පක්ෂ දේශපාලනය අමතක කරලා රට දිහා බැලුව පනතක්
– මහාචාර්ය ප්‍රතිභා මහානාම
ආර්ථික පරිවර්තන පනත ගෙන ඒමට හේතු වූ කරුණු රාශියක් වෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා ඒ එකඟතාවය අනුව ක්‍රියා කරනවා; නම් අපිට ඒ ගිවිසුම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒකට හේතුව තමයි ගිවිසුම්වලින් පාර්ශ්වවලට අයින් වෙන්න පුළුවන්. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැක්මත් සමඟ ශ්‍රී ලංකාවට සරිලන ඉදිරි ආර්ථිකය නඟාලීමට ශක්තිමත් ව්‍යුහයක් අපි සකස් කළ යුතුයි. ලංකාව 1966 ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් කරලා තිබුණට තවමත් ආර්ථික අයිතිවාසිකම් ව්‍යවස්ථාවේ පවා නැහැ. මෙය පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශයත් සුළු හා මධ්‍ය පරිමාණ ඉන්න ව්‍යවසායකයනුත් සියලුදෙනා එකම තැනකට ගෙන ඒමට සමත් වූ පනතක්. ඒක ගැන ජාත්‍යන්තරය දැන් කතා කරනවා. එයට හේතුව පසුගිය සැප්තැම්බර් මාසවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඒ පිළිබඳ අවධානය යොමු කළා. ඒ සියල්ලට අපි ආමන්ත්‍රණය කරන්න අවශ්‍යයි.
බොහොම කාලයකට පසුව සියලුම දෙනා එකඟතාව පළ කළ පනතක්. සියලු දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලනය ඉවතට තියලා රට දිහා බැලුව පනතක් කියලයි මම මේක දකින්නේ. මේ පනත සම්මත වෙලා පමණක් මදි; මෙය ක්‍රියාදාමක් බවට පත් කරගත යුතුයි. මේ පනත තුළින් ජනතාවගේ ව්‍යවසායකත්වය වර්ධනය කර ජාත්‍යන්තර සබඳතා තුළින් ඉදිරියට යා යුතුයි කියලයි මම කියන්නේ. කාලෙන් කාලයට දේශපාලන පොරොන්දු එනවා; ඒවා නැවත නැතිවෙලා යනවා. මෙය රටේ නීතියක් බවට පත් කර ගෙන තියෙනවා; ඒවා රාජ්‍යයත් සමඟ ඉදිරියට යනවා කියලා අපි පෙන්විය යුතුයි. ආර්ථික සැලසුම් සියල්ල එක්තරා මධ්‍යගත තැනකට ගෙන ඒමට එමඟින් හැකියාවක් තියෙනවා.
මේ තුළින් පරිවර්තනීය ආර්ථික වෙනසක් අවශ්‍යයි
– කර්මාන්ත සංවර්ධන මණ්ඩල සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම
ඇත්ත වශයෙන්ම මේ පනත තුළින් අපේ රටේ පරිවර්තනීය වෙනසක් විය යුතුයි. සරලව ගත්තොත් ඒ සඳහා නීතිරීති සහ ප්‍රතිපත්ති රාමුවක් අනිවාර්යෙන් අවශ්‍යයි.
ආර්ථික පරිවර්තනීය වෙනස කරන්න නීති සහ ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍යයි. එය සකස් කිරීම තමයි ජනාධිපතිවරයාගේ අරමුණ. ලෝකයේ තියෙන අලුත් නීතිරිති සහ ප්‍රතිපත්ති අනුව වෙනස් කරගෙන අපි ඉදිරියට යා යුතුයි. මේ පරිවර්තනීය වෙනස කිරීමට නිලධාරීන් සහ දේශපාලනඥයන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ දේ සිදු කිරීම ජනාධිපතිවරයාගේ අරමුණයි.
ඒ නිසා මෙය මේ තියෙන ආර්ථිකය සම්බන්ධ නීතිරීති වෙනස් විය යුතුයි. එයට අවශ්‍ය නීතිරීති රාමුවක් හදන එක කාලීන අවශ්‍යතාවක්. විදෙස් ආයෝජන කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් චීනය, සිංගප්පූරුව, ඉන්දියාව වැනි රටවලින් වැඩිපුරම ආයෝජන ගෙන්විය හැකියි. අපිට මේ වන විට වෙනත් රටවල ආයෝජන ගෙන්වීමට නීති සහ බාධක තියෙනවා. එසේම අපේ රටේ ශ්‍රම බළකාය වැඩි විය යුතුයි.
