Home » අපි දැන් ඉන්නේ සංක්‍රාන්ති සමයක

අපි දැන් ඉන්නේ සංක්‍රාන්ති සමයක

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න

by gayan
July 20, 2024 12:30 am 0 comment

 මේ වන විට වෘත්තීය සමිති විසින් ආණ්ඩුවට විරුද්ධව ජන රැල්ලක් නිර්මාණය කරමින් යනවා. ආර්ථිකය ගොඩනැඟෙමින් පවතින අවස්ථාවේ එවැනි දේ කිරීම සුදුසුද?

රාජ්‍ය සේවකයන් කරන වෘත්තිය ක්‍රියාමාර්ගයේ දෙපැත්තක් දකිනවා. අසාධාරණයක් ලක්වන්නේ චක්‍රලේඛයක අඩුවක් නිසා හෝ එය ක්‍රියාත්මක නොවීම නිසයි. නැතිනම් නඩු තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙනුයි. මේවාට වගකිව යුත්තේ රටේ මහජනතාවද? අනිත් පැත්තෙන් රජයක් ලෙස චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවැරෙනවා. ඒවා නොකර ජනතාව පීඩාවට පත් කිරීම නුසුදුසුයි.

වර්ජන රැල්ල පිටුපස විපක්ෂයේ යම් සම්බන්ධතාවක් තිබෙන බවටත් චෝදනා නැඟෙනවා?

සමගි ජනබලවේගය කවුරුත් ඇපයට තබාගෙන වර්ජනය කරන තැනක නැහැ. අපි ඒ අයගේ අයිතීන් දිනාගන්න වෙනත් ආකාරයෙන් කටයුතු කරනවා. රජය දැනගත යුතුයි ජනතාව ජීවත් වන්නේ අමාරුවෙන් බව. තව මාස තුනත් ඇතුළත ජනාධිපතිවරණයෙන් පසුව අලුත් ආණ්ඩුවකුත් අලුත් ජනාධිපතිවරයෙකුත් පත් වෙනවා. ඒ සජිත් ප්‍රේමදාස මහතා. ඔහු යටතේ ජනතාවගේ ප්‍රශ්වලට විසඳුම් ලබා දීමට සූදානම්. අද ජනතාවට උද්ධමනයත් සමඟ ජීවත් වීමට අපහසුතාවක් ඇති වෙලයි තියෙන්නේ. ඒ නිසයි ජනතාව වර්ජන කරන්නේ. රජය මාණ්ඩලික සේවයේ අයට රුපියල් 5000 ක් වැඩි කළා. මේ අය ඉහළ වැටුපක් ලබන අය. මෙහිදිත් අසාධාරණයට ලක් වෙන්නේ සාමාන්‍ය ජනතාව. ජනතාව බුද්ධිමත් තීරණ ගත යුතුයි. අද මහ බැංකුවේ පියන් කෙනෙකුගේ වැටුපත් සමඟ බලද්දි ගුරුවරුයෙකුගේ වැටුප කීයද ? වැටුප් විෂමතාව ගැන මීට වඩා විධිමත් ක්‍රමවේදයක් සැකසිය යුතු වෙනවා.

වර්ජනය නොකළ පිරිසට ආණ්ඩුව විසින් විශේෂ සැලකිල්ලක් සිදු කරන්නට තීරණය කර තියෙනවා. මේ නිසා වර්ජන දියාරු වී ගොස් ඇති බව බොහෝ දෙනා චෝදනා නඟනවා.?

එයින් සිදුවුණේ පද්ධතිය ඇතුළේ බෙදීමක් ඇති කිරීමයි. මෙය නෙමෙයි විසඳුම විය යුත්තේ. මේ ප්‍රශ්නවලට රජය විසඳුම් ලබා දිය යුතුයි.

වර්ජන රැල්ල නිසා දරුවන්ගේ පාසල් ගමන අඩපණ වීම් පිළිබඳ දස දෙසින් චෝදනා නැඟෙනවා?

කවුරුත් ඇපයට තබාගෙන මේ කරන දෙය වැරදියි. දරුවොත් එක්ක මේ ප්‍රශ්නය විසඳා ගැනීම සුදුසුයි කියලා මම දකින්නේ නැහැ. මේ රටේ ගුරුවරුන්ගේ ගෞරවය නැති කරන්නේ මේ රජය විසිනුයි. වැටුප් විෂමතාවෙන් ලබා දුන්නේ තුනෙන් එකක් පමණයි. තවත් තුනෙන් දෙකක් දිය යුතු වෙනවා. මේ රජය තීන්දු ක්‍රියාත්මක නොකිරීම නිසා ඉදිරි ආණ්ඩුවලටත් මේවා ඉදිරියට ගෙනියන්න සිදු වෙනවා.

 මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් විදුලි බිල පවා අඩු කරන්නට ආණ්ඩුවට හැකියාව ලැබී තිබුණා. විපක්ෂයේ කිසිදු අගය කිරීමක් දකින්නට නැහැ?

