නාඳුනන පුද්ගලයන් පැමිණ මහාමාර්ගවල, කඩ සාප්පු අසල ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කඩාගෙන පැන යන කොල්ල කල්ලියක් පිළිබඳ දිගින් දිගටම තොරතුරු වාර්තා වුවත් ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසියට නොහැකි වුණේ කොල්ලකරුවන්ගේ සූක්ෂම හැසිරීම් රටා හේතුවෙනි.
ඒ අතර පසුගිය දොළොස් වැනිදා සවස කොටවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් කරුණාරත්නට ලැබුණු හදිසි දුරකතන පණිවුඩයකින් කියැවුණේ මෝටර් බයිසිකලයකින් පැමිණි දෙදෙනෙකු කාන්තාවකගේ රන් මාලයක් කඩාගෙන පැන ගිය බවයි. එම තොරතුරත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරයා නිලධාරීන් පහළොස් දෙනකු සමඟ එම ස්ථානයට ගොස් පරීක්ෂා කළද ඒ වන විටත් කොල්ලකරුවන් පලා ගොස් සිටියහ.
ඒ අතර පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරුකරුවකු විසින් අදාළ මොටර් බයිසිකලයේ වර්ණය හා එහි අංකය දැනුම් දෙන ලද අතර ඔවුන් පලා ගිය ප්‍රදේශයද දැනුම් දෙනු ලැබුවේය.
එම තොරතුර මත පොලිස් ස්ථානාධිපති මහේෂ් කරුණාරත්න තමන් සමඟ සිටි පොලිස් කණ්ඩායම කොටස් තුනකට බෙදා කණ්ඩායම් තුනක් ලෙස වැලිගම දෙසට, තෙලිජ්ජවිල දෙසට සහ මාතර දෙසට පිටත්කර හැරියේ කොල්ලකරුවන් සොයා ගැනීම සඳහාය.
මාතර දෙසට පැමිණි පොලිස් කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ කොටවිල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිලන්ත සමරවීර විසිනි. කොස්තාපල්වරුන් වන 82428 සුගීශ්වර සහ 94024 හෂාන් යන නිලධාරීන් දෙදෙනා සමඟ උප පොලිස් පරීක්ෂක නිලන්ත සමරවීර මාතර දෙසට පැමිණ කුමාරතුංග මාවතේ පිහිටි රන් ආභරණ සහ උකස් මධ්‍යස්ථානවලින් විමසීමක් සිදුකොට නැවත කොටවිල බලා යන අතරතුර කඹුරුගමුව, බොරොල්ල පාර ඔස්සේ මද දුරක් ගමන් කරමින් සිටියදී දුම්රිය හරස් මාර්ගයට ආසන්නයේදී ලද තොරතුරකින් කියවුණේ කළු පැහැති මෝටර් බයිසිකලයකින් දෙදෙනෙකු සමඟ ඉදිරියට පැමිණෙමින් සිටින බවයි. එම තොරතුරත් සමඟ පොලිස් කණ්ඩායම වහා රථය නවතා මාර්ග බාධකයක් යොදා සූදානම්ව සිටියේ මෝටර් බයිසිකලය නවතා ගැනීමේ අරමුණෙනි.
මෝටර් බයිසිකලය ඈතින් එනු දුටු උප පොලිස් පරීක්ෂක නිලන්ත පොලිස් නළාව පිඹ අත දමා එය නතර කරන ලෙස සංඥා කළද මෝටර් බයිසිකල්කරු එය නොනවත්වා ධාවනය කරන්නට කටයුතු කළෙන් කොස්තාපල් 94024 හෂාන් ඉදිරියට පැන පැදිකරු බදා ගැනීමත් සමඟ මෝටර් බයිසිකලය පෙරළී ගිය අතර පසුපැදිකරු ඉන් බැස වේගයෙන් පලා ගියේය. පැදිකරුද පලායාමට උත්සාහ දරද්දී පොලිස් නිලධාරීන් තිදෙනා එක්ව ඔහු සමඟ පොර බදන්නට වූ අතර පැදිකරුගේ ඉනේ සඟවාගෙන සිටි රිවෝල්වරයක් හදිසියේම බිම වැටුණේ මෙම පොර බැදීමත් සමඟය.
රිවෝල්වරය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂා කිරීමේදී ඔහුගේ යට ඇඳුමේ සඟවාගෙන තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් දෙසීයක පමණ ප්‍රමාණයක් ද පොලිස් කණ්ඩායම සොයාගත් අතර වැඩිදුර සොයා බැලීම් සඳහා සැකකරු සහ මෝටර් බයිසිකලය කොටිවිල පොලිසියට රැගෙන එන ලදි.
