Home » මේ රට නැවත අගාධයට නොයන්න නම් ඉදිරියට යා යුත්තේ IMF වැඩපිළිවෙළමයි

මේ රට නැවත අගාධයට නොයන්න නම් ඉදිරියට යා යුත්තේ IMF වැඩපිළිවෙළමයි

සාකච්ඡාව කළේ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක

by Mahesh Lakehouse
July 13, 2024 12:30 am 0 comment

“ණය ප්‍රතිව්‍යුහගතකරණය හා වත්මන් ආර්ථික ප්‍රවණතා” මැයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී දැක්වූ අදහස් මෙහි පලවේ.

අද වන විට ආර්ථිකය යම් යහපත් ප්‍රවණතාවකට සහ යම් ස්ථාවරත්වයකට පැමිණ ඇති අතරම, ණය ප්‍රතිව්‍යුහගතකරණය මඟින් ද ලංකාවට සුබ ආරංචියක් ගෙනාවත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නොමැති බවට මත පළ වෙනවා. මහ බැංකු අධිපතිවරයා ලෙස මේ පිළිබඳව ඔබතුමාගේ අදහස කුමක්ද?

පසුගිය වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවේ පැවැති අර්ථික තත්ත්වය දිහා බැලූ විට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් යම් ප්‍රවණතාවයකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබෙනවා. රජයට දේශීය සහ විදේශීය ණය බර වැඩිවීම නිසා ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් තිබුණා. විශේෂයෙන්ම විදේශ ණය බර වැඩිවීම නිසා විදේශ සංචිත විශාල වශයෙන් අඩු වී තිබුණා. මීට වසර දෙකකට පෙර රටේ ඇතිවූ තත්ත්වයන්ට ප්‍රධානම හේතුව වුණේ එයයි. රටක් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට තීරණය කළාට පසුව ඒ සඳහා ක්‍රමානුකූල ක්‍රමවේදයක් තිබෙනවා. මෙවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් මීට කලින් ශ්‍රී ලංකාව සිදු කර නැහැ. මේ සම්බන්ධව ප්‍රාමාණික දැනීමක් පළපුරුද්දක් තිබෙන අය ශ්‍රී ලංකාවේ නැහැ. ඒ නිසා විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා ලෝකයේ හොඳම ආයතන දෙකක් වන ලසාඩ් සහ ක්ලිෆ්ඩ් චාන්ස් කියන ආයතනවල සහය ලබා ගත්තා. ඒ අයට අත්දැකීම් සහ තාක්ෂණය තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 වසරේදී ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවයක් නැති බවට ප්‍රකාශ කර තිබුණා. එදා එය නිවැරදි මඟට යොමු කර ගැනීමට එවකට රජයට හැකිවුණේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්වාධීන ආයතනයක් වශයෙන් අපට ලබා දුන් නිර්ණායක ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ණය ගෙවීම ස්ථාවර කළ හැකියි. ණය ගෙවීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බවට ණයකරුවටත් විශ්වාසයක් ඇතිවෙනවා. මේ වන විට දළ දේශිය නිෂ්පාදිතයෙන් 125%ක් වශයෙන් තිබෙන සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු විය යුතු බව 2022 සැප්තැම්බර් මාසයේදි මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පැමිණෙන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියා. එම නිර්ණායක ඉදිරි දශකය තුළ ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.

