පානදුර පුරවරයේ බෞද්ධ ඉතිහාසය හා බැඳුණු උසස් ගෘහ නිර්මාණවලින් හෙබවූ රන්කොත් විහාරය අප රටේ ප්‍රධාන විහාරස්ථාන අතරින් එකක් වනු ඇත. ක්‍රි.ව. 1890ට පෙර ගල්කන්ද විහාරය නමින් හැඳින්වූ මෙම විහාරය පසු කාලයේදි රන්කොත් විහාරය නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත. ඉතාමත් මනරම් චිත්‍ර නිර්මාණවලින් සිත්තම් කරන ලද අප මහා බෝධිසතාණන් වහන්සේගේ ජාතක කතා පිළිබිඹු වන බුද්ධ මන්දිරයකින් හෙබි මෙම විහාරය වන්දනාමාන කරන සැදැවතුන්ගේ සිත් පහන් කරනු ඇත. ක්‍රි.ව. 1810 දී මෙම විහාරය ඉදිකිරීම් ආරම්භ කර 1865 දී සර්වඥ ධාතුන් වහන්සේ නිධන් කොට ස්ථූපයේ ඉදිකිරීම් කටයුතු නිම කරන ලදි. ඉතිහාසගත වටිනාකමකින් යුත් රන්කොත් විහාරය පානදුරා වාදය හා බැඳුණු විහාරස්ථානයක් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.
ක්‍රි.ව. 1860 දී පමණ ලංකාව පුරා බුදු දහමේ තිබෙන ධර්ම කරුණු, ධර්ම සිද්ධාන්ත වැරදි විදිහට විවේචනය කරමින්, බෞද්ධයින් කලකිරවන තත්ත්වයට පත්වන අයුරින් ව්‍යාපාරයක් මිෂනාරීන් විසින් ක්‍රියාත්මක කෙරිණ. දිනෙන් දින මෙය ඉතාමත් උග්‍ර තත්ත්වයට පත්විණ. බුදු දහමේ මූලික කරුණු වැරදි විදිහට මෙසේ විවේචනය වන විට මේ සඳහා භික්ෂූන් වහන්සේලා ඉදිරිපත්ව, ප්‍රධාන වශයෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛත්වය ගෙන ප්‍රසිද්ධ වාද කිහිපයක්ම සිදු කෙරුණු අතර ඉන් බද්දේගම වාදය, උදම්මිට වාදය, ගම්පොල වාදය සහ ඔරුගොඩවත්ත වාදය ප්‍රසිද්ධ වාද කිහිපයක් අතරට පත්වනු ඇත. මින් ප්‍රධානතම වාදය වන “පානදුරා මහා වාදය” සිදු කිරීමට මූලිකත්වය ගනු ලැබුවේ පානදුර රන්කොත් විහාරය වේ.
පානදුර රන්කොත් විහාරාධිපතිව වැඩ විසූ වල්පිට ගුණරතන මහා නායක ස්වාමින් වහන්සේට විහාරස්ථානය අසල දේවස්ථානයක බුදු දහමේ ප්‍රධාන සිද්ධාන්තයන් වැරදි ලෙස අර්ථකථනය වීමක් ගැන දැන ගන්නට ලැබිණ. උන්වහන්සේ රන්කොත් විහාරයේ ප්‍රධාන දායක තැන්පත් ජෙරමියෙස් දියෙස් මැතිතුමා සහ කොර්නේලිස් පෙරේරා මැතිතුමන්ව ගෙන්වා මෙම කරුණු සම්බන්ධයෙන් යුක්ති සහගත, සාධාරණ පිළිතුරක් දිය යුතු බවට දැනුම්වත් කෙරිණ. 1873 ජුනි 29 දින මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වැඩම කරවා රන්කොත් විහාරයේ ප්‍රධාන ශාලාවේ ප්‍රසිද්ධ දේශනාවක් කරවන ලදි. මෙසේ දේවස්ථානයේ පියතුමන්ගේ දේශනාවේ සඳහන් වැරදි කරුණු පිළිබඳ එකින් එක උන්වහන්සේ නිවැරදි ඉදිරිපත් කිරීමක් කරනු ලැබීය. ඒ අනුව දෙපාර්ශ්වයේ වාදයක් ඇති වුණි. මෙසේ කිහිපවරක්ම වාදක් ඇති වූ විට ක්‍රිස්තියානු පාර්ශ්වය විසින් මුහුණට මුහුණලා වාදයක් කරමු යැයි යෝජනාවක් ඉදිරිපත් විය. එම ලිපිය ලියා එවන ලද්දේ ජෙරමියෙස් දියෙස් මැතිතුමන්ට වන අතර එදා ඒ අත් අකුරින් ලියන ලද ලිපිය රන්කොත් විහාරයේ සුරක්ෂිතව තබා ඇත.
