දකුණු ආසියාවේ වේගවත් ආර්ථික වර්ධනයක් හිමිව තිබූ බංග්ලාදේශය ගිනි ගනිමින් තිබේ. විවිධ පාර්ශ්ව ඊට වෙනස් අර්ථකථන ලබාදුන් ද මේ විරෝධතාවන්ට ආසන්නම හේතුව එරට රජයේ රැකියා පිළිබඳ කෝටාවය. රැකියා කෝටාව ගැන කතා කිරීමේදී බංග්ලාදේශය නම් රාජ්‍යයේ බිහිවීම අමතක කළ නොහැකිය.
ඉන්දීය නිදහස් සටන නිමාවට පත්වන්නේ මොහොමඩ් අලි ජින්නාගේ නායකත්වයෙන් යුත් පාකිස්තානය බිහි කරමිනි. එදා පාකිස්තානයේ නැඟෙනහිර සහ බටහිර ලෙසින් කොටස් දෙකකින් යුක්ත විය. මේ දෙකොටසේම ආගම ඉස්ලාම් වුව ද සංස්කෘතීය සහ භාෂාවේ බරපතළ වෙනස්කම් කිහිපයක් විය. බටහිර පාකිස්තානයේ ප්‍රධන භාෂාව උර්දු භාෂාව විය. එහෙත් නැඟෙනහිර පාකිස්තාන බෙංගාලි භාෂාව කතා කරනා බහුතරයකින් යුක්ත විය. සංස්කෘතික වශයෙන්ද නැඟෙනහිර පාකිස්තානයේ ජනයා ඉන්දියාව සමඟ පැවත්වූ සබඳකම් වැඩි විය. එහෙත් සමස්තයක් ලෙස පාකිස්තානයේ පාලන බලය වැඩි වශයෙන් බටහිර පාකිස්තානයට බර එකක් විය.
අවාමී ලීගය (එවකට අවාමී මුස්ලිම් ලීගය) නැඟෙනහිර පාකිස්තානයේ දේශපාලන බලය හෙබවූ අතර ශෙයික් මුජිබර් රහ්මාන් එහි නායකයා විය. බටහිර සහ නැගෙනහිර පාකිස්තාන අර්බුදය නිම වන්නේ 1971 ඉන්දියාව හමුදා මැදිහත් වීමකින් නැඟෙනහිර පාකිස්තානය බටහිර පාකිස්තානයෙන් වෙන් කිරීමෙනි. බංග්ලාදේශය නම් රට ලෝක සිතියමට එක්වන්නේ ඉන් පසුවය. ශෙයික් මුජිබර් රහ්මාන් එහි පළමු ජනාධිපතිවරයා විය.
එරට නිදහස උදෙසා දැවැන්ත අරගලයක් සිදු වූ අතර ඊට දායකවූ පිරිස ”ෆ්‍රීඩම් ෆයිටර්ස්” නමින් හැදින්වූහ. පසු කලක විමුක්ති අරගලයට දැක්වූ දායකත්වය සලකා රජයේ රැකියා කෝටාවෙන් 30% මෙකී ෆ්‍රීඩම් ෆයිටර්ස්ලාට ලබා දීමට තීරණය විය. ඉන්පසු අවස්ථා දෙකකදී එකී කෝටාව නොවෙනස්ව ෆ්‍රීඩම් ෆයිටර්ස්ලාගේ දෙවෙනි සහ තුන්වෙනි පරම්පරාවන්ට ද හිමි විය. එම තීන්දුවට එරෙහිව එරට විශ්වවිද්‍යාල සිසුන් අරගලයක් ආරම්භ කළ අතර අද දක්වාම පවතින්නේ එකී අරගලයය.
