Home » ලොව විශාලතම චිත්‍රපට නගරයේ සංචාරක අත්දැකීම

ලොව විශාලතම චිත්‍රපට නගරයේ සංචාරක අත්දැකීම

by Mahesh Lakehouse
July 13, 2024 12:30 am 0 comment

යිද්‍රාබාදය ශබ්දයෙන් පිරී ඇත්තේ එහි පුළුල් මාර්ගවල පිරී තිබෙන රථ වාහනවල නළා හඬිනි. අතොරක් නැතිව පාරේ දුවන රථ වාහනවල නැඟී මෙහි මිනිසුන් කොහේ යනවාදැයි වරෙක සිතේ. මහා මාර්ගයට උඩින් දිවෙන දුම්රිය මාර්ගවල දිවෙන මෙට්‍රෝ දුම්රියද මගීන්ගෙන් පිරී තිබේ. මෙට්‍රෝ දුම්රිය දුටු මා හට සිහි වූයේ අප රටේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය පද්ධතියයි. අපේ අවාසනාවට එදා එයට නැවතීමේ තිත තැබුණත් යළි එහි ඇරඹුමක සේයාවන් මතුව තිබීම සැනසිල්ලකි.

ඝෝෂාකාරී හයිද්‍රාබාදයෙන් මඳක් දුරකින් පිහිටි ලොව විශාලතම චිත්‍රපට චිත්‍රාගාරය ලෙස ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත්ව ඇති රාමෝජි චිත්‍රපට නගරය එදින අපේ ගමනාන්තය විය. ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතා (ITEC) වැඩසටහන යටතේ ඉන්දීය රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් තෙලන්ගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර පිහිටි ආචාර්ය මරිච්චන්න රෙඩ්ඩි මානව සම්පත් ආයතනය විසින් ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා පවත්වනු ලබන මාධ්‍ය කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනට සහභාගිවන මාද ඇතුළුව 29ක් වූ ශ්‍රී ලාංකික කණ්ඩායම අක්කර 1666ක භූමියක පිහිටා ඇති චිත්‍රපට නගරයට ඇතුළු වූයේ විනෝදය සහ විවේකය සමඟ සිනමා මායාව මුසු කරවන පොහොසත් සංචාරක අත්දැකීමක් විඳ ගැනීමටය.

ඉන්දීය සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වන රාමෝජි චිත්‍රපට නගරය 1996 දී රාමෝජි රාඕ විසින් නිර්මාණය කරන ලද අතර චිත්‍රපට නිෂ්පාදකයින්ට එකම ස්ථානයකින් පූර්ව නිෂ්පාදනයේ සිට පසු නිෂ්පාදනය දක්වා සෑම සේවාවක්ම ඇතුළත් පුළුල් පහසුකම් සපයන ඒකාබද්ධ චිත්‍රපට නිෂ්පාදනගාරයක් සඳහා මෙම නගරය සංකල්පනය කරන ලදී. කාලයාගේ ඇවෑමෙන්, ඔවුන්ගේ ප්‍රියතම චිත්‍රපට රූගත කරන ලද ස්ථාන නැරඹීමට මහජනතාව දැඩි උනන්දුවක් දැක්වීම නිසා එය සංචාරක ගමනාන්තයක් බවට පත් විය.

සෑම වසරකම සංචාරකයින් මිලියන 1.5ක් පමණ මෙම චිත්‍රපට නගරයේ අත්දැකීම විඳිනු ලබයි. වනාන්තර, උද්‍යාන, හෝටල්, දුම්රිය ස්ථානයක්, ගුවන්තොටුපළක්, මහල් නිවාස, සුවිසල් මන්දිර නගරයේ පිහිටා තිබේ. හෝටල් 6 ක් සහ වේදිකා 47ක් ද පවතින චිත්‍රපට නගරයේ සේවකයින් 1,200 ක්ද නියෝජිතයින් 8,000 ක් සංචාරකයින්ට සේවය සැලසීම සඳහා කැප වී සිටී. සෙලියුලොයිඩ් සිහින සැබෑකර ගැනීම සඳහා චිත්‍රපට නගරය තුළ විවිධ ඉන්දියානු භාෂාවලින් වසරකට චිත්‍රපට 400-500ක් පමණ රූපගත කිරීම් සිදු කරනු ලබයි. ඉන්දියානු භාෂා සියල්ලන්ගෙන්ම පාහේ චිත්‍රපට 2500කට අධික ප්‍රමාණයක් දැනටමත් මෙහි රූගත කර ඇත.

චිත්‍රපට නගරයට ඇතුළු වූ පසු එය පුරා සංචාරය කිරීමට අපට ලැබුණේ සුඛෝපභෝගී බස් රථයකි. සාමාන්‍ය බස් රථවලින්ද සංචාරය කළ හැකි අතර එය ලබා ගන්නා ප්‍රවේශ පත්‍රය අනුව ලැබෙන්නකි. අපට ලැබුණු හුරුබුහුටි සංචාරක මග පෙන්වන්නිය අප පසු කරමින් යන ස්ථාන පිළිබඳව විස්තර කළාය. අතරමඟදී බසයෙන් බැස ආකර්ෂණීය ස්ථාන නැරඹීමටත් අවස්ථාව ලැබිණි. තැන් තැන්වල පිහිටා තිබෙන වේදකාවල රඟ දැක්වෙන ත්‍රාසජනක නාට්‍ය දර්ශන, මනහර නැටුම් දර්ශනද සංචාරය තුළදී විටින් විට අපට රස විඳීමට හැකි විය. නාටකාංගනාවන් සියලු දෙනාම මනා ලෙස සිරුර වැසෙන ලෙස ඇඳ පැලඳ තිබීම විශේෂත්වයකි. තෙලන්ගනා ප්‍රාන්තයේ කාන්තාවන් එසේය. මට අපේ රටේ නැටුම් සිහිවිය.