කාන්තා ශ්‍රම දායකත්වය 34% වැනි ප්‍රමාණයක් සිටින්නේ ඒ ප්‍රමාණය වැඩි විය යුතුයි. සාමාන්‍ය විදිහට 50%ක් විය යුතුයි. රටේ ආර්ථික පරිවර්තනීය සම්බන්ධයෙන් මෙවැනි අංශ කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත්. අණපනත් තිබුණත් අදාළ අංශවලින් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි.
මේ පනත එක්ක දූෂණ විරෝධී පනතත් නිසියාකාරයෙන් ක්‍රියාත්මක විය යුතුයි
– කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ
ආර්ථික පරිවර්තන පනතෙහි මූලික වශයෙන් කතා කෙරෙන දෙයක් නම් සාර්ව ආර්ථික ස්ථායිකරණයට ඉතා වැදගත් වෙන ආර්ථික ඉලක්ක පිහිටුවා තිබීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ පිහිටුවා ගෙන ඇති කොන්දේසි දිගුකාලීනව ආරක්ෂා කරගැනීම, ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් විදියට 95% පවත්වා ගෙන යාම, ගෙවුම් ශේෂ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක මට්ටමක පවත්වා ගෙන යාම, ආර්ථික වර්ධනය 5% නොඅඩු මට්ටමක පවත්වා ගෙන යාම යන කාරණාත් මේ තුළ ඇතුළත් වෙයි. සාර්ව ආර්ථික ස්ථායීකරණය අමතරව මූලික ඉලක්ක තුනක් පිහිටුවා ඇත. ඒ ඉලක්ක ගත්විට මෑත දශක හයක හතක කාල සීමාව තුළ දී සංවර්ධනය වූ රටවල්වල දකින්න පුළුවන් මූලික ලක්ෂණ තුනක් ප්‍රධාන වශයෙන් අත්කර ගැනීමට අදාළ ඉලක්ක පිහිටුවා ඇත. භාණ්ඩ හා සේවා දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් විදිහට ගෙන ආ යුතුයි. ලංකාවේ දැනට දළ දේශීය නිෂ්පාදිතය 21.5 % ඉක්මවා ගොස් ඇත. ඒ කාරණාව අත්කර ගැනීමට මෙහි ඉලක්ක පිහිටුවා ඇත. කාන්තා ශ්‍රම සහභාගීත්වය වර්ධනය කිරීමට කටයුතු කර ඇත. වැඩ කළ හැකි වයසේ පසුවන මුළු කාන්තාවන්ගේ 34% පමණ ආර්ථිකයට දායක වෙයි. එහිදී මේ ප්‍රමාණය 50% දක්වා ඉහළ දැමීමට රජය ඉලක්ක කරගෙන තිබීම ඉතා වැදගත් වෙයි. ශ්‍රම සහභාගීත්වය වැඩි කිරීම හරහා ආර්ථික වර්ධනය කර ගැනීමට හැකි එකම මඟ වන්නේ කාන්තා ශ්‍රම සහභාගිත්වය ඇති කර ගැනීමයි.
සමස්ත ශ්‍රම සහභාගිත්ව 55% වෙන අතර මෙය සියයට 75% ගෙන ඒම ඉතා වැදගත් වෙයි. ආර්ථික වර්ධනය සඳහා ආයෝජන සැපැයුම පළල් කිරීම වැදගත් වෙයි. ලංකාවේ ආයෝජන ගත් විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 32% වෙයි. රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 පමණ වෙයි. ඉතිරි ප්‍රමාණය පෞද්ගලික ආයෝජන වෙයි. මේ ප්‍රමාණය අපිට මෙය ප්‍රමාණවත් නැහැ. සංවර්ධිත රටක් ලෙස ණය ලබා ගැනීම තුළින් අප අර්බුදයකට ගිහින් තියෙන්නේ. එකම විසඳුම ණය ආයෝජන ප්‍රවර්ධන කිරීමට අදාළව රජය මූලික වශයෙන්ම ඉලක්ක පිහිටුවා ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ ඉලක්කයක් ලෙස විදෙස් ආයෝජන සියයට 5% දක්වා ගෙන ඒමට අවශ්‍යයි. ඒ සඳහා යම් යම් ඉලක්ක පිහිටුවිය යුතුයි. ව්‍යාපාරකරණය පහසු කිරීම සඳහා වන දර්ශක ලෝකයේ වෙයි. ඒ සඳහා අපි යම් යම් ඉලක්ක පිහිටුවිය යුතු වෙයි. වංචාව දූෂණය, අල්ලස වැනි අංශ බරපතළ ගැටලු වෙයි. සැබෑ ආර්ථික පරිවර්තනයක් කිරීමට නම් මේ ආර්ථික පරිවර්තන පනත සමඟ දුෂණ විරෝධී පනත ද නිසියාකාරයෙන් ක්‍රියාත්මක කළ යුතුයි.
