සංවිධානාත්මක කණ්ඩායමක් ඉකුත් ජූලි 17 දා පෙරවරුවේ විදේශයක සිට මෙරටට පැමිණ සිය නිවසට යමින් සිටි පුද්ගලයකු පැහැර ගැනිණි. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම පොලිස් වසමේදීය. එම පැහැරගැනීම පිළිබඳව රිදීගම පොලිසියට වාර්තා වීමත් සමඟ විමර්ශන ඇරැඹෙද්දී මිරිහාන 119 පොලිස් හදිසි ඇමතුම් කොට්ඨාසයට ලද පණිවිඩය ඔස්සේ පොලිස් විශේෂ කාර්ය බළකාය ද එම විමර්ශනවලට එක් විය.
කුවේට් රාජ්‍යයේ රැකියාවෙන් නිවාඩු ලබා මෙරටට පැමිණි අදාළ පුද්ගලයා මාතලේ සිය ගම-රට බලා යද්දී ඔහු පැහැරගෙන ගිය කණ්ඩායමෙන් මුදාගෙන සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරින්ට හැකි විය. එලෙස පැහැරගත් පුද්ගලයා පැය 5ක් ඉක්ම යන්නටත් මත්තෙන් මුදාගැනීමට හැකි වූයේ එස්ටීඑෆ් නිලධාරින් සිදු කරන ලද දීර්ඝ මෙහෙයුමකින් අනතුරුවය.
අජිත් නිශ්ශංක නාරම්මල ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහු මේ වන විට කුවේට් රාජ්‍යයේ රැකියාවක් කරමින් සිටී. අජිත්ගේ ගජමිතුරෙක් වන ප්‍රදීප්ද රැකියාවක නිරත වන්නේ කුවේට් රාජ්යයේමය. ප්‍රදීප් කුරුණෑගල වීරඹුගෙදර පදිංචිකරුවෙකි. අජිත් සහ ප්‍රදීප් කුවේට් රාජ්‍යයේ රැකියාව කරන අතරේ එරට තුළ මත්පැන් ජාවාරමකට ද අත ගසා තිබුණි. එහිදී අජිත් බලපත්‍ර ලත් මත්පැන් විකුණද්දී ප්‍රදීප් කිසිම බලපත්රයක්ද නොමැතිව නීති විරෝධී මත්පැන් ජාවාරම ජයටම කරගෙන ගියේය. මේ අතර අජිත්ගේ මිතුරෙක් වන හලාවත පදිංචි අයෙක් වන කුසල් ද කුවේට් රටේ රැකියාවක් කරමින් සිටියේය. ඔහු එරට සිටින්නේ කිසියම් ගැටලුවකට මුහුණ දෙමිනි. ඒ මෙරටට පැමිණීම සඳහා ඔහු සතුව තිබූ ගුවන් ගමන් බලපත්‍රයේ ගැටලුවක් නිසාය. කුසල් එම ගැටලුව පිළිබඳව අජිත්ට පවසා සිටියේය. අජිත් දිනක් ඒ බව ඔහුගේ මිතුරු ප්‍රදීප්ට පැවැසීය.
“ප්‍රදීප්… කුසල්ගේ පාස්පෝට් එකේ පොඩි අවුලක් තියෙනවා… උඹට බැරිද දන්න කියන කෙනෙකුට කියලා කුසල්ගේ වැඩ කරලා දෙන්න…“ යැයි අජිත් ඉල්ලීමක් කළේය. කුසල්ගේ එම පාස්පෝට් අවුල විසඳීම සඳහා අජිත් විසින් ප්‍රදීප්ට රුපියල් ලක්ෂ පනහක මුදලක්ද ලබා දී තිබිණි.
කුවේට්වල සිටින මෙම පිරිසට හිතවත් තවත් ශ්‍රී ලාංකිකයෙක් සිටියේය. ඔහු මාතලේ, අළුවිහාරේ පදිංචිකරුවෙකි. 32 හැවිරිදි ඔහුගේ නම රාජගුරු රාජකරුණා මුදියන්සේලාගේ සහන් විකල්ප හීන්දෙනියයි. සහන් විවාහකය. බිරිය සහ දරුවන් ජීවත් වන්නේ මාතලේ, අළුවිහාරේ ප්රදේශයේය.
සහන් කුවේට්වල රැකියාව ලෙස කළේ වෙළෙඳසල්වලට නැතිනම් රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවලට අවැසි ස්වාභාවික මල් වර්ග සාදා එම මල් නිසි ලෙස නඩත්තු කිරීමයි.
ප්‍රදීප් පසුගිය දිනෙක සහන්ගෙන් උදවුවක් පැතුවේ කිසියම් දුරකතන අංකයක් ද සහන් අතට පත් කරමිනි.
