Home » පළමුවරට ලංකාවෙන් පෙරුම්කායම් සබන් කැටයක්

පළමුවරට ලංකාවෙන් පෙරුම්කායම් සබන් කැටයක්

by Mahesh Lakehouse
August 17, 2024 12:30 am 0 comment

– Total Fatima මට්ටම 80%කට ගෙන ඒමට උත්සාහ කරනවා
– පෙරුම්කායම් ගඳ නැති කිරීම විශාල අභියෝගයක් වුණා
– සබන් කැටය ශක්තිමත් කළේ තේ කොළ යුෂෙන් ගත් තෙල්වලින්
– රජරට විශ්වවිද්‍යාලයේ සාර්ථක අත්හදා බැලීමක්

කොවිඩ් සමයේ පෙරුම්කායම්වලට තිබුණේ විශාල ඉල්ලුමකි. එහි ඇති ගන්ධය පරයමින් මෙය ‍බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වූයේ එය කොවිඩ් විෂබීජය මර්දනය කළ හැකි අතිසාර්ථක දේශීය ඖෂධයක් ලෙස හඳුනාගත් නිසාය. මේ නිසාවෙන් කොවිඩ් සමයේ පවා ඉල්ලුමට සරිලන පරිදි සැපයුමක් ලබා දීමට නොහැකි වූ අතර ඒ හේතුව මත පෙරුම්කායම් විශාල වශයෙන් මිලෙන්ද ඉහළ යන ලදී. කෙසේ වෙතත් කොවිඩ්වල විෂබීජයට පවා අභියෝග කළ හැකි වූ මේ දේශීය ඔසුවෙන් අසමසම නිමැවුමක් කරන්නට රජරට විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත් වී ඇත. මේ කණ්ඩායම විසින් වෙළෙඳපොළට පෙරුම්කායම් නිෂ්පාදනයක් වූ පෙරුම්කායම් සබන් කැටයක් එළිදැක්වීම පසුගිය දිනක සිදු විය.

රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේකළ­ම­නා­ක­රණ පීඨයේ
මහා­චාර්ය මනෝජ් සම­ර­තුංග

රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ කළ­ම­නා­ක­රණ පීඨයේ මහා­චාර්ය මනෝජ් සම­ර­තුංග

රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය මනෝජ් සමරතුංග මෙන්ම එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ආචාර්ය ආශා විජේගුණවර්ධන මේ කාර්යයට මුලපුරන්නේ 2022 වසරේ සිටය. එනම් කොවිඩ් අවසානයත් සමඟය. මේ සඳහා එම විශ්වවිද්‍යාලයේම තාක්ෂණ පීඨයේ ජීව තාක්ෂණ අංශයේ උපාධිධාරීන් දෙදෙනෙකු වන ලක්ෂිත දිල්ෂාන් හා චේතනා කරුණාරත්න ද මීට සම්බන්ධ වෙයි. වෙළෙඳපොළට එක්වන අලුත්ම මේ නිෂ්පාදනය සාර්ථක කර ගැනීමට මේ කණ්ඩායමට හැකිවිය.

ලංකාවේ පමණක් නොව දේශීය ශාකසාරවලට මුල්තැනක් දෙන ඉන්දියාවේ පවා මෙතෙක් පෙරුම්කායම් සබන් කෑල්ලක් නිෂ්පාදනය වී නැත. ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය හා තාක්ෂණ පීඨය මීට සම්බන්ධ වන්නේ ලංකාවේ මුල්වරට පෙරුම්කායම් සබන් කැටයක් සාර්ථකව නිපදවීමේ ගෞරවයට හිමිකම් ගෙනය.

