මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘අතුරුගිරියේ පෝනා’ සියලු උප්පරවැට්ටි යොදා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට කටයුතු කළේ ඉන් ලැබෙන විශාල මුදල් කන්දරාව පිළිබඳ සිහින මවන අතරය. මොහුගේ මෙම කෙරුවාව පිළිබඳ නිරන්තරයෙන් ඇස ගසාගෙන සිටි අතුරුගිරිය පොලිසියේ නිලධාරීන්ට පසුගියදා දැනගැනීමට ලැබුණේ පෝනා මෝටර් රථයකින් පිළියන්දල ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන බවය.
ඒ පසුගිය හතර වැනිදාය. මොහු කොටුකර ගැනීමට අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් එදින ත්‍රීරෝද රථයකින් පැමිණ පිළියන්දල ‘සිකුරාදා පොළ’ හන්දියේ රැකවල්ලා සිටියේ කිසිවෙකුටත් නොදැනෙන පරිදිය.
මෙලෙස විමර්ශනයේ නිරත අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් පිරිසක් සිටින බව නොදත් ‘පෝනා’ ‘සිකුරාදා පොළ’ හන්දියට පැමිණ මෝටර් රථයෙන් බැස මත්ද්‍රව්‍ය ලබාදීමට සැරසී බලන විට දුටුවේ එම ස්ථානයේ පොලිස් නිලධාරීන් සිටින බවය. වැඩේ වැරදුණු බව දැනගත් පෝනා පොලිස් නිලධාරින් වෙත වෙඩි තැබීමට පිස්තෝලය ඇදගන්නා විටම පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වී ඔහුට ප්‍රහාර එල්ල කළේ පලා යෑම වළක්වා ගැනීමටය.
එහෙත් ඉක්මන් වූ ‘පෝනා’ ක්ෂණිකව වාහනයට නැගී පොලිස් නිලධාරීන් පැමිණි ත්‍රීරෝද රථය ද හප්පාගෙන ඉගිල යන්නේ කැස්බෑව දෙසටය. එහෙත් ඔහුට වැඩිදුරක් යාමට ඉඩ ලැබුණේ නැත. කැස්බෑව 14 කණුව හන්දියේ මෝටර් රථය නතර කළ ඔහු බිරියට ඇමතුමක් ගත්තේ සිදුවී ඇති බලාපොරොත්තු නොවූ සිද්ධිය පැවසීම සඳහාය. කෙසේ හෝ ඇය එහි ගෙන්වාගත් ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් වූයේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. ශල්‍යකර්මයකට ද භාජන වූ මෙම ජාවාරම්කරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ අතර අතුරුගිරිය පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනුණේ වරදක් සිදුකර නීතියේ රැහැනට මුවා විය නොහැකි බව පෙන්වා දෙමිනි.
කෙසේ වුවත් මෙම පුද්ගලයා රෝහල් ගතවී තිබුණේ ඔහු පැමිණි මෝටර් රථය එම ස්ථානයේ අත්හැර දමාය. කැස්බෑව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චිට මෙම මෝටර් රථය පිළිබඳ තොරතුරු ලැබෙන්නේ ඔය අතරය.
එම මෝටර් රථයේ ලේ තැවරී තිබිණි. පිස්තෝල අවියක් සහ හෙරොයින් ප්‍රමාණයක් ද එහි තිබී සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය. තවදුරටත් විමර්ශන සිදු කිරීමේදී මෙම මෝටර් රථය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පෝනා’ පැමිණි මෝටර් රථය වන බවත් ඔහු කැස්බෑව ප්‍රදේශයේ නිවෙසක සැඟවී සිට ඇති බවත් අනාවරණය කරගැනීමට පොලිසියට හැකි විය. එහෙත් මෙම තොරතුර නිවැරැදිව තහවුරු කර ගැනීමට නම් ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත යුතුය. පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් අතුරුගිරිය, බෝපේ, බක්මීගහපාර ප්‍රදේශයට ගොස් මෙම කාන්තාවගෙන් ප්‍රශ්න කළ අතර ඇය සන්තකයේ තිබී මෙම නිවසේ ගේට්ටුවේ හා දොරේ යතුර සොයා ගැනීමට හැකි වී තිබිණි.
ඇය සමඟ පැමිණ පොල්ගස්ඕවිට, හල්පිට, පාසල් මාවතේ පිහිටි මෙම නිවසේ දොර විවෘත කර බැලීමේදී රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනාකම ඇති ගංජා, අයිස්, කොකේන් හා මත්පෙති තොගයක් තිබී පොලිසිය භාරයට ගැනුණේ මොවුන්ගේ ජාවාරමේ සුලමුල සොයා ගැනීමෙනි.
