චමරිලාගේ ආසියානු කුසලාන විජයග්‍රහණයේ උණුසුම තවම මැකී ගොස් නැත. ක්‍රීඩිකාවන් තවමත් එහි අසිරිය විඳ ගනිමින් සිටින අතර, ක්‍රීඩාලෝලීන්ගේ තවමත් කතාව චමරිලාගේ දස්කම් ගැනය. එය දශක 4කට වැඩි නොවන මෙරට කාන්තා ක්‍රිකට් වංශ කතාවේ රන් අකුරින් ලියා තැබූ චමත්කාරජනක පරිච්ඡේදයක් බවට පත්වී හමාරය. එදා දඹුල්ල පිටියේදී කඩුලු 8කින් ඉන්දියාව පරාජය කර ඔවුන් ලැබූ ජයග්‍රහණය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්ෂේත්රයේ ලැබූ ඉහළම ජයග්‍රහණය පමණක් නොව සියලුම ක්‍රීඩිකාවන් එක හා සමානව තරු බවට පත් කළ තරගයකි. ක්‍රීඩිකාවන්ගේ සටන්කාමීත්වය, අධිෂ්ඨානශීලීත්වය, කැපවීම සියල්ල එකට සංකලනය වූ තරගයකි.
සැබැවින්ම ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩාලෝලීන්ගේ මෙතරම් ආදරයක්, උනන්දුවක් ඇතිවූ කාලයක් තිබුණේම නැත. එහෙත් එය එදා දඹුල්ලේදී චමරිලා ආසියානු කුසලානය දිනා ගැනීමෙන් පසු එක් රැයකින් ඇති වූ පිබිදීමක් නොව කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් පැමිණි දුෂ්කර හා කටුක ගමන් මඟක සරුසාර අස්වැන්නකි. මේ ලිපිය සටහන් වන්නේ ඒ පිළිබඳ සිහිපත් කිරීමටය.
වසර 1997දී පළමු වතාවට ශ්‍රී ලංකාව කාන්තා ලෝක කුසලාන තරගාවලියක් නියෝජනය කරමින් ඉන්දියාවට ගිය මොහොතේ සිට මේ දක්වා ගමන් මඟ හෙළි පෙහෙළි කළ ක්‍රීඩිකාවෝ හා නිලධාරිහු අපමණ වෙති. එහි පළමු ගෞරවය හිමි විය යුතු වන්නේ අසූව දශකයේ සිට මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට හා ප්‍රචලිත කිරීමට පුරෝගාමී වූ කාන්තාව ග්වේන් හේරත්ටය. මෙදා සැබෑ වී ඇත්තේ ඇය එදා සිට මැවූ සිහිනයකි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සමඟාමීව එවකට ස්ථාපිත කර තිබූ කාන්තා ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට අත්කර ගැනීමට අපමණ වෙහෙසක් ගනු ලැබුවේ ඇය විසිනි. 1997 වසරේදී පළමු වතාවට ශ්‍රී ලංකා කාන්තා පිල ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වූයේ ඇගේ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියටය. එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පළමු වතාවට ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කිරීමේ ගෞරවය දිනාගනු ලැබූ වැනේසා ද සිල්වාත්, පළමු පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු කඩුලු රකින පිතිකරු ගයි ද අල්විස් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ සේවය අපමණය.
