අනූව දශකය මැද භාගයේ එක්තරා පොසොන් පොහොය දවසක ජාතික රූපවාහිනියේ පෝය වැඩසටහන ඉදිරිපත් කළ නිවේදකයා වූයේ මා ය. වැඩසටහන සජීවීව විසුරුවා හැරුණේ මිහින්තලාවේ සිටය. වැඩසටහන භාරව කටයුතු කළේ ජාතික රූපවාහිනියේ සිසිර කොතලාවලය.
වැඩසටහන පිරී තිබුණේ හරබර සාකච්ඡාවලිනි. සාකච්ඡාවක සාමාන්‍ය කාලය විනාඩි 12ක් පමණය. අවසන් වූ වහාම ලැබෙන විරාමයේ වෙනත් තැනකට මාරු විය යුතුය. කැමරා ආම්පන්න සහ ආලෝක පරාවර්තක සියල්ල ගලවාගෙන අපි ගලින් ගලට පැන යමින් වැඩසටහන ඉදිරිපත් කළෙමු.
මේ වැඩසටහනට ජාතික ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු බව මට දන්වා තිබිණ. ඒ අනුව මගේ බිරිඳ අලුත්ම පන්නයක ජාතික ඇඳුමක් කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලකින් සොයා ගත්තාය. කමිසය දෙපැත්තේ අපූරු ලියවැල් දෙකක් තිබුණා මට මතකය.
ඇඳුම ලස්සනය. ප්‍රශ්නයකට තිබුණෙ මට පිළිවෙළකට සරමක් ඇඳගෙන ඉන්නට බැරි වීමය. මිහින්තලා පුදබිමේ උපාසක උපාසිකාවෝ රැසකි. වැඩිපුර හිටියේ උපාසිකාවන්ය. සාකච්ඡාවෙන් සාකච්ඡාවට ගලින් ගලට මාරු වන විට නොදැනීම මගේ අතින් සරම ඉහළට එසවෙයි. එය ඇවිදීමට පහසුවකි. නමුත් මුහුණ පුරා මේකප් පුයර තවරාගත් පැත්තකින් මයික්රෆෝනයක් අමුණා ගත් මිනිසෙක් සරම ඔසවාගෙන උපාසක උපාසිකාවන් මැදින් ගමන් කිරීම ඉතා අවලස්සනය. මට ඒක තේරුණේ නැත.
සිසිර කොතලාවල මා අසල සිටි කැමරා ශිල්පියාගේ ජංගම කතනයට කතා කරනවා මට ඇසිණ.
“ඔය චන්දනයට කියපන් බං සරම පල්ලෙහා දාන්න කියලා. සරම උස්සගෙන උපාසක අම්මලා මැද්දෙන් යනවා මොකාද වගේ.”
මම වහාම පැත්තකින් ඔසවාගෙන සිටි සරම පහත හෙළුවෙමි.
එහෙත් සරම පැත්තකින් උස්සන්නේ නැතුව මට වේගයෙන් ඇවිදින්නට නොහැකිය. කෙසේ වෙතත් උදෑසනම සිදුවූ මේ සිද්ධියෙන් පසු සරම ගැන පරිස්සම් වෙන්නට කල්පනා කළෙමි.
නමුත් තවත් තැනකදී වැඩේ අනිත් පැත්තට කැරකුණේය. ගල්තලාවක් මත වාඩිවී හිඳ නැඟිටින විට මගේ එක අතකට කමිසයේ කෙළවරක් තද වී තිබිණ. ‘බරාස්’ හඬින් බිරිඳ ගෙනවිත් දුන් ජාතික ඇඳුම දෙකට පැළුණේය. වැඩසටහනෙන් භාගයක්වත් අවසන් නැත. වෙනත් කමිසයක් ඇත්තේද නැත.
මා පත් වූ අසරණභාවය වටහාගත් සිල් සමාදන් වූ තරුණ උපාසක අම්මලා කිහිප දෙනෙක් ඔවුන්ගේ ඇඳුමෙන් එක හැට්ටා කටුව බැගින් මට පරිත්‍යාග කළෝය. කටු පෙළක් ගසා කමිසය යාන්තමින් පොරවා ගත හැකි පරිදි සකස් කර ගත්තෙමි. එය කැමරාවට පෙනුනේ නැත. නමුත් මට හැරෙන්නට පෙරළෙන්නට බැරිය. කටු ඇඟේ ගෑවෙන විට කිති කැවෙනවාය. ඒ සියලු අපහසුතා විඳ දරා ගනිමින් වැඩසටහනේ ඉතිරිය සාර්ථකව නිම කළෙමි. එම වැඩසටහනෙන් අදටත් ඉතිරිව ඇත්තේ එදා මා මුහුණ දුන් ඇඳුම පිළිබඳ ප්රශ්නයයි.
