නිදන් වස්තු සොයාගෙන ඉක්මනින් පෝසත් වන්නට උත්සාහ කරන සමහර පුද්ගලයන් ගැන කතා ඕනෑවටත් වඩා පසුගිය කාලයේ අසන්නට ලැබිණි. ඒවායින් වැඩි හරියක් වාර්තා වූයේ උතුරුමැද පළාතෙනි.
නිදන්වලට ලොබ බඳින පුද්ගලයන් අතර ඒ සඳහාම සුවිශේෂි පුහුණුව ලත් අය ද සිටිති. මේ අය අහිංසක අසරණ මිනිසුන්ට පොළොව යට ඇති නිධාන පෙන්වා ඔවුන් ඉතා පහසුවෙන් ලෙහෙසියෙන් රවටන අතර අන්තිමේදී නිදන් සොයන පුද්ගලයන්ට වන්නේ අතේ තිබෙන මුදලත් අහිමි කරගෙන හිරේ විලංගුවේද වැටීමටය.
නිදන් වස්තු ගැන ඇතැම් පුද්ගලයන් මොන තරම් අවධානයෙන් පසුවනවාද කීවොත් තමන්ගේ ගේදොර ඇතුළේම දෝනා කපා නිදන් වස්තු සොයන තරමටම මුළාවේ වැටුණු පුද්ගලයන්ද සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ. නිවෙසේ වැසිකිළි වළ කැපීමට නැකත්කරුවකු සොයා ගිය ව්‍යාපාරිකයකුට නැකැත්කරු පවසා තිබූ ආකාරයට අනුව අදාළ නිෙවසේ වළ කපන ස්ථානයට නුදුරින් භූමියේ පිහිටි මහා ලොකු මැණික් නිධානයක් ලබා ගැනීමට නිවෙස ඇතුළේ ලොකු වළක් සහ දෝනාවක් කැපූ එම ව්‍යාපාරිකයා පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙනි. එම දෝනාව තවදුරටත් කැපුවානම් මුළු නිෙවසම කඩා වැටීමට ඉඩ තිබුණු බවද පොලිසිය සිදු කළ පරීක්ෂණයේදී හෙළි විය.
මේ කතාවේ උණුසුම නිවෙන්නටත් කලින් එවැනිම නිදන් කතාවක් වාර්තා වූයේ මධ්‍යම පළාතේ හැටන් පොලිස් කොට්ඨාසයට අයත් ගිනිගත්හේන පොලිස් බලප්රදේශයෙනි.
ගිනිගත්හේන පොලිස් බලප්‍රදේශයට අයත් කෙනිල්වර්ත් වතුයායේ පළමු කොටසේ කාලි කෝවිලක් පිහිටා ඇත. ප්‍රදේශවාසීහු මේ කාලි කෝවිලට ගොස් පුද පූජා කර කාල මෑණියන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගන්නේ සිරිතක් ලෙසය. අදාළ කාලි කෝවිල ප්‍රදේශවාසීන්ගේ ගෞරවාදරය මැද පවත්වාගෙන යන්නේ සෑහෙන කාලයක සිටය.
මේ කාලි කෝවිල පරිශ්‍රයේ කිසියම් ස්ථානයක නිධානයක් ඇතැයි සමහර අය අතර කිසියම් විශ්වාසයක් මුල් බැසගෙන තිබුණේ කලක සිටය. එම නිධානය ගැන ඉතා අවධානයෙන් සිටි කිසියම් පිරිසක් නිධානය ගොඩගැනීම සඳහා උත්සාහ කළත් එය ව්‍යර්ථ විය. ඒ ගැන ප්‍රදේශවාසීහුද දැන සිටියෝය. ඒ නිසා ප්‍රදේශවාසීන් කාලි කෝවිල සහ ඒ අවට ප්‍රදේශයට යන-එන නාඳුනන පුද්ගලයන් ගැන පසුවන්නේ තරමක සෝදිසියකිනි.