“මල්ලි… පොඩි වැඩක් කරලා දියන්… උඹ හෙට අනිද්දා ‘වැකේෂන්‘ යනවානේ… ඒ යන ගමන් කුවේට් එයාපෝට් එකට ගිහිල්ලා ඔය නම්බර් එකට කෝල් එකක් දීලා කියපන්… මේ පාස්පෝට් එක හදන්න බෑ… වැඩේ හරියන්නේ නෑ.‘ කියලා. ඊට පස්සේ උඹ පලයන්…“ යැයි ප්‍රදීප්, සහන්ගෙන් ඉල්ලීමක් කළේය.
එම යෝජනාව කරන අතරේ ප්‍රදීප් වැඩිදුරටත් සහන්ට කියා තිබුණේ සහන්ගේ ගිණුමට කුවේට් ඩිනාර් 500ක්ද බැර කරන බවයි.
අනතුරුව සහන් පසුගියදා කුවේට් සිට ලංකාවට ඒමට පිටත් විය. එදින සහන් සිය මිතුරු ප්‍රදීප් කී ආකාරයට ඔහු දුන් ජංගම දුරකතන අංකයට ද ඇමතුමක් ගෙන එම පුද්ගලයාට ප්‍රදීප් කී පණිවිඩය එලෙසම කීවේය. එහෙත් තමන් එම ඇමතුම දෙන්නේ කාටදැයි සහන් දැන සිටියේ නැත. අනතුරුව සහන් ලංකාවට ඒමට ගුවන් යානයට ගොඩ විය.
ඒ අනුව ඉකුත් ජූලි 17 වැනිදා පෙරවරුවේ සහන් කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණියේය. ඒ අතරේ ප්‍රදීප්, අජිත්ට කතා කළේය.
“අජියා… අර සහනයා මාර යකෙක්නේ… මං ඌට රුපියල් කෝටියක් දුන්නා… කුසල්ගේ පාස්පෝට් එක හදලා දෙන්න කියලා… ඌ සල්ලිත් අරගෙන… කුසල්ගේ පරණ පාස්පෝට් ඒකත් අරන් ලංකාවට පැනලා ගිහින්…“ යැයි ප්‍රදීප් බොරු බේගලයක් ඇද බෑවේය.
එම කතාව ඇසීමත් සමඟ අජිත්ගේ කේන්තිය ඉහවහා ගියේය. අජිත් ක්ෂණයෙන් නාරම්මල සිටින ගයාන් නමැති ඔහුගේ මිතුරෙකුට ඇමතුමක් දුන්නේ සහන් ගැන තොරතුරු ලබා දෙමිනි.
“මචං… අහවල් ෆ්ලයිට් එකේ පොරක් එනවා… උගේ නම සහන්… ඒකාව අල්ලලා පොලිසියට භාර දියන්…“ යැයි අජිත් කීවේ සහන් එදින ලංකාවට පැමිණෙන ගුවන් යානයේ සවිස්තර තොරතුරු ද ඔහුට ලබා දෙමිනි. ඒ අතරේ සහන්ගේ ඡායාරූපයක්ද වට්ස්ඇප් ඔස්සේ ගයාන්ට ලැබෙන්නට සැලැස්වීය.
ගයාන් 33 හැවිරිදිය. ඔහු කුවේට් සිටින අජිත් මෙරටට එවන මුදල්වලින් ‘බිස්නස්‘ කරන පුද්ගලයෙකි. එලෙස අජිත් එවන මුදල් ගයාන් විසින් නාරම්මල ප්‍රදේශයේ අයට පොලියට ද ලබා දෙයි. ඒ අනුව අජිත් කී කාරණයට ගයාන් එකපයින් කැමැති වෙමින් එලෙස ගුවන් යානයේ පැමිණෙන සහන් කොටුකර ගැනීමට උපායක් යෙදුවේ ඔහුගේ මිතුරන් කීප දෙනෙකුම එක්රැස් කරගනිමිනි.
ඒ සඳහා ගයාන් කටුනායක ගුවන් තොටුපොළේ සිටින ටැක්සි රියැදුරෙක් වන ඔහුගේ මිතුරෙක් ද සම්බන්ධ කරගත්තේ අජිත් විසින් එවන ලද සහන්ගේ ඡායාරූපය ද ඔහු හට ‘මෙසේජ්‘ කරමිනි. එම ටැක්සි රියැදුරු කුමාරය.
“මචං… මගේ යාළුවෙක්ගේ වැඩක්… ඔය මං එව්ව පින්තුරේ ඉන්න එකා ෆ්ලයිට් එකේ එනවා… ඕකා ගැන සෝදිසියෙන් හිටපන්… ඌ ඇවිල්ලා මොන වාහනේද නඟින්නේ… ඒ විස්තර ඔක්කොම මට එවපන්…“ යැයි ගයාන් කීවේ කුමාරටය.
