Home » නිවෙසේ වාස්තු දෝෂ ඉවත් කරන නිවැරදි ක්‍රම

නිවෙසේ වාස්තු දෝෂ ඉවත් කරන නිවැරදි ක්‍රම

ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාවේදී විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස

by gayan
August 17, 2024 12:30 am 0 comment

බගේ නිවෙසේ වාස්තු දෝෂ ප්‍රධාන කොටස්‌ 02 ක්‌ යටතේ ඇති විය හැකිය. එනම් අපට භෞතිකව පෙනෙන වාස්තු දෝෂ සහ භෞතිකව අපට නොපෙනෙන වාස්තු දෝෂයි. මෙහිදී භෞතිකව පෙනෙන හෙවත් ඉදිකිරීමේ දෝෂ බොහොමයක් අපට පහසුවෙන් සකස්‌ කර ගත හැකිය. විශ්ව කර්ම ඍෂිවරයා “අල්ප දෝෂ ශුනාධික්‍යයඃ – දෝෂාය න භවිත් ගෘහඃම්” යන්නෙන් පෙන්වා දී ඇත්තේ නිවෙසක වාස්තු දෝෂ සුළු වශයෙන් පැවතියාට එතරම් නොසිතිය යුතු බවයි.

ගුණ පැත්ත වැඩි නම් දෝෂ ඇති නොවන බව එතුමා පැහැදිලිවම දක්වා ඇත. මේ නිසා දෝෂ ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට ඔබ උනන්දු වනවා මෙන්ම නිවැරැදි කර ගත නොහැකි කොටස්‌ පිළිබඳව නිතර නිතර සිතීම ද නොකළ යුතුය. එමෙන්ම පාර භෞතික දෝෂයන් ඉවත් කිරීම සඳහා පිරිත් සජ්ඣායනා, වාස්‌තු පූජා වැනි ප්‍රතිකර්ම යෙදිය හැකි බැවින් නි‌ෙවස කඩා බිඳ දැමීමට ඉක්මන් නොවිය යුතුය. එමෙන්ම කිසිවිටක නිෙවසට දොස්‌ නැඟීමද නොකළ යුතුය. ඔබේ නිෙවසේ පවතින බොහෝ වාස්තු දෝෂ ඉතා අඩු වියදමකින්, සරලව ඉවත් කර ගත හැකි නිසා ඒ පිළිබඳව ඔබ අවධානය යොමු කිරීමෙන් අනවශ්‍ය මුදල් නාස්තියකින් තොරව සුවබර නිෙවසක පහස විඳීමට අවස්ථාව සලසා ගත හැකිය.

ඔබගේ නිවසට ශබ්ද විද්‍යාත්මකව බලවත් වන සුබ ගෘහ නාමයක්‌ යෙදීමෙන් පොහෝ වාස්තු දෝෂ මගහරවා ගත හැකි බව ඔබ දැන සිටියා ද? ගෘහ නාමකරණය නිසි ලෙස යෙදීමෙන් නිෙවසේ බොහෝ වාස්‌තු දෝෂ දුරු වන බව පූර්ගාණ්ඩ පඬිවරයා පෙන්වා දී ඇත. මේ අනුව නිෙවසට ශබ්ද විද්‍යාත්මකව ඉෂ්ඨ ගණවලින් සුබ ගෘහ නාමයක්‌ යෙදීමෙන් නිවසේ බොහෝ වාස්තු දෝෂ මග හරවා ගත හැකිය. එසේම ඊසාන සහ නිරිත දිශාව බලවත් කරවන දේව වෘක්‍ෂ ලෙස සැලකෙන කොහොඹ, ඛෙලි වැනි ශාක ගෙවත්තේ සිටුවීම ද, නි‍ෙවසේ කළු වර්ණ ආලේප නොකිරීම ද බොහෝ වාස්තු දෝෂ දුරුවීමට හේතු වේ.

නිෙවස තුළ ඇති හිස් භාජන, ස්‌ලැබ් අතර ඇති හිස්‌ අවකාශ ආදිය නිසා විවිධ සියුම් සත්ව කොට්‌ඨාසයන්ගෙන් නිෙවසට අසුබ බලපෑම් එල්ල විය හැකි අතර එවනි අවස්‌ථාවල හිස් භාජනවලට හා එම හිස්‌ අවකාශයන්ට මුහුදු වැලි, සිප්පි කටු යොදා එම අසුබ බලපෑම් ඉවත් කර ගත හැකිය.

නිවසක බොහෝ වාස්තු දෝෂ ඇතිවන ස්ථානයක් වන්නේ වහලයයි. නිෙවසක මුදුන් යට ලීය කිසිවිටක ගෘහමූලිකයාගේ උසට වඩා අඩු නොවිය යුතු අතර සමහර නිවෙස්වල පල ගණන වැඩිවන විට මුදුන් යට ලීය කෙටි වී ඇති අවස්ථා බොහෝ දක්නට ලැබෙයි.

