Home » මහජන රැල්ල අඩුවන විට වර්ජන රැල්ලේ පිහිට පැතීම

මහජන රැල්ල අඩුවන විට වර්ජන රැල්ලේ පිහිට පැතීම

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment

වත් මාස කිහිපයකින් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර රටපුරා විවිධ වෘත්තීය සමිති විසින් වර්ජන රැල්ලක් ද ආරම්භ කර තිබෙන බව පෙනේ. රටේ දේශපාලනය සහ රටේ අනාගතය පිළිබඳව ඉතා තීරණාත්මක මොහොතක විවිධ ආයතනවල වෘත්තීය සමිති විසින් ඒ ආකාරයට වර්ජන ආරම්භ කිරීමට හේතුව කුමක්ද යන්න විමසා බැලීම වටි. බොහෝ දෙනෙකුගෙන් ප්‍රකාශ වන මතයක් වන්නේ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමෙන් පසු වර්ජන හා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩක් නොලැබෙන බැවින් ඊට පෙර ඉල්ලීම් ලබා ගැනීම සඳහා වර්ජන පවත්වාගෙන යන බවයි. කෙසේ වුවද මීට පෙර පැවැති බොහෝ මැතිවරණ ආසන්නයේදී ද මේ ආකාරයටම වර්ජන පවත්වාගෙන ගොස් ඇත. බොහෝ වර්ජනවල අරමුණ වී ඇත්තේ පවතින රජය අප්‍රසාදයට ලක්කර දේශපාලන වාසි ලබා ගැනීම බව පෙනේ.

ගුරුවරුන් විසින් අවස්ථා කිහිපයකදීම වෘත්තීය ක්‍රියාමාර්ග ගනු ලැබු අතර, ඒවාට නායකත්වය ලබාදී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් බව පැහැදිලිය. එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් වන වෘත්තීය සමිති නායකයන් එම වර්ජනයට නායකත්වය දී තිබු ආකාරය මාධ්‍ය මඟින් රටේ සියලු දෙනාටම දැක ගැනීමට හැකිවිය.

කෙසේ වුවද සමාජ මාධ්‍යවල ඇතැම් අය විසින් නැඟූ ප්‍රශ්නයක් තුළින් මෙම වර්ජනවල සැබෑ අරමුණ කවරේද යන්න පැහැදිලි වනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ තවත් මාස කීපයකින් පසු පැවැත්වෙන මැතිවරණය ජයග්‍රහණය කරන්නේ නම් එම මාස කීපය ඉවසා සිටින්නේ නැතුව වර්ජනයක් ආරම්භ කර ඇත්තේ ඇයිද යන්න ප්‍රශ්න කර තිබුණි. එම ප්‍රශ්නය ඉතා තර්කාන්විතය. තමන්ගේ රජයක් බලයට පත්වන බව ස්ථිර නම් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයන්ට දැන් වර්ජනයක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නැත. එහි තේරුම වන්නේ එම පක්ෂය බලයට පත් නොවන බව නොවේද? වැඩ වර්ජනවල අරමුණ කඩාකප්පල්කාරී ක්‍රියා මඟින් රජය අප්‍රසාදයට ලක් කිරිම නොවන්නේද?

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් තමන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ආරම්භ කරන ලද වැඩ වර්ජනයට මේ වනවිට මාස 02ක් ඉකුත් වී ඇත. රජය විසින් රාජ්‍ය සේවකයන්ට අදාළ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කොමිසමක් පත්කර ඇති අතර 2025 වසරට අදාළ අයවැය ලේඛනය මගින් සියලු වැටුප් විෂමතා ඉවත් කරන බව ද ප්‍රකාශ කර තිබේ. එහෙත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය මෙහෙයවන සමහර වෘත්තීය සමිති නායකයන්ට අවශ්‍යව ඇත්තේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට වඩා රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කර දැමීම බව පෙනේ. සුවහසක් විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතවලින් මාස දෙකකට අධික කාලයක් මෙම අනධ්‍යයන සේවක වැඩවර්ජනය විසින් සිසුන්ට අහිමිකර තිබේ. අනධ්‍යයන සේවකයන්ට මෙපමණ කාලයක් විශ්වවිද්‍යාල වසා දැමීමට හැකි නම් උපකුලපතිවරු, පීඨාධිපතිවරු සහ ලේඛකාධිකාරවරු විශ්වවිද්‍යාලයක සිටීමේ අවශ්‍යතාව කුමක්ද?

