මවුපියන්ගේ ජීවිත උයනේ පිපෙන සුන්දරම සහ වටිනාම මල් වන්නේ දරුවන් බව රහසක් නොවේ. අප මේ කියන්නට යන්නේ එවැනි අපූරු දරුවන්ගෙන් සැදි මල් උයනක් ගැනය. මේ මල් උයන පිහිටා ඇත්තේ උතුරු මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේය. අක්කර අටක පමණ භූමියක පිහිටි මෙම විද්‍යාලයට ඇතුළු වූ තැන සිටම දැකිය හැක්කේ අපූරු සුන්දරත්වයකි. මලින් සහ ශාකවලින් සුසැදි එය එකම මල් උයනකි. පිවිසුම් මාර්ගය දෙපස තබා ඇති මල් පෝච්චි දෙසිය හැත්තෑ ගණනකි. විදුහල් භූමිය පුරා පිහිටි මල් උයන් හතකි. ඒවායේ ඇති එකම වර්ගයේ මල් පැළ සංඛ්‍යාව පමණක් දෙදහසකට අධිකය. ඒ සියලු මල් අතර විද්‍යාලය සුන්දර කරන අපූර්වතම මල් වත්ත ‘නිවුන් දරු මල්වත්ත’ යැයි කිවහොත් ඔබ මොහොතකට මවිත වනු ඇත.
එහෙත් එය සත්‍යයකි. එම නිවුන් දරු මල්වත්ත සෑදී ඇත්තේ පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා එම විද්‍යාලයේ ඉගෙනුම ලබන නිවුන් දරු යුගල 27කින් හෙවත් නිවුන් දරුවන් 54 දෙනකුගෙනි. පිරිමි නිවුන් දරු යුගල 3ක්, ගැහැනු නිවුන් දරු යුගල 18ක් සහ ගැහැනු සහ පිරිමි නිවුන් දරු යුගල 6ක් එම නිවුන් දරුවන් පනස් හතර දෙනා අතර වේ. ඉකුත් අගෝස්තු 16 වැනිදා සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයට විශේෂ දිනයක් වූයේ එම නිවුන් දරුවන් නිසාය. එහිදී එම නිවුන් දරුවන් ඇගයීමට ලක් කරමින් ඔවුනට ත්‍යාග ලබා දීම සිදු කළ එම උත්සවය සංවිධානය කරමින් නැටුම්, ගැයුම්වලින් දරුවන් පිනවන ලද්දේ ඔවුන්ගේ ආචාර්ය මණ්ඩලය විසින් වීම විශේෂත්වයකි. එකම ආකාරයේ ඇඳුම්වලින් සැරසී සිටි නිවුන් දරුවන්ගේ මුව පුරා දෝර ගලා යමින් තිබූ සතුට සැබෑ මල් වත්තක අසිරිය මවාපෑවේය.
සොයාබැලීම්වලදී තහවුරු වී ඇති ආකාරයට නිවුන් දරුවන් 54ක් ඉගෙනුම ලබන වෙනත් විද්‍යාලයක් උතුරු මැද පළාතේ නොමැති අතර, ලංකාව පුරා ද එවැනි වෙනත් පාසලක් ඇති බව මෙතෙක් වාර්තා වී නැත. සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි මේ නිවුන් දරු මල්වත්ත ගැන අප වැඩිදුර තොරතුරු විමසුවේ එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.එම්. තිලකරත්නගෙනි. ඔහු එම විද්‍යාලයේ වීර නිවුන් සංසදයේ නිර්මාතෘවරයාය.