මේ පනතට කිසිවෙක්ට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ
– කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න
ආර්ථික පරිවර්තන පනත මඟින් මැදිකාලීන, දිගුකාලීන ආර්ථික ගමන් මඟ පිළිබඳව පැහැදිලි වෙයි. ආර්ථික ස්ථායිතාව සහ ණය තිරසාර බවට අදාළ කරන ප්‍රතිපත්ති අවශ්‍යයි. මේවා ජනතාවට ඉතාමත් වැදගත් වෙයි. මේ වන විට ආර්ථිකය නැවත හැරුණා කියන එකෙන් අපි යථා තත්ත්වයට පත්වුණා හෝ අපේ ඊළඟ ආර්ථික අර්බුදය වළක්වා ගත්තා කියලා අදහස් කරන්නේ නැහැ. එසේම තවත් විශාල බලාපොරොත්තුවක් තියෙනවා. ඉදිරි වසර 25ක කාලය තුළ පොහොසත් රටක් බවට පත්වීමට අවශ්‍ය කරන පියවර ගනු ලැබිය යුතුයි. මේ කරුණුවලට අදාළ මූලික ගමන් මඟ ආර්ථික පරිවර්තන පනතේ ඇතුළත් කරලා තියෙනවා. එහි ඇති මුලික අංග උපාංග: එනම් ආර්ථික වර්ධනය සේවා නියුක්තිය, අපනයන ප්‍රවර්ධනය, ආයෝජනය, දරිද්‍රතාව මෙවැනි කරුණු සියල්ල එහි ඇතුළත් වී තිබෙනවා. මම හිතන්නේ නැහැ මේ පනතට කිසිවෙක්ට විරුද්ධ වීමේ හැකියාවක් ඇතැයි කියලා. මෙයට හේතුව අද තියෙන දේශපාලන වාතාවරණ තුළ අවශ්‍ය වෙන්නේ ආර්ථික ගමන් මඟ නිවැරදිව දැකීම මිසක විවිධාකාර දේශපාලනික මතිමතාන්තර පසුපස දිවීම නොවෙයි. මෙය ලොකු ප්‍රවණතාවයක්. මේ වැනි එකඟතාවයන් ජාත්‍යන්තරයට පෙනෙන්නේ ධනාත්මක ආකාරයටයි. අපේ රටට විදෙස් ආයෝජන එන්නේ නැහැ. අපේ රට ව්‍යාපාර පැත්තෙන් බලන විට හුඟක් දුර්වලයි. අසල්වැසි රටවල් අතර අපේ රට විශාල ලෙස පසුගාමි තැනක ඉන්නේ. ආර්ථික වර්ධනය, අපනයන ප්‍රවර්ධනය පැත්තෙන් ආයෝජකයන්ට විශ්වාසයක් නොමැති වී තියෙනවා. නමුත් මේ වගේ ආයෝජන සඳහා විශ්වාසයක් නොමැති වීමට හේතුව නම් අපි හුඟක් බෙදිලා ඉන්නේ. මේ වගේ දේකට පොදු එකඟතාවයක් ලැබෙනවා නම් ආයෝජක විශ්වාසය ආර්ථිකය දිනාගැනීමට ඉතාම වැදගත් දෙයක් නිසයි. මෙය ඉතාමත් හොඳ ප්‍රවණතාවයක්. ඒ ප්‍රවණතාව තුළින් අපේ ඉදිරි අවුරුදු 20 වැනි කාලයක් තුළ ඉතාමත් හොඳ තැනකට මේ රටේ ආර්ථිකයට ගමන් කළ හැකිවෙනවා.