මෙරට පළමු ක්‍රිකට් නායිකාව ලෙස ඉතිහාසයට එක්වෙමින් ජාත්‍යන්තර තරග බිමේදී පළමු වරට ශ්‍රී ලංකා කාන්තා පිලට නායකත්වය දෙනු ලැබුවේ වැනේසා බෝවන් (වැනේසා ද සිල්වා) මෙදා ආසියානු කුසලාන තරගාවලියේදී තරග කළමනාකාරිනිය (Match Manager) ලෙස කටයුතු කිරීමත් දෛවෝපගත සිදුවීමකි. එපමණක් නොව ඇය මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ තැබූ තවත් වාර්තාවක් වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ පළමු තරග තීරකවරිය වීමය. එවකට ජාතික කාන්තා පිලේ හිටපු ක්‍රීඩිකාවක වන මිෂේල් පෙරෙයිරා ද ජාත්‍යන්තර තරග තීරකවරියක වන අතර, තවත් හිටපු ක්‍රීඩිකාවන් දෙදෙනකු වන දේදුනු සිල්වා සහ නිමාලි පෙරේරා ජාත්‍යන්තර තරග විනිසුරුවරියන් ලෙස කටයුතු කරමින් සිටිති.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල මේ වන විට ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 තරග බිමට පිවිසී සිටියද කලෙකට පෙර සිය පළමු හා එකම ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමක් බවත්, එම තරගයෙන් ලකුණු 309ක ජයක් අත්කර ගත් බවත් දන්නේ අතලොස්සක් පමණි. 1998 අප්‍රේල් මැද භාගයේදී කොළඹ කෝල්ට්ස් පිටියේ පාකිස්තානයට එරෙහිව පැවැති එම තරගයේදී නායකත්වය දරනු ලැබුවේ පසුකාලීනව ජාතික කාන්තා තේරීම් කමිටුවේ ප්‍රධානියා හැටියටත්, මේ වන විට සාමාජිකාවක් හැටියටත් කටයුතු කරමින් සිටින රසාංජලී ද අල්විස් ය. ඇගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 105ක් රැස් කළ චමනී සෙනෙවිරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ලෙසත්, වැනේසා ද සිල්වා ඉනිම් 2දීම අර්ධ ශතක රැස් කරමින් මංගල ටෙස්ට් තරගයේදී ඉනිම් දෙකේදීම අර්ධ ශතක රැස් කළ පළමු හා එකම ශ්‍රී ලාංකික පිතිකාරිනිය ලෙසත් වාර්තා පොතට එක්වූහ. එය මෙරට කාන්තා ක්‍රිකට් ක්ෂේත්රය වර්ණවත් කළ සිදුවීමකි. එම තරගයේදී පාකිස්තාන පළමු ඉනිමේ කඩුලු 5ක් බිඳ දමා ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 5ක් සම්පූර්ණ කළ එකම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට ද පත් වූ චමනී සෙනෙවිරත්න රටවල් දෙකක ජාතික කණ්ඩායම් නියෝජනය කළ එකම ක්‍රීඩිකාව ද වන්නීය. 2017 වසරේ සිට වසර ගණනාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජාතික කාන්තා පිල නියෝජනය කළ ඇය එම කණ්ඩායමේ උපනායිකාව ලෙසත් කටයුතු කළාය. මෙලනි අබේසිංහ එවැනිම ගෞරවයක් ශ්‍රී ලංකාවට අත්කර දුන් තවත් හිටපු ක්‍රීඩිකාවකි. 2000 වසරේ නවසීලන්තයේ පැවැති කාන්තා එක්දින තරගාවලියේ කැපී පෙනෙන පිතිකාරිනියක වූ මෙලනි අබේසිංහ මේ වන විට කටාර් රාජ්‍යයේ ජාතික කාන්තා පිලේ ප්‍රධාන පුහුණුකාරිනිය වේ. ඇය මෙරට කාන්තා ක්‍රිකට් ඉතිහාසයට එක් වන්නේ විදෙස් රටක ජාතික කාන්තා කණ්ඩායමක ප්‍රධාන පුහුණුකාර තනතුරට පත් වූ පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව හැටියටය. පසුකාලීනව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයේ දස්කම් පෑ හිටපු නායිකාව ශෂිකලා සිරිවර්ධන සහ චමරි අතපත්තු මෑතකාලීනව මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ඔප්නැංවීමෙහිලා විශිෂ්ට කාර්යභාරයක් සිදු කළ ක්‍රීඩිකාවෝ වෙති. ඒ ගමන් මඟෙහි ක්‍රීඩිකාවන් ලැබූ යෝධ ශක්තිය අන් කිසිවකු හෝ නොව චමරි අතපත්තුය. දශකයකට වැඩි කාලයක් තිස්සේ ඇය මෙරට කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තරයේ ඔසවා තැබුවේ තනි අතිනි. ලොව පුරා කාන්තා ෆ්‍රැන්චයිස් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවය. නායිකාව ලෙසත්, ආරම්භක පිතිකාරිනිය ලෙසත් චමරිගේ හැකියාව විස්මයජනක බව ජාත්‍යන්තර විචාරකයෝ පවා කියති. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙතින් එතෙක් මෙතෙක් වාර්තා වී ඇති ජාත්‍යන්තර ශතක 12න් 11කටම හිමිකම් කියනු ලබන්නේ ද ඇය විසිනි. අනෙක් ශතකය ටෙස්ට් ශතකයක් වන අතර, එහි හිමිකාරිනිය පෙර සඳහන් කළ චමනී සෙනෙවිරත්න ය.
