සිංහල ළමා සාහිත්‍යයේ අමරණීය කෘතියක් වන මඩොල් දූව පළ වී වසර හැත්තෑ හතක් සම්පූර්ණ වී ඇත. 1947 දී කොළඹ ඇම්. ඩි. ගුණසේන සමාගමේ පොතක් ලෙස මුද්‍රිතව මුලින් ම පළ වූ මේ නවකතාව වික්‍රමසිංහගේ ජනප්‍රිය ම කෘතියක් පමණක් නොව සිංහල ළමා සාහිත්‍යයේ ඉතා ම ප්‍රකට කෘතිය ද වෙයි. කොග්ගල ඔය අසබඩ පිහිටි කඩොලාන බහුල කලපු දූපතක් වූ ‘මඩොල් දූව’ මෙරට පමණක් නොව විදේශික ජනයා අතර ද ප්‍රකට වූයේ මාර්ටින් වික්‍රමසිංහ ලියු ‘මඩොල් දූව’ පොත නිසා ය.
විසිවන සියවසේ මුල් දශක කීපය තුළ දී ළමයින් සඳහා පොත් ලියූ ගත්කතුවරුන් අතර ද මාර්ටින් වික්‍රමසිංහට ලැබෙන්නේ වැදගත් තැනකි. සිංහල ළමා සාහිත්‍යය දියුණු කිරීම සඳහා විශේෂ උනන්දුවක් දැක්වූ ඔහු ළමයින් සඳහා පොත් ලිවීමේ දී ඒ සඳහා “ අමුතු හික්මීමක්, පරිචයක්, ළමා ලෝකය පිළිබඳ හැඟීමක් හා කල්පනා ශක්තියක්” වුවමනා බව අවධාරණය කෙළේය. ‘ මඩොල් දූව’ වැනි පොතක් ලිවීමට වික්‍රමසිංහ පෙලඹී ඇත්තේ මාක් ට්වේන් (Mark Twain) වැනි ඇමෙරිකානු ගත්කතුවරයකු ලියූ ‘ඇඩ්වෙන්චර්ස් ඔෆ් හකල්බරි ෆින්’ ( Adventures of Huckleberry Finn – 1884) වැනි නවකතාවක් කියවීමෙන් ලැබූ ආභාසය හා චමත්කාරය වුවත් ‘ මඩොල් දූව’ නවකථාවේ වස්තු විෂය සම්පූර්ණයෙන් ම ළමා කල කොග්ගල ගත කළ ගැමි ජීවිතයේ අත්දැකීම් ය.
මාර්ටින් වික්‍රමසිංහ ළමයින් අතර ජනප්‍රිය වූයේ ද ‘මඩොල් දූව’ පළවීමෙන් පසුව ය. මෙරට ගැමි ජීවිතය පසුබිම් කර ගෙන රචිත පළමු යෞවන නවකතාවක් ලෙස ද ‘මඩොල් දූව’ හඳුන්වා දිය හැකි ය. එම පොත පළ වූ අවස්ථාවේ ‘ලංකාදීප’ පොත්පත් තීරුවේ පළ වූ සටහනක මෙසේ දැක්වේ.
මෙහි හැම කතාවක් ම ලියා තිබෙන්නේ තමා උපන් ගම තුළ දී ම අත්දුටු දැක පුරුදු සිද්ධීන් මුල් කර ගෙන ය. යම් යම් දේ දැනීමේ දී තමා තුළ නිරායාසයෙන් පහළ වූ යම් යම් අදහස් මටසිලුටු වචනයට නඟා ඇසීමට පියකරු හාස්‍යජනක කතාවක් හැටියට මේ ගළපා තිබෙන අයුරු ප්‍රශංසනීය ය ( ලංකාදීප, 1947-10-27).
