මගේ කුලුඳුල් ප්‍රේමයේ
රෝස පෙති මත හැඟුම් තවරා
සිතින් සිපගත් සිහිනයේ
ළඟින් දැවටී සිහිනයක් ගෙන
ඔබත් සිටියා හැම රැයේ
මගේ කුලුඳුල් ප්‍රේමයේ
හඬන නෙතු මත සිහින තවරා
රෑ තාරකාවට දුක කියන්නට
කඳුළු ඇහිලූ ප්‍රේමයේ
ඔබත් සිටියා හැම රැයේ
මගේ කුලුඳුල් ප්‍රේමයේ
අනන්තය තෙක් පාවී යන්නට
රෑ සඳට අප සෙනෙහස කියන්නට
සිහින ඇහිදූ හැම රැයේ
මගේ කුලුඳුල් ප්‍රේමයේ
ඔබත් සිටියා හැම රැයේ
පද රචනය – තුෂාරි මානවඩු
සංගීතය හා ගායනය – සංගීත විශාරද නවරත්න ගමගේ
අපට මේ සමාජයේදී බොහෝ මිනිසුන් හමුවෙනවා. හිනාවෙලා හිටියත් හිත අස්සෙ කඳුළු හංගගෙන ජීවත් වෙන මිනිස්සු අප්‍රමාණයි. ඇය දුකෙන් ඉන්නේ කිසිම කෙනෙකුගෙන් සෘජුවම ප්‍රශ්න කළත් නොකළත් අපට සමහර වෙලාවට ඒ ප්‍රශ්නයට උත්තර ලැබෙන්නෙත් නැහැ. ඒත් හිත බැඳුණ කෙනෙක් එක්ක ලැබෙන සුළු මොහොතකදි හරි ළෙන්ගතුකමින් ළංවෙලා කතා කළොත් ඇය හෝ ඔහු හිත අස්සේ තියෙන කඳුළක් අතට අරගෙන පෙන්වාවි. ඒ කඳුළෙන් ඒ හිත දැවුණු තැවුණු තරම්.
අද මෙන් නොවූ අතීතයේ සැරිසරන විට ඒ අතීතයේ බොහෝ සොඳුරු ඉසව් අපට හමුවෙනවා. පාසලේ, පන්තියේ පමණක් නොවෙයි අතරමඟකදි බැඳුණු යොවුන් ප්‍රේමයක අත්දැකීම් ලැබූ අතීතය. ආදරය කරලා ආදරය ලැබිලා වෙන් වෙන්න වුණොත් ඒ දුක බෙදා ගත්තෙත් බොහෝම සීරූ මාරුවට. වහ බොන්නවත්, මරාගෙන මැරෙන්නවත් හිතුණේ නැති තරම්. කවියක්, ගීතයක් ලියලා එහෙමත් නැත්නම් අඩුම තරමේ නවකතාවක්වත් ලියලා ඒ හිත සැහැල්ලු කරගන්න පුරුද්දක් එකල සිටි පෙම්වතුන්ට තිබුණා. තම පෙම්වතිය වෙනුවෙන්, පෙම්වතා වෙනුවෙන් ජීවිත කාලෙම තනිකඩව හිටපු පරාජිත පෙම්වතියන්, පෙම්වතුන් ද අපට හමුවෙලා තියෙනවා.
“මං ඇත්තටම හිතුවේ එයා දවසක මගේම වෙයි කියලා. ඒතරම් හරි ආදරයෙන් අපි හිටියේ. ගෙවල්වලට කියන්න හිටියත් මොකක්දෝ හේතුවකට එහෙම කියන්න බැරිව ගියා. අපි හමුවුණා. කතා කළා. හෙට ගැනත් බලාපොරොත්තු පොදි ගැහුවා. ඒත් දවසක හැන්දෑවක එයා මට කිව්වා තරහා වෙන්න එපා දෙයක් කියන්න තියෙනවා කියලා.
එදා ඇය මගෙන් සමු ගත්තේ මගෙ අත සිඹලා.
‘ඇයි මේ? ‘මම ඇහුවා
“අපි ආයේ හමුවෙන්නේ නෑ…අම්මලා මට කෙනෙක් හොයලා බඳින්න. මට එයාව බඳින්න වෙනවා. අපි හිත් හදාගමු.“
ඇය මගෙන් සමුගත්තේ ඒ විදිහට.
එකම ගමේ හිටියත් අපි ඉන් පස්සේ හමුවුණේ නැති තරම්. ඒත් එයා මනමාලියක් වෙලා ගමින් යන දවසේ මම වෙල ඉහත්තෑවට වෙලා ඇගේ දිහා බලාගෙන හිටියා. එදා හිතට දැනුණ අහිමි වීමේ වේදනාව මම අදත් විඳිනවා.
