Home » මහ දේවාලය ඇතුළේම කතරගම කපුවෝ කපෝති

මහ දේවාලය ඇතුළේම කතරගම කපුවෝ කපෝති

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment

මේ ඇරුඹුණේ ඇසළ මාසයයි. අපේ රටේ ජනතාවට ඇසළ මාසය වඩාත් වැදගත් වන්නේ රුහුණු කතරගම මහා දේවාලයේ පැවැත්වෙන ‘පෙරහැර මංගල්‍යය’ නිසාය. කතරගම මහා දේවාලයේ සම්ප්‍රදායක් වශයෙන් පැවැත්වෙන ප්‍රධාන මංගල්‍යය උත්සව තුනකි. අවුරුදු මංගල්‍යය, ඇසළ මංගල්‍යය සහ ඉල්මහා මංගල්‍යය යනු එම ප්‍රධාන මංගල්‍යය උත්සව තුනයි. මෙයින් සුවිශේෂී ස්ථානයක් උසුලන්නේ ඇසළ මහා මංගල්‍යය යැයි කීවොත් එහි කිසිදු තර්කයක් නැත. එසේම, අපේ රටේ සිංහල, හින්දු සහ මුස්ලිම් මෙන්ම ආදීවාසී වැදි ජනයා ඇතුළු සියලු ජනී ජනයාගේ ආගමික පෙරහැරක් ලෙසින්ද මේ රුහුණු කතරගම මහා දේවාල පෙරහැර අවිවාදයෙන් දැක්විය හැකිය.

දේවාල පෙරහරේ අරමුණු අතර ප්‍රධාන වන්නේ බැතිමතුන්ගේ අපල උපද්‍රව්‍ය දුරුකිරීම, දේවශිර්වාදය ලබා ගැනීම, රටට සෙත්පැතීම, වර්ෂාව හා සශ්‍රීකත්වය ලබා ගැනීම මෙන්ම ස්වභාවික විපත්වලින් රට බේරාගැනීම වුවත්, වසරේ සෑම කාලයකදීම කතරගම දෙවි පුදබිම වන්දනා කිරීමට බැතිමතුන් ඉතසිතින් පෙළ ගැසී සිටින්නේ හුදෙක්ම මේ අරමුණු නිසාමය. විශේෂයෙන්ම කතරගම දෙවිදුන් රුහුණු පුරේ මෙන්ම බුදු දහමේ ආරක්ෂකයා ලෙසින් සැලකෙන අතර, බෞද්ධ පුරාවෘත්තයන්හි පැවසෙන්නේ කතරගම දෙවියෝ ලංකාව පාලනය කරන සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනෙකු ලෙසින්ය. මේ හේතු කාරණා නිසාම වසරේ සෑම දිනකම ආගම් භේදයකින් තොරව කඳසුරිදු වැද පුදා ගන්නට රටේ නන් දෙසින් පමණක් නොවන දකුණු ඉන්දියාවේ සිටද ජනතාව කතරගම පුරවරයට ඇදී එති.

මේ සුපින්වත් ශුද්ධ භූමිය ගැන දහසක් තොරතුරු ලියන්නට කියන්නට තිබියදී පසුගියදා ඇසුණු පුවතකින් මුළු මහත් බැතිමත් හුදී ජනයාගේ හදවත් පහන් සංවේගයෙන් ඔද වැඩුනේ නම් නැත. “කතරගම ඇසළ මහා මංගල්‍යය ආරම්භ වීමත් සමඟ පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර දේවාල භූමියේදී ගුටිබැට හුවමාරුවක්”, “ පුද පඬුරු බෙදා ගන්න කතරගම කපුවෝ මරා ගනිති”, මේ ආකාරයේ නානා විද ශීර්ෂ පාඨ ඔස්සේ ඉකුත් සතිය පුරාවටම විවිධ මාධ්‍ය ඔස්සේ ජනතාවට රැගෙන ආවේ රුහුණු කතරගම මහා දේවාලයේ නොඇසෙන්නට ඕනෑ කාරණාවන්ය.