“මම සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයට පත්වීම් ලබා ආවේ 2014 ජූලි මාසේ පළමු වැනිදා. ශාරීරික අධ්‍යාපන උප ගුරුවරයෙක් විදිහට සේවය කරමින් සිටින අතර මම විදුහල්පති විභාගයටත් පෙනී සිට එයින් සමත් වුණා. සංවර්ධන අංශයට ප්‍රිය කළ නිසා මම මුල් කාලයේ ඒ අංශයේම තමයි කටයුතු කළේ. ඔහොම වැඩ කරගෙන ඉන්න අතරේ දවසක් මට නිවුන් දරුවන් පිළිබඳ විශේෂ රූපවාහිනි වැඩසටහනක් නැරඹීමට ලැබුණා. ඒ වැඩසටහනින් පසුව මටත් ඒ පිළිබඳ උනන්දුවක් ඇතිවුණා. මම ඉස්කෝලෙට ඇවිත් අපේ පාසලේ නිවුන් දරුවන් සිටිනවාද කියලා හොයලා බැලුවා. ඒ 2018 වසරේ. ඒ වෙද්දි පාසලේ නිවුන් දරු යුගල 5ක් ඒ කියන්නේ නිවුන් දරුවෝ 10 දෙනෙක් හිටියා. එකම පාසලක නිවුන් දරුවන් දහ දෙනෙක් සිටින එකත් විශේෂත්වයක්නෙ, ඔවුන්ගෙන් පාසලේ නිවුන් සංසදයක් පිහිටුවන සිතුවිල්ල ආවම මම ඒ දරුවන්ගේ මවුපියන්ට කතා කරලා මගේ අදහස කිව්වා. ඔවුන් ඒකට ඉතා කැමැත්තෙන් එකඟ වුණා. නිවුන් දරු මල්වත්ත හදන අදහස ආවේ ඊට පසුවයි.”
එය ද අපූරු කතාවකි. විද්‍යාලයේ උදෑසන රැස්වීම පවත්වනු ලබන ස්ථානය ආසන්නයේ පිහිටි වල් වැදී ඇති මුඩු බිම පිළිබඳ නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.එම්. තිලකරත්නගේ අවධානය යොමු වන්නේ ඒ අනුවය.
“මට හිතුණා එතැන නිවුන් දරුවන්ගෙ මල් පාත්තියක් හදලා ලස්සන කළොත් හොඳයි කියලා. ඒ අනුව මුලින්ම ඒ නිවුන් දරු යුගලයක් වෙනුවෙන් මල් පැළ දෙක බැගින් හිටෙව්වා. දරුවන්ගෙ මල් පැළ වෙන වෙනම හඳුන ගන්න පහසු වෙන්න සුදු යකඩ පටියක ඔවුන්ගේ නම්, උපන්දිනය සහ පාසලට ඇතුළත් වීමේ අංකය සඳහන් කරලා කොන්ක්‍රීට්වලින් පොඩි සමරුවකුත් හැදුවා. ටික දවසක් යද්දි අපේ පාසලේ නිවුන් දරු සංසදය ගැන අනිත් පාසල්වලත් ජනප්‍රිය වුණා. ඒ පාසල්වල ඉන්න දරුවොත් අපේ පාසලට ඇතුළත් වෙන්න ඉල්ලීම් කළා. ඒ විදිහට ඇවිත් තමයි මේ වෙද්දි අපේ පාසලේ නිවුන් දරුවන් සංඛ්‍යාව 54 දක්වා වැඩි වුණේ. ලබන අවුරුද්දේ අපේ පාසලේ පළමු ශ්‍රේණිය සඳහා අයදුම් කර ඇති දරුවන් අතර තවත් නිවුන් දරු යුගල 2ක් ඉන්නවා. ඒ අනුව ලබන වසර වෙද්දි අපේ නිවුන් දරුවන් සංඛ්‍යාව 58 දක්වා ඉහළ යාවි. ඒ වගේම ගිය සතියේ මම කලින් ඉගැන්වූ පාසලක නිවුන් දරුවන් දෙදෙනෙක් අපේ පාසලට ඇතුළත් වෙන්න කැමැත්තෙන් ඉන්නවා කියල තොරතුරු ලැබුණා. ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ ලැබුණොත් මේ මාසේ 26 වැනිදයින් පස්සේ අපේ නිවුන් දරු සංසදයට තවත් නිවුන් දරුවෝ දෙන්නෙක් එකතු වෙයි කියල හිතනවා.” නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.