සිංහල විශ්වකෝෂයේ සහකාර කර්තෘවරයකු ලෙස කටයුතු කළ සිළුමිණ පත්‍රයට ප්‍රණීත විශේෂාංග රචනා කළ සාහිත්‍යවේදී සරත්චන්ද්‍ර ජයකොඩි සූරීන් අභාවප්‍රාප්ත වී 2009 අගෝස්තු 9 වැනිදාට වසර පහළොවක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
කෘතහස්ත ලේඛක සරත්චන්ද්‍ර ජයකොඩි සූරීන් ශාස්ත්‍රීය ලෝකයටත්, සාහිත්‍ය ලෝකයටත් සුවිශාල සේවයක් ඉටු කළේය. ස්වතන්ත්‍ර සහ පරිවර්තිත කෘති තිහක් පමණ පළ කර පාඨක ප්‍රජාව පෝෂණය කළේය.
ජයකොඩි සූරීන්ගේ රචනා රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ සුලලිත පද රචනා සිහිගන්වයි. ඒවා රමණීයයි. ලීලෝපේතයි. රසිකයන් පිනවයි.
සිංහලයේ චූල භාෂා සේ සැලකෙන පාලි – සංස්කෘතාදී භාෂා ද ඉංගිරිසිය ද මැනවින් දත් හෙතෙම පෙරදිග සාහිත්‍යයත්, අපරදිග සාහිත්‍යයත් හදාරා තිබිණි. එබැවින් ඔහුගේ ලියවිලි සාරවත් ද ප්‍රාණවත් ද විය.
අලගත්කෝනාර රාජධානිය සේ සැලකෙන රයිගම් කෝරළයේ උඩගහපත්තුව හඳපාන්ගොඩදී 1944 ජනවාරි 3 වැනිදා ජන්ම ලාභය ලත් ඔහු එම හතරදිග්භාගයේ හක්කලං කිරීම නිසාම හිරිමල් වියේ සිටම ඒ ගම්පියස සෞන්දර්ය නිකේතනයක් සේ දුටුවේය.
ඔහුගේ හෘදයහාරී භාෂා භාවිතයත් යටගිය තොරතුරු ගැමි බස – ගැමි වහර – ගැමි සිරිත විරිත – ඇවතුම් පැවතුම් ගැමි වටිනාකම් මෙන්ම, ඔවුන්ගේ සාරධර්ම පද්ධතියේ අගයද වටහාගෙන සිටියේය. ඒ සාරධර්ම තම ජීවිතයේ ආත්මය කොටගෙන සිටියේය.
මා සිළුමිණ කර්තෘ පදවිය දරද්දී ‘නල මුදු සුවඳ’ විශේෂාංගය ද, තවත් වරෙක චීන ජාතික ත්සුං ආං විසාං හෙවත් ත්‍රිපිටක භික්ෂුවගේ භාරත චාරිකාව අලළා ආතර් වේල් ලියු The Real Tripitaka පරිවර්තික ‘ත්‍රිපිටක යාත්‍රා’ ලිපි මාලාව ද මා ඉරුදිනේ සිටියදී ‘තවද එක් සමයෙක්හි’ ඔහු ලවා ලියවා ගතිමි.
‘නල මුදු සුවඳ’ මනහර බසින් ලියැවුණු රසාලිප්ත ලේඛන මාලාවක් විය. ආතර් වේල් ලියු ‘ත්‍රිපිටක යාත්‍රා’ පුරා වසරක පමණ කාලයක් අඛණ්ඩව සිළුමිණේ පළ විය. එය 2002 දීම ග්‍රන්ථගත විය. ත්‍රිපිටක භික්ෂුව චීනයේ සිට භාරතයට පැමිණියේ නාට්‍ය රචක ශ්‍රී හර්ෂරාජ සමයේදීය. ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික හියුංසාංගේ හා පාහියන් භික්ෂුවගේ චාරිකා සටහන් සේම මාහැඟි තොරතුරු අඩංගුව ‘ත්‍රිපිටක යාත්‍රා’ එවක භාරතයේ බෞද්ධ අධ්‍යාපනය – බෞද්ධ පර්යේෂණ – රාජ්‍ය පාලනය – විදෙස් සබඳතා – යුද්ධෝපක්රම – සාහිත්‍යකරණය පිළිබඳ තොරතුරු රැසක් හෙළි කරන අනගි තොරතුරු ගබඩාවකි.
