ගුවන් විදුලි මාධ්‍යයේ සම්මුඛ සාකච්ඡා යනු වෙනම විෂයයකි. එකල ගුවන් විදුලි නිවේදකයෙකු වීමේ වරම නිකම්ම ලැබෙන්නේ නැත. ලිඛිත පරීක්ෂණ ඇතුළු වැට කඩුලු ගොඩක් පනින්නට සිදුවෙනවාය.
ඒ විදිහට තේරුණාට පසුවත් ගුවන් විදුලි ශිල්පය හදාරන්නට මාස තුනක කාලයක් ගුවන් විදුලි අභ්‍යාස ආයතනයට බඩගාන්නට ඕනෑය. දැන් කාලේ හැටියට එය භාග්‍යයකි. මගේ විශ්වාසයේ හැටියට මුදල් ගෙවලා වත් එබඳු පාඨමාලාවක් ලබා ගන්නට අද කාලේ පුළුවන්කමක් නැත.
අපේ කාලයේ පාඨමාලාව භාරව කටයුතු කළේ ලංකාවේ කීර්තිමත් නිවේදකයෙකු වූ බර්ටි ගලහිටියාව මහතාය. පළමුවැනි දේශනයට ආවේ ලංකාවේ පළමුවන සිංහල නිවේදකයා වන ඩී එම් කොළඹගේ මහතාය. එතුමා දේශනය පටන් ගත්තේ අපූරු කතාවකිනි.
“මේ ලෝකයේ කවුරුහරි සර්ව බලධාරී කෙනෙක් පහළ වෙලා ඩී එම්. කොළඹගේ ආපහු තරුණ කාලයට ගෙනිහිල්ල; මොකක්ද තෝර ගන්න රස්සාව කියලා ඇහුවොත් මම කියන්නේ නිවේදක රස්සාව කියලා”.
වර්ෂ 1937 දී නිවේදක වෘත්තියට පැමිණි එතුමා මේ කතාව කීවේ ඊට අවුරුදු හතළිස් පහකට පමණ පසුවය. අපට මේ වෘත්තිය පිළිබඳ ඇල්මක් ඇති කළේ එහෙමය.
මෙම පාඨමාලාවේ ‘සම්මුඛ සාකච්ඡා’ උගන්වන්නට ආවේ සුප්‍රකට ගුවන් විදුලි නිවේදකයෙකු වූ සුධර්මන් ද සිල්වාය. එතුමා කියපු විදිහට සම්මුඛ සාකච්ඡා තුළ නිවේදකයෙකුට කතා කළ හැක්කේ ඉතාම අල්ප වූ වචන සංඛ්‍යාවකි. වැඩිපුර කතා කළ යුත්තේ සම්මුඛ සාකච්ඡාවට භාජනය වන පුද්ගලයාය. අද ඇහෙන හුඟක් සම්මුඛ සාකච්ඡාවල සිදුවන්නේ මෙහි අනිත් පැත්තය.
වෘත්තීය නිවේදකයකු ලෙස ජීවිතය ආරම්භ කළ පසු මේ දක්වා පුද්ගලයන් දහස් ගණනක් සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගි කරවා ගැනීමට මට ඉඩ ලැබිණ. ඒ බොහෝ ඒවා මතකයෙන් ගිලිහී ගොස්ය. නමුත් සමහර ඒවා ගලේ කෙටු අකුරු සේ හිත ඇතුළේ තැන්පත් වී තිබේ. ගරු මර්සලීන් ජයකොඩි පියතුමා සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාව ඉන් එකකි.
ජයකොඩි පියතුමා ලාංකික හදවත් තුළ වැජඹෙන්නේ එතුමන් තුළ වූ සාහිත්‍ය සංහිඳියාව නිසාය. පන්සලේ පියතුමා ලෙස එතුමා විරුදාවලී ලද්දේ මේ නිසාය.
ජයකොඩි පියතුමන්ට ආරාධනා කෙරුණේ එකල පැවති ආරාධිත අමුත්තා වැඩසටහනටය. දිනය 1992 ජුනි තුන්වෙනිදා ය. මේ ජයකොඩි පියතුමාගේ අනූ වැනි ජන්ම දිනයයි.
ඒ දිනවල මේ වැඩසටහනට අමුත්තා කැඳවන්නට නිවේදකයින් හැටියට අපට අයිතිය තිබිණ. නමුත් ජයකොඩි පියතුමා වැඩසටහනට සම්බන්ධ කරගන්නට සිදුවූයේ ඉහළ නියෝගයකි. එසේ වුවත් එය හදවතින්ම ක්‍රියාත්මක කළ හැකි නියෝගයක් බවට පත්වී තිබිණ. මම වැඩසටහනට සූදානම් වුණේ ඉතාමත් සතුටිනි.