විදේශීය විනිමය වශයෙන් ගෙවන ණය තිබුණේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.4%ක් පමණයි. එවිට රාජ්‍ය ආදායම තිබුණේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%ක මට්ටමකයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන මට්ටමක තිබුණේ. දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.4%ක් තිබෙන විදේශ විනිමය වශයෙන් ගෙවීමට තිබෙන ණය මට්ටම ඉදිරි දශකය තුළ 4.5%කට ගෙන ආ යුතුයි. දළ දේශීය නිෂ්පාදනයෙන් 34%ක් පවතින වසරකට රජයේ ණය ලබා ගන්නා ප්‍රමාණය 13.2%ක් දක්වා අඩු කළ යුතුයි. මෙම නිර්ණායක දෙක ශ්‍රී ලංකාව සම්පූර්ණ කළ යුතුව තිබෙනවා. දේශීය ණය ප්‍රශස්තකරණය කිරීම සිදු කළේ ඒ ඉලක්ක අරමුණු කරගෙනයි . ඒ සම්බන්ධව මහ බැංකුව මැදිහත්වීම තුළින් විශාල වශයෙන් දේශීය ණය ප්‍රශස්ත කිරීම සිදුකළා. ඒ නිසා පොලී අනුපාතය අඩුවී තිබෙනවා.

ඉන්පසුව විදේශීය ණයේ පළමු පියවර ලෙස ද්විපාර්ශ්වීක ණය ප්‍රතිව්‍යුගත කිරීම සඳහා සාකච්ඡා කළා. ඒ අනුව ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් නිර්ණායකය අනුව ඉදිරි දශකය තුළ ද්විපාර්ශ්වික ණය කොටසෙන් සහනයක් ලබා ගැනීම මෙහිදී සිදුවුණා. මේ ආකාරයටම වාණිජ ණය ක්‍රමවේදයේ සහනයක් ලබා ගැනීමට ද බලාපොරොත්තු වෙනවා. මෙම නිල ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු සහන ගිවිසුම් ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. එක ක්‍රමවේදයක් වන්නේ තිබෙන ණය ප්‍රමාණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, එවිට මූලික ණයේ වටිනාකම විශාල ප්‍රමාණයක් අඩුවෙනවා. එය තමයි ණය සහනය. දෙවන සහනය තමයි ගෙවීමට තිබෙන ණය පොලි අනුපාත සහනය. පොලී අනුපාතය අඩුකළ හැකියි. මේ ක්‍රම දෙකම එකට එක් වූ විට අපේ තිබෙන ණය තොගයේ වටිනාකම සෑහෙන ප්‍රමාණයකින් අඩුවෙනවා. ශ්‍රී ලංකාවට 28%ක ණය සහනයක් ලැබූ විට ණය තිරසරභාවය සිදුවෙනවා.

පසුගිය වසරේ එනම් 2023 වසරේ දෙසැම්බර් අවසානයේ ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඇ. ඩො බිලියන 96ක් බවත් 2024 මාර්තු අවසානය වන විට එම ප්‍රමාණය ඇ. ඩො බිල­ියන් 100ක් බව එහි සඳහන් වනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැහැදිලි කිරීමක් සිදු කළද මෙය ‍ඩොලර් බිලියන 70 සිට සියය දක්වා ණය වැඩිවී තිබීමක් ලෙස ඇතැමුන් අර්ථකථනය කළා. මේ සම්බන්ධයෙන් ඔබතුමා දක්වන අදහස කුමක්ද?

2024 වසරේ මාර්තු මාසයේ අවසානය වන විට තිබූ ණය පිළිබඳ තත්ත්වය ඔබ සඳහන් කළ Debt bulleting එක යටතේ ප්‍රකාශයට පත් කළා. අ‍ෙමරිකානු ඩොලර් බිලියන 100ක් කියලයි තිබෙන්නේ. රටේ දේශීය ණය සහ විදේශීය ණය තිබෙනවා. විදේශීය ණය ඇත්තේ ඩොලර්වලින්. දේශීය ණය එම වගුවට ගැනීමේදී අපි ඩොලර්වලට පරිවර්තනය කර තිබෙනවා. කලින් අපේ තිබුණ විනිමය අනුපාතය 324යි. පරිවර්තනය කරන විට එය 301යි. එහිදී අපේ විදේශ විනිමය අනුපාතය අධි ප්‍රමාණය වෙලා තිබෙනවා. 324න් බෙදන එක 301න් බෙදන විට රුපියල් ප්‍රමාණයේ ඩොලර් වටිනාකම වැඩි වෙනවා. විදේශ ණය ප්‍රමාණය එකතු කළ විට අපි ණය නොගත්තා වුණත් විනිමය අනුපාතයේ අධි ප්‍රමාණය නිසා ඩොලර්වලින් වැඩි වී පෙන්වනවා.

