Home » පොත් පුවත්

පොත් පුවත්

by gayan
August 17, 2024 12:29 am 0 comment

කෘතිය – කඳු හෙල් සහ මිටියාවත්

කර්තෘ – සුනිල් එස්. සිරිසේන

ප්‍රකාශනය – ෆාස්ට් පබ්ලිෂින් ප්‍රයිවට් ලිමිටඩ්

මේ කතුවරයාගේ දෙවන කාව්‍ය සංග්‍රහයයි. සිය දීර්ඝකාලීන අත්දැකීම් කවි ඇසුරේ වියමන් කරන කවියා සමාජය දවන ප්‍රශ්න කෙරෙහි රසිකයාගේ අවධානය යොමු කරවයි. කවර අත්දැකීමක් කාව්‍ය ඔස්සේ දිගහැරිය ද කවියට ආවේණික ඖචිත්‍ය හා හෘදයභාෂීත්වය එහි තවරන්නට කවියා අමතක නොකරයි. සහකම්පනිත කවියකුගේ හෘදය සාක්ෂිය අපට පෙනෙන්නේ ඒ ඇසුරෙනි.

වරෙක වතුකරයේ තේ දලු නෙළනා ළඳුන්ගේ හදවතට එබෙන කවියා මොහොතකින් ස්පර්ශ කරන්නේ සමාජ මාධ්‍ය භාවිතයේ වන අවභාවිත බවයි. නිර්මාණකරුවකුට අත්‍යන්තයෙන් ම තිබිය යුතු යාවත්කාලීන බව, පරිසර හා මානව ලෝලීත්වය ද මෙහි කවිවල ඇති විශේෂත්වයකි.


කෘතිය – මහලු වීමේ කතාව

කර්තෘ – ශාස්ත්‍රපති වලතර සෝභිත

අනුනාහිමි

ප්‍රකාශනය – සමයවර්ධන පොත්හල

මහලු වීමේ කතාව ශාස්ත්‍රපති වලතර සෝභිත අනුනාහිමිගේ නවතම කෘතියයි. විවිධ ඉසව් ඔස්සේ පොත් රාශියක් රචනා කර ඇති ඒ හිමියෝ මේ කෘතිය ඔස්සේ අලුත් මාවතකට ප්‍රවිෂ්ට වී සිටිති. මෙය කතාවක් නොවේ.

හැම කෙනකුටම හා හැම දෙයකටම මුහුණ දීමට සිදුවෙන වෙනස්වීමේ ක්‍රියාවලිය පුද්ගල වියපත් වීම තේමා කරගෙන විවරණය කර ඇත. වෘද්ධතාව මෙහි සන්දර්භයයි. ඒ පිළිබඳ අවබෝධයෙන් හා අවධානයෙන් සිටීමෙන් ඒ ඔස්සේ මතුවෙන ගැටලු සුබවාදී ප්‍රවේශයකින් විසඳා ගැනීමේ හැකියාව ඇති බව මේ ඔස්සේ විශද වේ.

කෘතිය – පිපාසිත වෙමු රහසින්

පරිවර්තනය – සුධර්මා සුභාෂිණී

ප්‍රකාශනය – රුසියාව ප්‍රකාශකයෝ

හර්මන් හෙසගේ In Secret We Thirst නම් කාව්‍ය එකතුව පිපාසිත වෙමු රහසින් (පිළිසිඳ ගැනීමට, වේදනාවට, මරණයට, මහා සන්තාවට) නමින් සුධර්මා සුභාෂිණී මෙසේ පරිවර්තනය කර තිබේ. හර්මන් හෙස ගැඹුරු දර්ශනවාද සොයා ගිය දාර්ශනික කවියෙකි. හර්මන් හෙසගේ දිවිසැරිය හා ලිවිසැරිය ගැන මෙහි දීර්ඝ සටහනක් තබන්නට පරිවර්තිකාව කටයුතු කිරීම ගැන අගය කළ යුතුමය.

පරිවර්තකාව කිවිඳියක වීම මේ කවි පර්වර්තනවලට ආලෝකයක් වී ඇති බැව් පෙනේ.


සත්‍යාවලෝකන වින්දන

කර්තෘ – මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

ප්‍රකාශනය – ඇස්. ගොඩගේ සහ සමාගම

සත්‍යාවලෝකන වින්දන – 60 දශකය (60 දශකයේදී කාව්‍යකරණයට පිවිසි කවීන්ගේ කාව්‍ය රචනා පිළිබඳ විමර්ශනයකි) නම් කෘතිය 60 දශකයේ කාව්‍යකරණයේ නියුතු වූ කවීන් 12 දෙනකුගේ කාව්‍යකරණ භූමිකාව සන්දර්ශිතව අධ්‍යයනය කරමින් ලියැවුණු විචාරාත්මක ග්‍රන්ථයකි. මෙහිදී මේ කවීන් විසින් රචනා කෙරුණු සෑම කාව්‍ය සංග්‍රහයක්ම පාහේ අධ්‍යයනය කරමින් විමර්ශනයට ලක් කිරීමට ලේඛක මහාචාර්ය කුලතිලක කුමාරසිංහ උත්සාහ දරා තිබේ. කතුවරයා මෙහි සිදු කර ඇත්තේ වින්දනාත්මක විමර්ශනයකි.

මෙහිදී විමල් දිසානායක, මහගමසේකර, මඬවල එස්. රත්නායක, සරත් අමුණුගම, නන්දසේන රත්නපාල, ඩබ්ලියු. ඒ. අබේසිංහ, සුනන්ද මහේන්ද්‍ර, තිලකරත්න කුරුවිටබණ්ඩාර, වින්ටන් කුරේ, කෝ. ආනන්ද හිමි, සෝමරත්න බාලසූරිය හා මිනිවන් පී. තිලකරත්න යන 60 දශකයේ කවීන් මෙහි විමර්ශනයට ලක් වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division