“ මේ නව නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවුණේ දෙපැත්තකින්. මම හා මගේ නැඟණිය වන නුවන්ගි කුමාරණායකටයි මේ අදහස මුලින්ම ඇති වුණේ. කොවිඩ් කාලයේ අපි ආරක්ෂා වෙන්න පෙරුම්කායම්වල පිහිට විශාල වශයෙන් පැතුවා. ඒ අවස්ථවේ අපිට අවශ්‍ය තරමට පෙරුම්කායම් සොයා ගැනීමේ දුෂ්කරතා පැවතුණා. අනිත් පැත්තෙන් සමහර පිරිස් මෙහි ගන්ධය නිසා භාවිතයට මැළිකමක් දැක්වූවා. මමත් මගේ නැඟණියත් මේ අවස්ථාවේ සාකච්ඡා කළා මෙයට විකල්පයක් ලෙස පෙරුම්කායම් යොදාගෙන ජනතාව කැමැති වන අලුත් දෙයක් නිෂ්පාදනය කිරීමට. මේ අනුව මමත් මගේ නැඟණියත් සබන් හා ඇඟ ආලේපන විශේෂයක් මේ පෙරුම්කායම් යොදාගෙන නිෂ්පාදනය කළා. කොවිඩ් කාලයේ නිසා මෙය විශ්වවිද්‍යාලය දක්වා ගෙන ඒමට නොහැකි වුණත් අපි අපේ නිෂ්පාදන ළඟ පිහිටි හෝටල්වලට හඳුන්වා දී ඒවායේ ගුණාත්මක බව පිළිබඳ පසු විපරමක් ලබා ගත්තා. අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා. මෙය ඉදිරියට ගෙන යායුතු බව බොහෝ දෙනෙක් පැවැසුවා. නමුත් මේ කාර්යය ඉදිරියට ගෙන යාම අපිට සිදුකරන්න වුණේ විශ්වවිද්‍යාලය හරහායි.”පෙරුම්කායම් සබන් නිෂ්පාදනයේ මූලාරම්භය ගැන මහාචාර්ය මනෝජ් සමරතුංග පැවැසුවේ ඒ ආකාරයෙනි.

මේ පිළිබඳ පර්යේෂණාත්මක දැනුමක් ඇති එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය ආශාගේ පර්යේෂණ කණ්ඩායම මේ සුවිශේෂි සබන් විශේෂය සකස් කරන්නට සම්බන්ධ වන්නේ ඉන් අනතුරුවය. විශ්වවිද්‍යාලයේදී ඔවුන් විසින් තාක්ෂණික දැනුම පදනම් කර ගනිමින් පෙරුම්කායම් සබන් කැටය වෙළෙඳපොළට යෝග්‍ය වන පරිදි සකස් කිරීමේ වගකීම අනතුරුව ඔවුනට භාර විය.

“ කළමනාකාරණ පීඨයේ මහාචාර්ය මනෝජ්ගේ ඉල්ලීම මත අපිට අවශ්‍ය වූණා; මේ තත්ත්වය තවත් වැඩි දියුණු කරන්න. මහාචාර්ය මනෝජ් සමරතුංග ඊට උදව් කළා.” යැයි ආචාර්ය ආශා පවසන්නීය.

මීට පෙර පර්යේෂණ ගණනාවක් සාර්ථකව නිමකර ඇති රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ආචාර්ය ආශා විජේගුණවර්ධනට අවශ්‍ය වූයේ ජනතාව විශ්වාස කරන මේ විෂබීජහරණ ගුණය ඇත්තෙන්ම පෙරුම්කායම්වල තිබේද නැද්ද සෙවීමයි. ඒ සඳහා පර්යේෂණාගාර තුළ මයික්‍රො බයෝලොජි තැටිවල බැක්ටීරියා වයිරස් උපදවීම ආරම්භ විය. මෙසේ කෘතිමව වැවුණු විෂබීජ වර්ගයන්ට පෙරුම්කායම් දුහුවිල්ල ඉසින්නට සැලැස්වූයේ මේ කාරණය සනාථ කර ගැනීමටය. අවසාන නිගමනය වූයේ පෙරුම්කායම්වලට විෂබීජයක් වැළැක්වීම හෝ මැරීම සිදුකළ හැකි බවත් , පෙරුම්කායම්වලට විෂබීජ මර්දන ගුණය සාර්ථකව සිදුකළ හැකි බවත්ය.

