දේශපාලන හයිහත්තිය හා බලපුළුවන්කාරකම් මත අවනීතිය රජ කරවන්න ගිය බොහෝ පිරිසකට අධිකරණයෙන් දැන් ගැලවිල්ලක් නැති තරම්ය. මෑතකදී අධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දු ඊට හොඳම උදාහරණය. ඒ අතර සුවිශේෂී නඩු තීන්දුවක් වන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වූ වාස් ගුණවර්ධන එල්ලුම් ගහට නියම කරමින් ලබාදුන් නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කිරීමත්, මාලබේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ සිසුවකු වූ නිපුන රාමනායක පැහැරගෙන නිරුවත් කර, කළ පහරදීමත් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වාස් ගුණවර්ධන ඇතුළු සිව් දෙනෙකු සිව් වසරක් හිරේට යවමින් ලබා දුන් නඩු තීන්දුවත්ය. මේ හැරුණු කොට ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී ලබා දුන් තවත් සුවිශේෂී නඩු තීන්දු බොහෝය. අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය වඩාත් තහවුරු වීමට ඒ හැම තීන්දුවක්ම පාහේ මේ වන විට ඉවහල්වී අවසන්ය.
වාස් ගුණවර්ධන යනු ශ්‍රී ලංකා පොලිසියේ වඩාත් කතාබහකට ලක්වූ චරිතයකි. උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වූ ඔහු හැම විටම ආන්දෝලනාත්මක චරිතයකි. කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි වකවානුවේදී ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා බොහෝය. එබැවින් වැඩ තහනමකට ද ලක්වීමට ඔහුට සිදුව තිබුුණි.
ඒ නිසාම පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ කැපිල්ලට හසුවී මුළුගන්වා සිටි වාස් ගුණවර්ධනට පොලිසිය තුළ තැනක් හිමි වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටියදීය. ඒ ත්‍රිකුණාමලය කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්වීමක් ලැබෙමිනි. එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් කැඩී වෙන්ව ගිය පිල්ලෙයාන්ගේ පිලේ සාමාජිකයන් බව කියන කණ්ඩායමක් පෙර පාසල් යන වයසේ පසුවූ දැරිවියක් පැහැර ගෙන ගොස් දූෂණය කර මරා දැමුවේ ද මේ කාලය තුළදීය. සමූහ දූෂණයකට ලක්වූ ඒ කුඩා දියණියගේ සිරුර මුහුදට දමා අතුරුදන් කිරීමට පිල්ලෙයාන්ගේ සගයන් සැලසුම් කළ ද එය ව්‍යාර්ථ වීම හේතුවෙන් සිරුර දමන්නේ ත්‍රිකුණාමලය පැත්තේ කාණුවකය. අසීමාන්තික වද හිංසනයටත් සමූහ දූෂණයටත් එම දැරිවිය ලක්ව ඇතැයි අනාවරණය වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයේදීය.
මෙම මහා අපරාධයට වගකිව යුත්තන් හඳුනා ගන්නේ එදා ත්‍රිකුණාමලයේ පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි පොලිස් අධිකාරී වාස් ගුණවර්ධනයන යටතේ සිටි පොලිස් කණ්ඩායමකි. පිල්ලෙයාන් ඒ වන විට ආණ්ඩුවට සම්බන්ධව කටයුතු කිරීමත් අපරාධකරුවන් නිදැල්ලේ සිටීමත් හේතුවෙන් ජනතා විරෝධයක් එල්ල වන විට දැරිවිය පැහැර ගෙන ගොස් දූෂණය කර මරා දැමූවන් එකා දෙන්නා පොලිසියට හසුවී ආයුධ පෙන්වීමට ගොස් පොලිසියෙන් වෙඩි කා මියදෙන්නේ ආණ්ඩුව කෙරෙහි එල්ල වන්නට වූ ජනතා විරෝධය මැඬලාගෙනය. වාස් ගුණවර්ධන සමාජය අතර කතාබහට ලක්වන චරිතයක් මෙන්ම එවකට පැවති ආණ්ඩුවේ බලවතුන්ගේ සමීපතයෙක් බවට පත්වීමට ඔහුට අවකාශ ලැබෙන්නේ ඒත් සමඟිනි. ආණ්ඩුවේ ගැලවුම්කාරයා වූ වාස් ගුණවර්ධනට ත්‍රිකුණාමලයේ සිට ඒත් එක්කම ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ කුරුණෑගලටය. ඒ එන විට එදා ත්‍රිකුණාමලයේ සිසුවියගේ ඝාතකයන් පරලොව යැවූ විමර්ශනයට සම්බන්ධව සිටි සිය ගෝලබාලයන් ද කුරුණෑගලට රැගෙන එන්නට වාස් ගුණවර්ධන අමතක නොකළේය. එම කණ්ඩායම කුරුණෑගල පැත්තේ කළ කී දෑ අදටත් අබිරහසකි. වාස් ගුණවර්ධන සියදිවි හානිකර ගැනීමට උත්සාහයක නිරත වූ බව කියැවුණේ ද මෙකලය. ඔහු ගමන් කරමින් සිටි රේඩියෝ කාර් රථය කුරුණෑගල දඹුල්ල මාර්ගයේදී අනතුරකට ලක්ව බරපතළ ලෙස ඔහු තුවාල ලබන්නේ ද ඒ ආසන්න කාල වකවානුවේදීමය. එම අනතුර ගැන ද කියැවුණේ වාහනය හප්පා ගෙන ඔහු සියදිවි හානිකර ගැනීමට උත්සහයක නිරත වූ බවකි.
