අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා වර්තමානයේ අපේ ජීවිතයේ අනිවාර්ය කොටස්කරුවන් බවට පත්ව හමාරය. ලොව සිදුවන ඕනෑම සිද්ධියක් තත්පරයකටත් අඩු කාලයකදී දැනගැනීමට හැකි වී තිබීම තාක්ෂණයේ අද්විතීය පෙළහරකි. සමාජ මාධ්‍ය ජාලවලින් සිය අදහස් දැක්වීම, දේශපාලනය, ව්‍යාපාර ප්‍රවවර්ධනය, ගනුදෙනු, විවිධ සමාජ කණ්ඩායම් ක්‍රියාත්මක කිරීම, මිතුරන් සමඟ සම්බන්ධතා පැවැත්වීම ඇඟිලි තුඩට සීමා කිරීම මිනිසා විසින් සිදුකර ඇති තාක්ෂණික ඥානයේ මහා කාර්යයකි.
මිනිස් වර්ගයාගේ ප්‍රමුඛ මෙවලමක් බවට පත්ව ඇති පරිගණකය මඟින් අන්තර්ජාලයෙන් ප්‍රයෝජන බොහොමයක් ඇති නමුත්, එය අවභාවිත කරන විශාල පිරිසක් ද සිටීම හේතුවෙන් වෙනදාට වඩා වැඩි පිරිසක් විවිධ වංචාවලට හසුවීමේ ඉඩකඩ විවර වී තිබේ. වංචාකාරයින්ට මෙමඟින් තවත් ශක්තිමත් වී සිය අරමුණ කරා ළඟාවීමට හැකි අවකාශය කොතෙක්ද යන්න සමාජගත වූ සිද්ධියක් ඉකුත් සතිය තුළදී වාර්තා විය.
ඒ කල්පිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයකින්ය.
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අන්තර්ජාතික මූල්‍ය ජාවාරම්වල නිරත වෙමින් ලොව වෙසෙන විවිධ රටවල ධනවතුන් රවටමින් කෝටි ගණන් මුදල් ගරා ගත් චින ජාතික කාන්තාවන් 8ක්, පිරිමින් 45ක් සහ ජපන් ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට හැකි විය. ඒ ඉකුත් 31 වැනි දිනය.
පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරී කේ. ඒ. උදය කුමාරට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කළේ මේ ජාවාරමුන් කල්පිටිය නොරෝච්චෝල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවති මූල්‍ය වංචාවල නිරත වෙමින් සිටියදීය. මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ චීන ජාතික යුවළක් බව සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි විය.
අදාළ ජාවාරම මෙහෙයවන බව කියන චීන ජාතික යුවළ හා තවත් 13 දෙනෙකු පළමුව නොරෝච්චෝල සංචාරක හෝටලයට පැමිණ කාමර 52කින් සමන්විත අදාළ සංචාරක හෝටලයේ කාමරයේ 50ක් සම්පූර්ණයෙන් කුලි පදනමට ලබාගෙන නැවතීමට කටයුතු කර ඇත්තේ පසුගියදාය. චීන ජාතිකයින් පිරිසක් සැක කටයුතු ලෙස නොරෝච්චෝල සංචාරක හෝටලයක රැඳි සිටින බවට පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරී උදය කුමාරට ලැබුණ තොරතුරක් මත පොලිස් අධිකාරිවරයා යටතේ පිහිටුවා ඇති කොට්ඨාස බුද්ධි නිලධාරීන් සහ පොලිස් ස්ථාන බුද්ධි නිලධාරීන් යොදවා අදාළ හෝටලයේ රැඳි සිටින විදේශිකයන් සම්බන්ධව විශේෂ විමර්ශනයක් රහසිගතව ආරම්භ කෙරිණි.
එහිදී මේ අය පරිගණක භාවිතයෙන් මූල්‍ය වංචා සිදු කරන බවට තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට එම නිලධාරීන්ට හැකි වී තිබේ. ඒ අනුව මේ ගැන දිගින් දිගටම විමර්ශන කටයුතු සිදු කරන අවස්ථාවේ මෙම පිරිස අන්තර්ජාලය ඔස්සේ විවිධ ආකාරයේ මූල්‍ය වංචා සිදුකරන බවට පැහැදිලිවම හෙළි විය.
