බොලිවුඩයේ ජනප්‍රිය නිළි දීපිකා පදුකෝන් මේ දිනවල චිත්‍රපටවල රඟපාන්නේ නැහැ. මවු පදවියට සූදානම් වෙමින් සිටින නිසා ඇය මාතෘ නිවාඩු ලබාගෙනයි සිටින්නේ. ඇයට දරුවා ලැබෙන්නට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේයි. එයින් පසුවත් යම් කාලයක් ඇය රඟපෑමෙන් ඉවත්ව සිටිනු ඇති. තමා නැවත චිත්‍රපටවලට එක්වන්නේ කවදාදැයි ඇය තවම ප්‍රකාශ කර නැහැ.
ගැබ්බරව සිටින දීපිකාගේ අලුත්, අපූරු ඡායාරූප කිහිපයක් පසුගිය දිනවල මාධ්‍ය තුළ පළ වී තිබූ අතර ඒවාට ඇයගේ රසික රසිකාවියන්ගෙන් ආදරණීය ප්‍රතිචාර ලැබී තිබෙනු දැකිය හැකි වුණා. මේ ඇතැම් ඡායාරූප ගෙන තිබුණේ ඇය අනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට් දෙදෙනාගේ විවාහය වෙනුවෙන් පැවැත්වුණු සංගීත රාත්‍රියට සහභාගි වීම සඳහා සූදානම්ව සිටියදීයි. එම ඡායාරූපවල ඇය සැරසී සිටියේ අලංකාර සාරියකින්.
දීපිකාගේ දරු ප්‍රසූතියෙන් පසු ඇයගේ සැමියා වන ජනප්‍රිය නළු රන්වීර් සිං ද පිතෘ නිවාඩු ගනු ඇති බවට කතාවකුත් පසුගිය දිනවල මාධ්‍ය හරහා වාර්තා වී තිබුණා. සිය බිරිඳ සහ දරුවා සමඟ කාලය ගත කිරීම සඳහා ඔහු අවුරුද්දක පමණ කාලයක් නිවාඩු ගනු ඇති බවයි මෙම වාර්තාවලින් පැවසුණේ.
රන්වීර් කලින් මේ ආකාරයෙන් නිවාඩු ගැනීමට සැලසුම් කර නොතිබුණු බවත් සඳහන්. ඔහු ‘බයිජු බව්රා’ නම් චිත්‍රපටයක රඟපෑමටයි සූදානම්ව සිටියේ. එය අධ්‍යක්ෂණය කිරීමට නියමිතව සිටියේ සුප්‍රකට අධ්යක්ෂ සංජේ ලීලා බන්සාලි. නමුත් මෙම චිත්‍රපටයේ කටයුතු නතර කිරීමට නිෂ්පාදකයන් තීරණය කර තිබෙන බව සඳහන්. එයට හේතුව හරියටම සඳහන්ව තිබුණේ නැහැ. ‘බයිජු බව්රා’විශාල වියදමක් දැරිය යුතු චිත්‍රපටයක් වීමත් එයට එක් හේතුවක් බව විශ්වාස කෙරෙනවා.
කෙසේ හෝ වේවා, මෙම චිත්‍රපටයේ කටයුතු නතර වීම නිසා රන්වීර්ට බලාපොරොත්තු නොවූ නිවාඩුවක් ලැබුණා. මේ කාලය තුළ වෙනත් චිත්‍රපට බාර නොගැනීමටත්, එම කාලය සිය බිරිඳ සහ දරුවා වෙනුවෙන් වෙන් කිරීමටත් ඔහු තීරණය කර ඇති බව පැවසෙනවා. රන්වීර් මීළඟට රඟපෑමට නියමිතව සිටින්නේ Don 3 චිත්‍රපටයේ යි. එහි රූපගත කිරීම් ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන වසරේයි. ෆර්හාන් අක්තාර් අධ්‍යක්ෂණය කරන මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රන්වීර් සහ කියාරා අද්වානි යි. රන්වීර් අවසන් වරට ප්‍රේක්ෂකයන් හමුවට ආවේ ‘රොකී ඕර් රාණි කී ප්‍රේම් කහානි’ චිත්‍රපටයෙන්. පසුගිය වසරේ තිරගත වූ එහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කළේ ජනප්‍රිය නිළි ආලියා භාත්.
දීපිකා පළමු වරට මවු පදවිය සඳහා සූදානම් වෙමින් සිටින්නේ වයස අවුරුදු 38 දී යි. ඇය උපන්නේ 1986 ජනවාරි 5 වැනි දින යි. දීපිකා උපත ලැබුවේ ඉන්දියාවේ නොවන බව ඇයගේ බොහෝ රසිකයන් නොදන්නා කාරණයක් විය හැකියි. ඇය උපන්නේ ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් නුවරයි. කෙසේ නමුත් දීපිකා ඉතා කුඩා කාලයේම ඇයගේ මවුපියන් නැවත ඉන්දියාවට පැමිණ තිබුණා.
සිනමාවට පිවිසීමට පෙර දීපිකා කලක් බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක ලෙසත් කටයුතු කළා. ඇය ඒ සඳහා යොමු වී තිබුණේ ඇයගේ පියා ප්‍රකාශ් පාදුකෝන් වෘත්තීය බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වූ නිසා යි. ඇය ජාතික මට්ටමේ තරගවලට පවා සහභාගි වී තිබෙනවා. දීපිකාගේ පවුල ක්‍රීඩාවලට දස්කම් දැක් වූ පවුලක් බවයි පෙනෙන්නේ. ඇයගේ සොහොයුරිය අනිෂා ගොල්ෆ් ක්‍රීඩිකාවක්.
කෙසේ නමුත් දිගටම බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරත වීමට දීපිකා තුළ කැමැත්තක් තිබී නැහැ. පසුව ඇය නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කිරීමට පටන් ගත්තා.
ඇය මුලින්ම සිනමාවට පිවිසුණේ 2006 වසරේ තිරගත වූ ‘අයිශ්වර්යා’ නමැති සිනමාපටයෙනු යි. තමා රඟ පෑ දෙවැනි සිනමාපටයෙන්ම විශාල අවධානයක් දිනාගන්නට දීපිකාට හැකි වුණා. එම සිනමාපටය නම් අතිශයින් ජනප්‍රිය වූ ‘ඕම් ශාන්ති ඕම්’ සිනමාපටයයි. එහි ඇය රඟපෑවේ සුපිරි නළු ෂාරුක් ඛාන් සමඟ යි.
සිනමාව ඔස්සේ සාර්ථක ගමනක් පැමිණි ඇය අද බොලිවුඩයේ ඉහළම ආදායම් ලබන දක්ෂතම සහ ජනප්‍රියම නිළියක බවට පත්ව සිටිනවා.
කසුන් අරවින්ද