නිවේදකයකුට ඇඳුම බලපාන්නේ කෙසේද ? සත්‍ය වශයෙන්ම එය නිවේදකයකුට පමණක් නොවේ, ඕනෑම කෙනෙකුට පොදු කරුණකි.
මගේ වෘත්තීය ජීවිතයේ ආරම්භයට අඩිතාලම වැටුණේ ගුවන්විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනයෙනි.
එකල ගුවන්විදුලි නිවේදකයා කාටවත් පෙනෙන්නේ නැත. අද මෙන් ගුවන් විදුලි නිවේදකයාට පෙනී සිටින්නට සමාජ මාධ්‍ය තිබුණේ නැත. පත්තරේක පින්තූරයක් යන්නේත් කලාතුරකිනි. නමුත් අභ්‍යාස ආයතනයේ දී අපට ඉගැන්වූයේ සම්බන්ධතා මැදිරියට යන විට මඟුල් ගෙදරකට යන්නා සේ හොඳින් හැඳ පැලඳගෙන යා යුතු බවයි.
මින් අදහස් කෙරෙනුයේ ඇඳුමේ වටිනාකම නොව, ඇඳුම නිසා පුද්ගලයාට ලැබෙන වටිනාකමයි. ගමන් බිමන් යාමේදී අපි ඇඳුම් තෝරා ගන්නේ යන තැනට ගැළපෙන පරිදිය. “ඔන්න ඔහේ මොකක් හරි ඇඳගෙන යනවා” යනුවෙන් කිසිවෙක් සඳහන් කළහොත් ඉන් හැඟෙන්නේ තමන් යන තැන පිළිබඳව තමන් තුළ කිසි ගරුසරුවක් නැති බවය.
නිවේදක මැදිරිය එහෙම තැනක් විය නොහැක. ගෞරවයෙන් යන තැනක් විය යුතුය. නිසි ලෙස ඇඳුම් ඇඳිය යුත්තේ ඒ නිසාය. අප දැක ඇති පැරැණි නිවේදක නිවේදිකාවෝ බොහොමයක් දෙනා ගුවන්විදුලි කාර්යාලයට පැමිණෙන හැම අවස්ථාවකම පිළිවෙළකට ඇඳුම් ඇඳ සිටියෝය. ඔවුන්ගේ වැඩවල ද ඒ පිළිවෙළ දක්නට ලැබිණ.
මේ නිසා විසි ගණනක් වූ අපේ නිවේදක කණ්ඩායමෙන් ශේෂ වූ දහ පහළොස්දෙනාද නිතර පිළිවෙළට ඇඳුම් අඳින්නට උත්සාහ කළෝය.
පැරැණි නිවේදක නිවේදිකාවන්ගේ ඇඳුම්වල තිබුණේ පිළිවෙළ මිස විලාසිතා නොවේ. නමුත් 1980 ගණන්වල සිට ඔවුනට රූප මාධ්‍යයේ පෙනී සිටීමට සිදුවීම නිසා ක්‍රමක්‍රමයෙන් ඇඳුම් ආයිත්තම් විලාසිතාවලට බර විය.
නරඹන්නන් ඉදිරියේ නිවේදන කටයුතු සිදුකරන විට නරඹන්නාගේ අවධානය යොමු විය යුත්තේ නිවේදකයාගේ ඇඳුමට හෝ විලාසිතාවට නොව ඔහු කියන දේටය. පැරැණි ඉගැන්වීම්වල කියා තිබුණේ එසේය.
නිවේදකයෙක් වඩාත් පරිස්සම් විය යුත්තේ තමන් කතා කරන දේ පිළිබඳවය. එය වෘත්තීයභාවය රැක ගැනීම පිළිබඳ ප්රශ්නයකි.
වර්තමානයේදී නම් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය. වෘත්තීය ගෞරවය හෝ රැක ගතයුතු වෘත්තීයභාවයක් පිළිබඳව කොහේවත් කතා බහක් නැත. නිවේදකයා හෝ නිවේදිකාව යනු විලාසිතා ප්රවර්ධකයෙක්ය. අලුත්ම පන්නයකට ඇඳුම් ආයිත්තම්වලින් සැරසෙන්නට පුළුවන්නම්, මයික්‍රෆෝනය ඉදිරියේ මොනවා කතා කළත් කමක් නැත.
නිවේදකයාගේ ඇඳුම් පිළිබඳ වෙනස් ආකාරයක අත්දැකීමක් මා සතු වෙයි.
දිනක් මම සවස් කාලයේ ගුවන්විදුලි සංස්ථාවට ගියෙමි. ඒ රාජකාරි සඳහා නොවේ. එකල නිවේදිකාවක් වූ මගේ බිරිඳගේ රාජකාරිය අවසන්ව ඇය කැටුව නිවසට යාමටය. මම කාර්යාලයට ඇතුළු වුණේ යතුරුපැදි ජැකට්ටුව පිටින්මය.