රටක් ඉදිරියට යද්දී රටේ ආදායම, නම්, රටේ වියදම ආදායමට වඩා වැඩි නම් අනිවාර්යයෙන් අයවැය හිඟයක් තිබෙනවා. එහිදී රටට ණය ගැනීමට සිදු වෙනවා

ගැටලුව තිබෙන්නේ ණය තිරසාර මට්ටමින් පවත්වා ගෙන යන්නේ කොහොමද කියන එකයි. අපට දිගටම ණය ගත හැකිද? ණය ගන්නේ කොහෙන්ද? ඒ ණය මහ බැංකුවෙන් ගන්නවද? මහ බැංකුවෙන් මුදල් අච්චු ගහනවා. මුදල් අච්චු ගහන එක හොඳ නැති බව අප දන්නවා. අපි දිගටම මුදල් අච්චු ගහමින් මේ අය වැය හිඟය පියවමින් යනවාද? ණය වැඩි කර ගන්නවද? එහෙම නැත්නම් මෙය අඩු කර ගන්නවද? ණය තිරසර මට්ටමකට ගෙන එනවා කියන්නේ රටක් ලෙස අපට පවත්වා ගෙන යා හැකි මට්ටමකට ණය ප්‍රමාණය අරගෙන එය දිගටම පවත්වා ගෙන යාමයි. නමුත් ණය ප්‍රතිව්‍යුහගතකරණයත් සමඟම රාජ්‍ය මූල්‍ය කළමනාකරණයත් ශක්තිමත් කළ යුතු වෙනවා. අපි ඊට කියනවා විනයානුකූලව කර ගෙන යා යුතු බව. ඒ නිසයි අපි කියන්නේ ආදායම වැඩි කර ගත යුතුයි. වියදම දරාගත හැකි මට්ටමට තබා ගත යුතුයි.

කවුරු හරි කියනවා නම් ණය ගැනීම වැරදියි කියා මම ඊට එකඟ වන්නේ නැහැ. අපේ රටේ අය වැය හිඟයක් තිබෙන තාක් කල් අපට ණය ගැනීමට සිදු වෙනවා. ඉතිහාසයේ සිදු වී තිබෙන්නේත්, ඉදිරියට සිදු වන්නේත් එයයි. කවුරු රජයන් කළත් සිදු වන්නේ එයයි. එසේ නැත්නම් අප ආදායමට සමානව වියදම හදා ගත යුතුයි. උදාහරණයක් කියනවා නම් ණය පොළී ගෙවීමට අපට ලැබෙන ආදායමෙන් 80%ක් විතර යනවා. අනෙක් සියලු දේ සඳහා ඉතුරු වන්නේ 20%යි. වියදම දළ නිෂ්පාදනයෙන් 19-20%ක් වගේ. හැබැයි 2022 වසරේ ආදායම තිබුණේ 8%යි. ඒ කාලේ 12%ක පමණ අයවැය හිඟයක් තිබෙන බව අපි දැක්කා. මේ වන විට අප ආදායම 11%කට පමණ වැඩි කරගෙන තිබෙනවා. අයවැය හිඟය 8%කට වගේ අඩු කර ගෙන තිබෙනවා.

අද රට හොඳ ප්‍රවණතාවකට යොමුව තිබෙන නමුත් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් රජය ණය ගෙවන්න ආරම්භ කර නැති බවක් කියැවෙනවා. නමුත් අප ණය ගෙවන්න ගත් විට ඔය කියන සියලු ආර්ථික කරුණු වෙනස් වී එහි සෘජු බර මහජනතාවට දැනෙන බවත් ප්‍රකාශ වෙනවා. සම්බන්ධව ඔබේ අදහස දැනගන්න කැමැතියි?

රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව නැවත ණය ගෙවීම සම්බන්ධයෙන් රටේ ජනතාවට කුකුසක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රට නැවතත් වළකට වැටේවි ද යන සාධාරණ සැකයත් ජනතාව තුළ තිබෙනවා. අපි ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නොමැතිව ඒ ආකාරයටම ගෙවන්නට සිදුවුවහොත් අනිවාර්යයෙන්ම අර පරණ වළටම රට වැටෙනවා. අපට තිබෙන ණය ගෙවීම 2022 වසරේ සිට බැලීමේදී වාර්ෂිකව අ‍ෙමරිකානු ඩොලර් බිලියන 6ක් ගෙවිය යුතුයි. නමුත් ඊළඟ අවුරුදු 4-5 තුළ අ‍ෙමරිකානු ඩොලර් බිලියන 6ක් වශයෙන් වසර 4-5ක් තිස්සේ ගෙවන්න තිබුණා. අපි රාජ්‍ය ආදායම අ‍ෙමරිකානු ඩොලර් බිලියන 5.5ක් දක්වා රැගෙන ඇවිත් තිබෙනවා.

අප ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමක් නොකර, නැවත ණය ගෙවීම ආරම්භ කළහොත් ඊළඟ මාස 12 තුළ අප අ‍ෙමරිකානු ඩොලර් බිලියන 7-8ක් පමණ ගෙවිය යුතුයි; අපට ඊළඟ වසර පහ තුළ ගෙවිය යුතු වන්නේ අඩු පොලි මුදලක් පමණයි. 2027 වසර දක්වා එකඟ වූ පොලියට වඩා පොලි සහනයක් ද අපට ලැබී තිබෙනවා. දැනට තිබෙන විදෙස් සංචිත සහ ආදායම තුළින් ඉදිරි වසර පහ ඇතුළත ඉතා පහසුවෙන් ණය ගෙවාගත හැකි ආකාරයට ණය තිරසරභාවයක් ඇති කරන්න පුළුවන්; ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් රජයට අනෙකුත් සියලුම කටයුතු සාමාන්‍ය ආකාරයට පවත්වාගෙන යෑමට පුළුවන්කම ලැබෙනවා.

ජාත්‍යන්තරය වශයෙන් ගත් කළ අවසන් ණය දෙන්නා බවට පත් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ඕනෑ තරම් විකල්ප ඇති බවට මතයක් තිබෙනවා. මේ ගැන පැහැදිලි කළොත්?

ඕනෑම රටකට අවසානයේ විදේශ ණය ලබාගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පමණයි. අයිඑම්එෆ් ආයතනයේ සාමාජික රටවල්වලට වුවත් ණය ලබා දෙන්නේ ණය තිරසරභාවය කියන පළමු කොන්දේසිය තිබුණොත් පමණයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමකින් තොරව කිසිම රටකින් ණයක් ලබාගත නොහැකි තත්ත්වයකට 2021 වසර වන විට රට පත් වී තිබුණා. එවැනි පසුබිමක මේ රටෙන්, අර රටෙන් ණයක් ලබා ගන්න පුළුවන් කියන එක යථාර්ථයක් නෙමෙයි.

රටවල් ණය ලබා දෙන්නේ ඒ ජනතාවගේ බදු ගෙවන මුදලින්. රටක් තවත් රටකට උදව් කිරීමේදී ණය ලබා දෙන්නේ ඒ ණය ගෙවිමට හැකියාවක් තිබෙනවා නම් පමණයි.