ඒ සියල්ල වෙනස් කරනු ලැබූ එකම පුද්ගලයා චමරි ය. සියලු දෑස් කාන්තා පිල වෙතට යොමු වූයේ ඇගේ පිත්ත ලකුණු මැෂිමක් වී ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටිය සෙලවීමට පටන් ගත්තාට පසුවය. පෞද්ගලික වාර්තා කොතෙක් තැබුවද ඇගේ එකම සිහිනය වූයේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරගාවලියක කුසලානයක් අත්කර දීමය. පෙර නොවූ විරූ අයුරින් අතුරු සිදුරු නැතුව පිරී ගිය දඹුල්ල ක්‍රීඩාංගණයේදී එදා ශ්‍රී ලංකා පිලේ ඓතිහාසික ජයග්‍රහණය තහවුරු වූයේ කවීෂා දිල්හාරි එල්ල කළ දැවැන්ත හයේ පහරත් සමඟිනි. ඊට පෙර විස්සයි20 ඉනිම් 43කට ක්‍රීඩා කර තිබූ මේ ධෛර්යසම්පන්න යොවුන් ක්‍රීඩිකාව එල්ල කළ පළමු හයේ පහර ද එය විය. ඇය එදා නොදැවී ලකුණු 30ක් රැස් කළේ පන්දු 16කිනි.
එදා තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී නායිකා චමරි අතපත්තු තරගය නැරැඹූයේ ද වරින් වරය. ලකුණු අතරේ සිටින මේ විශිෂ්ට පිතිකාරිනිය ඉනිම ආරම්භ කළ ඒ මොහොතේ ඇය සිටියේ හතරේ සීමාවෙන් පිටත ක්‍රීඩකයන්ගේ අට්ටාලය පසුපස එහා මෙහා සක්මන් කරමිනි. කවීෂාගේ හයේ පහරත් සමඟ ශ්‍රී ලංකාව ආසියානු ශූරියන් බවට පත්වෙද්දී හතරේ සීමාවෙන් එපිට සිටි සියලුම ක්‍රීඩිකාවෝ ක්‍රීඩා පිටිය මැදට දිව ගියහ. එහෙත් ඒ වන විටත් චමරි සිටියේ පිටියේ පහළ ක්‍රීඩිකාවන් රැඳී සිටින අට්ටාලය පසුපස බිම දණගසාගෙනය. මේ ජයග්‍රහණය ඇය කාලයක් තිස්සේ දකිමින් සිටි සිහිනයකි.
මුල සිටම තරගය තිබුණේ ඉන්දියාවේ වාසියටය. ඔවුන් කාසියේ වාසියත් දිනා ගත් අතර, ඉනිම අතරතුරදී ප්රබලතම පිතිකාරිනිය ස්ම්රිටි මන්දානා සහ රිචා ගොෂ් දුන් උඩපන්දුත් ශ්‍රී ලංකාවට මගහැරී ගියේය. ඒ උඩ පන්දු දෙකම ගිලිහී ගියේ අන් කිසිවකුට හෝ නොව ශ්‍රී ලංකාව ජයග්‍රහණය දක්වා රැගෙන ගිය හර්ෂිතා සමරවික්‍රමටය. මන්දානා ලකුණු 10ක් ලබා සිටියදී එම උඩපන්දුව දුන් අතර, අවසානයේ ඇය පන්දු 47කින් ලකුණු 60ක් රැස් කළාය. කඩුලු රකින පිතිකාරිනිය රිචා ගොෂ් උඩ පන්දුව දුන්නේ ලකුණු 5ක් ලබා සිටියදීය.
