Home » බැඳීම් අත්හැර මව සහ බිරිය සමඟ ගිහි ගෙයින් නික්ම ගිය පොලිස් පරීක්ෂකවරයා

බැඳීම් අත්හැර මව සහ බිරිය සමඟ ගිහි ගෙයින් නික්ම ගිය පොලිස් පරීක්ෂකවරයා

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment
ඉන්දික සම්පත් ද සිල්වා, අඟු­රු­වා­තොට ඉන්ද්‍ර­ජීව නමින් පැවිදි දිවි­යට එක්වීමේ උත්ස­වයේ අවස්ථා

ද ජීවත්වන විකාරරූපී සමාජයේ බැලූ බැලූ අත දක්නට ලැබෙන නානාප්‍රකාර වූ අනේකවිධ විප්‍රකාර අරබයා බහුතරයක් මිනිසුන්ගේ මතය වන්නේ, “ජීවත්වෙලා ඉන්න ටික කාලෙටනෙ මේ හැමදේම…” යන්නයි.මෙලොව පරලොව පිළිබඳ කතා කෙරෙන බෞද්ධයන්ට එම ප්‍රකාශය කොතරම් දුරට ඔබින්නේ ද යන්න ගැටලුසහගතය. ජීවිතය යනු තණ අග රැඳි පිනි බිඳක් මෙන් වූ අස්ථිර දෙයක් බවත්, එය ඉතා කෙටි කලකින් අවසන් වන බවත් වටහාගෙන සිටින ලොව නුවණක්කාරම සත්ත්වයෝ යැයි සැලකෙන ලෙස නම් දැරූ මනුසත්භව ලැබූවෝ, එයම හේතුව කර ගනිමින් එලෙස අස්ථිර සහ කෙටි වූ සිය ජීවිත කාලය තුළදී ඊට අප්‍රමාණ වූ සැප සම්පත් ලබාදීමට පෙලඹෙති.

එලෙස ලබා දෙන සහ ලබා දීමට උත්සාහ කරන අසීමිත සැප සම්පත්වල නිස්සාර බව අවබෝධ කරගන්නකු වේ නම් ඒ ඉතා අතළොස්සකි. මෙම ලිපිය කියවන ඔබට මෙන්ම මටත් එලෙස සියලු සුඛ විහරණයන් අත්හැරීම කෙසේවෙතත් එලෙස කිරීමට සිතීම පවා අසීරු කරුණකි.

ඉන්ද්‍රජීව හිමි එදා සහ අද

ඉන්ද්‍රජීව හිමි එදා සහ අද

නමුත් එලෙස සිය සැපසම්පතින් පිරුණු ගිහි ජීවිතය අතහැර දමා සකල ලෝවාසී සත්ත්වයින්ගේම සුඛ විහරණය වෙනුවෙන් සහ මේ ඝෝර කටුක සසර ගමනින් මිදීම අරබයා බුදුහු දෙසූ නිර්වාණ මඟ අරමුණු කර ගැනීමට සිය ජීවිතයම කැපකළ උතුම් මිනිසකු ගැන පසුගියදා අසන්නට ලැබුණේ, මේ විෂම සමාජය තුළ එවන් දුර්ලභ ගති ඇති මිනිසුන් තවමත් ඉතිරිව ඇති බවට මනාව සාක්ෂාත් කරමිනි.

මෙම කතාවේ අරුමය වන්නේ, ශ්‍රී ලංකා පොලිස් සේවයේ දැවැන්ත භූමිකාවක් නිරූපණය කළ මෙම සුවිශේෂී චරිතය පමණක් නොව ඔහුගේ ආදරණීය බිරිය මෙන්ම මවද ලෙසින් එකම පවුලේ ආදරණීයයන් තිදෙනෙක්ම සියලු බැඳීම් අත්හැර ගිහි ජීවිතයෙන් මිදී එකම ස්ථානයකදී සසුන් කෙත අස්වැද්දීමට තීරණය කිරීමයි.

නමින් ඉන්දික සම්පත් ද සිල්වා වන මෙහි කතානායකයා ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි. අතිදක්ෂ දේශකයකු වන ඔහු දමිළ බසින් දේශන පැවැත්වීමට මෙන්ම ඉගැන්වීම් සිදුකිරීමට සුවිශේෂ හැකියාවක් ඇත්තෙකි. හොරණ, අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සම්පත් මදුරාවල මහා විද්‍යාලයේ සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ දක්ෂ කැපීපෙනුණු දීප්තිමත් ආදි සිසුවෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසු සරසවි වරම් ලබන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයට තම උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇතුළත් වන අතර, එහිදී ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති සහ දර්ශනසූරී උපාධි සමත්වන්නේද අධ්‍යාපනයේ නිපුණත්වය මනාවට පිළිබිඹු කරමින්ය.

චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමටද හැකියාව ඇත්තෙකු වූ ඔහු පරිගණක අපරාධ විද්‍යාව විෂයෙහි ද දක්ෂතා පෙන්වූ පොලිස් සේවයේ සුවිශේෂී චරිතයකි.

වර්ෂ 2008දී ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසින් පොලිස් සේවයට පිවිසෙන ඔහු 2020 වසරේදී පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් ලබාගන්නා අතර, වසර එකොළහක කාලයක් තිස්සේ සේවය කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙනි.

තමන්ට වැඩිමහලු සොයුරෙකු සහ සොහොයුරියක ඇසුරෙහි වැඩෙන පවුලේ බාලයා වන සම්පත් විවාහ දිවියට පත්වන්නේ වසර 10ක ප්‍රේම සබඳතාවක ප්‍රතිඵල මල්පල ගැන්වීමක් ලෙසින්ය.

නමින් ලක්ෂිකා සඳමාලි වන ඇය සමඟ වසර 10ක ප්‍රීතිමත් විවාහ දිවියක් ගතකළ ඉන්දික මහතා පැවිදි දිවියට එළඹෙනවිට 37 වන වියේ පසුවිය.

ඉංගිරිය, නුගදණ්ඩ, ජේතවනාරාම ආරණ්‍ය සේනාසනයේදී අඟුරුවාතොට ඉන්ද්‍රජීව නමින් ඉන්දික සම්පත් මහතා පැවිදි දිවියට පත්වූයේ එම ආරණ්‍ය සේනාසනයේ අධිපති හඳපාන්ගොඩ නිවාතාව හිමියන්ගේ උපාධ්‍ය­ායත්වය යටතේය.

ඉන්දික මහතා සමඟ ඔහුගේ ආදරණීය බිරියද පැවිදි දිවියට එක්වීමට තීරණය කළත්, ජේතවනාරාම සෙනසුනෙහි කාන්තාවන් විෂයෙහි පැවිද්ද ලබාදීමක් නොකෙරෙන බැවින්, ඇය එම ආරණ්‍ය සේනාසනයෙහිම දසසිල් මාතාවක් ලෙස එක්වීමට තීරණය කරන්නේ සසර බැඳීමක ඇති ප්‍රබලත්වයට මනා සාක්ෂි සපයමිනි.

දස මසක් කුස දරා, ලේ කිරි කර පෙවූ තම ආදරණීය පුතු බුදුමඟ යාමට ගත් තීරණය හමුවේ ඔහුට මුළු සිතින්ම ආශීර්වාද කළ ඉන්දිකගේ මව වන 69 හැවිරිදි අනුලා කුසුම් තම පුතු, ලේලිය සමඟ මෙහෙණි සසුනට එක්විය, ඊට පෙර ඇය එම ආරණ්‍ය සේනාසනයෙහිම උවැසියක් ලෙසින් එක්ව තම පුතුට සහ ලේලියට ආවතේව කරමින් ඔවුන්ට තම අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සහයෝගය ලබා දීමට සිය දිවිය කැපකිරීමට තීරණය කරන්නේ මවකගේ අසීමිත දාරක ස්නේහයට කදිමට උපහැරණ සපයමින්ය. පවුලේ බාලයා වූ ඉන්දික සම්පත් මෙලොව එළිය දැක වසර අටක් පමණ ගතවද්දී අනුලා කුසුම් මහත්මියගේ ආදරණීය සැමියා ජීවිතයෙන් සමුගැනීම හමුවේ එතැන්සිට දරුවන් තිදෙනකු සමඟ තනිවන අනුලා කුසුම් මහත්මිය ඔවුන් සමාජයේ වැදගත් පුරවැසියන් කිරීමේ උදාර අරමුණ වෙනුවෙන් අනේඛ දුක්ඛ දෝමනස්සයන් දරගෙන දරුවන්ට ලොවක් තැනීමට නොපසුබටව වීරය ගත් උදාර මාතාවකි. එවන් අසීමිත කැපකිරීමක් කළ ඇය ජීවිතයේ සැඳෑ සමයද බුදු මඟ තෝරාගත් තම පුතු සමඟම ගෙවාදැමීමට තීරණය කිරීමත්, ඊට අනෙක් දරු දෙදෙනාගේ කැමැත්ත ලැබීමත් සැබවින්ම මෙම සමස්ත පවුලේ සාමාජිකයින් අතර පවතින අපරිමිත බැඳීමට කදිම නිදසුනකි.