රජය විසින් මේ වසරේදී රාජ්‍ය සේවක වැටුප් රුපියල් දසදහසකින් වැඩි කරනු ලැබීය. 2015 දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරය දැරූ යහපාලන රජය විසින් රු.10,000/- ක වැටුප් වැඩිවීමක් ලබාදීමෙන් පසු රාජ්‍ය සේවකයන්ට ලබාදුන් විශාලම වැටුප් වැඩිවීම මේ වසරේදී ක්‍රියාත්මක විය. රට බංකොලොත් වී තිබියදී, රජයට මුදල් සොයා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වී තිබියදී පවා එවැනි විශාල වැටුප් වැඩවීමක් ලබා දුන්නේය. එසේ වුවද දැන් සමහර වෘත්තීය සමිති විවිධාකාරයේ ඉල්ලීම් ඉදිරිපත් කරමින්, වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින්, වැඩවර්ජන ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව පෙනේ. රු.10,000ක වැටුප් වැඩිකර තිබියදී රජයක් විසින් තවදුරටත් කවර හෝ අංශයක් වෙත වැටුප් වැඩිවීමක් කළ හැක්කේ කෙසේද?

වෘත්තීය සමිති දැනටමත් පවත්වාගෙන යන සහ මේ දිනවල සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ග දෙස බලන විට මේවා ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂවල වෘත්තීය සමිති විසින් ජනාධිපතිවරණය ආසන්නව රජය අප්‍රසාදයට පත්කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපාර බව පැහැදිලිවම පෙනී යයි. අඛණ්ඩවම ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාව මෙන්ම සමහර වෘත්තීන් ද විනාශ කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග හේතුවී ඇත.

ගුරු වෘත්තිය රටේ සම්මානීයත්වයට පාත්‍ර වූ වෘත්තියකි. එක අතකින් ජනතා විමුක්ති පෙරමුණ නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂකයා ලෙස පෙනී සිටී. එසේ වුවද අද රටේ පාසල් අධ්‍යාපනය තුළ සැබවින්ම නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ ද? දරුවන් කිහිප දෙනෙකු සිටින පවුලක අද ගැටළුව වී ඇත්තේ කෑම බීම හෝ අවශේෂ ජීවන අවශ්‍යතා සපුරා ගැනීම නොවේ. ගැටලුව වී ඇත්තේ දරුවන්ගේ ටියුෂන් වෙනුවෙන් වැය කිරීමට සිදුව ඇති විශාල මුදල් ප්‍රමාණය සොයා ගැනීමයි. පාසල් වැඩි ප්‍රමාණයක උසස් පෙළ පන්තිවල සිසුන් නැත. සාමාන්‍ය පෙළ පන්ති සමහරක ද එසේමය. ඔවුන් ටියුෂන් පන්තිවලය. 5 පන්තියේ දරුවා ද ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා ටියුෂන් පන්තියට යයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ පාසල් පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා කිසිඳු අවහිර කිරීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය නම් නීති සංශෝධන හෝ ගෙනෙන බවයි. රටේ මේ තරම් ටියුෂන් පන්ති පැවැත්වෙද්දී, ළමා ජීවිත ටියුෂන් පන්ති නිසාම විනාශ වී යන තත්ත්වයකට පත්වෙද්දී, ගුරුවරුන් අවධානය යොමුකළ යුත්තේ තම වෘත්තීය පෙර පැවැති සම්භාවනීය තත්ත්වයෙන් ම පවත්වාගෙන යා හැක්කේ කෙසේද යන්න පිළිබඳව ය. දරුවන් පාසල් යවන දෙමාපියන් එක අතකින් ටියුෂන් සඳහා මුළු සේසතම වැය කරද්දී මසකට රු.10,000ක් පඩි වැඩි කිරීමට අමතරව ගුරු විදුහල්පති වැටුප් විෂමතාව නැති කිරීමට සියලු පියවරගෙන තිබියදීත් තවදුරටත් ගුරුවරුන්ගේ පමණක් පඩි වැඩි කළ හැක්කේ කෙසේද?