“අම්මෝ අපි එනකං බලාගෙන හිටියේ.”
මා ඉදිරියට ආවේ එකල ඉහළ පෙළේ සංගීත වැඩසටහන් නිෂ්පාදකයකු වූ උපාලි ද සිල්වා සහ සංගීත විශාරද අමරසිරි පීරිස්ය.
“මං වැඩ නැහැ. මම ආවේ……
මට කියන්නට ලැබුණේ එපමණකි. “දන්නවා දන්නවා. එතුමියගෙන් තමයි දැනගත්තෙ ඔයා එනවා කියලා. එයා අවසර දුන්නා.
“පැය එකහමාරක වැඩක් තියෙනවා, ඉන්දියන් සිතාරිස්ට් කෙනෙක් එනවා.
විජයරත්න රණතුංග තබ්ලාව.”
“ඉතින් මේකට ෂෙඩුල් කරපු එක්කෙනෙක් ඇතිනෙ.”
“ඉන්නවා ඉන්නවා, ඉන්දියන් රාග ටිකයි . ඉන්දියන් නම් ටිකයි දැක්කහම, එයා ඒක අමාරුයි කියනවා. ඉන්දියන්කාරයෝ ඉස්සරහා සවුත්තු වෙන්න බෑනේ. අනිත් එක ලොකු ක්‍රවුඩ් එකක් එනවා විශ්වවිද්‍යාල මට්ටමේ.”
ඔවුන් දෙදෙනා මාරුවෙන් මාරුවට මට කරුණු කියන්නට පටන් ගත්තෝය.
අභියෝගය භාර ගැනීම ගැටලුවක් නොවේ.නමුත් ප්රශ්නය ඒ මොහොතේ මා සැරසී සිටියේ සාමාන්‍ය ටී ෂර්ට් එකකිනි. පය ලා සිටියේ සෙරෙප්පු දෙකකි.
“ටී ෂර්ට් එකකුයි සෙරෙප්පු දෙකකුයි දාගෙන හයවෙනි මැදිරියේ ඕඩියන්ස් ෂෝ එකක් කළොත් මාව මෙහෙන් එළවයි.”
මම යතුරුපැදි ජැකැට්ටුව ගලවා පෙන්වීමි.
“අනේ ඒක අපි බලා ගන්නම්. මේක සංස්ථාවම අමාරුවේ වැටිච්ච වෙලාවක්නේ. අනිත් එක හදිසියේ තමයි මේ ‘ආටිස්ට්’ එන්න කැමැත්ත පළ කළේ.”
“හරි ඔක්කොම බේරගන්නවා කියමු. මට ලැජ්ජයිනේ මහත්තයෝ මේ විදිහට ඔය කියන හයි ක්‍රවුඩ් එක ඉස්සරහට යන්න.”
උපාලි ද සිල්වා මහතා මගේ කතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළේය.
ඔහු අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකයෙකි.
“මං මගෙ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ, ඔය එන කවුරුත් ඔයා දිහා බලන්නේ නෑ. මේක ශාස්ත්‍රීය සංගීත වැඩසටහනක්.”
එයත් අලුත් අත්දැකීමකි. මට අවසානයේ ඒ සඳහා කැමැත්ත පළ කරන්නට සිදුවිය.
මගේ මතකයේ හැටියට ආරාධිත ඉන්දියානු ශිල්පිනිය සංගීතය පිළිබඳ මහාචාර්යවරියකි. එතුමියගේ සුහුරු දෑත් සිතාරයේ තත් මත විහිදුනේ විදුලි එළි වාගේය. එය අපූර්ව අසිරිමත් දසුනකි. ඉදිරිපත් කළ අංගවල රාගධාරී පසුබිම පිළිබඳ විස්තර කරන්නට මට සිදු විය.
ප්‍රේක්ෂකාගාරයේ මහාචාර්ය සනත් නන්දසිරි ඇතුළු සංගීතවේදීන්ද විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක්ද සිටියහ.
උපාලි ද සිල්වා මහතා කීවේ සත්‍යයකි. මා හොඳින් හඳුනන සනත් නන්දසිරි මහතාවත් මා දෙස බැලුවේ නැත. ඔවුහු සංගීතයේ රිද්මයට දෑස් වසා ගෙන හිස සහ දෑත් රිද්මයකට චලනය කරමින් සිටියහ. එය භාවනාවකි.
වැඩසටහන අවසානයේ මගේ ඇඳුම් ගැන කතා කළේ එකම එක අයෙක් පමණි. ඒ ප්‍රේක්ෂකාගාරයේ කොණකට වී මෙය නැරඹූ මගේ බිරිඳය. අපරාදෙනෙ හොඳ ෂර්ට් එකක් ඇඳගෙන එන්න තිබුණා.
ඇය කීවාය.
ඇඳුම පෙරට එන්නේ වැඩේ අවුල් වුණොත් පමණය.