“ අපිට පෙනි ගියා පෙරුම්කායම්වලට විෂබීජහරණය 100% දක්වා ගෙන ආ හැකි බව. ඊට පසුව ලද ප්‍රතිඵලය හරහා මෙය සබන්වලට ඇතුළත් කර නිෂ්පාදනය කරන්න සූදානම් වුණා. සාර්ථිකව අපි පෙරුම්කායම් සබන් කැටයට ඇතුළත් කළා. එසේ ඇතුළත් කර නැවත පර්යේෂණය සිදු කරද්දි අපට පෙනී ගියේ එවිටද මේ විෂබීජහරණ ගුණය එලෙසම පවතින බවය. එය වඩාත් තහවුරු කරමින් පෙරුම්කායම් සබන් සමඟ මිශ්‍ර වුවද ඒ ගුණයේ කිසිදු වෙනසක් සිදුනොවීම අපේ ගමන් මගේ හොඳ සන්ධිස්ථානයක් වුණා. ඊට පසුවයි අපි සබන් කැටයක් ලෙස මෙය වැඩිදියුණු කරන්නට සූදානම් වුණේ..” ආචාර්ය ආශා පවසන්නීය.

රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­ප­තිනිමහා­චාර්ය සංජී­වනී ගිනි­ග­ද්දර විසින්
සබන් කැටය එළි දැක් වූ අව­ස්ථාව

රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­ප­තිනි මහා­චාර්ය සංජී­වනී ගිනි­ග­ද්දර විසින් සබන් කැටය එළි දැක් වූ අව­ස්ථාව

ලංකාවේ පෙරුම්කායම් මුල්ම සබන් කැටය එළිදැක්වූයේ මේ ආකාරයෙනි. හෙළ දේශීය ශාකසාර උපරිමයෙන් නිෂ්පාදන සඳහා භාවිත කරන ලංකාවට ආසන්නම රට වූ ඉන්දියාවේද පෙරුම්කායම්වලින් සබන් නිෂ්පාදනය වී නොතිබුණේ මෙය අභියෝගයක් ගෙන දෙන කර්තව්‍යයක් වූ නිසාය. එසේ වුවද අපේ මේ පර්යේෂණ කණ්ඩායමටද මෙහිදි අභියෝග රැකසට මුහුණ දීමට සිදුවිය.

“ අපි සාමාන්‍යයෙන් සබන් කෑල්ලකට යම් රසායනිකයක් එකතු කළ විට එම සබන් කෑල්ලේ Total Fatima හෙවත් සම්පූර්ණ මේද ප්‍රමාණය සොයා බැලිය යුතු වෙනවා. සම්පූර්ණ සබන් කෑල්ලෙන් 60% ක් මේදය පවතින්නේ නම් එය භාවිතයට ඉතා සුදුසු වෙනවා. එය අඩුවීමෙන් වන්නේ සම ඛාදනය වීමේ හැකියාව වැඩිවීමයි. ඒ නිසා සබන් කෑල්ලක් ඇඟේ ගෑමට සුදුසු තත්ත්වයක පවතින්නේ Total Fatima මට්ටම 60% ක් හෝ තිබෙන්නේ නම් පමණයි. බේබි සබන් කැල්ලේ ඒ ප්‍රමාණය 70% කට වැඩිවිය යුතුයි. සබන් කෑල්ලට අලුතින් රසායනිකයක් එකතු කිරීමෙන් වන්නේ මේද ප්‍රමාණය තවත් අඩුවීමයි. මේ මට්ටම පවත්වා ගැනීම අපිට අභියෝගයක් වුණා. Total Fatima මට්ටම පවත්වා ගැනීමට පර්යේෂණ ගණනාවක් හරහා අපේ සබන් කෑල්ල වැඩිදියුණු කරන්නට සිදුවුණා. ඒ අනුව Total Fatima මට්ටම 80%ට ගෙන එන්නට අපිට හැකි වුණා. නමුත් එවිට සබන් කෑල්ලේ මිල රුපියල් 1500 කට වඩා ඉහළ මුදලකට විකුණන්න වෙනවා. මෙය හමට ගොඩාක් හොඳයි. නමුත් පර්යේෂණාගාරයේදී 80% මට්ටම පැවැතියත් විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමේදී මේ අගය 76% ක අගයකට වෙළෙඳපොළ තුළ පවත්වා ගෙන යන්නට අපිට සිදුවුණා. විශාල වශයෙන් නිෂ්පාදනය කරද්දි 80% මට්ටමට පවත්වා ගෙන යාම නිසා සබන් කැටය කැඩීමට ලක්වුණා. ඉදිරියේදී අපි Total Fatima මට්ටම 80%කට ගෙන ඒමට උත්සහ කරනවා..” ඇය පවසන්නේ ඒ දුෂ්කර අභියෝගය පිළිබඳවයි.