කතරගම සුරිඳුන් වැද පුදා ගන්නට ශ්‍රද්ධාවෙන් පෙළ ගැසෙන බැතිමතුන් අපල උපද්‍රව කරදර හිරිහැර වෙනුවෙන් වූ භාරහාර ඔප්පු කිරීමට දහස් ගණනින් මුදල් මෙන්ම රන් ආභරණ ද පඩුරු පාක්කුඩම් ලෙසින් සාදු සිතින් යුතුව දෙවියන් ඉදිරියේ පූජා කරති. ඒ බැතිමත් ජනතාව කතරගම දෙවියන් කෙරෙහි ඇති ශුද්ධාව මෙන්ම භක්තිය නිසාය. එහෙත් සැබෑවටම සිදුවන්නේ ඒ පුද පඬුරු දේවාලයේ කපුමහතුන්ගේ බූදලයක් වීම පමණක් නම්? එපමණක් නොව, දෙවියන් ඉදිරියේ පූජා වට්ටි තබා ඊට දහස් ගණනින් මුදල් හෝ රත්රන් පුරවා දෙවියන් ඉදිරියට දීමෙන් පින් ලැබෙනවා යැයි සිතමින් බොහෝ දෙනෙක් සිදුකරන්නේ මේ වංචාවට ආධාර අනුබල දීම නම්, ඇති හැකි අය පමණක් නොව අසරණ අහිංසක ජනතාව ද මේ කතරගම භූමියට එන්නේ සිය දුක්ඛ දෝමනස්සයන්ට දෙවියන් ඉදිරියේ පිහිටක් ලබා ගනු වස්ය. ඇති හැකි අය ගැන නොව දුප්පත් අසරණ ජනතාව ගැන සිතුවොත් ඔවුන් සිය දහඩිය මහන්සියෙන් උපයා සපයා ගන්නා දෙයින් කොටසක් දෙවියන්ට පූජා කරනවා වන්නට පිළිවන. ඒ අයගේ දුක් කඳුළු කැට මේ ආකාරයට පූජා වට්ටියෙන් කපුවන්ගේ ගොඩට වැටෙන්නේ නම් ඇස් දොළොසක් ඇති කඳසුරිදු මේවා බලා සිටිනවාදැයි ඔවුන්ට සිතෙන්නට බැරි නැත.

මේ ආකාරයෙන් පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් මෙන්ම රන් ආභරණ බෙදා ගන්නට ගොසින් රුහුණු මහා කතරගම දේවාලයේ කපු පරපුර දෙකක් අතර ඉකුත් 30 වැනිදා පස්වරුවේදී ඇති වූ ගැටුමක් දුරදිග ගොස් නතර වුණේ අධිකරණයෙනි. ගැටුමෙන් තවත් පාර්ශ­්වයකට රෝහල්ගත වන්නටද සිදුවිණ. කතරගම පොලීසිය කියන්නේ, මේ ගැටුම හටගත්තේ දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර සහ ආරාපක්ෂ කපු පරපුර අතර බවයි. මේ මාසයේ තේවාව භාර කපු මහතකු වන ගයාන් ආරාපක්ෂ තමන්ට පහර දුන් බව කියමින් රත්නායක කපු පරපුරේ උපුල් රත්නායක යන අය කතරගම රෝහලට ඇතුළත්ව සිටි බව ද පොලීසිය කියයි. මේ පිළිබදව සඳහන් කරමින් අංක 54, දෙටගමුව, කතරගම ලිපිනයේ පදිංචි ටී. ආර්. උපුල් කුමාර තිඹලත් රත්නායක යන අය කළ පැමිණිල්ල හේතුවෙන් විමර්ශනයක් ආරම්භ කළ පොලීසිය පහර දුන් බව කියන ගයාන් අරාපක්ෂ යන අයව පොලීසියට ගෙන්වා තිබුණේ ඉකුත් 01 වැනිදාය. ඒ අනුව පුද්ගලයකුට පහර දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් එම සැකකරුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කළේය. එහිදී මහේස්ත්‍රාත්වරයා එම සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර සිද්ධිය සම්බන්ධයෙන් සමථ මණ්ඩල වාර්තා කැඳැවීමට නියෝග කර ඇත. ඒ අනුව එලෙස ඇප මුදා හැර තිබුණේ වගුරුවෙල, බුත්තල පදිංචි ගයාන් චමිල බණ්ඩාර අරාපක්ෂ යන කපු මහතාය.