මේ වැඩසටහනට රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේටත් ආරාධනා කරන්නැයි තවත් නියෝගයක් ආවේය. ඒකත් විරුද්ධ විය යුතුයි නියෝගයක් නොවේ.’ආරාධිත අමුත්තා’ යන්න ඒක වචනය. ඒ අනුව වැඩසටහනට එක් ආරාධිතයෙකි. එහෙත් වැඩසටහන බහුවචන වුණේ මුල් වතාවට ය.
වැඩසටහන ප්‍රචාරය වීමට පෙර දිනයේ තවත් දැනුම් දීමක් සිදුකෙරිණ.
“ඔයාගෙ වැඩේට සංඝදාසත් එනවා.”
හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ ටී. එම්. සංඝදාස මහතා අපේ හොඳ මිත්රයෙකි. ඒත් එතුමා මේ වැඩසටහනට පැමිණීම පිළිබඳව මගේ කැමැත්තක් තිබුණේ නැත. මම එය මගේ ප්‍රධානියාට කෙළින්ම කීවෙමි.
“කරන්ඩ දෙයක් නෑ මේවා උඩින් එන්නෙ.”
ලොක්කන්ටත් උඩින් එන දේවල් සොක්කන්ට වළක්වන්නට බැරිය. මම නිහඬව වැඩසටහනට සූදානම් වුණෙමි.
එකල නිවේදක වෘත්තියේ සිටි ජ්‍යෙෂ්ඨයන්ට සාපේක්ෂව අප අතිශය නවකයෝය. මේ නිසා ගුවන් විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අප පිළිබඳව එතරම් තැකීමක් නැත. සමහරු උදේට ‘ගුඩ් මෝනින්’ කියන්නේ ද නැත. එදා අලුයම මම කාර්යාලයට එන විට ආරක්ෂක අංශ භාරව සිටි ජ්‍යෙෂ්ඨයා පුටුවෙන් නැගිට්ටේය. මට අදහා ගන්න බැරි විය.
“ඔයාට ප්‍රේමදාස මහත්තයාට කෝල් එකක් දෙන්න කිව්වා.” ඔහු කඩදාසියක ලොකුවට ලියා ගත් අංකයක් මා වෙත පෑවේය.
ඔහුගේ අත වෙව්ලයි. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණාට පසුවත් එතුමන් නමින්ම හැඳින්වීම ගුවන් විදුලි පැරැණි නිලධාරින්ගේ සිරිතක් වී තිබිණ.
මේ ආඩම්බරකාරයාට මගේ ආඩම්බරය පෙන්වීමට වෙලාව ඇවිත් තිබේ. වැඩි ගාණකට ගත් බවක් පෙන්නුවේ නැත. කෙසේ වෙතත් අපේ ලොක්කන් ජනාධිපතිතුමාට කතා කරනු මම දැක ඇත්තෙමි. ඒ අනුවම මමත් එම අංකය ඇමතුවෙමි.
“අතිගරු ජනාධිපතිතුමාට කතා කරන්න පුළුවන්ද? මට එතුමාට කතා කරන්න කියලා තියෙනවා. මම ගුවන් විදුලි සංස්ථාවේ චන්දන තිලකරත්න.”
ජනාධිපතිතුමා දුරකතනයට ආවේය.
“ජයකොඩි පියතුමා කීයටද එන්නේ.?”
“තව පැය භාගයක් ඇතුළත එන්න ඕන සර්”.
“එතුමා ආපුවහම මට කෝල් එකක් දෙන්නකෝ.” දුරකතනය විසන්ධි කෙරිණ.
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ කලින්ම වැඩම කළහ. මම උන්වහන්සේ අට වන මැදිරියට කැඳවාගෙන ගියෙමි.
පියතුමා පැමිණියේය. ජනාධිපතිතුමාගේ දුරකතන ඇමතුම ගැන මම එතුමාට සඳහන් කළෙමි. පියතුමා මා සමඟ ආරක්ෂක ලොක්කාගේ කාමරයට ආවේය. මම එතුමාට වාඩිවන ලෙස ලොක්කාගේ පුටුව පෙන්වා සිටියෙමි. ඒ වුණත් පියතුමා වාඩි වුණේ මේසේ ඉදිරිපස ඇති කුඩා පුටුවේය.
දුරකතනයෙන් සුජීව හරිස්චන්ද්‍රගේ ප්‍රවෘත්තිය ඇසෙයි. ‘ප්රවෘත්ති අවසන් කිරීමට සිරස්තල යළිත්’ කියනවාත් සමඟම පුටුවක් ඇදෙන ශබ්දය ඇසිණ. ජනාධිපතිතුමා දුරකතනයට ආවේය.
“සර් පියතුමා ඇවිල්ලා ඉන්නවා”
“ආවද? කෝ දෙන්නකො එතුමට”
ආරක්ෂක ලොක්කාට පිටතට යන ලෙස ඇසෙන් සන් කර, මමද කාමරයෙන් එළියට ආවෙමි.
පියතුමා උස් හඬින් සිනාසෙන හඬ අපට ඇසුණි.