“එහෙම දෙයක් වුණාට පස්සේ ඒ ගැන හිත හිතා ඉන්න බෑ. ඊළඟට මොකද කරන්නේ කියලා අවධානය යොමු කරන්න ඕනා. අපි බලන්න ඕන මොනවද අපිට පාලනය කරන්න පුළුවන් මොනවද පාලනය කරන්න බැරි කියලයි. හර්ෂිතා උඩපන්දු දෙකක් අත්හැරියා තමයි. ඒත් ඇය ඊළඟට තරගය දිනන ඉනිමක් ක්‍රීඩා කළා.” චමරි අතපත්තු තරගයෙන් පසුව කීවාය.
“මම හර්ෂිතාට කිව්වා දැන් ඒක ඉවරයි කියලා. ඊළඟට කරන්න තියෙන දේ ගැන හිතන්න කියලා. මොකද අපට ඕන වුණේ ඇය නිවැරදි මානසිකත්වයකින් යුතුව බැට් කිරීමයි. මම හර්ෂිතා එක්ක බැට් කරද්දී ඇයට කිව්වා කලබල වෙලා මොකුත් කරන්න එපා කියලා. මම මගේ සාමාන්‍ය විදිහට සෙල්ලම් කරන්නම්. ඒත් මම අවුට් වුණොත් ඔයාට තමයි මැච් එක ඉවර වෙනකල් අරන් යන්න වෙන්නේ කියලා.”
අවසානයේදී කවීෂා දිල්හාරි සමඟ එක්ව හර්ෂිතා සිය නායිකාවගේ උපදෙස් අකුරටම පිළිපැද්දාය. නොදැවී ලකුණු 69ක්ම රැස් කරමින් තරගයේ වීරයා සම්මානයත් දිනා ගත්තාය. කවීෂාගේ හයේ පහරකින් ජයග්‍රහණය වාර්තා වෙද්දී ඉනිම නිමාවීමට තවත් පන්දු අටක්ම ඉතිරිව තිබිණි.
“ෆීල්ඩ් එකේ ඉන්ඳැද්දී මට කැචස් දෙකක් මිස් වුණා. හැබැයි මම හිතාගත්තා මේ මැච් එකේදී ඉන්දියාව කොච්චර ලකුණු ගැහුවත් මම ඒ ලකුණු ගහනවා කියලා. අන්තිම වෙනකල් ඉඳලා ඒ දේ මට කරන්න පුළුවන් වුණා.”තරගයෙන් පසු හර්ෂිතා කළ ප්‍රකාශය දින කිහිපයක් යනතුරුම සමාජ මාධ්‍යජාලයේ ‘වයිරල්‘ වූයේ කාරණා කිහිපයක් හේතුවෙනි. එකක් ඇය සතු අපරිමිත අධිෂ්ඨානශීලීත්වය සහ ඉලක්ක කෙරෙහි පෙන්නුම් කළ නිර්භීත ක්‍රීඩා රටාව නිසාය. අනෙක ආසියානු කුසලාන තරගාවලියට සමඟාමීව පැවැති ඉන්දීය- ශ්‍රී ලංකා පිරිමි විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකාව පිට පිට තරග පරදිද්දී ඔවුනොවුන්ගේ දුර්වලතා සාධාරණීය කිරීමට චරිත් අසලංකලා නිදහසට කරුණු කියා පෑම නිසා ය.
එකම දිනයේ ඉන්දීය කාන්තා හා පිරිමි කණ්ඩායම් තැන් දෙකකදී ඔවුනොවුන්ගේ අභිමානය උදෙසා ශ්‍රී ලංකාව සමඟ තරග වදිමින් සිටියේය. කාන්තා ආසියානු කුසලාන තරගාවලිය පැවැති දඹුල්ල පිටියේ සිට පිරිමි තරගය පැවැති පල්ලෙකැලේ පිටියට ඇත්තේ කිලෝමීටර් 76ක දුරක් පමණි. පැය දෙකක පමණ ගමන් පරතරයක් පමණි. පසුගිය ඉරිදා පස්වරු 6.15 වන විට චමරිලා ආසියානු කුසලානය දිනා ජයග්‍රහණය සමරමින් සිටි අතර, එදින පස්වරු 7.40ට පිරිමි තරගය ආරම්භ විය. අසලංකලා තවත් අන්ත පරාජයක් ලැබුවේය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව උඩුයටිකුරු වී ගොසිනි. ඇතැමුන් කියන්නේ චමරි අතපත්තුලා ගලිවර්ලා නම් චරිත් අසලංකලා දැන් ලිලිපුට්ටෝ බවය. ලෝකයට මහත්වරුන්ගේ ක්‍රීඩාවක් වූ ක්‍රිකට් මේ වන විට ශ්‍රී ලංකාවට නම් නෝනාවරුන්ගේ ක්‍රීඩාවක් බවට පත්වී ඇතැයි ක්‍රීඩාලෝලින් පැවැසීම අන්තිම සාධාරණය.