මෙය ආර්ථිකය සම්බන්ධයෙන් ඓතිහාසික පනතක්
– මහජන බැංකුවේ සභාපති වරලත් ගණකාධිකාරි සුජීව රාජපක්ෂ
ඇත්ත වශයෙන්ම මේ පනත මෑතකාලීන සම්මත වූ ඉතාමත් වැදගත් පනතක් ලෙස මම වෘත්තිකයෙක් හැටියට දකිනවා. පෞද්ගලිකව අපි වෘත්තිකයන් ලෙස බලාපොරොත්තු වූ දෙයක් මේ පනත තුළින් සිදු වෙලා තියෙනවා. රටේ ආර්ථිකය කුමන ආකාරයට කුමන දිශානතියකට ගමන් කරනවා ද කියලා පැහැදිලිවම මේ පනතින් කියලා තියෙනවා. මෙය ඓතිහාසික පනතක් ලෙසයි මම දකින්නේ. අවුරුදු පහෙන් පහට අපේ දේශපාලන ගමන් මඟ දේශපාලන මතිමතාන්තර සහ දැක්ම ඉදිරිපත් වෙනවා. තවත් රජයක් බලයට පත්වුණාට පස්සේ එය සම්පූර්ණයෙන්ම අනික් පැත්තට හැරවීමක් සිදුවන අවස්ථාවන් අපි දකිනවා. නමුත් මෙතැනදි මම දැකපු දෙයක් තමයි මේ පනත නිසා රටේ තිරසාර සංවර්ධනයක් ඇති වෙනවා. ඒ වගේම රටේ සමෘද්ධිය ඵලදායිතාව ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම සාමාජීය කාර්යභාරය වැඩි කිරීම සැමට අවස්ථාවක් ලබාදී තියෙනවා. එසේ ම දළ දේශීය නිෂ්පාදිතය 5%ක් විය යුතුයි කියලා යන කරුණ සඳහන් වෙනවා. එය ඉතාමත් වැදගත් කරුණක් වෙනවා. එසේම එය කෙසේද කරන්නේ යන කරුණත් රැකියා වියුක්තිය 5%ක් මට්ටමක තබා ගැනීම යන කරුණත් සම්බන්ධයෙන් කතා කිරීමේදී මෙරටේ තරුණ තරුණියෝ පිටරට යෑම ලොකු අර්බුදයක් වෙලා තියෙනවා. මේ රට හැර යෑම මේ දේවල් සියල්ල අඩු වීමක් සිදුවිය හැකියි කියලා අපි විශ්වාස කරනවා.
එසේම කාන්තා නියෝජනය වැඩි කිරීම ඉතා වැදගත්. විදෙස් ආයෝජකයන් මෙරටට පැමිණිමේදී ඒ අය බලන නිර්ණායක් තියෙනවා. ඒ අනුව මෙහිදී කාන්තා ශ්‍රම වෙළෙඳපොළේ කොතරම් ප්‍රතිශතයක් ඉන්නවාද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. 2030 වසරේදී කාන්තාවන් 40% ක් ඉක්මවිය යුතුයි කියලා සඳහන් වෙනවා. නමුත් ඒවාට සෑම රජයක් විසින් ම වැඩපිළිවෙළක් යොදන්න අවශ්‍යයි. කොහොමද අපි කාන්තා නියෝජනයක් ඇති කරන්නේ කියලා. එසේ ම භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ද මෙහිදී කතා කරනවා. අපනයන සම්බන්ධයෙන් කතා කිරීමේ දී අපනයන ආර්ථිකයක් මේ රටට අවශ්‍යයි. එය මොන විදිහටද යන කරුණ වැදගත්. මෙය මෑත ඉතිහාසයේ ඉතා වැදගත් පනතක් කියලා මම විශ්වාස කරනවා. මේවා ආර්ථිකය සම්බන්ධ ගත් හොඳ පියවර. කිසිදු රජයක් යටතේ වෙනසකට ලක් කළ නොහැකි වීම ඉතාමත් වැදගත් කරුණක් කියලා මම විශ්වාස කරනවා. එයයි මෙහි වැදගත් වෙන්නේ. බැංකු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කතා කිරීමේදී ලෝකයේ තියෙන බැංකු 900ක් සමඟ අපි සම්බන්ධ වී කටයුතු කරනවා. ආයෝජකයන් සමඟ අපි සාකච්ඡා කරනවා. ඔවුන්ගෙත් විශාල පරිවර්තනයක් ඇති වී තියෙනවා; ඒ වගේම ඔවුන්ට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා මේ මඟින් ලංකාව හොඳ දිශානතියක් කෙරෙහි යොමුවෙලා කියලා. මෙය ඉතාමත් සාධනීය පනතක් සහ සියලු ක්ෂේත්‍ර ආවරණ වන ආකාරයේ පනතක් කියලා මම දකින්නේ. විශේෂයෙන් නිලධාරීන්ට ගැලවීමට නොහැකි කරුණ නම් ඔවුන්ට ඔවුන්ගේ කාර්යභාරය සාධනය කරගැනීමට අනිවාර්යෙන් සිදු වීමයි. ඒ අනුව සාරාංශ වශයෙන් ගත් විට මෙය ආර්ථිකය සම්බන්ධ වැදගත් පනතක්.