සති කිහිපයකට පෙර එකී කෝටාව 5% දක්වා එරට අධිකරණය විසින් අඩු කළ ද ඉන් අරගලය සංසිඳුණේ නැත. එය ඒවන විටත් ශෙයික් හසීනාගේ පාලනයට අභියෝග කරන තැනට පත්ව තිබූ අතර, ඇය පලවා හැරීමෙන් පසු අද වන විට බංග්ලාදේශ සිසු අරගලය වාර්ගික, ආගමික ආදී විවිධ මුහුණුවර ගනිමින් දේපොළ කොල්ලකමින් සමස්ත රටම ගිනිබත් කරන්නට සමත්ව ඇත.
අරගල සහ කුමන්ත්‍රණ යනු බංග්ලාදේශයට අමුත්තක් නොවේ. එහි නිර්මාතෘ ලෙස සැලකෙන ශෙයික් බුජිබර් රහ්මාන්, ඔහුගේ බිරිය සහ දරුවන් දෙදෙනෙක් 1975 දී ඝාතනය කරනා අතර එහිදී දිවි බේරා ගන්නට දැනට ඉන්දියාවට පලා ගොස් සිටිනා හිටපු අගමැතිනි ශෙයික් හසීනා සහ ඇගේ සොහොයුරිය ශෙයික් රෙහානා සමත් විය. පසු කලක දේශපාලනයට පිවිසෙන ශෙයික් හසීනා 2009 සිට අඛණ්ඩව එරටට අගමැති ලෙස කටයුතු කළාය. ඇයගේ පාලනය ගැන නොයෙක් චෝදනා නොතිබුණා නොවේ. එහෙත් ඇය එරට ආර්ථිකය ඉහළින් ඔසවා තබන්නට සමත් වූවාය. ඉකුත් වසරේ එරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඇමෙරිකානු ඩොලර් බිලියන 446.35 දක්වා වර්ධනය විය. එය 2014 ට සාපේක්ෂව ඩොලර් බිලියන 253 ක පමණ වැඩි වීමකි. ආර්ථිකයේ වර්ධනය 2023 දී 6.03% ක් විය. මෙම වර්ධනය අවම වශයෙන් 2029 දක්වා පවතිනු ඇතැයි පුරෝකථනය කර තිබුණි. ලබමින් තිබූ ආර්ථික වර්ධනය නිසා බංග්ලාදේශය ශ්‍රී ලංකාවට පවා ඩොලර් මිලියන 200ක ණයක් ලබාදී තිබුණි. හසීනාගේ නායකත්වයෙන් එරට ලොව අංක එකේ ඇඟලුම් නිෂ්පාදකයා බවට පත්වූ අතර, ඇඟලුම් කර්මාන්තය ඉකුත් වසරේ එරට ආර්ථිකයට දැක්වූ දායකත්වය ඩොලර් බිලියන 45 කට ආසන්න විය. මෙකී ආර්ථික වර්ධනය බංග්ලාදේශයට ලැබීමට මුල් වූයේ විදේශ ආයෝජනයන්ය. එහෙත් මේවන විට අරගලකරුවන්ගේ වීථි සටන් නිසා සමස්ත කර්මාන්ත පද්ධතිය බිඳ වැටෙමින් පවතින අතර ආයෝජකයන් රට හැර යමින් සිටී.