මේ වන විට මුල්ම පෙරුම්කායම් සබන් තොගය වන 10,000ක කෑලි වෙළෙඳ පොළට නිකුත් කර ඇත. එහි මිල රුපියල් 295 කි. මේ වන විට වෙළෙඳපොළ තුළ විකිණීමේ කාර්ය සිදුකරන්නේ අනුරාධපුරයේ එල්. බී . කාංගර ඖෂධාලයයි. කොතරම් සාර්ථක නිෂ්පාදනයක් වුවද වෙළෙඳ පොළට පැමිණීමේදී පාරිභෝගිකයා විසින් මිලදි ගන්නට පෙර සොයා බලන කරුණු කාරණා බොහෝය. මේ සබන් නිෂ්පාදනයේදී පෙරුම්කායම් ගන්ධය සම්බන්ධයෙන්ද මතුවූයේ ගැටලු කිහිපයකි.

“පෙරුම්කායම්වල සුවඳ හෙවත් අප්‍රසන්න ගන්ධය නැති කිරීමට නොහැකි වීම අපිට ඇති වූ තවත් අභියෝගයක්. අපි මේ සබන් නිෂ්පාදනයේදී ගන්ධය නැති කිරීමට විවිධ පර්යේෂණ කළා. පෙරුම්කායම් කුඩා ප්‍රමාණයක් එකතු කළත් එහි ගන්ධය තදින්ම දැනෙනවා. එයට පාරිභෝගිකයා කැමැති නැහැ. එහිදි අපි පෙරුම්කායම් කුඩු වටා තෙල් දියර ආලේපනයක් සකස් කළා. මේ සඳහා අපි ශාකසාර දියරයක් රත් වූ බඳුනකට දමා අධික උෂ්ණත්වය යටතේ එම කුඩු වටා තෙල් දියරය බැඳීමක් කරනවා. එවිට පෙරුම්කායම් සුවඳ පිටතට ඒම වැළකෙනවා. එය හරියට අපි කට්ලට් සාදා ගැනීමෙන් පසුව ඒ වඩා බිස්කට් කුඩු දැවටීම කරනවා වගේ..”

ආචාර්ය ආශා ඇතුළු පිරිස මේ තෙල් ආලේපනය සකස් කළ අයුරු හරිම අපූරු කර්තව්‍යකි. රජරට විශ්වවිද්‍යාලය පිහිටි අනුරාධපුරයේ අටමස්ථානයට දිනපතා වන්දනාකරුවන් පූජා කළ පර මල් ඒ සඳහා ඔවුන් යොදාගෙන තිබුණි. නෙළුම්මල් වැනි පාට මල් අතහැර ඒ සඳහා යොදා ගත්තේ සමන් පිච්ච ඇතුළු සුදු පාට මල් පමණි.

“ සුදු පාට මල් පමණක් අපි ගත්තේ වර්ණය පවත්වා ගෙන යන්නට. සුදු මල්වලින් උකහාගත් ශාක සාරවල ඇති අත්‍යවශ්‍ය තෙල් කොටස් අපි ලබාගත්තා. මේ ඒ සඳහා මල් දින දෙකක් අව්වේ වියළා ගත්තා. ඒ හරහා ලබාගත් තෙල් මේ දැවටීමට යොදා ගත්තා. මේ තෙල්වල එන්නේ යුනික් හෙවත් එයටම අනන්‍ය වූ සුවඳක්. එය මේ සබන්වලට පමණක් වෙන් වූ කාටවත් සමකළ නොහැකි සුවඳක්. ඒ නිසා අපි මේ සමඟ ගත් මල් මෙන්ම ප්‍රමාණයන් පිළිබඳ වට්ටෝරුව පිටතට දුන්නේ නැහැ. ඒ නිසා අපේ රහස . මේ සුවඳ මල් යුෂ නිසා පෙරුම්කායම් සුවඳ නවත්වා ගන්න අපිට හැකි වුණා…”

මේ නිෂ්පාදනය සාර්ථක කරගැනීමට පැමිණි ගමන පියවරෙන් පියවර සිදුකළත් එය විශාල අභියෝග රැසක් සමඟින් ගමන් කළ දුෂ්කර ගමනකි. එහි අභියෝග රැසකි. පර්යේෂණාගාරයේදී සබන් කැටය නියමිත ප්‍රමිතියෙන් යුතුව ශක්තිමත්ව පැවැතියද එළියට ගත් විට දෙකට කැඩෙන්නට විය. ඊට හේතුවූයේ තෙල් තට්ටු නිසා පෙරුම්කායම් කුඩු එකට නොබැඳීමයි.