ඉන් ලද තොරතුරු මත පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි නියෝගයකට අනුව අදාළ හෝටල් පරිශ්‍රය පරීක්ෂා කිරීමට පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කටයුතු යොදා තිබිණි.
ඒ අනුව එදින එම නිලධාරින් එම හෝටල් පරිශ්‍රය පරීක්ෂා කිරීමේදී සැක සහිත විදේශිකයන් හෝටල් කාමර තුළ සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ පැයක පමණ කාලයක් තුළදීය. මෙහිදී හෝටල් කාමර පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුත් පරිගණක 50ක්, ජංගම දුරකතන 130ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.
මෙම මූල්‍ය ජාවාරම සිදු කිරීම සඳහා යොදාගත් සිම් කාඩ් 1550ක් සහ භාවිත නොකළ සිම් කාඩ් 2000කට අධික සංඛ්‍යාවක් සොයා ගැනීමට ද පොලිස් නිලධාරීන්ට හැකිව තිබේ. මෙම ජාවාරම මෙහෙය වූ බවට මේ වන විට තහවුරු වෙමින් සිටින චීන ජාතික යුවළ භාවිත කළ රුපියල් කෝටි හයකට ආසන්න අධි සුඛෝපභෝගි ජීප් රථයද පොලිස් අත්අඩංගුවට ගැනිණි. දැනට සිදු කරන ලද මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ මෙම සැකකාර චීන ජාතිකයින් විසින් ජපානය ඇතුළු රටවල් රැසක ධනවතුන් ‘ගූගල් ට්‍රාන්ස්ලේටර්’ හරහා සම්බන්ධ කරගනිමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි.
මේ සිද්ධිය සම්බන්ධව පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන නිලධරයන් පියවර ගෙන ඇත. මෙම පරිගණකවල දත්ත පද්ධති පරික්ෂා කර බැලීමට මොරටුව විශ්වවිද්‍යාලයට යොමුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි. මොවුන් භාවිත කළ පරිගණකජාල ගත කරමින් විදේශිකයන් සතු විශාල මුදලක් මෙලෙස වංචාකර ඇති බවට පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සැක කරයි.
කෙසේ වෙතත් අදාළ හෝටල් පරිශ්‍රය තාවකාලිකව මුද්‍රා තබා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයට භාර දීමට කටයුතු කර ඇත. මෙම චීන ජාතික පිරිස සහ ජපන් ජාතික කාන්තාව මෙහෙය වූ බව කියන චීන ජාතික යුවළ සන්තකයේ තිබි රුපියල් එක්කෝටි දාසය ලක්ෂ පනස්දහසක් ද අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමට හැකිව තිබුණි.
පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ මෙම චීන ජාතිකයින් මෙම සංචාරක හෝටලයට පැමිණීමට පෙර කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශයේ සුඛෝපභෝගී හෝටලයක නැවතී ඇති බවත් එහි හිමිකාරිත්වයට ඇතිවූ සැකයක් මත එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසට දැන්වීමත් සමඟ ඉන් පිටව මෙම සංචාරක හෝටලයට පැමිණ ඇති බවයි.
එලෙස අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් සියලු දෙනා පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර විදේශිකයන්ගෙන් එකොළොස් දෙනකු මෙම මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර සියලු දෙනාට රටින් පිටවීම තහනම් කරමින් ද නියෝගයක් නිකුත් කර ඇත.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ සහ පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ උපදෙස් මත පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරී උදය කුමාරගේ මෙහෙයවීමෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිලාල් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සහ පරීක්ෂණ සිදුකර තිබුණි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු නොරෝච්චෝල පොලිස් ස්ථානයට රැගෙනවිත් එහිදී අදාළ විමර්ශන කටයුතු සිදුකර තිබූ අතර ඒ සඳහා නොරෝච්චෝල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්ම කුමාර් ඇතුළු නිලධාරීන් ද සහාය වී ඇත.
මිහිර විජේසේකර - මාරවිල සමූහ