තමන් ඉතිරි කළ මුදල් කොහොමද දුන්නේ කියන එක ඒ රටවල්වල ජනතාවත් ප්‍රශ්න කරන්න පුළුවන්. දිගින් දිගටම ජාත්‍යන්තරය කිව්ව දෙයක් තමයි ණයක් ලබා දෙන්නම්, නමුත් රටක් වශයෙන් ඔබ ඒ වෙනුවෙන් දක්වන දායකත්වය කුමක්ද? යන්න. කිසිම රටක් 8%ක ආදායමක් තිබෙන රටකට ණය ලබා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. අපේ රටේ ආදායම් ප්‍රමාණවත් නැති නිසා රට අර්බුදයට පත් වුණේ. රටක් විදිහට තවත් රටකින් සහනයක් ඉල්ලනවා නම් යම්කිසි සාධාරණත්වයක් සහ වගකීමක් තිබිය යුතුයි.

ණය සහන කාලය ලැබීම තුළින් රටක් විදිහට ආර්ථිකය වර්ධනය වැඩි කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට විවිධ අණපනත් ඉදිරිපත් කිරීම, ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම, ආයෝජන ගෙන ඒම තුළින් හැකියාව ලැබෙනවා. අපට 2028 දක්වා ද්විපාර්ශ්වීය ණය ගෙවන්න අවශ්‍ය නැහැ.

රටේ පාලන තන්ත්‍රයේ අඩුපාඩු සම්බන්ධව වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එළිදක්වා තිබෙනවා. දූෂණය පිටුදැකීම සම්බන්ධවත් එම වාර්තාවේ සඳහන්. දැන් අප ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමක් ආරම්භ කර තිබෙනවාද?

රටක ආර්ථික වර්ධනය සඳහා වැදගත් වන කරුණු ගණනාවක් තිබෙනවා. නමුත් මෑත කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් රටක ආර්ථිකය කළමනාකරණය කර ගැනීමේදී දූෂණය බාධාවක් විය හැකි බව ප්‍රකාශ කළා. දූෂණය අවම නොකිරීම ආර්ථිකය ඉහළ දැමීමට බාධාවක් බව ඔවුන් කියනවා. ඒ අනුව ඔවුන් සිදුකළ අධ්‍යයන වාර්තාව මේ වන විටත් ප්‍රසිද්ධ කර තිබෙනවා. රාජ්‍ය පාලනය, අල්ලස, දූෂණය වැනි කරුණු ගණනාවක් ඔවුන් හඳුනාගෙන තිබෙනවා. සමහර යෝජනා අප මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. රටක පාලනය සම්බන්ධව අධ්‍යනයක් සිදුකළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවයි. ඒ යටතේ මේ වන විට දූෂණ විරෝධී පනත ගෙනැවිත් තිබෙනවා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ශක්තිමක් කර තිබෙනවා. අනික් පැත්තකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට නව තාක්ෂණය යොදා ගෙන තිබෙනවා. අපේ විනිවිදභාවය සම්බන්ධ වාර්තා පවා ඉදිරිපත් කර තිබෙනවා. රජයක් විදිහට ජනතාවට ලබාදුන් බදු සහන පිළිබඳව, ලබා ගත් ණය පිළිබඳවත් ප්‍රසිද්ධ කර තිබෙනවා. ඇතැම් අය කියන පරිදි සොරාගත් සම්පත් නැවත ලබා ගැනීමට ද පනතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලය පුරාවටම පාර්ලිමේන්තුවට නව පනත් 42ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම තවත් පනත් 30ක් පමණ සංශෝධන සහිතව යෝජනා වෙමින් තිබෙනවා. විශේෂයෙන් ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත හා රාජ්‍ය ණය කළමනාකරණ පනත දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙතරම් පනත් ප්‍රමාණයක අවශ්‍යතාවය මොකක්ද?