රන්කොත් විහාරස්ථානයටත්, මෙතෝදිස්ත දේවස්ථානයටත් සමාන්තරව දොඹගහවත්ත කියන ඉඩමේ මේ මහා පානදුරා වාදය සිදු කෙරුණ. ජෙරමියෙස් දියෙස් මැතිතුමන්ට අයත්ව තිබූ මෙම ඉඩමේ වාදය සිදු කෙරුණු අතර පසු කාලයේදී එනම් 1959 දී ඔහුගේ දියණිය වන රොස්ලින් රුද්‍රිගු මැතිනිය විසින් රන්කොත් විහාරයේ බෞද්ධ සංගමයට පරිත්‍යාග කරන ලදි.
මේ වාදයේදි ප්‍රධාන වශයෙන් ක්‍රිස්තියානු පක්ෂය ඉදිරිපත් කළ කරුණු තුනක් සම්බන්ධයෙන් විග්‍රහ කර ඇත. පටිච්ච සමුප්පාද සිද්ධාන්තය, කර්ම සිද්ධාන්තය සහ පුනර්භවය යන සිද්ධාන්ත වන අතර මෙහිදී පටිච්ච සමුප්පාද සිද්ධාන්තය බිඳ වැටෙමින් කර්ම සිද්ධාන්තය, පුනර්භවය යන නැවත ඉපදීම යන සිද්ධාන්ත සියල්ලම බිඳ වැටෙනු ඇත. උපක්‍රමශීලීව පටිච්ච සමුප්පාද සිද්ධාන්තය බිඳ වැටීමට අදාළ කරුණු ඉදිරිපත් කිරීමට ක්‍රිස්තියානු පක්ෂය විසින් උත්සාහ ගෙන ඇත. මෙම වාදයේදි ගුණානන්ද හාමුදුරුවෝ ඉතාමත් තර්කානුකූලව පිළිතුරු සපයා ඇත. මේ සඳහා මූලික දේශනා තුළින් ලබාගත් කරුණු, බටහිර රටවලින් මුද්‍රිත පොත්වලින් සහ දේශනවලින් උපුටාගත් කරුණු සහ බයිබලයෙන් උපුටාගත් කරුණු දක්වමින් සංසන්දනාත්මකව දුන් පිළිතුරුවලට ක්‍රිස්තියානි පක්ෂය දුර්මුඛ විය. අවසානයේදී මහජනයා තුන්වරක් සාධු නාද පැවැත්විණ. මෙම සියලු ධර්මයන් සත්‍ය ධර්මයන් බව තේරුම් ගෙන බුදුන් සරණ යා යුතුයැයි උන්වහන්සේ කාහල නාද කරන්නට විය. එදා 1873 අගෝස්තු මස 26, 28 දෙදින සිදුකරන ලද මෙම මහා වාදය නිසා මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පුර පසළොස්වක දින දැල් වූ දහම් පහන නොනිමා ආරක්ෂා කර ගැනීමට හැකි විය.
අවුරුදු 151 පෙරාතුව සිදු කළ පානදුරා මහා වාදය ලංකාවේ සම්බුද්ධ ශාසනය අද බබළන තත්වයට පත්වීමට හේතු විය. එදා එනම් 1873දී හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා නායක ස්වාමින් වහන්සේ, වැලිගම ශ්‍රී සුමංගල මහා නායක ස්වාමින් වහන්සේ, බුලත්ගම ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ, පොතුවිල ඉන්ද්‍රජෝති නායක ස්වාමින් වහන්සේ, වස්කඩුවේ සුභූති නායක ස්වාමින් වහන්සේ සහ බටුවන්තුඩාවේ පඬිතුමා වැනි ශ්‍රේෂ්ඨ උගතුන් එක්ව විවාදයට අවශ්‍ය කරුණු අදාළ ග්‍රන්ථවලින් උපුටාගෙන, එකින් එක සංසන්දනාත්මකව සහ පැහැදිලිව සටහන් සකස් කරන ලද්දේ රන්කොත් විහාරස්ථානයේ ලැගුම් ගෙයි සොල්දරේ සිට වනු ඇත. මෙහිදී ගුණානන්ද හාමුදුරුවෝ බෞද්ධ පක්ෂයේ ශ්‍රේෂ්ඨ කථිකයා ලෙස පෙනී සිට සිදු කළ මෙම මහා පානදුරා වාදය විශිෂ්ට ධර්ම සංගායනාවක් ලෙස දැක්විය හැකිය.
වාර්ෂිකව අගෝස්තු මස 26 වන දින එම වාද භූමියේ සිට මේ මහා වාදය රන්කොත් විහාරස්ථානයේ මූලිකත්වයෙන් උත්සවශ්‍රීයෙන් අනුස්මරණය කරනු ලැබේ. පානදුර පුරවරයේ මෙවන් ඓතිහාසික වටිනාකමකින් යුත් රන්කොත් විහාරය ලංකාවේ සෑම බෞද්ධයකුගේම ගෞරවයට පත් විය යුතු විහාරයකි.
ප්‍රශානි ප්‍රනාන්දු