විනෝද කලාප, ආකර්ෂණීය තේමා ස්ථාන, සජීවි සංදර්ශන, චිත්‍රාගාර චාරිකා, සැණකෙළි වැනි සුවිශේෂි සංචාරක අත්දැකීම් සමඟින් බොහෝ දෙනා බෙහෙවින් කැමති චිත්‍රපටවලට යොදා ගත් දර්ශන තලද එහිදී දැක බලා ගැනීමේ අවස්ථාව හිමිය. මෙම චිත්‍රපට නගරය තුළ ඉන්දියාවේ සියලූම ප්‍රාන්තවලට ආවේණික වූ ස්ථානවල මෙන්ම සියලුම කාල පරාසයන්වලට අයත් දර්ශන තල පිහිටියේය. එමෙන්ම ලන්ඩනය, ජපානය, අමෙරිකාව වැනි රටවල ස්ථාන පිළිඹිබු කෙරෙන දර්ශන තලද වේ.

රජිනි කාන්ත්ගේ ‘චන්ද්‍රමුඛි’ චිත්‍රපටය රූගත කළ ජනප්‍රිය බහුකාර්ය ගොඩනැඟිල්ලේ සිට ඓතිහාසික ජෝගු දිය උල්පත, (පසුව රිතික් රෝෂන්ගේ සුපිරි වීර කතා වස්තුව වන ‘ක්‍රිෂ් 3’ සඳහා ස්මාරකයක් බවට පරිවර්තනය කර තිබේ) ඉන්දියාවේ දින 600ක කාලයක් පුරා විවිධ භාෂා ඔස්සේ දිග හැරුණු ‘බාහුබලි’ වීර කාව්‍යය රූගත කළ ස්ථානද සංචාරකයින්ගේ ප්‍රියමනාප නැවතුම්පොළවල් බවට පත්ව තිබේ. මෙහි තේමා අත්දැකීම් අතරට යුරෝපීය වීදි, මිථ්‍යා කථා මාලාවක්, සජීවී සංදර්ශන, අභ්‍යවකාශ ගමන්, බෞද්ධ තේමාවක් සහිත ගුහා ආදිය ඇතුළත් වේ. අප කණ්ඩායම ලන්ඩන් නුවර පාලම අසල සජීවව සිටින ආකාරයේ වීඩියෝ දර්ශනයක් ඩිජිටල් ක්‍රම මඟින් පුවරුවක ප්‍රදර්ශනය වීම රාමෝජි චිත්‍රපට නගරය නව තාක්ෂණයේ නව මානයන් උපයෝගි කර ගන්නා බවට උදාහරණ සැපයීය.

ෂාරුක් ඛාන්ගේ චෙන්නායි එක්ස්ප්‍රස් සහ රාවන්, රංජිනිකාන්ත්ගේ රොබෝ, අමිතාබ් බච්චන්ගේ සර්කාර් රාජ්, අජේ දේව්ගන්ගේ හිම්මත්වාලා සහ ද්‍රිශ්‍යම්, ගෝල්මාල්, මණිකර්නිකා වැනි ජනප්‍රිය චිත්‍රපටවල දර්ශන තලද මෙහිදී දැක ගැනීමට හැකි විණි.

ලොව අන් රටවල පසුබිම සහිත දර්ශන තලද මෙහි පිහිටා තිබේ. රාමෝජි චිත්‍රපට නගරයේදී ජපානයේ සිරි අසිරිය අත්දැකීමට ලැබුණේද එහෙයිනි.

මෙම චිත්‍රපට නගරය තුළ ඉදිකර ඇති සුවපහසු තරු පන්තියේ හෝටල්වල මංගල උත්සව, උපන්දින උත්සව මෙන්ම චාරිත්‍රානුකූලව පවත්වන අනෙකුත් උත්සව පැවැත්වීමටද වෙන් කර ගත හැක. මධුසමය ගත කිරීමට රාමෝජි චිත්‍රපට නගරය වෙත එන අලුත බැඳපු ජෝඩුද අඩුවක් නැත. චිත්‍රපට නගරය පුරා තැන් තැන්වල පිහිටා ඇති ප්‍රියජනක ආහාර සපයන ආපන ශාලාද එහි දවස ගත කරන සංචාරකයින්ට සේවය සපයයි.

රාමෝජි නගරය පුරා ඇවිද යමින් අප කණ්ඩායම අත්විඳීමට ලැබෙන ජීවිතේ අමතක නොවන මතකයන් ඡායාරූපගත කළහ. එය සුවිශේෂි අත්දැකීමකි. අප එහි ගියේ එදින චිත්‍රපට රූපගත කිරීමක් සිදු වනු ඇතැයි බලාපොරොත්තුවෙනි. දර්ශන තල පිහිටි ප්‍රදේශය තුළ රූපගත කිරීමක් සිදු නොවුණත් අප ආපසු එන විට නගරයට යන මාර්ගයේ රූපගත කිරීම් සිදුවනු දක්නට ලැබිණි. දවස පුරා රාමෝජි චිත්‍රපට නගරයේ සිදු කළ සංචාරයෙන් පසු එම්.සී.ආර්. එච්.ආර්.ඩී. ආයතනයේ නවාතැන්පොළ වෙත අප කණ්ඩායම පිටත් වූයේ සුන්දර මතකයන් ගොන්නක්ද සමඟිනි.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division