“ පසුව අපි මෙයට මීශ්‍ර කිරීමට හැකි තවත් තෙල් මොනවාද යන්න සොයා බැලුවා. එහිදි අපිට පෙනී ගියා තේ දලුවලින් එන අත්‍යවශ්‍ය තෙල් හෙවත් TEA 3 තෙල සමඟ මිශ්‍ර කිරීමේ හැකියාව පවතින බව. එය සමඟ සම්බන්ධ කර ගනිමින් වඩාත් හොඳ සබන් කැටයක් සකසා ගත්තා. දැන් අපිට ඇති ඊළඟ අභියෝගය වන්නේ Total Fatima මට්ටම 80% දක්වා ගෙන ඒමයි..” ආචාර්ය ආශා ආ ගමන් මඟ පැහැදිලි කළේ එලෙසිනි.

කළමනාකරණ දෙපාර්තමේන්තුව හා ජෛව තාක්ෂණවේදී දෙපාර්තමේන්තුව එක්ව කළ මේ පර්යේෂණ කටයුතු සිදු වන්නට වූයේ පියවරෙන් පියවරය. 2022 සැප්තැම්බර් මස ආරම්භ වූ මේ සඳහා වසර දෙකක් ගත විය.

තාක්ෂණ පීඨයේ ආචාර්ය ආශා විජේ­ගු­ණ­ව­ර්ධන

තාක්ෂණ පීඨයේ ආචාර්ය ආශා විජේ­ගු­ණ­ව­ර්ධන

පර්යේෂකයින්ට අනුව මේ සබන් කැටයේ සුවිශේෂි ගුණාංග රැසකි. සම මතුපිට ඇති රෝග සඳහා මෙන්ම කුරුලෑ ලප ආදිය සඳහා ඉතා හොඳ ප්‍රතිකාරයකි. ස්නානය කරන විට විෂබීජහරණ ගුණය උපරිමයෙන් රකියි.

පෙරුම්කායම් සබන් කැල්ලේ විෂබීජහරණ ගුණය 80%කට වැඩිය. අනෙකුත් සබන්වලට වඩා මෙහි ඇති සුවිශේෂි ලක්ෂණය වන්නේ Total Fatima මට්ටම ඉතා හොඳ ඉහළම තත්ත්වයක පැවැතීමයි. මේ ගමනේ පුරෝගාමියා වන රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර සම්බන්ධීකරණ කාර්යාලයේ අධ්‍යක්ෂ මහාචාර්ය මනෝජ් සමරතුංග පවසන්නේ ඉදිරියේදී සබන් කෑල්ල දියුණු කිරීමේ වගකීම දරන්නේ කෙසේද යන්නයි.

“ අපි හොඳ සබන් කැටයක් නිෂ්පාදනය කළා. මේ වන විට සෑම විශ්වවිද්‍යාලයකම පවතින විශ්වවිද්‍යාල සම්බන්ධීකරණ ඒකකය මඟින් අලුත්ම පර්යේෂණ වාණිජකරණයට ලක්කිරීම මේ හරහා සිදුවෙනවා. තාක්ෂණ හුවමාරු කාර්යාලය හරහා අපි මෙය ව්‍යාපාර සම්බන්ධීකරුවකුට ලබාදුන්නා. ඔහු අනුරාධපුර එල්. බී. කාංගර ඖෂධාලයයි. මම තමයි අපේ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ හුවමාරු වැඩ සටහනේ අධ්‍යක්ෂ. අපි මීට පෙර මෙවැනි බොහෝ නිෂ්පාදන මේ ආකාරයෙන් එළිදක්වා තිබුණා. ඒ දැනුම උපකාර වුණා; මේ පෙරුම්කායම් සබන් කැටය වෙළෙඳපොළට දැමීමට. කාංගර ඖෂධාලය මෙය අපෙන් ලබා ගන්නේ විශ්වවිද්‍යාලයට මුදල් ගෙවලයි. අපි ඒ අයට අපේ සම්පූර්ණ වට්ටෝරුව ලබා දෙනවා. අවශ්‍ය මූලද්‍රව්‍ය විස්තර හා පුහුණුව ලබා දුන් පසු ඔවුන් විසින් මේ නිෂ්පාදනය දිගින් දිගටම කරගෙන යනවා..” මහාචාර්ය මනෝජ් පවසන්නේය.