වාස් ගුණවර්ධන කලක් රත්නපුරයේ පොලිස් ප්‍රධානියා ලෙස ද සේවයේ නිරතව සිටියේය. ඔහුව රත්නපුරයට යැවෙන්නේ එකල කහවත්ත කොටකෙතනේ සිදුවෙමින් තිබුණු අබිරහස් කාන්තා ඝාතන රැල්ලට නැවතීමේ තිත තැබීමටය. ඒ කාලය තුළ කොටකෙතනේ කාන්තා ඝාතනවලට සම්බන්ධ යැයි සැකයට තුඩුදුන් කිහිප දෙනකුට වූ දෙයක් අදටත් සොයා ගන්නට නැති තරම්ය. වාස් ගුණවර්ධනගේ රත්නපුර ආගමනයත් සමඟ කොටකෙතනේ ඝාතන රැල්ල තුරන්වී ගිය බව ඒත් එක්කම බොහෝ අය විශ්වාස කරන්නට ගත්තේය. අවසානයේදී එය එසේ නොවීය. නැවතත් එම දාම ඝාතකයා ක්‍රියාත්මක වෙමින් කතුන් බිලි ගත්තේය. ඊට නැවතීමේ තිත තැබෙන්නේ සැබෑ ඝාතකයාව 2016 වසරේදී කොටුකර ගැනීමත් සමඟිනි.
ගාල්ලේ පොලිස් ප්‍රධානියා ලෙස ද ටික කාලයක් වාස් ගුණවර්ධන සේවයේ නිරතව සිටියේය. ඔහු ගාල්ලේ පොලිස් ප්‍රධානියා ලෙස වැඩ බාරගෙන වැඩි කාලයක් යන්නට මත්තෙන් ගාල්ලම භීතියෙන් ඇලළී යන්නේ අත්පා ගැටගසා මුහුණු බැඳ හිසට වෙඩි තබා මරා දැමූ තරුණයන් පස් දෙනකුගේ මළ සිරුරු හමුවීමත් සමඟිනි. වාස් ගුණවර්ධන යන තැන මෙවැනි සිදුවීම්වල අඩුවක් නොවීය.
මෙකල කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ අනුර සේනානායකය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වූ ඔහු පොලිසිය තුළ ඒ වන විට ප්‍රසිද්ධව සිටියේ සින්දු කියන පොලිස්කාරයා ලෙසිනි. අනුර සේනානායක චරිතයක් බවට පත්වන්නේ ද කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස සේවයට එක්වීමෙන් අනතුරුව ප්‍රභූ ඇසුරට මඟපෑදීමත් සමඟිනි. පොලිස් නිලධාරියකු විසින් ඇසුරු කළ යුතු සහ නොකළ යුතු බොහෝ අය ඇසුරු කරමින් සිටි ඔහු ද ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ වන විට සිටියේ සමීපතමවය.
අනුර සේනානායක නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස්වීම් ලබා කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්වන විට කොළඹ අපරාධ කොට්ඨාශයේ හිඩැස පිරවෙන්නේ වාස් ගුණවර්ධනයන්ගෙනි. වාස් ගුණවර්ධන කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ භාරගන්නට එන්නේ සිය ගෝලබාලයන් කිහිප දෙනෙක්ද කැටුවය. ඒ ඔවුන් ඕනෑම වැඩකට ඔහුට සිටි විශ්වාසවන්තයන් වූ බැවිනි.
