Home » ආනයන තහනම තිබියදීත් ඩොලර් මිලියන 50ක විදෙස් ටින් මාළු ගෙන්වලා

ආනයන තහනම තිබියදීත් ඩොලර් මිලියන 50ක විදෙස් ටින් මාළු ගෙන්වලා

දේශීය ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමයෙන් චෝදනා

by Mahesh Lakehouse
July 27, 2024 12:30 am 0 comment
TESS සමාගමේ අධ්‍යක්ෂ ශෙවාන් ප්‍රනාන්දු, දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් කපිල බාලසූරිය සහ සභාපති ශිරාන් ප්‍රනාන්දු

දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමේ අරමුණු ඇතිව රජය විසින් ටින් මාළු ගෙන්වීම තහනම් කර තිබියදීත්, මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස හතර තුළ පමණක් මාළු ටින් ලක්ෂ 45කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවත්, ඒ සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 50ක් බවත් දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.රජය විසින් ටින් මාළු රටින් ගෙන්වීම තහනම් කර තිබියදී මේ සා විශාල ප්‍රමාණයක් රේගුව හරහා මෙරටට ගෙන්වා ඇත්තේ කෙසේදැයි පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.අප්‍රේල් මාසයේදී පමණක් මෙරටට ඩොලර් මිලියන දෙකක ටින් මාළු ගෙනැවිත් ඇති බවද ඔහු අවධාරණය කළේය. මේ පිළිබඳ අදහස් දැක් වූ ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් කපිල බාලසූරිය මහතා සඳහන් කළේ, මේ තත්ත්වය මත මෙරට තිබෙන ටින් මාළු කර්මාන්තශාලා 16 ම මේ වනවිට වැසී යන පසුබිමකට තල්ලු වී ඇති බවයි. මෙහි බරපතළම කාරණය ලෙස ඔහු පෙන්වා දෙන්නේ, විදේශ රටවලින් වැට් බදු රහිතව ටින් මාළු ආනයනය කිරීමට අවසර ඇති නමුත්, දේශීය ටින් මාළුවලින් 18% ක වැට් බද්දක් අය කරන නිසා දේශීය කර්මාන්තය බිඳ වැටී ඇති බවයි. මෙසේ විනාශයට යමින් පවතින්නේ ඩොලර් මිලියන 20 ක පමණ දේශීය ආයෝජනයකින් ආරම්භ කළ කර්මාන්තශාලා 16කි.”වැට් බද්ද ඉහළ යාමත් සමඟ දේශීය ටින් මාළු මිල ඉහළ යාමේ වාසිය ආනයනකරුවන් කිහිප දෙනකුට අත්වී ඇති පසුබිම නිසා මේ වන විට ටින් මාළු කර්මාන්තය පමණක් නෙවෙයි, ඒ වටා ජීවත්වන ලක්ෂ 10කට ආසන්න පිරිසකගේ ජීවිකාව අහිම් වෙමින් පවතින බවයි. ධීවර ජනතාවට සිය ලින්නා මාළු අස්වනු සඳහා මිලක් ලැබෙන්නේ ටින් මාළු කර්මාන්තයට ඒ මාළුවලින් වැඩි කොටසක් මිල දී ගැනීම නිසයි. නමුත් දැන් ටින්මාළු කර්මාන්තශාලා සඳහා ලින්නා ගැනීම සීමා වෙලා. ඒ විතරක් නෙවෙයි, ටින් මාළු නිෂ්පාදනයට අවශ්‍ය ටින්, ලේබල්, ලුණු, ඇසුරුම් සඳහා අවශ්‍ය කාඩ්බෝඩ් පෙට්ටි, ප්‍රවාහනය මේ සියල්ල සපයන්නේ දේශීය කුඩා ව්‍යවසායකයින්. කර්මාන්තය බිඳ වැටීමෙන් මේ දාමයම කඩා වැටිලා.මෙරට ක්‍රියාත්මක වූ ටින් මාළු කර්මාන්ත ශාලා 16 අතරින් දැනට නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරනුයේ සමාගම් කිහිපයයි. සෙසු සමාගම් වසා දමා අවසන්. ඒ නිසා ටින් මාළු කර්මාන්තයේ ඉදිරිය වෙනුවෙන් රජයේ මැදිහත් වීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය බව ශිරාන් ප්‍රනාන්දු සහ කපිල බාලසූරිය ප්‍රමුඛ සංගමය අවධාරණය කරයි. රට මෙන් අට ගුණයක් සුවිසල් සාගර සම්පතක් තිබිය දී මේ සා විශාල ඩොලර් ප්‍රමාණයක් පිට රටවල ට ඇදී යාමට ඉඩ දීම, රටේ ආර්ථීකයට ද මරු පහරක් බව ඔවුහු පෙන්වා දෙති.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division