පුවත්පත්වල සඳහන් වන ආකාරයට රජයේ ආයුර්වේද වෛද්‍යවරු දීමනා වැඩි කරන ලෙස ඉල්ලා වෘත්තීය සටනක් දියත් කිරීමට නියමිතය. රාජ්‍ය සේවා ඉංජිනේරුවෝ ක්ෂේත්‍ර දීමනාව වැඩිකර ගැනීම සඳහා එවැනිම වෘත්තීය සටනක නියැලීමට සූදානම් ය. ග්‍රාම සේවා නිලධාරීන් දැන් කලක සිට වෘත්තිය අරගලයක යෙදී සිටී. රජයේ විධායක නිලධාරීන් යැයි පවසන පිරිසක් ද දැනට සෑහෙන කලෙක සිට වෘත්තීය සටනක් දියත්කර තිබේ. දැනට බොහෝ කලෙක සිට රජයේ ආදායම එකතුකර ගැනීමේ ආයතන ව්‍යුහය තුළ වෙනස්කම් ඇති කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබේ. රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ බදු ගෙවිය යුතු පිරිස විසින් බදු නොගෙවා සිටීමයි. රජයේ ආදායම් එකතු කිරීම සඳහා දේශීය ආදායම් බදු, සුරාබදු සහ රේගු යන ප්‍රධාන දෙපාර්තමේන්තු පැවතිය ද රජයට ලැබෙන ආදායම් ප්‍රතිශතය අඛණ්ඩව අඩුවුවා මිස ලැබෙන ආදායම් ප්‍රමාණය හෝ බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය වැඩි වුයේ නැත.

රජයට ආදායම් එකතුකර දීමේ මූලිකම වගකීම් පැවරී ඇති මෙම ආයතන බොහෝ විට සැළකෙන්නේ තම වගකීම නිසි පරිදි ඉටුකර නැති ආයතන වශයෙනි. මෙම ආයතනවල සේවය කරන නිලධාරීන්ට දිරි දීමනා, අතිකාල, ත්‍යාග මුදල් ආදී දීමනා රැසක් ලැබේ. එසේ වුවද රටට හිමිවිය යුතු ආදායම ලබාදීමේ වගකීම මේ ආයතනවලින් නිසි පරිදි ඉටු නොවන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය වේ. ඒ සඳහා ආයතන තුන ඒකාබද්ධ කර නව පරිපාලන ව්‍යුහයක් ගොඩනැඟීමට බොහෝ කලෙක සිට යෝජනා වී තිබුණ ද තවමත් එය ඉටු වී නැත. පවතින තත්ත්වය පිළිබඳ අවබෝධ කර ගැනීමෙන් පසු ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව වර්ජන ක්‍රියාමාර්ගවලින් වැළකී සිටිය ද ඒකාබද්ධ ආදායම් අධිකාරියක් ඇති කිරීමට එරෙහිව රේගුව වර්ජනයකට සූදානම් වෙමින් සිටී. කෙසේ වුවද රේගු වර්ජනය අවසන් මොහොතේ නවතා දැමීමට එම වෘත්තීය සමිති එකඟ වී තිබේ.

ඔබ මෙම වර්ජන රැල්ල පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඉතා හොඳින් සොයා බලන්නේ නම් එම වර්ජන ව්‍යාපාර වැඩි ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණට හෝ සමගි ජනබලවේගයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් විසින් දියත් කරන බව පෙනී යනු ඇත. බොහෝ ආයතනවල ඒකාබද්ධ වෘත්තීය කමිටු පිහිටුවා ඇත. බොහෝ ආයතනවල පවත්නා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතිවලට ඇත්තේ ඉතා අඩු සාමාජික සංඛ්‍යාවක් වුවද ඒකාබද්ධ වෘත්තීය කමිටුව තුළ ප්‍රබල තත්ත්වයකට පත්වීමට ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරීත්වයන් හේතුවී තිබේ. වර්ජනයක් ආරම්භ කළ පසු එය නැවැත්වීමට නොහැකි වී ඇත්තේ මෙම පුද්ගලයන් විසින් වර්ජන ව්‍යාපාරවලට නායකත්වය ලබාදීම හේතුවෙනි.

මහරැල්ලක් ඇතිවී තමන් බලයට පත්වන බව විශ්වාස කරන ඇතැම් දේශපාලන පක්ෂවලට එවැනි රැල්ලක් නැති බව මහජනතාවගේ ප්‍රතික්‍රියාවලින් පෙනී යයි. ඒ හේතුවෙන් වර්ජන රැල්ලක් මවා කෙසේ හෝ රැල්ලක් ඇතිකර ගැනීම එම පක්ෂවල අරමුණ බව පෙනේ. ඒ සඳහා මහජනතාවගේ, වැඩකරන ජනතාවගේ විශ්වවිද්‍යාල සිසුන්ගේ, පාසල් සිසුන්ගේ සහ දෙමව්පියන්ගේ ජීවිත සහ අනාගතව බිල්ලට දීමට වුවද ඔවුන් සූදානම් ය.

සුනන්ද මද්දුමබණ්ඩාර
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division