වාස් ගුණවර්ධන කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස පත්වීම අනුර සේනානායකට එතරම් රිස්සුවේ නැත. ඒ වාස් ගුණවර්ධන අනුර සේනානායක අබිබවා පැවති ආණ්ඩුවේ බලවතුන්ට වඩාත් සමීප වන්නට යාම හේතුවෙනි. මේ නිසා සිදුවන්නේ සීතල යුද්ධයකි. මාලබේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ නිපුන රාමනායක සිසුවාව පැහැර ගෙන විත් නිරුවත් කර කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සිදු කළ පහරදීම පවා යට ගසන්නට ඉඩක් නොලැබෙන්නේ ද මේ නිසාය. එසේ නොවන්නට එවන් පහරදීමකට වාස් ගුණවර්ධන ඇතුළු සගයන්ට හිරබත් කන්නට අද සිදු නොවනු ඇත.
නිපුන රාමනායක සිසුවා පැහැර ගැනීමට ලක්වන්නේ 2009 වසරේ අගෝස්තු 04 වෙනිදාය. වාස් ගුණවර්ධනගේ පුත් රවිදු ගුණවර්ධන හා නිපුන අතර ඇතිවුණු යම් සිදුවීමක් මුල්කරගෙන නිපුනව පැහැර ගන්නේ පොලිස් බලය යොදා අවනීතිකවය. අමානුෂික ලෙස ඔහුට සිදු කළ එම පහරදීම යටපත් කරන්නට නොගත් උත්සහයක් නොමැති වූවත් ලද අවස්ථාවෙන් අනුර සේනානායක විසින් ගේම ගැසුවේ වාස් ගුණවර්ධන කොළඹ අපරාධ කොට්ඨාසයෙන් විසිකර පොලිසියේ මුල්ලකට දමමිනි.
වාස් ගුණවර්ධන සහ ඔහුගේ පොලිස් සගයන් විසින් ඒ සිදු කළ අනීතික ක්‍රියාවට දඬුවම් ලැබෙන්නේ පසුගිය 08 වෙනිදාය. ඒ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් වාස් ගුණවර්ධනත් ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධනත් සමඟ පොලිසියේ තිදෙනෙකුත් හිරේට යවන්නේ සිව් වසරක් බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කරමිනි. වාස් ගුණවර්ධනගේ බිරිය ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මෙහිදී සියලු චෝදනාවලින් නිදහස් කරනු ලබන්නේ ඒ අයට එරෙහිව දඬුවම් ලබාදීමට තරම් පැහැදිලි සාක්ෂි අධිකරණය හමුවේ තහවුරු නොවූ බැවිනි.
නිපුන රණවක සිසුවාට පහරදීම සම්බන්ධයෙන් වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සමඟ සිව් වසරක සිරදඬුමක් හිමි වන්නේ ඉන්දික පුෂ්පකුමාර, දමිත් ප්‍රියංකර, ශාන්ත ලලිත් විතාන යන පොලිස් නිලධාරීන් තිදෙනාටය. මේ අතර සිටින ලලිත් විතාන යන කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ 07 ග්‍රෙගරි පාරේ අපරාධ විමර්ශන බියුරෝව ලෙස ස්ථාපිත කර තිබුණු වකවානුවේ සිට එහි සේවයේ නිරත නිලධාරියෙකි. පාතාල අපරාධකරුවන් විශාල ප්‍රමාණයක් කොටුකර ගැනීමට දායකත්වය දුන් මෙම නිලධාරියාට හිරේ යන්නට සිදුවන්නේ වාස් ගුණවර්ධන ඇතුළු කණ්ඩායම විසින් පැහැර ගෙන ආ නිපුන රාමනායක සිසුවා සම්බන්ධයෙන් පොලිස් පොත්වල ව්‍යාජ සටහන් යෙදීම සම්බන්ධයෙනි. පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස මේ වන විට සේවයේ නිරතව සිටි ඔහුගේ පාදයක් ද අහිමිව ඇත්තේ සිරුරේ සීනි මට්ටම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන විටත් පොලිස් රෝහලේ කැපූ පාදයට ප්‍රතිකාර ලබමින් සිටි ඔහුව බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසට ද අධිකරණයෙන් නියෝග කර තිබුණේ දඬුවම එක හා සමානව ඔහුටත් ක්‍රියාත්මක කරමිනි.
