‘කන්න දුන්න අත සපා කෑවා වාගේ’ යැයි කියමනක් ඇත. ඉන් ගම්‍ය වන්නේ තමාට ලොකු උදව්වක් කළ අයකුට ඉතාම අසාධාරණ ලෙස ද්‍රෝහී වීමයි. ඒවාගේ කතා නම් මේ ජන සමාජයේ අඩුවක් නැත. ඒ නිරතුරු අසන්නට දකින්නට ඇත්තේ එම උදාහරණයටම සම්බන්ධ සිදුවීම් නිසාය. මේ අයට ගුණමකුවෝ ද කීවත් වැරැද්දක් නැත.
රත්නපුර දිසාව ගංවතුරෙන් යටවෙද්දී අසරණ වූ පවුලකට තමන්ගේ නිවස තාවකාලිකව පදිංචියට දුන් මැණික් ව්‍යාපාරිකයකුට වූ සිද්ධියක් මාධ්‍ය මඟින් පසුගියදා හෙළිකර තිබිණි. ඒ අනුව අසරණ වූ දරු පවුල තමන්ට පිළිසරණ වූ මැණික් ව්‍යාපාරිකයාට ප්‍රතිඋපකාර උපහාර දක්වා තිබුණේ මැණික් ව්‍යාපාරිකයාගේ නිවෙසේ තිබූ රුපියල් කෝටියක පමණ වටිනා මැණික් ගල් සොරකම් කිරීමෙනි. බස් රථයක් නොමැතිව මහමඟ මහ රෑ තනිවී අසරණව සිටි කතක් සිය වාහනයෙන් නිවසටම ඇරලවීමට තරම් කාරුණික වූ යුවළකට එම කත සංග්‍රහ කර තිබුණේ එම යුවළට අයත් අදාළ වාහනයේ තිබුණු මුදල් අඩංගු පසුම්බිය සොරකම් කිරීමෙනි. එවැනි සිදුවීම් නම් ඕනෑවටත් වඩා ඇත. මොරගහහේන පොලිස් ස්ථානයෙන් පසුගියදා වාර්තා වුණේ එවැනි සිද්ධියකි. එම කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
ඔහු හොරණ, කෝරලඉම ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයෙකි. ඔහු සිය ව්‍යාපාරය වශයෙන් ගල් වළක් ද පවත්වාගෙන යන්නේ වසර දහයකට වැඩි කාලයක සිටය. ඔහුගේ ගල්වළේ සේවය කරන සේවකයන් අතර සිටි සිව්දෙනකුට මේ ව්‍යාපාරිකයා සුවිශේෂිත්වයක් දැක්වූයේ ඔවුන්ගේ සේවය ගැන සෑහිමකට පත්වීම නිසාය. ඒ සිව්දෙනා අතරින් එක් සේවකයකු ඔහුගේ විශ්වාසය නිරතුරුවම දිනා සිටි සේවකයා විය.
තම විශ්වාසවන්තම සේවකයා ඇතුළු හිතෛෂී සේවකයන් සිවුදෙනාගේම දුක සැප සොයා බලන්නට මේ ව්‍යාපාරිකයා නිරතුරු උත්සාහ ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අක්කර 34කින් පමණ සමන්විත ඉඩමක මේ සේවකයන් සිව්දෙනාට තමන්ගේ වියදමින් නිවාස හතරක් සාදා දී ඔවුන්ගේ දරු පවුල් ගැන ද සොයා බැලුවේ අදාළ සේවකයන් ගැන හදපිරි ඇල්ම නිසාය.
මේ හතර දෙනාටම ඉහළ වැටුපක් ලබාදීමට ද ව්‍යාපාරිකයා කටයුතු කර තිබුණි. ඔවුන්ගේ ඕනෑඑපාකම් සඳහා ද ඔහු අතදිග හැර මුදල් වැය කළේ සේවකයන් සිවුදෙනා ගැන තිබුණ ලොකු විශ්වාසය නිසාමය.
කාලය මෙසේ ගෙවී යද්දී අදාළ ව්‍යාපාරිකයා ඔස්ට්‍රේලියාවේ සිටින සිය දියණිය බැලීම සඳහා පවුලේ සෙසු අය සමඟ දින 14කට විදේශගත වන්නේ පසුගියදාය. ව්‍යාපාරිකයා සහ පවුලේ අය නැවත එන තෙක් නිවෙස වසා දැමිණි.
එසේ රට ගිය ව්‍යාපාරිකයාට වැඩි දවසක් සැනසිල්ලේ සිටීමට ඉඩ නොලැබිණි. පිටරට ගමන නොගොස් මෙරට සිටි ඔහුගේ පුතු ඔහු අමතා පවසන්නේ නිවෙසේ වහලේ උළු ගලවා සිවිලිම ද බිඳ සාරියක් ආධාරයෙන් නිවසට ඇතුළු වී ඇති සොරුන් එහි තිබූ දේපළ සොරකම් කරගෙන ගොස් ඇති බවයි. මෙය දැනගත් ව්‍යාපාරිකයා නැවත මෙරටට පැමිණියේය.