මේ කපු මහත්වරු කලක පටන් තේවාව වෙනුවෙන් කලහ කර ගන්නේ බැතිමතුන් පූජා කරන පඬුරු පාක්කුඩම් බෙදා ගන්නට නොහැකි වීම හේතුවෙන් බවට බොහෝ දෙනෙක් කියනා කරුණකි. රුහුණු කතරගම මහා දේවාලයේ තේවා කටයුතු සිදුකරන්නේ කපු පරම්පරා තුනක් විසිනි. රත්නායක, ආරාපක්ෂ මුණසිංහ එම කපු පරපුරු තුනයි. මීට අමතරව මින් ඉහතදී අදිකාරම් පරපුර දේවාලයේ සේවය කර තිබූ බවද කියැවෙයි. විහාර ගම් දේවාල පනතට අනුව නම් මේ කපුමහතුන්ට ලැබිය යුත්තේ මාසික වැටුපකි. අතීතයේ දුටුගැමුණු රජතුමා බස්නායක නිලමේ ලෙසින් සිය මාමණ්ඩියක පත්කර තිබූ බවත්, එදා සිට අදටත් දේවාලයේ වසරක් සේවය කිරීමට (අතීතයේ පතා 05ක්) රුපියල් දෙකයි ශත අසූ දෙකක මුදලක් ලබා දෙන බවට විහාර ගම් දේවාල පනතේ සඳහන්ව තිබේ. එම පනතට අනුව වර්තමානයේ දේවාලයේ ලේකම් දයානන්ද අදිකාරම්ගේ පොතේ අත්සන් කර බස්නායක නිලමේවරයා අතින් මෙම වැටුප් ගත යුතු වෙයි. යම් හෙයකින් මෙම වැටුප නොගන්නා අයකුට එම වසරේ සේවය කිරීමට නොහැකි බවද එම පනතේ සඳහන් වෙයි. එසේම, කපු මහතුන්ට තේවා මාසයක් ලබා දීම සිදුවන්නේ ද බස්නායක නිලමේවරයා මගිනි. ඒ අනුව එක් මාසයක පෙරහර සඳහා යන වියදම් පියවා ගැනීමට පියවර ගනු ඇත. සාමාන්‍යයෙන් දේවාලයේ යතුර තිබිය යුත්තේ ද බස්නායක නිලමේවරයා භාරයේ ය. එහෙත් අතීතයේ සිට ක්‍රියාවට නැංවූ විහාරගම් දේවාල පනත උල්ලංඝනය කරමින් දේවාලයේ කපු මහත්තුරු ක්‍රියාකරන්නට පටන් ගෙන තිබුණේ ඉකුත් 2021 වසරේ සිට බවට මේ වන විට කරුණු අනාවරණය වෙමින් තිබේ. රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර විසින් තිස්සමහාරාම දිසා අධිකරණයේ ගොනු කරනු ලැබ තිබූ පෙත්සමකින් ඒ බව මනාව තහවුරු වී ඇත. විහාර සහ දේවාල ගම් පනත උල්ලංඝනය කරමින් දේවාලයේ කපුමහත්වරු දේවාලයේ යතුර තමාට භාර නොදී රඳවා ගෙන ඇති බවත් නීත්‍යනුකූලව එහි භාරකරු වන තමාට එය නැවත ලබා දෙන ලෙසට නියෝගයක් කරන ලෙසටත් බස්නායක නිලමේවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත. මේ වන විටත් එම නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතින අතර, දේවාලයේ කපුමහතුන් තේවාව ලබා ගැනීම සඳහා ‘තුන්ඩු කෑලි’ උඩ දමා වාරය ලබාගනිමින් සිටින බවටද වාර්තා වෙයි.

මේ තුන්ඩුකෑලි උඩ දැමීමේ ක්‍රියාව හඳුන්වා දී මේ වන විටත් සිදුකරමින් ඇත්තේ දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී. රත්නායකක බවද සඳහන් වෙයි. දේවාලයේ කපුමහතුන් සහ බස්නායක නිලමේවරයා අතර විරසකය ආරම්භ වී ඇත්තේ ද මේ ‘යතුර ප්‍රශ්නය’ හේතුවෙනි. සාමාන්‍යයෙන් එක් මාසයක් තේවාව සිදුකර රුපියල් ලක්ෂ 20ක මුදලක් දේවාලයේ සංවර්ධන අරමුදල වෙත බැර කිරීම සඳහා බස්නායක නිලමේවරයා වෙත ලබා දිය යුතුව ඇති නමුත් මේ වන විට දේවාලයේ කපු මහත්වරු එම ක්‍රියාව නවතා ඇති බවට ද වාර්තා වෙයි. සාමාන්‍යයෙන් දේවාලයේ සියලු ලැබීම් දේවාලයේ සංවර්ධන අරමුදල් වෙත ලිඛිතව ඇතුළත් විය යුතු නමුත් දැන් දැන් ඒ සියල්ල සිදුනොවන බවද දේවාල ආරංචි පවසන්නකි.