‘මඩොල් දූව’ ලියා පළ කරන විට වික්‍රමසිංහ පනස් හත් වන වියේ සිටි අතර ඒ වන විට ඔහු පුතුන් තිදෙනකුගේ හා දූවරුන් තිදෙනකුගේ පියෙකු ලෙස තම වගකීම් ඉටු කෙළේය. එකල ළමා විය ගත කළ තම දූ පුතුන්ගේ සිතුම් පැතුම් ද දඟකාරකම් ද දැන සිටි වික්‍රමසිංහ ළමයින් උදෙසා පොතක් ලිවීමට පෙළඹෙන්නට ඇත. පාඨශාලාවල ස්වභාෂා අධ්‍යාපනය පිළිබඳ උනන්දුව ඇති වුණු සමයක, 1951 දී පාඨශාලා විභාගයට නියමිත පොතක් ලෙස නිර්දේශ වූ ‘මඩොල් දූව’ පාසැල්වල අතිරේක කියවීම් පොතක් ලෙස දිගු කලක් භාවිතයේ පැවතිණ.
මාර්ටින් වික්‍රමසිංහගේ කෘති අතුරින් වැඩි ම අලෙවියක් ලැබූ ග්‍රන්ථය වන්නේ ද මඩොල් දූවයි. පළමු මුද්‍රණයෙන් පසු 70 වරක් පමණ මඩොල් දූව මුද්‍රණය වී ඇත. දශක හතක පමණ කාලයක් මුළුල්ලේ පරම්පරා කීපයකට අයත් දරුවන් කියවා ඇති ළමා පොත් අතර මඩොල් දූවට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. ඉංග්‍රීසි, රුසියන්, ඉතාලි, බල්ගේරියන්, ජපන්, චීන ආදී විදේශීය භාෂා ගණනාවකට ද පරිවර්තනය වී ඇති මඩොල් දූව මෙරට වැඩියෙන් ම අලෙවි වී ඇති ළමා කතා පොත ලෙස ද හඳුන්වා දිය හැකි ය. එය පසුව 1976 දී ලෙස්ටර් ජේම්ස් පිරිස් විසින් චිත්‍රපටියකට නංවන ලදි.
කොග්ගල ගැමි පරිසරය පසුබිම් කර ගෙන රචනා වී ඇති මේ නවකතාව සඳහා පාදක වන්නේ ගැමි දරුවන් දෙදෙනකු වන ගිනිවැල්ලේ හා ජින්නා අවට ගම් පෙදෙස්වල සැරිසරමින් කළ නිර්භය ක්‍රියා හා දඟකාරකම් ය. ඒ සඳහා වස්තු වන්නේ ළමා වියේ දී මාර්ටින් වික්‍රමසිංහ අත් දුටු දැක පුරුදු සිද්ධීන් ය. තමාගේ ළමා කල අත්දැකීම් සිහි කරමින් පරිච්ඡේද දහයක් පුරා චමත්කාරජනක සිදුවීම් පෙළක් කතුවරයා ගෙන එන්නේ පාඨකයා කාල්පනික ලෝකයකට ගෙන යමිනි. ‘ මඩොල් දූව’ පොතට සපයන ලද පරිකතාවක මෙසේ සඳහන් වෙයි.
‘සිංහල ගැමි දරුවන් දෙදෙනකුගේ නිර්භය ක්‍රියා හා සාහසිකකම් ද වස්තු කොට ගෙන ලියන ලද මඩොල් දූව, රසවත් කතාවක් කියන අතර ගැමි පරිසරය අනායාසයෙන් චිත්‍රණය කෙරෙන ප්‍රබන්ධයකි. මෙහි කතානායකයන් දෙදෙනා වන ගිනිවැල්ලේ හා ජින්නා ද නිර්භය ක්‍රියා කරන්නේ දකුණු පළාතේ ගම් දෙක තුනක ම යි. ඔවුහු ගම්වලින් පිට නොයති. මඩොල් දූවට වස්තු වන්නේ ග්‍රන්ථකාරයා (මාර්ටින් වික්‍රමසිංහ) පසක් කර ගත් ගැමි ජිවිතයේ තොරතුරු ය. මඩොල්දූවෙන් පාඨකයා පිවිසවනු ලබන්නේ ඔහු නොදුටු විරූ කාලපනික ලෝකයකට නොවේ; ඔහු වෙසෙන ගැමි ලොවට යි. මේ කතාවෙන් ග්‍රන්ථකාරයාගේ ශූරත්වය හෙළි වන්නේ ඔහු, කතා නායකයන් වන ගැමි දරුවන් දෙදෙනා ගැමි පරිසරයට අනුකුලව කරන කියන දේම වස්තු කොට ගෙන වීර, සිනා, උපහාස, කරුණා යන රස නඟන කතාවක් කීම නිසා ය. කතා නායකයන් දෙදෙනා කරන්නේ පොදුවේ හැම සිංහල ගැමි දරුවන් කරන සුලබ දඟකාරකම් ය‘ (මඩොල් දූව, 132).
