ගජමුතු වටිනාකමින් ඉතා ඉහළ අගයක් ගනී. සාමාන්‍යයෙන් මේවා රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 50ක් දක්වා මිලකට අලෙවි වේ. පුරාණයේ සිට පැවත එන මතයක් වන්නේ ගජමුතු ළඟ තබා ගැනීමෙන් හා ඒවාට වන්දනාමාන කිරීමෙන් සැප සම්පත් ධනය ආදිය වර්ධනය වන බවයි. ගජමුතු පැවතියේ රජුන් සහ සිටුවරුන් ළඟ පමණක් බව ඉතිහාසයේ කියැවේ. එලෙස පූජනීයත්වයෙන් සලකන ගජමුතුවලට ජාවාරම් සිදු කළ හැකි භාණ්ඩයක් ලෙස නමක් ආරෝපණය කළේ අද ඊයෙක නොවේ. ඒ දශක කිහිපයක සිටය. මෑත කාලයේ ගජමුතු ජාවාරම් කිහිපයක් පිළිබඳව වාර්තා විය. මේ ඊට ආසන්නම උදාහරණයකි.
රුපියල් ලක්ෂ 150ක මුදලකට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගජමුතු දෙකක් සමඟ කාන්තාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් කුලියාපිටිය කන්දෙගෙදර ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගන්නේ මීට දින කීපයකට පෙරය.
ඒ මිරිගම ගුවන් හමුදා බුද්ධි නිලධාරින්ට ලද තොරතුරක් මතය.
කරුවලගස්වැව හා නිකවැරටිය වනජීවි නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෙම වැටලීම සිදු කරන ලදි.
කුලියාපිටිය කන්දෙගෙදර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක් සහ 35 වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගන්නා ලදි.
ලද තොරතුරක් මත මෙම ගජමුතු ජාවාරම මෙහෙයවන විදේශ රටක සේවය කරන ශ්‍රී ලාංකික ජාවාරම්කරුවකු සමඟ මිරිගම ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් දිර්ඝ කාලයක් තිස්සේ විමර්ශන කටයුතු සිදු කරමින් ඔහු සමඟ දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් විශ්වාසය ගොඩනාඟා ගැනීමට කටයුතු කළේය. අනතුරුව මෙම ගනුදෙනුව සිදු කිරීමට මෙරට කන්දෙගෙදර ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයෙකු ද සම්බන්ධ කිරීමට විදෙස්ගතව සිටින ජාවාරම්කරු කටයුතු කළේය. ඔහු ද විශ්‍රාමික ගුවන් හමුදා භටයෙකි. ඔහුගේ වයස අවුරුදු 35 කි. ඔහු සමඟ සම්බන්ධවීමෙන් පසු ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඔහු සමඟ ද සමීප සබඳතාවක් ඇති කර ගනිමින් මෙම ගනදෙනුව සිදු කිරීමට එකඟතාවකට පැමිණෙන ලදි. ඉන් අනතුරුව කන්දෙගෙදර ප්‍රදේශයේ පාන් බේකරියක් ළඟට පැමිණ මෙම ගනුදෙනු සිදු කිරීමට ගජමුතු සන්තකයේ තබාගෙන ඇති පුද්ගලයාගේ යෝජනාව අනුව බුද්ධි අංශ නිලධාරීන් ඒ සඳහා සිය කැමැත්ත පළ කළේය.
මේ අනුව ගුවන් හමුදු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිටිමින් මෝටර් රථයකින් එම ස්ථානයට ගමන් කළේය. ගනදෙනුව සිදු කිරීමට කතාබහ කළ පුද්ගලයා එම පාන් බේකරියේ සේවය කරන අයෙක් බව පවසා ඔවුන් සමඟ කතාබහ කිරීමට කටයුතු කරන අවස්ථාවේ ඔවුන් මුදල් තමන් සතුව තිබෙන බව ඔහුට අවබෝධ වන අයුරින් හැසිරෙමින් කලින් පොරොන්දු වූ පරිදි මුලින් රුපියල් ලක්ෂ 150ක මුදලට අලෙවි කිරීමට සූදානම් ව සිට පසුව එය ලක්ෂ 90 දක්වා අඩු කරන ලදි. ගනුදෙනුව සිදු කිරීමට සූදානම් වන අවස්ථාවේ ජාවාරම්කරු ඔහුගේ බිරිය ළඟ මෙම ගජමුතු තිබෙන බව පවසා ඇයට දුරකතන ඇමතුමක් ලබා දී කඩිනමින් එම ස්ථානයට පැමිණෙන ලෙස දැන්වීය. ඇය කාන්තා යතුරුපැදියකින් එහි පැමිණියාය. ගනුදෙනුව සිදු කිරීමට කටයුතු කිරීමේදී සිදු වී ඇති වින්නැහිය ඔවුන් දෙදෙනාට වටහා ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය.
අනතුරුව එම සිදුවීමට නුදුරින් උකුසු ඇස් යොමුකර සිටි වනජීවි සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වහා පැමිණ සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.
මෙම කාන්තාව විවාහක අයෙකි. ඇය මීට පෙර විවාහ සිටි පුද්ගලයා මේ වන විට ඇයගෙන් වෙන්ව ජීවත් වේ. ඔහු ඇත් දළ ජාවාරම් සහ නිධන් හැරීමේ නිරත වූ සැකකරුවකු බවද වනජීවි නිලධාරීන් සිදු කල මූලික විමර්ශනවලදී තහවුරු වී තිබේ.
මෙම කාන්තාව කලින් විවාහ වූ පුද්ගලයා හැරයාමෙන් පසු සැකකාර ගුවන් හමුදා විශ්‍රාමික භටයා සමඟ දිවි ගෙවමින් මෙම ගජමුතු ජාවාරම මෙහෙයවා ඇත.
අදාළ වැටලිමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නිකවැරටිය වනජීවි අඩවි කාර්යාලයට භාර දීමට කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි..
පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්, පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේගේ උපදෙස් මත කරුවලගස්වැව අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදු කරන ලදි.
මිහිර විජේසේකර - මාරවිල සමූහ