ඒ අනුව කුමාර ඔහුගේ මිතුරු ගයාන් කී කාරණය ගැන සෝදිසියෙන් පසු විය. ඉකුත් ජූලි 17 වැනිදා පෙරවරුවේ සහන් කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණ ටැක්සි රථයකට ගොඩ වූයේ ඔහු පදිංචි මාතලේ, අළුවිහාරේ බලා යාමේ අටියෙනි.
සහන් ගැන ඇස ගසාගෙන සිටි කුමාර ද සහන් නැඟි ටැක්සිය පසුපස පන්නන්නට වූයේ සහන්ගේ පැමිණීම ගැන ගයාන් ද දැනුම්වත් කරමිනි.
සහන් ඒ වන විට මාතලේ බලා යන රථය පසුපස කුමාර ද ඔහුගේ ටැක්සි රථයෙන් පන්නද්දී ගයාන් ඔහු සතු කැබ් රථයට තුන්හතර දෙනෙකුද නංවාගෙන සහන් මාතලේ යන මාර්ගයට පිවිසීය. සහන් රැගත් ටැක්සිය කුරුණෑගල – රිදිගම මාර්ගයේ ගමන් කරමින් සිටියදී එදින පෙරවරු 10.45ට පමණ එය රිදිගම පොලිස් වසමේදී ගයාන් පැමිණි කැබ් රථය සහන් ගමන් කරමින් තිබූ රථයට ඉස්සරකොට මඟ හරස් කර නතර කෙරිණි.
ඒ සමඟම ටැක්සියේ සිටි සහන් එළියට ඇද දැමු පිරිස ඔහු කැබ් රථයට දමා ගත්තේ විදෙස් චිත්‍රපට දසුනක් මවමිනි.
“මචං… ඔයා යන්න. අපි මේ මිනිහා පොලිසියට භාර දෙන්න ගෙනියනවා…“ යැයි කිසිවක් සිතා ගැනීමට නොහැකිව සිටි ටැක්සි රියැදුරුට ගයාන් කීවේ ඔහුගේ කුලිය ද ගෙවන අතරේය. ඒ අතරේ ටැක්සි රියැදුරුට සහන් පැහැරගත් පිරිසෙන් අයෙක් දුරකතන අංකයක් ද දුන්නේය.
එම ස්ථානයෙන් පිටමං වූ ටැක්සි රියැදුරු ක්ෂණයෙන් ගියේ රිදීගම පොලිසිය වෙතය. ඔහු පොලිසියට ගොස් තම රථයේ කුලී ගමනක් යමින් සිටි පුද්ගලයා පිරිසක් පැහැරගෙන ගිය බව සඳහන් කරමින් පොලිසියට පැමිණිලි කළේය.
සහන් ටැක්සියේ පැමිණෙද්දී එම රථයේ රියැදුරුගේ ජංගම දුරකතනයෙන් තම බිරියට ඇමතුමක් ගෙන කීවේ ටැක්සියක නැඟි නිවසට පැමිණෙන බවයි.
සහන් පැහැරගත් බව පොලිසියට කී මොහොතේම ටැක්සි රියැදුරාට එම දුරකතන ඇමතුම ද සිහිපත් විය. ඔහු ක්ෂණයෙන් සහන්ගේ බිරිය දැනුවත් කළේ, ‘මිස් මාත් එක්ක ආපු ඔයාගේ මහත්තයා… මේ දැන් කට්ටියක් ඇවිත් පැහැරගත්තා…‘ යැයි කියමිනි. එම ඇමතුමෙන් උන්හිටි තැන් අමතකව ගිය සහන්ගේ බිරිය ක්ෂණයෙන් 119 ඇමතුමක්ගෙන තම සැමියා පිරිසක් පැහැරගත් බවට පොලිසිය දැනුවත් කළේය.
එම 119 ඇමතුම ඔස්සේ ද පොලිසිය දැනුම්වත් වීමත් සමඟ එම පැහැර ගැනීම ගැන පොලිස් විශේෂ කාර්ය බළකාය ද දැනුවත් විය. ඒ අනුව සහන් පැහැරගත් ස්ථානයට ආසන්න කුරුණෑගල, එස්ටීඑෆ් කඳවුරේ නිලධාරින් ද සහන් සොයා ක්ෂණික විමර්ශනයක් ඇරැඹුණේ සහන්ගේ ජීවිතයට හානියක් වීමට පෙර ඔහු පැහැරගත්තවුන්ගෙන් ගලවා ගැනීමේ අටියෙනි.
එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දුගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී ඩී.එම්.යූ.කේ. අබේරත්නගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකායේ කුරුණෑගල දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ඊ.පී.ඩී.එල්. ජයරත්න ඇතුළු නිලධාරි කණ්ඩායම ක්‍රියාත්මක වූයේ සහන් පැහැරගත්තවුන් ටැක්සි රියැදුරුට ලබා දුන් දුරකතන අංකයට ද ඇමැතුම් ද ලබා දෙමිනි.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් එම දුරකතන අංකයට ඇමැතුව ද ප්‍රතිචාරයක් නොවීය. පසුව එස්ටීඑෆ් නිලධාරින් පැහැරගත් සහන්ගේ ‘අයියා‘ ද සහන් සොයන මෙහෙයුමට සම්බන්ධ කරගත් අතර ඔහුට කීවේ පැහැරගත් අය දුන් දුරකතන අංකයට ඇමැතුමක් ගන්නා ලෙසයි.
ඒ මොහොතේ එම ඇමතුමට ප්‍රතිචාර දැක්වීය.
“අනේ… මේ ඔයාලා අල්ලගෙන ඇවිත් තියෙන්නේ මගේ මල්ලි… මට ඉන්නේ මල්ලි විතරයි… මල්ලිට කරදරයක් කරන්න එපා…“ යැයි සහන්ගේ සහෝදරයා පැවැසීය.
අනතුරුව එම දුරකතන ඇමතුමත් සමඟ පිරිස සිටින ඉසව්ව අනාවරණය වීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් ක්‍රියාත්මක වී සහන් රඳවාගෙන සිටින ස්ථානය අනාවරණය කරගන්නා ලදි. ඒ නාරම්මල පොලිස් වසමේ ස්ථානයකි. එස්ටීඑෆ් නිලධරයෝ එම ස්ථානය සොයා ගියහ.
ඒ අනුව නාරම්මල පොලිස් වසමේ මැදගොඩ, වැව පාර, ඉහළ රන්මුතුගල ප්‍රදේශයේදී පාළු නිවසක රඳවා සිටියදී සහන් එම පිරිසෙන් මුදාගැනීමට හැකි විය. ඒ අනුව සහන් පැහැරගෙන ගොස් පැය 5, 6ක් යන්නටත් මත්තෙන් ඔහු මුදාගත්තේ ගයාන් නමැත්තා ඇතුළු පුද්ගලයන් සිවුදෙනෙකු ද අත්අඩංගුවට ගනිමිනි. එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර නාරම්මල තිදෙනෙක් සහ කටුපොත එක් අයෙක් සිටී. ඔවුන් සිවුදෙනාම වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන්නෝය.
“ඇයි තමුන් මේ මනුස්සයා පැහැරගත්තේ…?“ යැයි විමසමින් එස්ටීඑෆ් නිලධාරින් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්නට විය.
“සර්… අපට කුවෙට් ඉන්න අපේ යාළුවෙක් තමයි කතා කරලා කිව්වේ… මෙයා අල්ලගෙන පොලිසියට භාර දෙන්න කියලා…“ යැයි එම සැකකරුවන් සිවුදෙනාගෙන් කෙනෙකු පැවැසීය.
එහෙත් ඔවුන් සහන් පැහැරගෙන ගොස් පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණේ නැත. ඔහුට දසවධ දී තිබුණේ ‘බේස් බෝල්‘ පිත්තකින් ද පහර දෙමිනි.
එස්ටීඑෆ් නිලධාරින් ක්ෂණිකව ක්‍රියාත්මක වී සහන් සොයා නොගත්තේ නම් මත් ගතියෙන් සිටි මෙකී අපරාධකාරයන් සිවුදෙනාගේ පහර දීමෙන් සහන්ට ජීවිතයෙන් වුවද වන්දි ගෙවන්නට සිදුවන්නට ඉඩ තිබිණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ රත්ගල්ල කඳවුරේ නිලධාරින් සූක්ෂ්ම විමර්ශනයකින් අත්අඩංගුවට ගත් සිවුදෙනා වැඩිදුර විමර්ශන සඳහා රිදියගම පොලිසියට භාර දීමෙන් පසු රිදියගම පොලිසිය විසින් රම්බඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී ඉකුත් ජූලි 31 වැනිදා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු රම්බඩගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් සිවුදෙනා ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටය.
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ නියෝග සහ උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දුගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරි ඩී. එම්. යූ. කේ. අබේරත්නගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකායේ කුරුණෑගල කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ඊ. පී. ඩී. එල්. ජයරත්න ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විමර්ශන සිදු කළහ.
අමිල මලවිසූරිය