මහ බැංකුව ස්වාධීන කිරීමට සමගාමීව රාජ්‍ය මූල්‍ය කටයුතු කළමනාකරණය කර ගැනීමේදී ශක්තිමත් නීති පද්ධතියක් අවශ්‍යයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත තුළින් රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවයක් ඇති වෙනවා. ශක්තිමත් මූල්‍ය විනයක් සහිත, වඩා හොඳ අධීක්ෂණයක් සහිතව කරගෙන යෑම තුළින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ශක්තියක් ලැබෙනවා. එහ දී යම්කිසි ඉලක්කයක් සහිත අය වැයක් ඉදිරිපත් කිරීමට ද හැකියාව පවතිනවා. රාජ්‍ය ණය කළමනාකරණයද මුදල් අමාත්‍යාංශය යටතට ගෙන වඩාත් ශක්තිමත්ව සිදුකිරීමට පුළුවන්. මේ පනත් තුනම ශක්තිමත් මුල්ගල් තුනක්. ආර්ථික පරිවර්තන පනත තුළින් මෙය තවත් ශක්තිමත් වෙනවා. ආර්ථික පරිවර්තන පනත රටේ ඉදිරි දිශානතිය පිළිබඳව හොඳ මාර්ගයක් සකස් කර තිබෙනවා

රජය පසුගිය කාලයේදී විදෙස් වාණිජ ණය හිමියන් සමඟ යම්කිසි එකඟතාවකට එළැඹුණු බව ඔබ ප්‍රකාශ කළා; මේ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වීය ණය හිමියන් සමඟ ඇති කරගත් එකඟතාවයන්ට සමනුපාතික ක්‍රමවේදයක් අනුගමනය කළ බව ඔබ සඳහන් කළා. නමුත් ආසන්න වශයෙන් 28%ක පමණ ණය කපා හැරීමක් (haircut) ලැබී ඇති බව එහිදී සඳහන් වෙනවා. ඇතැමුන් එය ප්‍රතික්ෂේප කරනවා. ඒ පිළිබඳ ඔබගෙ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.

ප්‍රතිව්‍යුහගතකරණයේ දී කරන එක ක්‍රමවේදයක් තමයි බැඳුම්කර අපට 100 ගෙවන්න තියෙන්නේ අවුරුදු 10ක් ඇතුළත දී නම් පළවෙනි එක, එය තවත් වසර 10ක් දීර්ඝ කිරීම. ඊටත් අමතරව 100ක් ගෙවීම වෙනුවට එයින් 28ක් අඩු කර 72ක් විතරක් ගෙවන්න කියලත් එකඟතාවකට එන්න පුළුවන්. හෙයාර් කට් එක කියන්නේ බොහෝවිට බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකිරීමේදී සිදු කරන ක්‍රමවේදයක්.

අයි.එම්.එෆ්. පුරෝකථනය කළ ආකාරයට ආර්ථිකය ගියොත් අපට 28%ක හෙයාර් කට් එකක් ගත්තොත් අපේ ණය තිරසර කරන්න පුළුවන්. රට සාමාන්‍යයෙන් 3%ක විතර වර්ධනයක් ගත්තොත් තමයි ඒ තත්ත්වෙට එන්නේ. හැබැයි අපි 5%ක් ගත්තොත් එතකොට ණය දෙන කෙනා උපකල්පනය කරන්නේ 3%ක වර්ධනයක් තිබුණොත් අපත් 28%ක් අඩු කරනවා. එතකොට අපි ගෙවන්න තියෙන්නේ 72%යි. යම්කිසි ආකාරයක අපි ඊට වඩා හොඳින් කළොත් 3% වෙනුවට 5% දක්වා යනවා. එහෙම අවස්ථාවකදී අපි හිතන්නේ 3%ක් ගියොත් අපි 28%ක් දෙනවා. ඒක තමයි තිරසර කරන්න තියෙන්නේ හැබැයි වැඩිපුර අප 5% ක වර්ධනයකට ගියොත් ඒ වැඩිවෙන වාසියෙන් යම්කිසි කොටසක් ඒ අවස්ථාවේ දී බැඳුම්කර හිමියන්ට දෙන්න කියලා. එතකොට 28% කියන හෙයාර් කට් එක 20%ට අඩු වෙන්න පුළුවන්.