රුපියල් ලක්ෂ 16 ක් පමණ වටිනා කොකේන් ග්‍රෑම් 42ක් අයිස් මත්ද්‍රව්‍ය පැකට් 53ක් ගංජා කිලෝ දෙකක් පමණ ද මෙහි තිබී සොයා ගැනීමට හැකි වී තිබිණි.
මෙම ජාවාරම්කරුගේ බිරියගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ ඔහුට වෙඩි වැදුණු අවස්ථාවේදී ඔහුගේ මිතුරකුට කතාකර ඔහු ගෙන්වාගෙන රෝහල්ගත කිරීමට උදවු උපකාර ලබාගත් බවය. ඒ අනුව හල්පිට ප්‍රදේශයේ ගරාජ් හිමියෙකු වන එම පුද්ගලයාව ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය. ‘පෝනා’ගේ බිරිය පැවසුවේ මෙම මිතුරාට මෝටර් රථයේ තිබී මත්ද්‍රව්‍ය පාර්සලයක් ලබා දුන් බවය. එම මත්ද්‍රව්‍ය පාර්සලය ඔහු විසින් කැස්බෑව 14 කණුව මෝටර් රථය තිබූ ප්‍රදේශයේ කානුවකට දමා තිබියදී පොලිසිය විසින් සොයාගත්තේ ඔහුගේ ප්‍රකාශ මතය.
කළුබෝවිල ‘සුදු නෝනා’ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන අතර අතුරුගිරියේ ‘පෝනා’ හා මෙම කාන්තාව අතර පවතින්නේ දැඩි මිතුරුකමකි. ඒ ඔවුන් ජාවාරම සිදු කරන්නේ එකට වන බැවිනි. එම නිවෙස මීට මාසයකට පමණ පෙර සුදු නෝනාගේ සැමියා මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ මුදලක් වැය කරමිනි.
පොලිසිය මෙම ජාවාරම්කරු පසුපස නිරන්තරයෙන් හඹා එන බැවින් ඔහු ආරක්ෂා කරගැනීමට සුදු නෝනා විසින් මෙම නිවෙස ඔහුට ලබා දී ඇත්තේ මීට දින කිහිපයකට පෙරය. ඒ හිතවත්කමට මිස කුලියක් ලබා ගැනීමට නොවන බවද මෙහිදී අනාවරණය වී තිබේ. මේ අනුව ඔහුගේ මත්ද්‍රව්‍යය ගබඩා කර තිබුණේ හල්පිට ප්‍රදේශයේ මෙම නිවෙසේය.
කෙසේ වුවද අතුරුගිරියේ පෝනාට ආරක්‍ෂාව සැපයීමට ගොස් කළුබෝවිල සුදු නෝනාට සිදුවූයේ ද පොලිස් අත්අඩංගුවට පත්වීමටය. ඒ ඇය මෙම නිවෙසට පැමිණෙමින් සිටියදීය. යුක්තිය මෙහෙයුමට බියවී සුදු නෝනා ද සැඟවී සිටීමට මෙම නිවෙසට පැමිණියේ මත්ද්‍රව්‍යද රැගෙනය. කැස්බෑව ප්‍රදේශයේදී සුදු නෝනා අත්අඩංගුවට පත්වන විට ඇය සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් නවයකට අධික ප්‍රමාණයක් සහ මත්පෙති තොගයක් ද තිබූ බව පොලිසිය පවසයි.
තවමත් 24 වැනි වියේ පසුවන ‘අතුරුගිරියේ පෝනාගේ’ තරුණ බිරිය මෙන්ම මැදි වයසේ පසුවන කාන්තාවක් වන කළුබෝවිල සුදු නෝනාද අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කරන්නේ ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ සැඟවුණ සුලමුල තවදුරටත් හාරා අවුස්සා අනාවරණය කරගැනීම සඳහාය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහගේ අධීක්ෂණයෙන් කැස්බෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. එම්. රංජන සමරසිංහගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි, උප පොලිස් පරීක්ෂකවරුන් වන යසිත්, දිල්හාර, පොලිස් සැරයන් (41884) ලලිත්, (75769) ජයතුංග, පොලිස් කොස්තාපල් (93749) බාලකුමාර, (97284) ප්‍රේමසිංහ, (7419) ලක්ෂාන් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