ළමා කාලයේ දී වික්‍රමසිංහ වඩාත් ප්‍රිය කෙළේ පතපොත ඇසුරින් උගැන්මට නොව අවට පරිසරයේ චමත්කාරය විඳමින් කෙළි සෙල්ලමින් ගත කිරීමට ය. මඩොල් දූව කතාවේ කථක උපාලි ගිනිවැල්ලේගේ කතා පුවත ද මෙබඳු අදහසක් අප වෙත ගෙන එයි. උපාලිගේ පියා ඔහුට අධ්‍යාපනය ලබා දීමට දරන වෑයම කිසිසේත් සාර්ථක නොවේ. පාසලේ සිට ගෙදර ආ විගස පොත් සහ ගල්ලෑල්ල මේසයක් උඩ දමා තම මිතුරා වන ජින්නා සහ තවත් ළමයින් සමඟ සෙල්ලම් කිරීමට ය. වික්‍රමසිංහගේ මෙන් උපාලිගේ ළමා විය ද රසවත් සිද්ධීන්ගෙන් ගහන වූවකි. උපාලිගේ නායකත්වයෙන් සංවිධානය වන පල් හොරු සහ වැදි සන්නිය ඔහුගේ පෙරෙළිකාර චරිතය හෙළි කරයි. උපාලිගේ ක්‍රියාවන්ට සිය පියා දුන් දඬුවම්වලින් ද පලක් නොලැබිණ. උපාලිගේ ජීවිතය හසුරුවා ගැනීමට අපොහසත් වන පියා අවසන ඔහු වැලිකන්දේ ඉස්කෝල මහත්මයකුගේ ගෙදර නවත්වයි. එහි දී ද උපාලිගේ ජීවිතය වැඩිහිටියන්ට අවැසි පරිදි හසුරුවා ගන්නට නොලැබේ. උපාලිට අහම්බෙන් මුහුදු යන්නට ලැබෙන්නේ මෙහි දී ය. මුහුදු යෑමට ලැබීමෙන් ඔහු ලැබූ අත්දැකීම ඔහුගේ කල්පනා ශක්තිය පුබුදු කරවන්නක් විය. මේ කතාවේ සිද්ධි මාලාව අවසන් වන්නේ මඩොල්දූවෙනි. කුඩා කල තම මුල් ගෙදර නුදුරෙහි කොග්ගල ඔය මැද පිහිටි මඩොල් දූව ඇසුරින් කාල්පනික මඩොල් දූවක් පාඨකයන් හමුවේ තැබීමට වික්‍රමසිංහ සමත් වෙයි.
මඩොල් දූව පොතේ බොහෝ වර්ණනා ඉදිරිපත් කර ඇත්තේ නාට්‍යයක සිද්ධි හා චරිත විකාශනය වන ආකාරයෙනි. ළමා මනසේ රජයන නිවහල් හැඟීම් පුබුදුවාලීමට උචිත පරිසරයක් මඩොල් දූව පොතේ මැවීමට වික්‍රමසිංහ සමත් වූයේ ළමා කල ලැබූ අත්දැකීම් ආවර්ජනය කිරීමෙනි. එම තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා කතුවරයා තෝරාගෙන ඇත්තේ ඊට උචිත භාෂා ශෛලියකි. විසිවන සියවස මුල දකුණු පළාතේ ගමක සමාජීය ජීවිතය පිළිබඳ කරුණු රැසක් ද දකුණු පළාතට විශේෂ වූ භාෂා ව්‍යවහාරයක් ද මඩොල් දූව කතාවේ දැකිය හැකිය.