රටේ සාමය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබූ වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකාර පොලිස් නිලධාරීන් සිව් දෙනා අනීතික ලෙස කටයුතු කිරීමෙන් ඔවුන් වෙත ජනතාව තබා තිබූ විශ්වාසය බිඳ දමා තිබීම ඉතා බරපතළ කරුණක් බවත්, ඔවුන් අතින් සිදුවූ වැරදි සම්බන්ධයෙන් පශ්චාත්තාප වීමක් අධිකරණය හමුවේ සිදු නොකිරීම දඬුවම් නියම කිරීමේදී තම අධිකරණය අවධානය යොමු කළ බව මෙහිදී විනිසුරුවරයා සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නේය.
නිපුන රාමනායක සිසුවා පැහැරගෙන නිරුවත් කර අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් වූ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වාස් ගුණවර්ධනත් ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධනත් සහ පොලිසියේ සිව් දෙනකුට එරෙහිව සුවිශේෂී තවත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කරනු ලැබුවේය. ඒ මොහොමඩ් සියාම් නැමැති ව්‍යාපාරිකයෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණය විසින් ඒ අයට ලබාදී තිබුණු මරණීය දණ්ඩනය තහවුරු කරමිනි.
විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේ මහාධිකරණයෙන් ලබාදුන් මරණ දඬුවමට අභියෝග කරමින් කර තිබුණු අභියාචනයක් විභාගයට ගැනීමෙන් අනතුරුවය.
ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයට චාස් ගුණවර්ධන චෝදනා ලබන්නේ නිපුන රාමනායක සිසුවාට පහරදීම සම්බන්ධයෙන් පොලිසියේ මුල්ලක සිරවී සිටි ඔහු අළු ගසා දමා බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්වීම් ලැබ පැමිණීමත් සමඟිනි. එකල බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවයේ නිරතව සිටින්නේ අනුර සේනානායකය. බස්නාහිර පළාතේ සේවයට නැවත වාස් ගුණවර්ධන පැමිණීම සම්බන්ධයෙන් ඔහු සිටියේ එකරම් කැමැත්තකින් ද නොවේ. ඒ වාස්ගේ හැටි හොඳ හැටි දැන සිටි අතළොස්සක් අතර ඔහු ද සිටි නිසා විය හැකිය.
බස්නාහිර උතුරු දිසා පොලිස් ප්‍රධානියා ලෙස වාස් ගුණවර්ධන වැඩ පටන් ගන්නේ ද ඔහුගේ සගයන් ටික ද කිට්ටු කරගනිමිනි. නිපුන රාමනායක සිදුවීමෙන් පාඩමක් නූගත් වාස් ගුණවර්ධන බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්වන්නේ මොහොමඩ් සියාම් නැමැති ව්‍යාපාරිකයා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙනි. මෙම පැහැර ගැනීම හා ඝාතනය සිදුවන්නේ 2013 වසරේ මැයි 22 දාය.
මොහොමඩ් අහමදීන් මොහොමඩ් සියාම් පැහැරගෙන ඝාතනය කිරීමේ චෝදනාව වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට එල්ල වන්නේ වාස් ගුණවර්ධන බස්නාහිර පළාත් උතුරුදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ භාරගෙන මාසයක් දෙකක් ඉක්මයන්නට මත්තෙනි. එතෙක් ශ්‍රී ලංකා පොලිසියේ ඉහළම නිලධාරියෙක් අත්අඩංගුවට ගැනීමක් ලෙස සටහන් කරමින් වාස් ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ 2013 වසරේ ජූනි මාසයේදීය.
මෙම ව්‍යාපාරිකයා බම්බලපිටිය සාගර පාරේ පදිංචිව සිටියෙකි. ඔහු සපත්තු ව්‍යාපාරිකයෙකි. රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවකට අනුව මෙම ඝාතනය සිදු කළ බව කියැවෙන්නට විය. එම කොන්ත්‍රාත්තුව වාස් ගුණවර්ධනට ලැබී තිබුණේ ව්‍යාපාරිකයාගේම ළඟම මිතුරකු විසිනි.