දැන් ඇයත් මමත් දෙදෙනාම වියපත්. එහෙම වුණත් මගේ හිතේ ඇය වෙනුවෙන් ඉතිරිවෙච්ච ආදරයක් තියෙනවා. ඒත් ඒ ආදරෙත් එක්කම මගෙ වයස ගෙවිලා ගියා. අම්මා කොතෙක් නම් කියන්න ඇති ද මට වෙන අතක් බලන්න කියලා. එත් මට එහෙම හිතුණේ නැහැ. ඇය ගැන තරහකුත් නෑ ලැබෙන්න තියෙනවනම් දෙයක් ලැබෙයි…. මම හැමදාමත් හිතුවේ එහෙමයි“
ඔහු සැහැල්ලුවෙන් හිනැහුණේය. ඒ අතීතයෙන් හමුවූ එක් ප්‍රේමවන්තයෙක් පමණි. අපිට අපේ ජීවිතවල කුමක් අමතක කළත් ප්‍රථම ප්‍රේමය අමතක කරන්නට අසිීරුය. එය දවසේ කොයිම මොහොතක දී වුව සිහියට නැඟේ. ඇතැමුන් ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් ජීවිත කාලයම විඳවති. ඇතැමෙක් එය විඳවමින් ජීවත් වෙති. එවන් පෙම්වතුන් පෙම්වතියන් කොතෙක් නම් ඇති ද?
එවන් ප්‍රේමයන් ඇසුරෙන් ලියැවෙන ගීත ද අපට හමුවේ.
“රෝස පෙති මත හැඟුම් තවරා
සිතින් සිපගත් සිහිනයේ
ළඟින් දැවටී සිහිනයක් ගෙන
ඔබත් සිටියා හැම රැයේ
මගේ කුලුඳුල් ප්‍රේමයේ…“
මේ එවන් ගීතයකැයි මට හැඟේ. ගීතය සංගීතවත් කර ගයන්නේ විශාරද නවරත්ත ගමගේය. ගීතය රචනා කරන්නේ තුෂාරි මානවඩුය.
ගීතයේ අත්දැකීම පිළිබඳ විමසූ විට තුෂාරි අපට කීවේ මේ වගේ කතාවකි.
“මුලින්ම මම ගීතයක් හැටියට නෙමෙයි මෙය ලිව්වේ. කවියක් විදිහට. මට ඕනකම තිබුණා අද තියෙන මේ පරිසර පද්ධතියට වෙනස්ව එදා අපේ තරණ වියේදී අප යුගයේ අය ප්‍රේමය වින්ද අයුරු වගේම පෙමක් බිඳී ගියාම ඒ වේදනාව ගැන ලියන්න. අද තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් යුගයක්නේ. අද තරුණයෙක් තරුණියක් ආදරය කරන්නේ, ආදරය ප්‍රකාශ කරන්නේ ඉලෙක්ට්‍රොනික් මෙවලම්වලින්. මම එහෙම කිව්වේ. අද ජංගම දුරකතනය මුහුණුපොත, ඔස්සේ තමයි පෙම්වතුන් පෙම්වතියන් ආදරේ හුවමාරු කරගන්නේ. නමුත් මීට අවුරුදු හතළිහකට වගේ කලින් ඒ කියන්නේ අපේ තරණ වියේදී මේ මෙවලම් තිබුණේ නැහැ. නමුත් ඒ ජීවිත හරි සුන්දරයි. අපි හැම රැයකම අහස බැලුවා. හද තරු බැලුවා. හිතේ දුකක් තිබුණනම් කිව්වේ ගහට කොළට මලට. හදවතට දැනිච්ච හැඟීම් රෝස පෙති මත ලිව්වා කියලා තමයි කියන්නේ. ඒ තරමට අප සොබාදහම සමඟ බද්ධ වෙලා හිටියා. අපිට අපේ හිතේ තිබුණ ප්‍රේමය දැනුණේ පරිසරයත් එක්ක. ප්‍රේමයක් බිඳුණත් ඒක සාර්ථක වුණත් ඒ හැම හැඟිීමක්ම දරා ගත්තේ සොබාදහමත් එක්ක. ඒක තමයි මම ලියන්න උත්සාහ ගත්තේ. යෞවනයකුගේ හඬට වඩා අපේ යුගයේම කෙනෙක් වන විශාරද නවරත්න ගමගේ සොයුරාගේ තනු නිර්මාණයත් ගැඹුරු අරුත් පිරි කටහඬත් මේ පද පෙළට ගැළපෙනවා කියලා මට විශ්වාසයක් තිබුණා. මම හතරැස් කොටුවක ලියපු වචනවලට ජීවයක් කවලා එය අර්ථාන්විත ගීතයක් කළේ ඔහු. එනිසාම මේ පද වැලේ යම් සාර්ථකත්වයක් තියෙනවා නම් එහි ගෞවරය හිමි විය යුත්තේ නවරත්න ගමගේ සොයුරාටයි“
ඉනෝකා සමරවික්‍රම