මඩොල්දූව පොත පළ වූ අවදියේ සිට ම පාඨක – විචාරක අවධානයට ලක් වූ පොතක් විය. ඊට එක් හේතුවක් වූයේ සිංහල ගැමි පරිසරය පසුබිම් කරගෙන ලියැවුණු එබඳු පොතක් එකල සිංහල පාඨකයන් අතර නොතිබීම නිසා ය. ‘ මඩොල් දූව’ පොත කියවා රස විඳි බොහෝ දෙනෙක් තම අදහස් පොතේ කතුවරයාට ලියා යැවූහ. පහත දැක්වෙන්නේ බුදු දහම හා දර්ශනය පිළිබඳ ලෝක ප්‍රකට පඬිරුවනක් වූ මහාචාර්ය පූජ්‍ය වල්පොළ රාහුල හිමියන් ‘මඩොල් දූව’ කියවීමෙන් ලැබූ චමත්කාරය යි.
මා වෙත එවන ලද මඩොල් දූව ලැබී ඉතා ප්‍රීතියෙන් ස්තූති පූර්වක ව පිළිගතිමි. එය ලැබුණු හැටියේ ම මුල පටන් අග දක්වා මහත් ආසාවෙන් කියවීමි.
පොතක් කියවීමෙන් බොහෝ කලකින් මා මෙතරම් චිත්ත විවේකයක් හා සැනසීමක් ලත් බවක් මට මතක නැත. මට මේ පොත ලැබුණේ, කිසිත් විවේකයක් නැති ව මාස ගණනක් දිවා රෑ දෙක්හි මහන්සි වී විඩාවට පත් ව සිටි අවස්ථාවක ය. නිවාඩුවක් ගැනීම අතිශයින් ම අවශ්‍ය වී තිබුණේ ය. එහෙත් ඊට ඉඩක් නැති විය. ඒ ලබා ගත නොහැකි වූ විවේකය මට ඔබගේ මඩොල්දූවෙන් ලැබුණි.
මම ජන සමාජයෙන් ඈත් වී මඩොල් දූවට ගියෙමි. සියල්ල අමතක කොට එහි විවේක ගතිමි. ගල් තලා මත සැතපුණෙමි. ගඟේ ඔරු පැද්දෙමි.
මේ සැනසීම හා විවේක සැපය දීම ගැන මම ඔබට කෘතඥ වෙමි (මේ ලිපිය මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ අනුග්‍රහයෙනි).
‘මඩොල් දූව’ ඇතැම් විචාරකයන්ගේ දැඩි විවේචනයට ද ලක් විය. කුමරතුංග මුනිදාස විසින් අරඹන ලද හෙළ හවුලේ නායකයකු වූ අමරසිරි ගුණවර්ධන ලියූ ‘මඩොල් දූවේ හැටි’ (1951) එවැනි පොතකි. ‘මඩොල් දූව’ පොතේ පද බෙඳීම් හා වියරණ වැරදි, කිලිටි යෙදුම් හා බස් වහරට නුසුදුසු වැකි ආදිය දක්වමින් රචනා වී ඇති එම පොත සොයා ගැනීමට පවා අපහසු වුව ද මාර්ටින් වික්‍රමසිංහගේ ‘ මඩොල් දූව’ පිටපත් ලක්ෂ ගණනක් සිංහල පාඨකයන් අතර අදත් භාවිත වන්නේ ලක්දිව පළ වූ ජනප්‍රියතම ළමා කතා පොතක් ලෙස ය.