ආහාර උද්ධමනය කීයද? ලබන සතියේ මන්දපෝෂණ වාර්තාව අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ අනුව අපේ රටේ මන්දපෝෂණයේ තරම බලාගත හැකි වෙනවා. දරුවන් අතර මෙය ඉතා වැඩියි. එයට හේතුව ආහාර පිළිබඳ ගැටලුව. ඒ නිසා විදුලි බිල අඩු කරනවා කියූ පමණින්, රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක් දුන් පමණින් රටේ උද්ධමනය අඩු වෙන්නේ නැහැ. එක්කෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල හෝ අඩු කරලා දෙන්න ඕන.

විපක්ෂයේ කිසිදු සහයෝගයකින් තොරව ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නට ආණ්ඩුවට හැකියාව ලැබුණා. මෙය ආණ්ඩුවේ පැවැත්මට හොඳ ප්‍රතිචාරයක්?

ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී එකකෝ පොලිය අඩු විය යුතුයි. එසේත් නැතිනම් ණය කප්පාදුවක් විය යුතුයි. නැතිනම් ණය ගෙවීමේ කාලය දිගු කළ යුතුයි. අද සිදුවුණේ කාලය දිගු වීම පමණයි. පොලියත් අඩු නොවී කාලය පමණක් දිගු කිරීමෙන් ප්‍රශ්න පැන නඟින්නේ ඉදිරියේදී පත්වන රජයන්ටයි. ඒ නිසා දිගු කාලීනව සිදුවන වාසියක් නැහැ. තවමත් මේ අය දේශිය ණය බැදුම්කරවලට අත තබා නැහැ. මේ ණය බරත් යැව්වේ ඊටීඑෆ්, ඊපීඑෆ් ගෙවන අය පිටින්. අද ණය ගෙවන එකක් පැටවලා තියෙන්නේ ජනතාව මත. බදු ගැසීමත් කරන්නේ ඔවුන්ටයි. ඒ නිසා කතා කළාට රජයට නිසි ආර්ථික ක්‍රමවේදයක් පෙනෙන්නේ නැහැ. මේ සිදුකර ඇත්තේ ඇස් බැන්දුමක් පමණයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය හරි ආකාරයට සිදුකර ඉදිරියට ගොස් නිසි බදු ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. අද සිදුවන්නේ කරුවලේ අතපත ගෑමක් පමණයි.

 ඔබ පවසන්නේ විපක්ෂ නායකවරයාට මේ කාර්යය සාර්ථකව සිදුකළ හැකි බවද?

ඔව් එතුමාට පුළුවන්. අපේ ආර්ථික විශේෂඥයෝත් මේ ගැන හොඳ අවබෝධයෙන් ඉන්නේ. ලිහන්න තියෙන මල්ල ඇයි ඔබලා බලන්නේ. තව මාස හතරක් බලමු.

සජබ රජයක් බලයට පත් වුණොත් ජනතාවට මීට වඩා සහන ලබා දිය හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?

ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කර බදු ප්‍රතිපත්ති නිසි ලෙස සකස් කළොත් අපිට මෙයින් ගොඩ එන්න පුළුවන්.

මේ අවස්ථාවේ ආණ්ඩුවට ලැබී ඇති ජනතා ප්‍රසාදයක් සමඟ තරග කර ජයග්‍රහණය කිරීමට හැකි වෙතැයි විශ්වාස කරන්නේද?

ජනතාව මේ අවස්ථාවේ පොඩි ෆන් එකක් ගන්නේ. නැතිනම් මෙය අපායේ ඉන්ටවල් එකක්. අපි ණයක් ගත් විට ඒ ණය ගෙවන්න ක්‍රමයකුත් නැතුව ඩොලර් උත්පාදනයකුත් නැතුව එයින් කාලා බීලා සැප වින්දොත් වන්නේ කුමක්ද? අපි දැන් ඉන්නේ එවැනි සංක්‍රාන්ති සමයක. හරියට වතුර රත් වෙනකම් හැලියේ සිටින කකුළුවෝ වගෙයි.

ජනාධිපතිවරණ සටනේදී ජාතික ජනබලවේගයෙන් විශාල පීඩනයක් සජබයට එල්ල වෙලා තියෙනවා නේද?

අපොයි නැහැ. ඔවුන්ගේ රැල්ල දැන් නැතුව ගිහින්. ඒ වගේම ඔවුන්ගේ රැස්වීම්වලට සෙනඟ පෙන්වුවාට ගණන් කරන කොට සිටින්නේ කී දෙනාද? මේ සැරෙත් පොහොට්ටුවෙන් කලකිරුණු පිරිසක් මේ බලවේගයට ගිහින් ඇති. නමුත් එය සමගි ජනබලවේගයට අභියෝගයක් නෙමෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division