ඉන්දික සම්පත් ද සිල්වා, ඔහුගේ බිරිය ලක්ෂිකා සඳ­මාලි සහමව අනුලා කුසුම් සමඟ ගිහි කල ගත් ඡායා­රූ­ප­යක්

ඉන්දික සම්පත් ද සිල්වා, ඔහුගේ බිරිය ලක්ෂිකා සඳ­මාලි සහ මව අනුලා කුසුම් සමඟ ගිහි කල ගත් ඡායා­රූ­ප­යක්

පොලිස් විද්‍යාලයේ ප්‍රධාන කථිකාචාර්ය ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් සුදුවැල්ල මහතා තමන් සමඟින් සේවය කළ ඉන්දික සම්පත් මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, “ඔහු පොලිස් සේවයේ යෙදී සිටියදී පවා මස් මාංස අනුභවයෙන් තොර නිර්මාංස ජීවිතයක් ගතකළ නිවුණු තැන්පත් පුද්ගලයෙක් බවයි. එසේම, තම සේවා කාලය අතරතුරදී පවා එම කටයුතු සමඟ මනා කළමනාකරණයකින් යුතුව විහාරස්ථාන වල කටයුතු සඳහා ඔහු නිරන්තර සහභාගිත්වයක් දැක්වූ බවත්, මීට වසර 4-5කට ආසන්න කාලයක සිට ඉංගිරිය ජේතවනාරාම අසපුව සමඟ ඔහු සම්බන්ධව කටයුතු කළ බවත්, එම බෞද්ධ සෙනසුනට යාමට පටන්ගත් කාලයේ සිට සෑම පොහොය දිනකම සිල් සමාදන්වීම ඉන්දික මහතා සිය දින චර්යාවේ අනිවාර්ය අංගයක් කරගත් බවත්, සෑම සති අන්තයකම ඔහු බණ ඇසීමට විහාරස්ථාන කරා ගිය බවත්” වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

පසුව වසරක කාලයක් ඔහු ඉංගිරිය ජේතවනාරාම අසපුවෙහි අනගාරික දිවියක් ගතකරමින් කල්ගත කළ බවත්, අවශ්‍ය සුදුසුකම් සපිරීමෙන් අනතුරුව මෙලෙස පැවිදි දිවියට එළඹීමට කටයුතු කළ බවත් තවදුරටත් කළ කරුණු දැක්වීමේදී දැනගැනීමට ලැබුණි.

මෙලෙස එකම බොදු සෙනසුනක එකම පවුලේ තිදෙනකු සසුන්ගතවීමේ මේ සුවිශේෂී පුණ්‍යකර්මය පසුගියදා ඉංගිරිය ජේතවන අසපුවේදී උත්සවාකාරයෙන් පැවැත්වුණු අතර, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළුව පොලිස් සේවයේ ප්‍රබලයින් පිරිවරාගත් පන්සියයකට අධික පිරිසක් ඒ සඳහා සහභාගි වූහ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන සංජීව මැදවත්ත සහ සංජීව ධර්මරත්න, නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමයන්ත, ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රසේන ජයකොඩි, එම විද්‍යාලයේ ප්‍රධාන කථිකාචාර්ය ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් සුදුවැල්ල, නීති කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක දිමුතු ප්‍රදීප් මහතා ඇතුළුව මීට සහභාගි වූ විවිධ තරාතිරම්වල නිලධාරීහු සියලුදෙනා පැවිදි දිවියට පත් අඟුරුවාතොට ඉන්ද්‍රජීව හිමියන්ට වැඳ නමස්කාර කර ඒ හිමියන්ගේ පැවිදි දිවියට සිය හෘදයාංගම උපහාරය පුද කළහ.

(තොරතුරු සපයාගැනීමේදී සහාය ලබාදුන් පොලිස් විද්‍යාලයේ ප්‍රධාන කථිකාචාර්ය 
ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් සුදුවැල්ලට, 
ඊට අවශ්‍ය අඩිතාලම සලසාදුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍ර‍ෙස්න 
ජයකොඩි මහතාටත් විශේෂ ස්තූතිය)

ඉංගිරිය මධ්‍යම සමූහ - ප්‍රියදර්ශනී කහවල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division