සරත්චන්ද්‍ර විසින් පරිවර්තිත දියණි – ලුම්බිණියේ සිට කුසිනාරාව දක්වා ආදී කෘති අතර, බැද්දේගම – සුදු වැද්දා ලියූ ආර්. එල්. ස්පිට්ල්ගේ ඉංගිරිසි පද්‍ය කෘතියක් ද වෙයි. ගද්‍ය කෘතියක් පරිවර්තනය කිරීමට වඩා භාරධූර කාර්යක් වූ මේ ග්‍රන්ථය Leaves of The Jungle ය. මෙය ඔහු සිංහලට නැඟුවේ ‘වන තුරු පත් මත ලියූ කවි’ යන අපූරු නාමයෙනි. ස්පිට්ල්ගේ ඉංගිරිසි පද්‍යය ද එහි පරිවර්තනය ද මෙහි පළ කර ඇත. සියලු පද්‍ය ජයකොඩි සූරීන් ලියන්නේ ඡන්දසට අනුකූලවය.
බබළන සුනිල් වන් වූ ගිරි සිරෙක සිට
නැතහොත් නුදුරු බිම මිටියාවතෙහි යට
තුරුලිය සුසැදි වෙරළෙහි වැලිතලය පිට
අමතන වරා විණ! ලංකා දෙරණ මට
පැහැබර තුරු ලියෙන් සුසැදුණු මහ වනය
දනවන සොඳුරු බව මුසු සිසිලස ගුණය
වදනින් නොකිව හැකි ලකරින් අපමණය
ලංකා ඔබ මගේ සුන්දර නිවහනය
වන තුරු පත් මත ලියූ කවි කෘතියට ඔහු ‘බිහිදොර’ යන හිසින් ලියන පෙරවදනින් පෙරපර දෙදින සාහිත්‍යය අරබයා සරත්චන්ද්‍රයන් සතු පෘථුල දැනුම් සම්භාරය කෙතරම්දැයි මනාව ප්‍රකට වෙයි. සිංහල විශ්වකෝෂයේ එතුමා කළ මෙහෙවර ද ඉන් අපට වටහාගත හැකිය.
ඔහු ‘තවද එක් සමයෙක්හි’ සටහන් කළ සෞන්දර්යයේ විචිත්රත්වයයි මේ.
“මල් මුර කාලයට ගමේ පන්සල මල් ලෝකයකි. ගම්මානයේ හැම පඳුරකම පිපෙන නන් වන් සුවඳ පැහැ යුතු මල් මැලි පන්සලේ මුලසුන කරා පැමිණියේ සැදැහැති සියුමැලි සුපිරිසුදු දෝතිනි. මේ කියන කාලයේ එතරම් ජනගහනයක් නොවූයෙන්, ගමේ එක් මංසල – දෙමංසල – තුන් මංසල – සිවු මංසල යන කොතැනත් යකුන් – යක්ෂණියන් අරක්ගෙන සිටියේ ආතා මුත්තා කාලයේ සිටය”
මේ ලිපි මාලාව සෞන්දර්යාත්මක – වර්ණවත් – චිත්ත රංජනය කළ අතරම, ජයකොඩි සූරීන්ගේ ජනශ්රැති – ජන වහර – ජන ඇදහිලි මෙන්ම, සමකාලීන වියතුන් – විද්වතුන් පිළිබඳ අතීතානුස්මරණ ද පාඨකයන් කුල්මත් කළේය.
දඹර ඉස්කෝලේ ලොකු මහත්තයාගෙත් ලොකු ඉස්කෝල නෝනගේත් පුත් ජී. හේමපාල විජේවර්ධන හොරණ තක්ෂිලාවෙන් උගෙන පේරාදෙණිය සරසවියට ගොස් උපාධි ලැබ ඉනික්බිති භාරතයේ පූනා විශ්වවිද්‍යාලයේදී වියත් බ්‍රාහ්මණයන් වෙතින් අලංකාර ශාස්ත්‍ර හදාර පෙරළා පැමිණි හැටිත්, ඇල්ප්‍රඩ් විනිප්‍රඩ් නමින් වැල්ලම්පිටියේ කිත්තම්පහුවේ උපත ලැබ ඊ. එම්. අදිකාරම් ශිෂ්‍යයා, ආච්චි හදා දුන් කඩයප්පන් ටික යාබද කඩයට ගෙන ගොස් දී හාමතේ කොළඹ වෙස්ලි කොලීජියට ගොස්, කරාමයට කට තබා බඩකට පුරා වතුර බී පන්තියට ගිය හැටිත්, පසුව මෙරට දෙමළ නායකයකු වූ එස්. ජේ. වී. චෙල්වනායගම් ගුරුතුමා අදිකාරම් ශිෂ්‍යයාට පන්තියෙන් පසු ගණිතය කියා දුන් හැටිත් බොහෝ දෙනෙකු දන්නේ නැත.