එදා 2013 වසරේ මැයි 22 වෙනිදා දෙහිවල පිහිටි සිය සපත්තු කර්මාන්ත ශාලාවේ සිට සියාම් නිවෙස බලා පැමිණි පසු මොහොමඩ් සියාම් බම්බලපිටියේ නිවෙසින් එළියට බසින්නේ මිතුරෙක් සමඟිනි. සියාම්ගේ ඉරණම වාස් ගුණවර්ධන ඇතුළු පොලිස් මැර කණ්ඩායමක් විසින් කොන්ත්‍රාත්තුවකට අනුව විසඳන්නේ එසේ ඔහු නිවෙසින් පිටතට ගිය අවස්ථාවේදීය. මේ කිසිවක් නොදත් සියාම්ගේ පවුලේ උදවිය හැම අත සියාම්ව සොයා බැලුවත් හමු නොවූ තැන මිතුරාගෙන් ඒ ගැන විමසුවේය. මිතුරා පවසන්නේ එදා රාත්‍රී ආහාරය ගෙන සියාම් නැවත නිවෙස බලා ගිය බවය.
බම්බලපිටිය පොලිසියට පවා පැමිණිලි කරමින් පවුලේ ඥාතීන් හැම තැනකම සියාම්ව සොයා බැලුවත් සොයා ගන්නට නොහැකි වූ තැන අරලියගහ මන්දිරය වෙත යන්නේ මේ ගැන එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කියන්නටය. ඒ සියාම්ගේ පවුලේ ඥාතියකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව දැන හඳුනා ගෙන සිටි බැවිනි. ඒ යන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සූදානමින් සිටින්නේ ගංගාරාම විහාරස්ථානයට ගමන් කිරීමටය. එබැවින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සියාම්ගේ ඥාතියාවත් ඔහු ගමන් කළ මෝටර් රථයට ගොඩකරගෙන ගංගාරාමය විහාරස්ථානයට යන අතරතුර කතාව අසා දැන ගත්තේය. ගංගාරාම විහාරස්ථානයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෝටර් රථයෙන් පිටතට එන විට ඒ අසල සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානානයකය.
“මෙන්න මේ වැඩේ බලල කරල මට කියන්න මොනවද වෙලා තියෙන්නේ කියල“ යැයි එහිදී සියාම්ගේ ඥාතියාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාර දෙන්නේ අනුර සේනානායකටය. සියාම්ගේ අතුරුදන් වීම ගැන විමර්ශනයක් සිදු වන්නේ ඒත් සමඟිනි. කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අනුර සේනානායක මෙම විමර්ශනය පවරනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයටය. විමර්ශන පැවරී පැය 24ක් යන්නට මත්තෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නුගේගොඩ කන්දෙවත්ත පාරේ අතහැර දමා තිබියදී සොයා ඇඟිලි සලකුණු පවා පරීක්ෂා කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පියවර ගන්නේ ඒ තුළින් වැදගත් හෝඩුවාවක් හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරමිනි.
ඒ අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් වෑන් රථය හමුවූ ස්ථානය අවට ආරක්ෂක නිවාසවල ඇති ආරක්ෂක කැමරා පරීක්ෂා කරන්නට වූයේ ඒ තුළින් හෝඩුවාවක් මතු කරගන්නටය. මෝටර් රථය තිබුණු ස්ථානයට නුදුරු නිවෙසක ආරක්ෂක කැමරාවකින් සියාම්ගේ අතුරුදන්වීම ගැන වූ විමර්ශන ඉදිරියට පවත්වා ගෙන යාමට තුඩු දෙන හෝඩුවාවක් ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. එදා සියාම් සමඟ නිවෙසින් පිටව ගිය මිතුරාත් සමඟ සියාම් එම ස්ථානයට මෝටර් රථයෙන් පැමිණෙන අයුරු මෙන්ම එතැනට පැමිණෙන වෙනත් කණ්ඩායමක් සියාම්ව රැගෙන යන අයුරුත් එහි සටහන්ව තිබුණේ සියාම්ගේ අතුරුදන්වීමට මිතුරාගේ ද සම්බන්ධයක් ඇති බවට වූ සාක්ෂියක් ද සමඟිනි. සියාම්ගේ මිතුරා පසුපස කොළඹ අපරාධ කොට්ඨාසය හඹා යන්නේ ඒත් සමඟිනි. ඒ සියාම්ගේ පවුලේ සාමාජිකයන් සියාම්ගේ අතුරුදන්වීමට මිතුරාගේ සම්බන්ධයක් නොමැති බවට දැඩිව විශ්වාස කරන පසුබිමක් තුළදීය. මිතුරාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පවා සියාම්ගේ පවුලේ උදවිය ඊට සිය අප්‍රසාදය පවා පළ කරන්නට වූයේ සියාම්ට සිටි මිතුරන් අතරින් විශ්වාසවන්තයා වූයේ ඔහු බැවිනි.