තත්ත්වය මෙසේ තිබියදී කෙනිල්වර්ත් වතුයාය පළමු කොටසේ රක්ෂිතය අසලට ත්‍රිරෝද රථයකින් යුවළක් පැමිණෙන්නේ පසුගිය දිනෙක රාත්‍රී කාලයේය. ඔවුන් පැමිණෙන්නේ කාලි කෝවිල පරිශ්රයටය. මේ දෙදෙනා අත බිලිඳියක ද සිටි අතර ඔවුන් එහි පැමිණ ඇත්තේ කාලි කෝවිලේ පූජාවක් පැවැත්වීමට අවශ්‍ය බව කියමිනි.
මැදියම් රාත්‍රියේ අධික ශීතලේ විශාල බෑවුම් සහිත ප්‍රදේශයක බිලිඳියක ද රැගෙන අනතුරුදායක ලෙස ගමන් කරමින් මේ යුවළ කාලි කෝවිල වෙත ගමන් කරන බව ප්‍රදේශවාසීන්ගේ කන වැකීමට එතරම් වේලාවක් ගියේ නැත.
ඒ අනුව එහි එකතු වුණු ප්‍රදේශවාසී වතු කම්කරුවන් යුවළ අල්ලා ගන්නේ ඔවුන් දෙදෙනා භීතියට පත්ව සිටියදීය. මේ යුවළ සතුව මාස 7ක පමණ බිලිඳියක්ද සිටින බව ප්‍රදේශවාසී වතු කම්කරුවන් දැනගන්නේ ඒ අවස්ථාවේදීය. මේ ගැන එම ප්‍රදේශයේ වතු අධිකාරීවරයාටද ඒ වන විට තොරතුරු වාර්තා වී තිබුණි. ඒ අනුව මේ සිද්ධිය ගිනිගත්හේන පොලිසියට දැනුම් දෙන්නේ විනාඩි කීපයක් ඇතුළතදීය. ඒ රාත්‍රියේම කෙනිල්වර්ත් වතුයායට ගිය ගිනිගත්හේන පොලිස් නිලධරයෝ සැකකාර අඹුසැමියන් සහ ඔවුන් භාරයේ සිටි සිඟිත්තිය පොලිස් නිලධාරීන් භාරයට ගන්නා ලදි.
මේ යුවළගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ, ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් මතය. එහිදී හෙළිවන්නේ එම යුවළ මීගොඩ සහ අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. ඔවුන් අවුරුදු 32 සහ 31 වයස්වල පසුවන අය වූහ.
මේ යුවළ අදාළ ස්ථානයට පැමිණි අවස්ථාවේ ගෙන ආ ගමන් බෑගය පරීක්ෂා කරද්දී පොලිසියට හමු වන්නේ ඩෙටනේටර් 4ක්, වෙඩි බෙහෙත් සහ ග්‍රිල් කටුවකි. ඔවුන්ගෙන් එහි පැමිණීමට හේතුව විමසූ විට ඔවුන් පොලිසියට පවසා ඇත්තේ තමන් කාලි කෝවිලට පූජාවක් තැබීම සඳහා පැමිණි බවකි.
සැකකාර යුවළ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේදී පොලිස් නිලධාරීන් කටයුතු කළ ආකරය සම්බන්ධයෙන් ඇතැම් වතු කම්කරුවන් පොලිස් නිලධාරීන්ට කළ දෝෂාරෝපණය නිසා යම් නොසන්සුන් තත්ත්වයන්ද ඇති විය.
බිලිඳිය මේ යුවළගේම ද එසේත් නැත්නම් ඇය මේ ස්ථානයට රැගෙන ආවේ කිසියම් හේතුවකට ද යන්න සොයා ගැනීම සඳහාද පොලිසිය විමර්ශන ආරම්භ කළේ ඉන් අනතුරුවය.
මේ පිළිබඳව ඉදිරි විමර්ශන හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාර කෙරිණි. ඒ නුවරඑළිය දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මතය.
මේ යුවළ පැමිණි ත්‍රිරෝද රථය, රියැදුරු සහ තරුණ යුවළේ පිරිමි පුද්ගලයා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. අත්අඩංගුවට ගැනුණු සැකකාරියට සිඟිති දරුවකු සිටීම නිසා ඇය ශරීර අප මත මුදා හැරිණි. හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකරගේ උපදෙස් මත හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ
දීපාල් සමරසේකර