Home » ආදරේ මාව හොයාගෙන එනකම් මම බලාගෙන ඉන්නවා

ආදරේ මාව හොයාගෙන එනකම් මම බලාගෙන ඉන්නවා

සිළිඳු රන්වල

by thanushika
August 3, 2024 12:30 am 0 comment

ජාතික රූපවාහිනියේ විකාශය වන වියළි ටෙලි නිර්මාණය මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනාගත් ටෙලි නිර්මාණයකි. සංගීතය, ආකර්ෂණීය රූප රාමු මෙන්ම දක්ෂ රංගනය ඒ සඳහා හේතු වූවා නිසැකය. කිරිනෝනි එහි සුවිශේෂී භූමිකාවක් බව ඕනෑම කෙනෙකුට වැටහෙන කරුණකි. පුංචි තිරයට නුපුරුදු ඇය කවුරුන්දැයි සෙවීමට මේ දිනවල බොහෝදෙනා උනන්දුවක් දක්වති. ඔටිසම් ළමයකුගේ භූමිකාව ඔස්සේ සුවිශේෂී රංගනයක යෙදෙන ඇය සිළිඳු රන්වලය. ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී වසන්ති රන්වලගේ දියණියයි.

සිළිඳු වේදිකාවේ නිතරම දකින්න ලැබෙන චරිතයක් වුණාට පුංචි තිරයේ දකින්න නැති තරම්. කොහොමද වියළි ටෙලි නිර්මාණයට ආරාධනා ලැබෙන්නේ?

වියළි ටෙලි නිර්මාණයට මට ආරාධනා කළේ එහි අධ්‍යක්ෂ චන්දන ඉරුගල්බණ්ඩාර. ඔහු මාව වේදිකාවේ දැකල තමයි කිරිනෝනි චරිතයට මාව ගැළපෙනවා කියලා හිතලා තියෙන්නේ. මෙන්න මේ වගේ චරිතයක් තියෙන්නේ ඔයා කැමතිද කියලා ඇහුවා. ස්ක්‍රිප්ට් එක කියවල බලලම කියන්න කිව්වා. සාමාන්‍යයෙන් මං චරිතයක් භාරගනිද්දි ඒක අභියෝගයක් වෙන තරමට කැමැතියි. ඒ නිසා මං හරි ආසාවෙන් භාරගත්තා. ඒ වගේම අකලංකගේ නංගි වීම නිසාත් මං ඒ චරිතයට කැමැති වුණා. අපි දෙන්න වේදිකාවේත් එකට වැඩ කළා.

කිරිනෝනි කියන්නේ අභියෝගයක්. කොහොමද ඔබ ඒ සඳහා සූදානම් වුණේ?

කිරිනෝනිගේ චරිතය කරන්න ෂූට් එකට යන්න කලින් මං ඔටිසම් හැදුණු ළමයි ගැන රිසර්ච් කළා. ඔවුන් හැසිරෙන්නෙ කොහොමද? ඔවුන්ගේ පසුබිම කොහොමද කියල හොයලා බැලුවා. ඔවුන් එක්ක කාලය ගත කළා. ඒ වගේ ළමයි ඉන්න චිත්‍රපට ගොඩක් බැලුවා. එ්ත් මේ හැමදේම හදාරලා සූදානම් වෙලා ගියාට පස්සේ ඔටිසම් හැදුණු ළමයෙක් විදිහටම රඟපාන්න අමාරුයි. ඒක ප්‍රේක්ෂකයා මොන විදිහට භාරගනීද දන්නෑ කියලා අධ්‍යක්ෂකයි, රචකයයි එක්ක කතා කරලා ඒ චරිතය ටෙලිවිෂන් එකට දෙන්න පුළුවන් විදිහට කපල කොටල වෙනස් කරලා තිබුණා. එතැන තමයි මට අභියෝගය වුණේ. කොහොම වුණත් මං සූදානම් වෙලා ගිය චරිතය නෙවෙයි අන්තිමට කරන්න වුණේ. මා වටා හිටිය ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය නිසා ඒක මට එතරම් අභියෝගයක් වුණෙත් නැහැ.

කිරිනෝනිට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?

ඉතාම ඉහළයි. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහරු ඇවිත් හමුවෙලාම කියනවා ඔයා ඒ චරිතයට ලොකු සාධාරණයක් කළා කියලා. ඇත්තටම ඒ වගේ චරිතයක් කරද්දි චරිතය හොඳින් තේරුම් අරන් සංයමයකින් කළ යුතුයි. මොකද ඕවර් ඇක්ටින් ගියොත් චරිතය අසාර්ථක වෙන්න පුළුවන්. චරිතයට මනා ලෙස වේශ නිරූපණය කළ චාලිත අයියවත් මතක් කරන්න ඕන.

වියළි රූගත කරන්නෙ දුෂ්කර පළාතක. කොහොමද ඒ අත්දැකීම?