එය ගෘහමූලිකයාට සෘජුවම අසුබ බලපෑම් ඇති කරන බැවින් වහලයේ කොටසක් ගලවා එම බරපතළ වරද නිවැරදි කර ගත හැකිය. වහලයේ කුරුපා ඉරට්ටේ ගණනක් විය යුතු අතර එම සංඛ්‍යාව ද වැරදියට තබා ඇත්නම් අනවශ්‍ය කුරුපාවක් ඉවත් කිරීමෙන් හෝ සුදුසු ස්ථානයක තවත් කුරුපාවක් තැබීමෙන් එම දෝෂය පහසුවෙන් නිවැරදි කර ගත හැකිය. ඇතැම් නිවාසවල වහලයේ සොහොන් පරාල ලක්‌ෂණ දක්නට ලැබෙන අතර එය ඉතාමත් අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නකි. එම සොහොන් පරාලය වහලයට කිසිම හානියක්‌ නොමැතිව පහසුවෙන් ඉවත් කළ හැකිය. එසේම ඔබගේ වහලයේ කුමන නොපෙනෙන දෝෂයක්‌ තිබුණ ද එය මඟහැරවීම සඳහා ගෘහ හිමියාගේ ජන්ම නැකතට ගැළපෙන සේ මී, කොහොඹ, සඳුන් යන දැවවලින් දැව ඇණ 03 ක්‌ වහලයේ බිත්ති යටලීයකට එක්‌ කිරීමෙන් දෝෂ මඟ හරවා ගැනීමට ද හැකියාව ඇත.

ඔබේ නිවෙසේ පඩි පෙළ දෝෂ සහිත නම් එම පඩි පෙළ නොකඩා එයට දැව එක් කිරීමෙන් එහි බොහෝ දෝෂ ඉවත් කරගත හැකිය. දැව යෙදූ පඩි පෙළක දෝෂ හට නොගනී. එහිදී එහි අත්වැල තුළට ගෘහ මූලිකයාගේ ජන්ම නැකතට සංවේදී වන දැව ඇණ යෙදිය යුතුය.

බොහෝ නිවාසවල තවත් බහුලව දක්නට ලැබෙන වාස්තු දෝෂයක් වන්නේ විවිධ අසුබ හැඩතල පැවතීම හා අත්තිවාරමේ කොටස් ඌනව පැවතීමයි. අත්තිවාරමේ ඊසාන, ගිනිකොන, නිරිත, වයඹ දිසා හිස් වීම ඉතා බලවත් වාස්තු දෝෂ මතු කරයි. එබඳු අවස්ථාවල එම කොටස් එක්කර අත්තිවාරම සම්පූර්ණ කොට තැබීමෙන් එම දෝෂය පහසුවෙන් මගහරවා ගත හැක. එහිදී කලබලයට බිත්ති බැඳීම අවශ්‍ය නොවන අතර අත්තිවාරම පමණක් දමා තිබීම ප්‍රමාණවත්ය.

නිවෙසේ තනා ඇති ළිඳ ද තවත් බොහෝ වාස්තු දෝෂ ඇතිවිය හැකි ස්ථානයකි. ළිඳ සඳහා සුදුසු දිශා වන්නේ උතුර, ඊශාන, නැගෙනහිර සහ බටහිර දිශා පමණි. දකුණු හා ගිනිකොන, වයඹ, නිරිත යන දිශා ළිඳ සඳහා ඉතා අයහපත් දිශා ලෙස පෙන්වා දී ඇත. ඔබගේ ළිඳ පිහිටා ඇත්තේ එවැනි දිශාවක නම් ඔබ කළ යුත්තේ ඔබේ ප්‍රධාන ද්වාරයෙහි සිට ළිඳ නොපෙනෙන සේ තාප්පයක් බැඳීමයි. ඔබගේ ප්‍රධාන ද්වාරය අසලට ආ විට ළිඳ දර්ශනය නොවන්නේ නම් ළිඳ නි‌ෙවසට දෝෂ නොවේ. කලබල වී ළිඳ වැසීම නොකළ යුතු අතර ළිඳක්‌ වැසීම ද නිසි පරිදි සිදු නොකළහොත් ඉන් බොහෝ දෝෂ ඇති වේ.

වරින් වර ඔබේ නිවසට පැමිණෙන ඇතැම් පුද්ගලයින් ඔබේ නි‌ෙවසේ වාස්තු දෝෂ ඔබ සමඟ පැවසිය හැකිය. එවන් අවස්ථාවකදී ඔබ කිසිසේත් කලබල විය යුතු නැත. එයට හේතුව නි‌ෙවසට පැමිණ ඔබ නොවිමසා සිටින විටකදී වාස්තු දෝෂ පවසන්නේ නම් ඔහු වාස්‌තු ශිල්පියකු නොවේ. අප නි‌ෙවසක කොතරම් වාස්තු දෝෂ දුටුවද නි‌ෙවසේ හිමිකරු නොවිමසන්නේ නම් වාස්තු දෝෂ නොකිව යුතු බව මෙම ශාස්ත්‍රය තුළ පිළිගත් සම්ප්‍රදායකි. මේ සියල්ල අනුව වාස්‌තු දෝෂවලට විශාල කැඩීම් බිඳීම්වලින් තොරව පිළියම් ඇති බවත්, දුක් මහන්සියෙන් සාදා ගත් නි‌ෙවස කඩා බිඳ දැමීමට ඉක්මන් නොවී එම සුදුසු ක්‍රමවේද පිළිබඳව දන්නා නිවැරදි වාස්තු ශිල්පීන්ගේ උපදෙස් ලබාගෙන කටයුතු කළ හැකි බවත් ඔබ දැන සිටිය යුතුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division