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී මේ කියනා ප්‍රධාන කපු මහතා සම්බන්ධයෙන් බොහෝ තොරතුරු දිග හැරෙන්නට වූයේ ‘රන් තැටියක’ සිද්ධියක් නිසාය. පාතාල ක්‍රියාකාරිකයින් සිය පව් අරවා ගන්නටදෝ දෙවියන්ගේ දෙවොල මත තැබූ රන් පඬුරක් වූ රුපියල් කෝටි ගණනක් වටිනා පවුම් තිස් අටක් බරුති රන් තැටියක් අතුරුදන් වීමේ සිද්ධියකට රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුමහතා වන සොමිපාල රත්නායක සහ ප්‍රියන්ත මුණසිංහ යන දෙදෙනාව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට ඇප මත සිටිති. ඒ රන් තැටිය පූජා කර තිබුණේ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාය. ඒ 2019 වසරේදීය. තමා දරුවාගේ අපල උපද්‍රව දූරීභූත වී යන්නට යැයි ප්‍රාර්ථනා කරමින් ඔහු සිය බිරිද මගින් මේ රන් තැටිය දේවාලයට පූජා කර තිබිණි.

මෙම රන් තැටියේ ප්‍රශ්නය හේතුවෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපා රත්නායකගේ සහ ප්‍රියන්ත මුණසිංහ කපු මහතාගේ වැඩ තහනම් කර තිබුණද, තවමත් ඔවුන් දෙදෙනා එම රාජකාරියේ ම නිරත වීම පුදුමයට කරුණක් බව බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නකි. රන් තැටියේ ප්‍රශ්නය දුරදිග ගොස් දේවාලයේ ප්‍රධාන කපු මහතා සමඟ තවත් කපු මහතෙකු නීතියේ රැහැනට හසුව මේ වන විටත් නඩු කටයුතු විභාග වෙමින් තිබෙන අවස්ථාවක නැවත නැවතත් දේවාලයේ ගැටුම් හට ගැනීම තුළ ඇතිවී ඇත්තේ දේවාලයේ ආරක්ෂාවට තර්ජනයක් නොවේද? මෑත භාගයේ සිට කතරගම දේවාලයට ලැබෙන පුද පඬුරුවල ප්‍රමාණය රුපියල් කෝටි ගණනින් වීම මත ඒවා බෙදා ගැනීමට නොහැකිව කපුවන් අතර ඇති වී තිබෙන මේ අරගලය පිළිබඳව වගකිව යුත්තන් වහා මැදිහත් විය යුතු නොවන්නේද?

“විහාර ගම් දේවාල පනතට අනුව දේවාලයේ යතුර තියෙන්න ඕන බස්නායක නිලමේ භාරයේ. ඒක බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා බස්නායක නිලමේට භාරදෙන්නේ. නමුත් මේ යතුර බලහත්කාරයෙන් කපු මහත්තරු අරගෙන තියෙන්නේ. මේ සම්බන්ධයෙන් තමයි දිසා අධිකරණයේ නඩුව යන්නේ. මීට කලිනුත් හිටපු බස්නායක නිලමේට කරදර කරල ගහල පැන්නුවා. මම ගැටුමට යන්නේ නැතුවයි උසාවි ගියේ. පෙරහැර කාලේට රුපියල් කෝටි හතක් විතර ආදායමක් ලැබෙනවා. ඒ අය බලවත් වෙලා තියෙන්නේ මේ නිසා. මේ ආදායම බෙදා ගන්න බැරුව මේ සියල්ල වෙන්නේ යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර එසේ පැවසීය.

මේ ඇරඹි ඇසළ මහේ කප් සිටුවීමෙන් දින 44ක් ගෙවන තැන එළඹෙන අමාවක ගෙවී පෑළවිය දිනයේ සුබ නැකතින් කතරගම දේවාල පෙරහැර සුපුරුදු පරිදි මේ වසරේත් පැවැත්වෙනු ඇත. ඇහැළ මහේ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන මුළු කාලය පුරාම කතරගම දෙවිදුන් මිනිස් ලොවට පැමිණ සිටුවන පද කපෙහි වාසය කරන බවට විශ්වාසයක් පවතී. සිටුවන ලද කප් පූජා වස්තුවක් බවට පත්වන්නේ එබැවිනි. එවන් උතුම් කාලවකවානුවක ශ්‍රද්ධාව පසෙකලා දෙවියන්ගේ දෙවොලේ භාරකරුවන් මෙසේ ගැටුම් ඇතිකර ගැනීම කොතරම් දුරට අනුමත කළ හැකි ක්‍රියාවක්ද? අවසානයේ කියන්නට වෙන්නේ මේවා දෙවියෝම බලාගනිත්වා යනුවෙන් නොවේද?

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division