තිස්සමහාරාමෙ තමයි ෂූට් කළේ. අපි හැමෝටම තිබුණු ලොකුම දුෂ්කරතාව වුණේ අධික අව්ව. හරිම කාෂ්ටකයි. ඒ අපහසුතාව තමයි තිබුණේ.

ඔබත් වේදිකාවෙන් ලද පන්නරයෙන් ක්ෂේත්‍රයට පිවිසි කෙනෙක්. ඒ ගැන මතකය අවදි කළොත්?

ඇත්තම කිව්වොත් මං රංගනයට කිසිම ආසාවක් තිබුණු කෙනෙක් නෙවෙයි. 2019 චාමික හත්ලහවත්තගේ බෝම්බයක් ඉතුරුයි කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ අම්මගෙ කැමැත්තට. එතැන තමයි මගේ පිවිසුම. මගේ දෙවෙනි රංගන අත්දැකීම නිසා තමයි මට රංගනය ගැන කෑදරකමක් ඇති වුණේ. ඒ නිලංක නිසලාංජල්ගේ අතරමැදියා වේදිකා නිර්මාණය. 2019 යෞවන සම්මාන උලෙළේ හොඳම නිළිය වගේම 2020 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය විදිහට මාව සම්මානිත කළේ අතරමැදියා. අතරමැදියා මට වර්ක්ෂොප් එකක් වගේ වුණා. ඊට පස්සෙ සඳුදා වැටෙන්නේ සිකුරාදට කියන ප්‍රහසන නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා. එහි අධ්‍යක්ෂණය වගේම තිරපිටපතත් චාලක රණසූරියගේ. 2023 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම වේදිකා නාට්‍යයට විදිහට සම්මානිත වුණා වගේම මාව හොඳම නිළිය විදිහටත් නිර්දේශ වුණා. ඊට පස්සෙත් නාට්‍ය ගණනාවකට සම්බන්ධ වුණා.

ඔබේ මවත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?

මගේ මව වසන්ති රන්වල. ඇයත් දක්ෂ රංගන ශිල්පිනියක්. මටත් ඒ ආභාසය ලැබෙන්න ඇති. ඒ වගේම එක දිගටම මට අවස්ථා ලැබුණු නිසා අත්දැකීම් ලබන ගමන් වැඩමුළුවලටත් සහභාගි වුණා. අම්මා තමයි මාව රංගනය පැත්තට යොමු කළේ. රංගනය අද මගේ ජීවිතේම වෙලා. පවුලේ එකම දරුවා විදිහට වෙලාවක් කලාවක් නැතුව කලාවේ නියැළෙන්න ඇය මට දෙන නිදහස තමයි ඇගෙන් මට ලැබෙන ලොකුම සහයෝගය.

ඔබ ක්ෂේත්‍රය හඳුනගන්නෙ හඬකැවීම ඔස්සේ?

ඔව්. ඒ අවුරුදු තුන හතර වයසෙදි. මුලින්ම අම්මා ඩබින් කරනවා බලාගෙන හිටියා. සිරස නාළිකාවේ විකාශය වුණු චිත්තිට තමයි මුලින්ම හඬ කැව්වේ. ඒ වගේම මුතු අහුරක් එකේ සෝබුල්. මේ ආදරයයි එකේ රූහි වගේ චරිත ගොඩක් ජනප්‍රිය වුණා.

පසුගියදා ලැබූ ආසියානු ශූරතා ජයග්‍රහණයත් එක්ක ඔබේ හඬින් ගැයෙන ගීතයක් ප්‍රචාරය වුණා. ඒ කියන්නෙ ඔබ දැන් ගායිකාවක් ?

ඒ මං මීට අවුරුදු ගණනාවකට කලින් ගායනා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තේමා ගීතය. පසුගියදා ලැබූ ජයග්‍රහණයත් එක්ක නැවතත් ඒක ප්‍රචාරය වීම මට ලොකු සතුටක්. මගේ මුල්ම ගීතය රිලීස් වුණේ මීට අවුරුදු දෙකකට කලින් මගේ යූටියුබ් නාලීකාව ඔස්සේ. ඒක ප්‍රමිලා කියල පරිසරය ගැන ලියවුණු ගීතයක්. ඒ වගේම මට නිතරම වේදිකාවෙත් ගායනයට අවස්ථාව ලැබෙනවා. ඉදිරියෙදී තවත් ගීත කිහිපයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ආදරය ගැන සිළිඳුට තියෙන්නෙ මොනවගේ අත්දැකීමක්ද?

මං ආදරවන්තියක් නම් නෙවෙයි. ඒත් අත්දැකීම් ලබල තියෙනවා. ඒක ගැන දැන් මං එච්චර හිතන්න යන්නෙ නෑ. අර ෆිල්ම්ස්වල වගේ ආදරය මාව සොයාගෙන එනකල් මං බලන් ඉන්නවා.

 නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division