අරගලකරුවන් එරට රූපවාහිනිය අත්පත් කරගත් අතර, ඊයේ වන විට පාර්ලිමේන්තුව ද අල්ලා ගෙන තිබුණි. ජාතියේ පියා ලෙස ගෞරවාදරයට පත්වූ ශෙයික් මුජිබර් රහ්මාන් ප්‍රතිමාවේ හිසට නැඟි අරගලකරුවෝ ඊට කුළු ගෙඩි පහර දෙති. මහමඟ දිගේ නඩු අසා මිනිසුන් මරා ගුවන් පාලම්වල එල්ලමින් ප්‍රචණ්ඩත්වය විදහා පාති. අද වනවිට ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු 20 කට අධික පිරිසක් මරා දමා ඇති අතර ඉන් බහුතරය පණ පිටින් පුලුස්සා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ලෝකයේ බොහෝ රටවල ගැටුම් පැවතිය ද ලාංකිකයන්ට බංග්ලාදේශයේ ගැටුම් සහගත තත්ත්වය වඩාත් සංවේදී වෙමින් තිබේ. ඊට හේතුව දෑ වසරකට පෙර අප ද මෙවැනිම අර්බුදයකට මුහුණ දුන් රටක් වීමය. එද විදුලිය, ඉන්ධන, ගෑස් ආදිය හිඟ වීම නිසා රට පුරා ජනයා වීථි බැස පැවති ගෝඨාභය රාජපක්ෂ රජයට සිය විරෝධතාව දක්වන්නට වූහ. එහෙත් එකී ජන විරෝධය ගාලු මුවදොර පිටියේදී මංකොල්ල කන්නට දේශපාලන අවස්ථාවාදීන් පියවර ගැනීමත් සමඟ සාමකාමී අරගලය රාජ්‍ය දේපොළ කොල්ල කන, නිවාස දේපොළ ගිනි තබන දාමරික ක්‍රියාන්විතය බවට පත්විය. බණ්ඩාරානායක ප්‍රතිමාවේ පවා ඇස් කළු පටියකින් බඳිනු ලැබීය. අධිකරණ තීන්දුවක් නිසා ප්‍රතිමාව රැක ගන්නට හැකි විය. අවසනයේ ජනාධිපතිවරයා පවා පළවා හැරි අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පොලිස් නිලධාරියෙක් මහමඟදී පහර දී මරා දමනා තැනට අරගලකරුවෝ ප්‍රචණ්ඩ වූහ. එයින්ද නොනැවතී පාර්ලිමේන්තුව අල්ලා ගන්නට සූදානම් වූ පිරිස් බත්තරමුල්ල පොල්දූව මංසන්දියේ පාර්ලිමේන්තු පිවිසුම තෙක් පැමිණියහ. එදා පාර්ලිමේන්තුව අල්ලා ගන්නට ජනතාව පෙලඹ වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත තමන් පාර්ලිමේන්තුව අල්ලා ගන්නට උත්සහ කළ බව පසුගිය දා නැවත වරක් ප්‍රසිද්ධියේ කීවේය.
සැලසුම් කළ ආකාරයෙන් අරගලකරුවෝ එදා පාර්ලිමේන්තුව අල්ල ගත්තා නම් අද මෙන් ජනාධිපතිවරණ ඉල්ලා උසාවි ගානේ යන්නට විපක්ෂයට ඉඩ ලැබෙන්නේ නැත. වැඩි පඩි ඉල්ලා වැඩ වර්ජන ගුරුවරුනට ඉඩ ලබෙන්නේ ද නැත. රැක ගන්නා බවට පොරොන්දු දෙන්නට ප්‍රජාතාන්ත්‍රවාදයක් රටේ ඉතිරි වන්නේ ද නැත. සාධාරණ විනිශ්චයන් සඳහා ස්වාධීන අධිකරණය පවා ඉතිරි වෙතැයි සිතිය නොහැකිය. බහු පක්ෂ ක්‍රම, මැතිවරණ කොමිසම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පමණක් නොව රටේ මුඛ්‍ය ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා බලරහිත වනු ඇත. පාර්ලිමේන්තුව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් වලංගු නැති බව අරගල නායක කුමාර් ගුණරත්නම් එදා එළිපිටම කීවේය. එහෙත් වත්මන් ජනාධිපතිවරයාගේ නිවැරදි නායකත්වය නිසා ලංකාව බංග්ලාදේශය තරමටම අවාසනාවන්ත වූයේ නැත. ව්‍යවස්ථාදායකය සහ අධිකරණ පද්ධතිය සමඟ සමස්ත රටම බේරා ගන්නට එදා විධායකය සමත් වූ ආකාරය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු නිසැකය.