ඒ වගේම වර්ධනය 3%ට අඩු වුණොත් එගොල්ලෝ කියනවා අපිට 28% නෙමෙයි; 35%ක් හෝ 40%ක් හෙයාර් කට් ලැබෙනවා. යම්කිසි හේතුවකින් අප රටේ ආර්ථික වර්ධන වේගය අඩු වුණොත් ණයකරුවා අපට දීපු ණය සහනය තව වැඩි කරන්නත් එකඟ වෙන විදියේ එකඟත්වයක් මෙහි තිබෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මේ වන විට සාධනීය මට්ටමක දැන් ඉන්නවාද?

අනිවාර්යයෙන්ම. උදාහරණ ලෙස කාලයක් තිබුණ මේ රටේ බැංකු පද්ධති කඩා වැටෙයි කියලා. දැන් ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. රට පැවැති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක තියෙනවා. දෙවැනි කාරණය සේවක අර්ථසාධක අරමුදල නැතිවෙයි, ශුද්ධ ලාබය ලෙස ඊට 9% ක පොලියක්වත් ගෙවාගන්න බැරි වෙයි කියලා මතයක් තිබුණා. 2023 වසරට අප 13%ක පොලියක් ගෙවා තිබෙනවා. මේ වසරේ ප්‍රතිලාභ විදියට අපි දැනටමත් සේවක අර්ථසාධක හිමියන්ට ඒ අයගේ ගිණුමට තිබුණු ශේෂය එහෙම තියෙද්දී 13%ක පොලියක් ප්‍රතිලාභ එකතු කර ඉවරයි. 2024 වසරේත් හොඳ ප්‍රතිලාභයක් දෙන්න පුළුවන්.

ද්විපාර්ශ්වීය ණය හිමියන් සමඟ එළැඹුණු එකඟතාවයන් නිසා රටට අහිතකර බලපෑම් එල්ල විය හැකිද?

ණය ගෙවීමේ අපහසුතා නැති කරගෙන දීර්ඝ කාලීනව ද්විපාර්ශ්වික අයගෙන් ඉතාම දීර්ඝ කාලයක සහනයක් අපට ලැබී තිබෙනවා. අප ඊළඟ අවුරුදු පහ තුළ ගෙවන්නේ පොලිය විතරයි. ඉන් පසු තව අවුරුදු පහක් ඇතුළත කොටස් වශයෙන් ගෙවනවා. දැන් ණය ගෙවීම පටන් ගන්නකොට නැවතත් අර සාමාන්‍ය තත්ත්වයට ජපානය, ඉන්දියාව, චීනය ඇතුළු තවත් රටවල් විසින් මෙරට ආරම්භ කළ පසුගිය සමයේ දී තාවකාලිකව අත්හිටවූ ව්‍යාපෘති නැවත පටන් ගැනීමේ ක්‍රියාදාමය ආරම්භ වෙනවා.

වැටුප් වැඩි කිරීම සහ වැටුප් විෂමතා ඉවත් කරන ලෙසත් ඉල්ලමින් වර්ජන ක්‍රියාමාර්ග කිහිපයක් දියත්ව තිබෙනවා. ඒ පිරිසට ලබාදෙන පණිවුඩය කුමක්ද?

මම මහා භාණ්ඩාගාරයට යනකොට තිබුණු තත්ත්වය ඩොලර් තිබුණෙත් නැහැ. ප්‍රමාණවත් තරමට රුපියල් තිබුණෙත් නැහැ; එදිනෙදා කටයුතු කරගෙන යාමේ දී තිබෙන පීඩනය තාමත් අඩුවෙලා නැහැ. වැටුප් වර්ධක වැටුප් විෂමතා හරිගස්සන්න කියලා වර්ජන දියත් වෙනවා. ඒක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග විදියට මම නම් එහි ප්‍රශ්නයක් දකින්නේ නැහැ. ඒ අයටත් වෘත්තීය ගැටලු වගේම ආදායම් පිළිබඳ ගැටලුත් තියවනවා.