මේ අනුව තාක්ෂණ හුවමාරු වැඩසටහන යටතේ පෙරුම්කායම් සබන් කැටයට උරුම වූ රහස් වට්ටෝරුවද මේ වෙළෙඳ නිෂ්පාදකයින් අතට පත් වන්නේ ඔවුන් විසින්ද රහස්‍යභාවය සුරුකීමේ වගකීමෙනි.

ලක්ෂිත දිල්ෂාන් හා චේතනා කරු­ණා­රත්න

ලක්ෂිත දිල්ෂාන් හා චේතනා කරු­ණා­රත්න

අපි මේ පිළිබඳ සමීක්ෂණයක් කර ඉදිරියේදී මේ සබන් කැටය වැඩි දියුණු කරගත හැක්කේ කෙසේද යන්න සොයා බලනවා. ඩුබායි සහ යුරෝපීය රටවලට අපනයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී අපේ ප්‍රමිතීන් තවත් වැඩි දියුණු කළ යුතු නිසා අපි මේ දිනවල ඒ ගැනද අධ්‍යයනයක නිරත වෙනවා. මීට අමතරව පෙරුම්කායම් ඇඟ ආලේපනයද වැඩි දියුණු කිරීමේ කටයුතු ආරම්භ කර තියෙනවා. ඊට අමතරව විශ්වවිද්‍යාල සම්බන්ධීකරණ කාර්යාලය හරහා වෙනම ම ව්‍යාපෘතීන් කිහිපයක් දියත් කර තියෙනවා. අපේ විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකය හරහා ව්‍යවසායකයින්ට මෙන්ම ව්‍යාපාරිකයින්ට තමන්ගේ නිෂ්පාදනයන් අපේ පර්යේෂණ කණ්ඩායම් සමඟ එක්ව කිරීමේ හැකියාව පවතිනවා. අපේ අංශය හරහා ඊට උපදේශන ලබා දෙනවා…” මහාචාර්ය මනෝජ් පවසන්නේය.

මේ පර්යේෂණ කණ්ඩායමේ අවශ්‍යතාවය වී ඇත්තේ ඉදිරි කාලයේදී පෙරුම්කායම් බොඩී වොෂ් හෙවත් ඇඟ ආලේපනයක් නිපදවීමත් ජාත්‍යන්තර වෙළෙඳ ජාලයට පිවිසීමත්ය. ආචාර්ය ආශා විසින් පසුගිය කාලයේ නිල් කටරොළු මලින් ඇඟ ආලේපන ක්‍රිම් වර්ගයක් නිපදවා ඇත්තේය. එය අව්වට කළු වීම වළකාලන අතර නිල් කටරොළුවල පවතින ගුණය 100%ක් එහි රඳා ඇත්තේය. මීට අමතරව යටිපතුළ පැළීම වළක්වාලන ක්‍රීම් එකක් සෑදුවේද අයූර්වේද තෙල්වලිනි.

රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ අධ්‍යයන හා කළමනාකරණ පීඨයන් දෙකෙහි නිෂ්පාදනයක් ලෙස එළිදැක්වෙන මේ නව නිෂ්පාදනය එළි දැක්වීම සඳහා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය වන මහාචාර්ය සංජීවනී ගිනිගද්දරගෙන් ලැබුණ සහයෝගය සුළු පටු නොවෙයි. මෙය පර්යේෂණාගාරයෙන් පිටතට එනම් සමාජගත කිරීමේ කාර්යභාරයේදි උපකුලපතිනිය විසින් සුවිශාල දායකත්වයක් ලබා දී ඇත.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division