එන්. එම්. පෙරේරා සමඟ එංගලන්තයේදී එකට ආචාර්ය උපාධි ලබා ඇවිත් එකට සමසමාජ පක්ෂය හැදු හැටිත් ‘භංග වේවා’ යන සටන් පාඨය නිසා ආචාර්ය අදිකාරම් සම සමාජ ව්‍යාපාරයෙන් ඉවත් වූ හැටිත් අපූරුය. එසේම පිළියන්දල උපන් ඩේවිඩ් පෙරේරා, සෝමවීර චන්ද්‍රසිරි වමේ දේශපාලනයෙන් මැති සබේට ගොස් කිසියම් වරදකට හිරේ විලංගුවේ වැටුණේය. කවියකුට කොතැනත් කවි නොලියා සිටිය නොහැකිය. ඔහු තමන් වෙනුවෙන් නැඟී සිටින්නැයි පී. බී. අල්විස් පෙරේරා කවියාට කියා සිටියේය.
මට හිර ගෙදර පුරුදුයි මට දුකක් නැහැ
සති හය නමුත් වැඩි වුවත් කමක් නැහැ
ඔබ පෙරමුණක් ඇති නොකළොත් වැඩක් නැහැ
එය යෙදුවොතින් ජය ගැන නම් සැකක් නැහැ
හඳපාන්ගොඩ ඉස්කෝලේ ඉංගිරිසි මහත්තයා ඉංගිරිසි කියා දුන්නේ අපූරු ක්‍රම වේදයකටයි. මුලින්ම ඉංගිරිසි හෝඩියේ අකුරු 26 කියා දී ‘හෝඩිය’ට ඉංගිසිරියෙන් කියන්නේ ‘ඇල්ෆබට්’ යැයි උච්චාරණය කළේය. ළමෝ තුෂ්ණීම්භූතව උඩ බිම බැලූහ.
හොඳයි ළමයි දන්නව නේද සල්ගහ හන්දියේ ඇල්බට් අය්යා? එහෙනං ඇල්බට් අයියගේ මැද්දට ‘F’ අකුර දැම්මහම ‘අල්ෆබට්’ යැයි කියා දුන්නේය. ‘කලටි පොල් මතක තියා ගත්තහම ‘පොලිටිකල්’ උඹලට මතක හිටීවී. ඉංගිසිරි මහත්තයගෙ ඉංගිරිසි ඉගැන්වීම් පහසු ක්‍රමය කොතරම් අපූරුද?
සරත්චන්ද්‍ර ජයකොඩි මුලින්ම විශ්වකෝෂයේ රැකියාවට ගිය දා සිටම අලුයම පාදුක්කෙන් කොළඹ බලා යන බස් රියෙන් කොළඹ 7ට පැමිණියේය. සවස ගොම්මනේ යළි හඳපාන්ගොඩට ගියේය. ඔහුට ගමෙන් තොර ජීවිතයක් නොවීය. එසේම ගැමි කමට – ගැමි වටිනාකම්වලට – අල්පේච්ඡතාවට වැඩි මාහැඟි ඔටුන්නක් ඔහුට නොතිබුණේය.
සැබැ ශාස්ත්රවන්තයකු වූ සරත්චන්ද්‍ර ජයකොඩි සහකාර කර්තෘවරයෙකු වශයෙන් ‘සිංහල විශ්වකෝෂය’ට සුවිසල් මෙහෙවරක් ඉටු කළේය. ඇතැම් ඉංගිරිසි වදන්වලට නිරවද්‍ය – අර්ථ සම්පාදිත – වහරට ගත හැකි වදන් නිර්මාණය කර දුන්නේය. එසේ වුව ද ඔහුට නිසි අවස්ථාවේදී සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ පදවියට පත්වීම ශාස්ත්‍ර ලෝකයේ ද පවතින බලවේග ඉඩ දුන්නේ නැත.
ඔහු විශ්‍රාම ගොස් වසරකට පමණ පසු ඔහුට ‘සිංහල විශ්වකෝෂයේ’ ප්‍රධාන කර්තෘ පදවියට පත් කළ බවට අරුම පුදුම පත්වීමක් ලැබුණ ද ඒ වන විට ඔහු හිත හදාගෙන සුපුරුදු ගමේ ජීවිතය ගත කරමින් සිටියේය.
සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ පදවියට පත් නූන ද සරත්චන්ද්‍ර ජයකොඩි සූරීන්ගේ කීර්ති රාවයේ අඩුවක් නැත.
තිලකරත්න කුරුවිට බණ්ඩාර