ඒ අතර පොලිස් කණ්ඩායමෙන් මිදී පලා ගිය සැකකරු ත්‍රිරෝද රථයකින් මාතරට පැමිණ බතුතා පාරෙන් බැස කුමාරතුංග මාවත ඔස්සේ දිව යමින් සිටියදී සේවය අවසන් කර නැවත වල්ගම නිවස දෙසට යමින් සිටි මාතර මූලස්ථාන පොලිසියේ කාන්තා පොලිස් සැරයන් 5282 චන්ද්‍රා සැක සහිත පුද්ගලයකු ජනතාව අතරින් ඉදිරියට දිව යනු දැක නියත ලෙසම රන් මාලයක් කඩාගෙන දිව යන පුද්ගලයකු බවට සැක කර තම මෝටර් බයිසිකලයේ වේගය වැඩිකර සැකකරු දෙසට වේගයෙන් ගමන් කරමින් සිටියදී ඔහු කුමාරතුංග මාවතෙන් සාන්ත තෝමස් මාවතට හැරී මාතර කොළඹ ප්‍රධාන මාර්ගය දෙසට දුවන්නට පටන් ගත්තේය. ඒ සමඟින් පොලිස් සැරයන් චන්ද්‍රා ද කෑ ගසමින් කියා සිටියේ “හොරෙක්… හොරෙක්… අල්ලා ගන්න… අල්ලා ගන්න” යනුවෙනි.
සැරයන්වරිය කොල්ලකරුගේ පිටුපසින් හඹා යමින් පා පහර එල්ල කරමින් ඔහු මෙල්ල කර අල්ලා ගැනීමට උත්සාහ කළද සැකකරු ප්‍රධාන මාර්ගය හරහා ගොස් නූපේ දෙසට දුවන්නට උත්සාහ කිරීමත් සමඟ පැරිස් හෝටලය ඉදිරිපිටදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු විසින් දිව යමින් සිටි පුද්ගලයා අල්ලා ගත්තේ සැරයන් චන්ද්‍රාගේ කෑ ගැසීම නිසාය. ඒ සමඟින් මෝටර් බයිසිකලය නවතා දිව ගිය චන්ද්‍රා සැකකරු දෙසට ළංවීමත් සමඟ සැකකරු තමන් අල්ලාගෙන සිටින පුද්ගලයාට කියන්නේ වරෙන්තුවකට ඇල්ලීමට පොලිසිය උත්සාහ කරන නිසා තමන් අත්හරින ලෙසයි. එම ඉල්ලීමත් සමඟ එතෙක් සැකකරු අල්ලාගෙන සිටි මගියා සැකකරු අතහැරීමත් සමඟ ඔහු නැවත දිව යන්නට උත්සාහ ගනිද්දී සැරයන් චන්ද්‍රා ඉදිරියට පැන සැකකරු අල්ලා ගත් අතර දෙදෙනා බිම ඇද වැටී පොරකෑම හේතුවෙන් සැරයන් චන්ද්‍රාගේ ශරීරයේ ස්ථාන කීපයකට තුවාල සිදු විය. ඒ එක්කම අවට සිටි පිරිස් ද පැමිණ සැකකරු මෙල්ලකර ගැනීමට උදවු කළ අතර සැරයන් චන්ද්‍රාගේ දැනුම් දීම මත වහා එහි පැමිණි මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යාපා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් සිදු කළ පරීක්ෂාවේදී ඔහුගේ ඉනේ සඟවාගෙන සිටි හෙරොයින් ප්‍රමාණයක්ද සොයාගත් අතර වැඩිදුරටත් සිදු කළ කරුණු විමසීමේදී අකුරැස්ස, මාලිම්බඩ, කොටවිල හා වැලිගම ප්‍රදේශවල රන්මාල කඩා ගැනීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට හෙළි විය.
මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහගේ උපදෙස් මත කොටවිල පොලිසිය මඟින් සහ මාතර මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින හතක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් පරීක්ෂා කිරීම් සිදුකළ ඇති අතර එහිදී කොටවිල පොලිසිය මඟින් රිවෝල්වරය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වැලිගම ප්‍රදේශයේ පුද්ගලයකුට පහරදී තියුණු ආයුධයකින් කපා පොලිසිය මඟ හරිමින් සිටි අයකු බවට අනාවරණය වී ඇත. එම පහරදීම සඳහා යොදාගත් පිහියද පසුව පොලිසිය විසින් සොයාගෙන ඇත.
සැකකරුවන් පසුගිය 19 දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර කෙරිණි.
ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