අවසානයේදී සියාම්ට අත්වූ ඉරණම කුමක්දැයි අනාවරණය කරගන්නේ ද එම මිතුරාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය. සියාම්ව පැහැර ගෙන ගොස් ඝාතනය කර සිරුරු දොම්පේ කැළෑබද ප්‍රදේශයකට අතහැර දැමා ඇති බව ද එහිදී අනාවරණය වී තිබුණේය. දොම්පේ පොලිස් බල ප්‍රදේශය අයත්ව තිබුණේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතටය. දොම්පෙන් ඒ වන විටත් සියාම්ගේ සිරුර හමුවී තිබූ අතර එය ගම්පහ රෝහල් මෘත ශාරීරාගාරයේ තැන්පත් කර තිබෙන්නේ නාඳුනන මළ සිරුරක් ලෙසිනි. පළාතේ පොලිස් ලොක්කා වූ වාස් ගුණවර්ධන එම මළ සිරුර ගැන වැඩි අවධානයක් යොමු නොකර නාඳුණන මළ සිරුරක් ලෙස රෝහල් මෘත ශරීරාගාරයේ තැබෙන්නට ඉඩ දී සිටියේ එය සියාම්ගේ සිරුර බව හොඳින්ම දැනගෙනය.
මේ දක්වා විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ ද එතැන් සිට විමර්ශන භාරවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතය. එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස සේවයේ නිරතව සිටියේ ගාමිණි මතුරට ය. මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ගාමිණි මතුරට විසින් භාර දෙන්නේ ශානි අබේසේකරටය. එකල ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයකි.
සියාම්ගේ මිතුරාගෙන් ලද රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවකට අනුව පොලිස් මැරයන් පිරිසක් විසින් මෙම අපරාධය සිදු කර ඇති බව පැහැදිලි සාක්ෂි අනාවරණය කරගැනීමෙන් අනතුරුව ඊට සම්බන්ධ වූවෝ එකිනෙකා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගත්තේය. ඒ අය අතර වාස් ගුණවර්ධනගේ පුතා ද සිටියේය. හොඳම මිතුරා පොලිසියට මේ කොන්ත්‍රාත්තුව භාර දෙන්නේ සියාම්ගේ කර්මාන්ත ශාලාව අත්පත්කර ගැනීමේ අපේක්ෂාව ඇතිවය. ඒ එම කර්මාන්ත ශාලාවට ලොල්වය. ඒ වන විටත් මිතුරා සියාම්ට කෝටි ගාණක් ණය වී සිටියේය. සියාම් ඝාතනයෙන් ණය බරින් ද නිදහස් වීමට ඔහු සැලසුම් කර තිබුණු බව එකල විමර්ශන තොරතුරු කියැවිණි.
සියාම් අත්ඔරලෝසු ලෝලියෙකි. වටිනා අත්ඔරලෝසුවක් ඇති බව පවසමින් සියාම්ව නුගේගොඩට රැගෙන ගොස් පොලිස් කණ්ඩායමට ඔහුව භාරදී තිබුණේය. එම කණ්ඩායම අතර වාස් ගුණවර්ධනගේ පුතා ද සිටි බව විමර්ශන ඔස්සේ හෙළි කරගනිමින් ඔහුව ද අත්අඩංගුවට ගත්තේය. බන්ධනාගාර ඉතිහාසයේ උපාධියක් හිමි කරගෙන මේ වන විට ආචාර්ය උපාධියට සූදානමින් සිටි බමුණසිංහ නැමැති නිලධාරියා ද මේ කණ්ඩාමේ සිටියෙකි. ඔහු උපාධිය හදාරන්නේ ද සියාම් ඝාතනයට බන්ධනාගාරගත වීමෙන් අනතුරුවය. ඔහුට එල්ලවී තිබුණු චෝදනාව වූයේ මෙම ඝාතනයට අනුබලදීමය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වාස් ගුණවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා අත්අඩංගුවට ගන්නා විට වාස් ගුණවර්ධන විසින් ශානි අබේසේකරට තර්ජනය ද කර තිබුණේය. ඒ සම්බන්ධයෙන් ද වාස් ගුණවර්ධන අධිකරණයෙන් බරපතළ වැඩ සහිතව සිරදඬුවමක් ලැබී තිබුණේ රුපියල් 25,000ක දඩ මුදලක් ද නියම කරමිනි.