ආයෝජන කලාප බිහි කිරීම වැදගත්
– ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස
මේ පනත රටට ආදරය කරන සියලු පාර්ශ්ව විසින් අනිවාර්යෙන් අනුමත කළ යුතුයි. ශ්‍රී ලංකාව වැනි රටවල්වල සංවර්ධනය අනුව විදේශ ආයෝජන ඉතා වැදගත්. ආයෝජන මණ්ඩල වැනි ආයතන මීට වඩා සක්‍රීය විය යුතුයි. විදෙස් ආයෝජන, කාන්තා ශ්‍රම දායකත්වය, විදෙස් ව්‍යවසායකත්වය වැඩි දියුණු කළ යුතු කරුණු වෙනවා. රටේ තිරසර සංවර්ධනයක් ළඟා කරගැනීම වැනි කරුණු පිළිබඳ බලාපොරොත්තු ඉටු කරගැනීමට නම් සියලු පාර්ශ්ව මෙයට සහයෝගය ලබා දිය යුතුයි.
අකාර්යක්ෂමතාවය, ඵලදායිතාවය වැඩි කරගත යුතුම අතර තාක්ෂණික අංශයෙන් අපනයන ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි. එයින් විශාල විදේශ ආයෝජන ප්‍රමාණයක් ළඟා කරගත හැකියි. තාක්ෂණ විෂය පුළුල් කිරීමට ද විශාල වගකීමක් අදාළ පාර්ශ්වයන්ට තියෙනවා. එසේ ම විදෙස් ආයෝජකයකුට ආයෝජන කිරීම සඳහා කළ අවශ්‍ය නීතිමය කාර්ය පටිපාටිය ඉතා සංකීර්ණයි. ඒවා කඩිනමින් ලබා ගැනීමට හැකියාවක් නොමැතිවීම ගැටලුවක්. එබැවින් මෙම පනත මඟින් ආර්ථික කොමිසමක් ඇති කිරීම ඉතා කාලෝචිත පියවරක්.
මෙම පනතෙහි කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය බව හඳුනා ගැනීම ඉතා වැදගත් කරුණක්. කාන්තා ශ්‍රම දායකත්වය කාන්තා ව්‍යවසායකත්වය වැඩි කිරීම තුළින් ද ලබාගත හැකියි.
2023 ගෝලීය ව්‍යවසායකත්ව නිරීක්ෂණ වාර්තාවට අනුව ගෝලීය වශයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් ස්වෝත්සාහී ව්‍යවසායකයන් බව නිරීක්ෂණය කර තියෙනවා. ස්ථාපිත ව්‍යාපාර පවත්වා ගෙන යන සෑම ව්‍යවසායකයන් තිදෙනෙකුගෙන් එක් අයෙක් කාන්තාවක්.
සිංගප්පූරුව විවෘත සහ දැඩි ලෙස වෙළෙඳාම මත යැපෙන ආර්ථිකයක් පවත්වා ගෙන යමින් දියුණුව කරා ළඟා වී සිටිනවා. එබැවින් මෙම පනත හරහා හඳුනා ගෙන ඇති ආයෝජන කලාප බිහි කිරීම වැදගත්. ත්‍රිකුණාමලය, හම්බන්තොට වැනි ප්‍රදේශවල මෙවැනි ආයෝජන කලාප ඇති කිරීම මඟින් අපට විශාල ආර්ථික ප්‍රතිලාභ අත්පත් කරගත හැකිය. විවෘත ආයෝජන ප්‍රතිපත්ති ද, නිදහස් වෙළඳපොළ ආර්ථික ප්‍රතිපත්ති ද මේ සඳහා වැදගත්. ඩිජිටල් නවෝත්පාදනය, ඖෂධ නිෂ්පාදනය, කෘත්‍රිම බුද්ධිය සහ සයිබර් ආරක්ෂාව වැනි ක්ෂේත්‍රයන්හි අයෝජන රටට ලබා ගැනීම ගැනීම ඉතා වැදගත්.
අප රටෙහි භාවිත වන සම්ප්‍රදායික කෘෂිකර්ම ශ්‍රමාධික සහ ඵලදායිතාවයෙන් අඩුයි. කෘෂිකර්මය, නවීකරණය කිරීම එයට හොඳ විසඳුමක්. ඒ හරහා ලංකාව වැනි කුඩා රටකට ඇති අඩු ඉඩ ප්‍රමාණයෙන් වැඩි නිෂ්පාදනයක් ගත හැකි ලෙස කෘෂිකර්මය ප්‍රශස්ථකරණය කළ හැකි වෙනවා
සුභද්‍රා දේශප්‍රිය