ආසියානු කුසලාන ජයග්‍රහණයත් සමඟ ක්‍රීඩිකාවන්ට දහසින් බැඳි පියලි ලැබී ඇත. ක්‍රිකට් ආයතනයට පින්සිදු වන්නට ඔවුන්ට දැන් කාලයක සිට අතමිට සරුය. ගිවිසුම්ගත වීම නිසා ලැබෙන මාසික දීමනාවට අමතරව තරග දීමනාවත් ඉහළ දමා ඇත්තේ මීට කලෙකට පෙරය. එබැවින් දැන් ක්‍රීඩිකාවෝ නවීන පන්නයේ මෝටර් රථවල ද හිමිකාරිනියෝ වෙති. මෙතෙක් කාලයක් චමරිට පමණක් ලැබුණු ජාත්‍යන්තර ෆ්‍රැන්චයිස් තරග බිමට පිවිසීමේ දොරටුව දැන් හර්ෂිතාලාට, කවීෂාලාට ද විවරවනු ඇත.
ආසියානු ජයග්රහණයෙන් පසු ආපසු සිය ගම්බිම් බලා ගිය අත්දැකීම් බහුල වේගපන්දු යවන්නිය උදේශිකා ප්‍රබෝධනී සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාලයේ පැතිරී ගිය කනගාටුදායක පුවත ගැන ද යමක් ලිවිය යුතුය. ඉන් කියැවෙන්නේ ආසියානු කුසලාන ජයග්‍රහණයට උරදුන් උදේශිකා ගම්බිම් බලා ගියේ පොදු ප්‍රවාහන බස් රථයකින් බවය. එය සැබෑය. එහෙත් එය එසේ වූයේ සෙසු ක්‍රීඩිකාවන්ට මෙන් ඇයට මෝටර් රථයක් මිලදී ගැනීමට තරම් වත්පොහොසත්කමක් නැති නිසා නොව මෝටර් රථවලට ප්‍රිය නොකරන හා මෝටර් රථ පැදවීමට බිය වන ආකාරයේ ක්‍රීඩිකාවක වීම නිසා බව දන්නේ අතලොස්සකි. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව වන ඇගේ කැමැත්ත ඉතා සරල දිවි පෙවෙතකි. එබැවින් ඇය සම්බන්ධව සමාජ මාධ්‍යජාලයේ පැතිරෙන කතා පුවත ඇයට කරන අගෞරවයක් මෙන්ම ආසියානු කුසලාන ජයග්‍රහණය හෑල්ලු කිරීමක් පමණි.
දැන් එළැඹී ඇත්තේ චමරිලා මෙන් තවත් දහස් සංඛ්‍යාත ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවෙන් බිහි කිරීමට අඩිතාලම දමා ඇති යුගයකි. අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනිය අප්සාරි තිලකරත්නලා ඇතුළු පිරිස උතුරු කොනේ සිට දකුණු කොන දක්වා පීරමින් දක්ෂතා ඇති යොවුන් ක්‍රීඩිකාවන් සොය සොයා ජාතික තලයට පොම්ප කරමින් සිටින කාලයකි. ජාතික කණ්ඩායමට සේන්දු වීමට දැන් ඔවුන් පෙළ ගැසී සිටින්නේ බුරුතු පිටිනි. ආසියානු ජයග්‍රහණයත් සමඟ දැන් සියලු ක්‍රීඩිකාවන්ගේ ‘මොරාල් එක‘ එවරස්ට් කන්දටත් උඩිනි. කාන්තා සවිබලගැන්වීම යනු මේවාටය. වෙනත් නිදසුනක් අවශ්‍යම නැත.
ෆවුස් මොහොමඩ්