මේ සිද්ධිය පිළිබඳ මොරගහහේන පොලිසියට ලද පැමිණිල්ල පිළිබඳව විමර්ශන ආරම්භ විය. ඒ අනුව අදාළ නිවෙස වෙත ගොස් විද්‍යාත්මක පරීක්ෂණ ද සිදුකිරීමට පොලිස් නිලධරයන්ට හැකිවිය. බැලූ බැල්මට මේ සොරකම සිදුකරන්නට ඇත්තේ ගල් වළේම සේවකයන් බවට පොලිස් නිලධාරින්ට ඇතිවුණ මූලික සැකය නිසා එහි සේවකයන් පොලිසියට කැඳවා ප්‍රශ්න කැරිණි. එහෙත් තම සේවකයන් ගැන ඉතා දැඩි විශ්වාසයක් තබාගෙන සිටි ව්‍යාපාරිකයා පොලිසියටම පැමිණ පවසන්නේ තමන්ගේ සේවකයන් තමන්ට විශ්වාස බව සහ ඔවුන් එවැනි සොරකමක් තමාට සිද්ධ නොකරන බවයි.
කෙසේ වෙතත් ඇතිවූ සැකය අත්නොහළ පොලිස් නිලධාරින් ව්‍යාපාරිකයා සේවකයන් ගැන දරන ආකල්පයට ද ගරු කරමින් විමර්ශන දිගටම සිදුකරගෙන යද්දී එක් සේවකයෙක් හදිසියේම කිසිවකුට නොදන්වා ඔහුගේ උපන් ගම වන ඇඹිලිපිටිය පනාමුරේට ගොස් ඇති බව හෙළි වන්නේ මොරගහහේන පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශයේ සැරයන් (41109) අජිත්ට ඔහුගේ පෞද්ගලික තොරතුරුකරුවන්ගෙන් ලැබුණු ඔත්තුවකට අනුවය.
සැරයන් අජිත් මේ ගැන ඉතා උනන්දුවෙන් සොයා බලමින් සිටි අතර ඔහු පනාමුරේ පොලිසියේ විශේෂ කාර්යාංශයේ නිලධරයකු වන කොස්තාපල් (89195) සමරකෝන් අමතා මේ සිද්ධිය පැහැදිලි කර අදාළ පුද්ගලයා ගැන සොයා බලන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කරමිනි.
ගල්වළේ සේවකයාගේ පදිංචිය සොයා ගත් කොස්තාපල් සමරකෝන් ඔහු ගැන සියුම් විමර්ශනයක් සිදු කළේය. එහිදී කොස්තාපල් සමරකෝන් සොයා ගන්නේ එම පුද්ගලයා අලුතෙන් නිවෙසක් ඉදිකිරීම සඳහා අත්තිවාරමක් දමන බවයි. මේ පුද්ගලයාට නිවෙසක් ඉදිකිරීමට තරම් මුදලක් අත නොගැවසුණු බවද විමර්ශනයේදි සොයා ගත් කොස්තාපල් සමරකෝන් නිලධාරින් කණ්ඩායමක් සමඟ ගොස් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.
කෝරලඉම ගල්වළ හිමි ධනවත් ව්‍යාපාරිකයාගේ නිවෙස බිඳ රුපියල් ලක්ෂ 25කට වඩා වැඩි වටිනාකමින් යුත් මුදල් සහ රන් ආභරණ සොරා ගැනීමේ සිද්ධිය මේ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරද්දී එළියට එන්නේ ඉතාම සුළු වේලාවකදීය.
පොලිසිය ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසන්නේ ව්‍යාපාරිකයාගේ නිවෙස බිඳ ගත් මුදල් සහ රන් ආභරණවල වටිනාකමෙන් රුපියල් ලක්ෂ 4ක් තමාට ලැබුණු බවය. එම මුදල්වලින් තමන් අලුතින් නිවසක් තැනීම සඳහා අත්තිවාරම් දැමූ බව ද සැකකරු පොලිසියට කියන්නේ එහිදීය. ඒ සඳහා ගල් වැලි සිමෙන්ති ඔහු මිලදී ගෙන තිබුණේ තමන්ට ලැබුණු රුපියල් ලක්ෂ 4ක මුදලිනි.
පනාමුරේදී ඇල්ලූ ගල්වළ සේවකයාගෙන් තවදුරටත් ප්‍රශ්න කරද්දි කෝරලඉම ගල්වළ ව්‍යාපාරිකයාගේ නිවෙස බිඳින්නට සැලසුම් කිරීමේ සිට අවසන දක්වා මුල මැද අග කතාව හෙළිකර ගන්නට පොලිස් නිලධාරින්ට හැකිවිය.
ඒ අනුව ව්‍යාපාරිකයා විදේශගතවූ තැන් සිට ව්‍යාපාරිකයාගේ නිවස බිඳ මුදල් රන් බඩු සොරකම් කිරීමේ ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරිකයාගේ ගල්වළ කාර්ය මණ්ඩලයේ විශ්වාසවන්තම සේවකයාය. ඔහුගේ සේවා කාලය වසර 15කට ආසන්නය.
මේ සැකකරු සහ සෙසු සැකකරුවන් තිදෙනා සොරකම් කළ සියලුම මුදල් සහ රන් ආභරණ ගල්වළට නුදුරු කැලෑවක දින 10ක් සඟවා තබා පසුව සමසේ බෙදාගෙන ඇති බවද විමර්ශනවලදී හෙළිවිය.
පොලිසිය එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර, රත්නපුර, පනාමුරේ සහ ගෝනපොළ පදිංචිකරුවෝය. සැකකරුවන් සිවුදෙනා රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.
මොරගහහේන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. මල්ලිකාරච්චිගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.සී. මධුෂංක, සැරයන්වරුන් වන (41226) සම්පත්, (93389) ජයවර්ධන, (99257) ජයතිලක, (102967) ලක්ෂාන්, පොලිස් විශේෂ කාර්යාංශයේ සැරයන් (41109) අජිත් යන නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.
ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ
දීපාල් සමරසේකර