දුරකතන සංවාදයෙන් අනතුරුව මම පියතුමාගේ අතින් අල්ලාගෙන අටවෙනි මැදිරියට කැඳවාගෙන ගියෙමි.
“ජනාධිපතිතුමා මොනවද කිව්වේ ෆාදර්”
“එතුමා මගේ උපන් දිනේට සුබ ප්‍රාර්ථනා කළා.”
ආරාධිත අමුත්තකු සමඟ වැඩසටහන ආරම්භ විය. සාහිත්‍යකරණයට ප්‍රවේශ වන්නට හේතු වුණු පසුබිම ජයකොඩි පියතුමා විස්තර කළේය. එතුමාගේ ගීත රචනාවල අපූර්වත්වය සිද්ධාර්ථ හාමුදුරුවෝ වර්ණනා කළේය.
ටී. එම්. සංඝදාස මහතා වැඩසටහනට ආවේ අතරමැද දීය. ගුවන් විදුලියේ කොරිඩෝ හොඳටම හුරු එතුමා කෙළින්ම අටවන මැදිරියටම කඩිසර ගමනින් ආවේය. කතා කිරීම සඳහා එතුමාට අවස්ථාව හිමිවිය. පියතුමාගේ සිනමා නිර්මාණ ගීත පිළිබඳව සංඝදාස මහතා කතා කළේය. ඒ අතර ඔහු තවත් අපූරු කතාවක් කීවේය.
“දැන් බලන්න.. අද උදේ අතිගරු ජනාධිපතිතුමා චන්දනට කතා කරලා; අපේ පියතුමාට සුබ උපන් දිනයකට ආශිර්වාද කළා. කලාකරුවන් ගැන කලා නිර්මාණ ගැන මේ රටේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ගැන එතුමා හොඳ අවධානයෙන් ඉන්නේ.”
කලාකරුවන්ගේ දුක සැප හොයන නිරිඳුන් ජාතියකට වාසනාවක්ය. ඒ පිළිබඳ තර්කයක් නැත. ඒත් ජනාධිපතිතුමා මර්සලීන් ජයකොඩි පියතුමාගේ උපන් දිනයට සුබපැතූ බව ඒ වන විට දැන සිටියේ පියතුමාත්, සිද්ධාර්ථ හාමුදුරුවොත් මමත් පමණි. සංඝදාස මහතා එය දැනගත්තේ කෙසේදැයි ඔහුගෙන් අසා ගන්නට බැරි විය.
එදා ඒ වැඩසටහන ඉතා රසවත් එකක් වෙන්නට ඇතැයි මම විශ්වාස කරමි. අනූවෙනි විය සපුරා තිබුණත් ජයකොඩි පියතුමා හිටියේ ඉතාමත්ම තරුණ මනසකින් යුක්තවය. සිද්ධාර්ථ හාමුදුරුවෝ නිර්ලෝභීව පියතුමන්ගේ රචනා සහ සරල දිවි පෙවෙත අගය කළේ සංහිඳියාවේ මහිමය පෙන්නුම් කරමිනි. සංඝදාස මහතාගේ අතීතය පිළිබඳ නිවැරදි මතකයද වැඩසටහනට වටිනාකමක් එක් කළේය. වැඩසටහන අවසන් විය.
ජයකොඩි පියතුමා වෙනුවෙන් වෙන් කළ වාහනය පැමිණ ඇත්දැයි සොයා බැලීමට මම ගුවන් විදුලි සංස්ථා ප්‍රවේශය අසලට දිව ගියෙමි. වාහනය පැමිණ තිබිණ. මම ඉක්මනින් ආපසු ආවේ ජයකොඩි පියතුමා වාහනය වෙත කැඳවාගෙන එන්නටයි.
උදෑසන හිරුකිරණ ගුවන් විදුලි සංස්ථා කොරිඩෝව විදුලි එළිවලින් සැරසූ සෙයකි.
ඒ ළා හිරු එළියේ සුපතළ වියතුන් ඇවිද ගිය ගුවන් විදුලි කොරිඩෝවේ අපූර්ව දර්ශනයක් මැවී පෙනේ. කසාවතක් සහ සුදු පැහැ ලෝගුවක් එකිනෙකට බැඳී ඉදිරියට ඉදිරියට ඇදෙයි.
පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ ගරු මර්සලීන් ජයකොඩි පියතුමාව වත්තන් කරගෙන කොරිඩෝව දිගේ ඉදිරියට එයි. දශක ගණනාවක් රටට මතවාද සැපයූ ගුවන් විදුලි කොරිඩෝවේ කිතුනු පූජකවරයෙක් වත්තන් කරගත් ස්වාමින්වහන්සේ නමක් හෙමිහිට ඉදිරියට ඇදෙයි.
එවන් සුන්දර දසුනක් දැකීමට මගේ දෑස පින් කර තිබිණ.
අහෝ මා අත කැමරාවක් තිබුණේ නම්… !