කළ නොහැකි දුෂ්කර කාර්යයක් වුවත් පසුව සවස 5 පමණ වන විට වගඋත්තරකරුවන්ට රුපියල් පනස්දහසක මුදලක් තැන්පත් කළහ. අනතුරුව ඔවුන් මුදා හැරිණි. මේ සිදුවීමෙන් දිනකට පසුව ගුරුවරුන් පිළිතුරු පත්‍ර පරික්ෂාව ආරම්භ කළ අතර අර්බුදය එතනින් නිම විය.

මා මේ කරුණ සඳහන් කළේ උත්තර පත්‍ර ලකුණු නොකිරීම නිසා විභාග ප්‍රතිඵලය පමාවීමෙන් විදේශ රටකට අධ්‍යාපනය ලබා ගැනීමට යාම ප්‍රමාද වීමෙන් සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බව අධිකරණය ප්‍රකාශ කිරීම නිසාය. එනිසා මෙලෙස සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාළ කොට උද්ඝෝෂණවලට යෑමෙන් සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට තීන්දු කරන ලෙස ඉල්ලා සිසුන් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහොත් යුක්තිය ඉටුකිරීම අධිකරණයේ කාර්ය භාරයක් බව විනිසුරුවරුන් පෙන්වා දෙනු ඇත. එවැනි දෑ සිදුවන විට ගුරුවරු දෙවිවරු නොව සිසුන්ගේ හතුරන් බවට සමාජයේ මතයක් නිර්මාණය වීමට ද ඉඩ තිබේ.

වැටුපට අමතරව සෑම ගුරුවරයෙක්ම පාහේ මොන මොනවා හරි ක්‍රමයකින් ටියුෂන් දී සිසුන්ගෙන් මුදල් අයකර ගැනීමට පුරුදුව සිටිති. ඒ ඔවුන්ගේ වැටුපට අමතරවය.

ගුරුවරු එක් දෙයක් මතක තබා ගත යුතුව ඇත. ඔවුන්ට වැටුප් ගෙවන්නේ මේ රටේ අහිංසක මහජනතාවගේ බදු මුදල්වලිනි. ඒවා දේවාලයේ දෙවියන්ට අයත් පඬුරු හා සමානය.

වැඩ නොකර නිකන් වැටපු ලබා ගැනීම වනාහි සහගහන අපරාධයකි. එවන් ගුරුවරුන් කිසිදා හෝ තම ජීවිත කාලය තුළම පසුතැවිලි වන්නට බොහෝ දුරටම ඉඩකඩ තිබේ. මක්නිසාද යත් ස්වභාව ධර්මය මේ සියල්ලම දෙස නිසොල්මන්ව නිරීක්ෂණය කරන නිසාය. හොඳ ගුරුවරු දකින දෙවියොත් ඔවුනට නමස්කාර කරන්නේ එනිසාය.

රත්නපාල ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division