අප ආර්ථික වශයෙන් යම්කිසි මට්ටමකට පැමිණියත්; තිබෙන පීඩනයේ අඩුවක් වී නැහැ. ප්‍රශ්නය අපි කොහොමද මේක කළමනාකරණය කරගන්නේ කියලා. මේක ඉවසිය යුතු කාලයක් කියලයි මම දකින්නේ. බොහෝම අමාරුවෙන් තමයි තවමත් වැටුප් ගෙවලා, අනෙක් දීමනා දීලා ආර්ථිකය පවත්වාගෙන යන්නේ.

පියවරින් පියවර පැමිණි ගමනක්. යම්කිසි ආකාරයට පුපුරා යාමට තියෙන ඉඩකඩ වැඩියි. නමුත් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. 2025දී වැටුප් වැඩිකිරීමක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

රාජ්‍ය නිලධාරීන්ට සහ මහජනතාවට දෙන පණිවුඩය කුමක්ද?

අපි අමාරු තැන ඉඳලා මෙතැනට එනකොට යම්කිසි වැඩපිළිවෙළක පැමිණ තියෙනවා. වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න. ණය දුන් පාර්ශ්වයන් මෙන්ම අයිඑම්එෆ් ආයතන එකඟව තිබෙනවා; මොනම රජයක් වුවත් මේ වැඩපිළිවෙළේ සිට රට නැවත අගාධයට නොවැටීමට වගබලා ගැනීම ඉතාම වැදගත්. මේ යන දිශාව පිළිබඳව ජනතාවට අවබෝධයක් තියෙන්න ඕන. මේ දිශාවේ ස්ථායීතාවය තියෙන්න ඕන. තීන්දු තීරණ ගැනීමේදී ක්‍රියාත්මක වීමේදී ඉතාමත් සබුද්ධිකව කටයුතු කරන්න ඕන.

අපි කල්පනාවෙන් මේ යන ගමන යන්න ඕන. අපි 2022 අයිඑම්එෆ් එකට ගියේ ඇයි කියලා මම අහනවා. සමහරු කිව්වා අයිඑම්එෆ් එක ඕන නෑ. වෙන විකල්ප තියෙනවා කියලා. අපි රටේ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ නොතිබුණ නිසා අපිට යන්න වුණා. ආර්ථිකයේ තියෙන දුර්වලතා හඳුනාගෙන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. සමහර ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී ජනතාවට පීඩනයක් ඇති වෙනවා. නමුත් මේ අවස්ථාවේ පීඩනය දැරීමෙන් අප ශක්තිමත්ව ඉස්සරහට යන්න පදනමක් හදාගන්නවා.

ඊළඟ පරම්පරාවට හොඳ රටක් ඇති කරන්න. අවස්ථාව අපි ප්‍රතිසංස්කරණ කරන්න අවස්ථාවක් කරගන්න ඕන. අද ඉන්න පරපුර කැපකිරීමක් කරන්න ඕන, 2027 වෙනකොට අපිට පුළුවන් වෙන්න ඕන දෙපයින් හිටගන්න.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන තවමත් අපි දිහා සුබවාදීව බලන්නේ නැත්තේ ඇයි?

මේ වෙනවිට අපි ඉන්නේ යම් ආකාරයක restrictive default and selective default කියන ණයෙන් කොටසක් ගෙවන්නේ නැති තත්ත්වයේ. පළවෙනි පියවර මේ තත්ත්වයෙන් එළියට ඒමයි. එළියට යන්න නම් ප්‍රතිව්‍යුගහකරණය සම්පූර්ණ කළ යුතුයි.

ඉතුරු ටික බලපාන්නේ කොච්චර දුරට අපි ඒ වැඩසටන සාර්ථකව කළාද යන්න ප්‍රතිඵල අනුවයි. කෙටි කාලයකින් අපට මෙතනින් එළියට එන්න පුළුවන්. අනතුරුව. B, BB, BBB ලෙස වර්ගීකරණවල ඉදිරියට යන්න පුළුවන්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division