වාස් ගුණවර්ධන එදා තමාව අත්අඩංගුවට ගන්නා විට ශානි අබේසේකරට තර්ජනය කරනු ලබන්නේ තමා වටා සිටින දේශපාලඥයන් තමාව බේරාගනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇතිව විය හැකිය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත් වූ පසු වාස් ගුණවර්ධනගේ පස්ස පැත්ත දිහාවත් ඔවුන් බැලුවේ නැත. රහස් ගොන්නක් වමාරන්නට වාස් ගුණවර්ධනට හැකියාව තිබුණත් ඒවා හෙළි කරන බව විටෙන් විට ප්‍රකාශ වූවත් අවසානයේදී ඒ කිසිවක් එළියට ද ආවේ නැත. ඒ එම රහස් හෙළි කිරීමෙන් තමන් තවදුරටත් අමාරුවේ වැටෙනු ඇති බව විශ්වාස කළ නිසා ඒවා හෙළි නොකළ ද නැතිනම් එකී බලවතුන් තමාව කුමන හෝ ක්‍රමයකින් නිදහස් කරනු ඇතැයි විශ්වාසයෙන් සිටි නිසාදැයි දන්නේ ඔහු පමණී.
තමාගෙන් වැඩ ගත්තු බලවතුන් තමාව යම් දිනක නිදහස් කර ගනීවි යැයි දැඩි විශ්වාසකින් සිටි වාස් ගුණවර්ධනට අවසානයේදී සිදුවන්නේ සිය පුතාත් පොලිස් සගයනුත් සමඟ හිරේ ලඟින්නටය. 2015 වසරේ නොවැම්බර් 27 වෙනිදා වාස් ගුණවර්ධන ඇතුළු පිරිසගේ බෙල්ලට තොණ්ඩුව වැටෙන්නේ ලලිත් ජයසූරිය, සරෝජිනී කුසලා වීරවර්ධන සහ අමේන්ද්‍ර සෙනවිරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභායට ගත් සියාම් ඝාතන නඩුවේ තීන්දුවට අනුවය. සියයකට වැඩි පැමිණිල්ලලේ සාක්ෂිකරුවන් පිරිසකගේ සාක්ෂි ද පරියේෂණාත්මක සාක්ෂි ද පදනම් කරගෙන පිටු 800කට වැඩි ප්‍රමාණයකින් වූ එම නඩු තීන්දුවෙන් වාස් ගුණවර්ධන ඇතුළු සගයන් හිරේට යන විට ඔහු එම තීන්දුවට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරනු ලබන්නේ සිය නිර්දෝෂීභාවය කියමිනි.
මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් වන බවත්, එබැවින් අදාළ දඬුවමින් තමන් මුදා හරින්නැයි ඉල්ලා ගොනුකර තිබුණු මෙම පෙත්සම විභාගයට ගන්නේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි. තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුවට කල් තබා තිබියදී එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජිකයෙකයන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන අභාවප්රප්ත වීම සහ විනිසුරු සිසිර ද ආබෲ විශ්‍රාම ගැනීමට හේතුවෙන් සිදු වන්නේ පෙත්සම් යළි විභාගයට ගැනීමටය. ඒ අනුව 2017 වසරේ සිට හත් වසරක් තිස්සේ විභාග කෙරුණු මේ නඩුවේ තීන්දුව පසුගිය 08 වෙනිදා ප්‍රකාශයට පත්වන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් ලබාදුන් තීන්දුව තවදුරටත් තහවුරු කරමින් වාස් ගුණවර්ධන ඇතුළු පිරිස මරණීය දණ්ඩනයට යටත් කරමිනි. ඒ වාස් ගුණවර්ධනටත් ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධනටත් ඇතුළු පිරිසට ගැලවීමට තිබුණු එම අවස්ථාව ද අහිමි කරමිනි.
ඡායාරූපය – රුක්මාල් ගමගේ
ගයාන් කුමාර වීරසිංහ