එම්. තිලකරත්න කීවේය. සිරිපුර මධ්‍ය මහා විද්‍යාලය අවට පිහිටි ගම්මාන 42ක පමණ ජීවත්වන දරුවන් මෙම නිවුන් සංසදයට ඇතුළත්ය. 1987 වසරේ ජනවාරි 31 වැනිදා ආරම්භ කරන ලද සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ මේ වන විට සිසුන් 1900ක් අධ්‍යාපනය ලබන අතර, ගුරු මණ්ඩලයේ සාමාජිකයන් 70ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙකි. නියෝජ්‍ය විදුහල්පතිවරු දෙදෙනකු සහ ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනකු ද වේ. විද්‍යා, කලා සහ වාණිජ අංශයන්ගෙන් උසස් පෙළ පන්ති පැවැත්වෙන අතර 40-50 අතර සිසුන් සංඛ්‍යාවක් වාර්ෂිකව මෙම විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල වරම් ලබන බව ද නියෝජ්‍ය විදුහල්පතිවරයා පැවසීය. ඉකුත් වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසු ප්‍රතිශතය 73%ක් වන අතර, එම වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් සංඛ්‍යාව 27කි. සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පති එන්. ජී.ටී. ධම්මික දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නංවමින් විද්‍යාලය සංවර්ධනය කිරීමටත් විශේෂයෙන් මෙම නිවුන් දරු සංසදය පවත්වාගෙන යෑම සඳහාත් දක්වන වෙසෙස් සහයෝගය නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.එම්. තිලකරත්න කෘතවේදීව සිහි කළේය. සෑම වසරකම අගෝස්තු 08 වැනිදා නිවුන් දරුවන්ගේ දිනය යෙදී තිබෙන අතර ඉකුත් 16 වැනිදා ඒ වෙනුවෙන් සිය පාසලේ සමරු උත්සවය සංවිධානය කළ බවත් ඒ වෙනුවෙන් පූර්ණ සහාය දුන් විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් මවුපියන්ටත් හෙතෙම ස්තුතිය පුද කළේය.
“මේ වෙද්දි අපේ පාසලේ නිවුන් දරුවන් නැත්තේ 2,3 සහ 4 ශ්‍රේණිවල පමණයි. ඒ පන්ති සඳහාත් ඇතුළත් වීමට කැමැති නිවුන් දරුවන් සිටිනවා. නමුත් ඔවුන් ඇතුළත් කරගැනීමට අපට පන්ති කාමර ඉඩ පහසුකම් නැහැ. පන්ති කාමරයකට ඇතුළත් කරගත හැකි අනුමත සිසු සංඛ්‍යාව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබෙන නිසා අපට ඊට පිටින් කටයුතු කරන්නට බැහැ.”
එසේ වුවද පවතින පහසුකම් යටතේ සිරිපුර මධ්‍ය මහා විද්‍යාලය සෙසු පාසල්වලට ද යහපත් පූර්වාදර්ශ සපයමින් සිටී. පාසල පුරාම දිස්වන සුන්දරත්වය ඊට කදිම නිදසුනකි. ඒ පිළිබඳ නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්. එම්. තිලකරත්න මෙසේ කීවේය.
“මම පරිසරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. දරුවන්ට අධ්‍යාපනය සඳහා සුදුසු මානසික පරිසරයක් තිබිය යුතු බව මම දැඩිව විශ්වාස කරනවා. ඒ සඳහා පාසලේ බාහිර පරිසරයේ ස්වාභාවය ඉතාම වැදගත්. මේ පළාතේ අවුරුද්දට මාස හයක් විතර තියෙන්නෙ වියළි කාලගුණයක්. ඒ නිසා දුවිල්ල වැඩියි. පන්ති කාමර දූවිල්ලෙන් පිරෙනවා. එය දරුවන්ට ඉගෙන ගන්නත් බාධාවක්. මට හිතුණා මේකට හොඳම විසඳුම පාසල් වත්තේ මල් ගස් ටිකක් හදන එක කියලා. මල් හදලා වතුර දාලා බලාගත්තොත් සිසිල තියෙනවා. දූවිල්ල අඩු වෙනවා. පරිසරයත් ලස්සනයි. ඒකෙන් දරුවන්ට පාසල ඉගෙනුමට ප්‍රිය ස්ථානයක් බවට පත්වෙනවා. මුලින්ම මම මේ මල් හදන වැඩසටහන ක්‍රියාත්මක කළේ නිවුන් දරුවන් සහ ඔවුන්ගේ මවුපියන් මාර්ගයෙන්. ඒ විදිහටයි මම මුලින් කී නිවුන් මල්වත්ත හැදුවෙ. ඒ වැඩසටහන පසුව විදුහල්පතිතුමාගේ ආශීර්වාදය සහ ගුරු මණ්ඩලයේ සහයෝගය ඇතිව පාසල පුරාම ක්‍රියාත්මක කළා. මේ වෙද්දි අපිට මල් උයන් 7ක් තියෙනවා. ඒවාට වතුර දාන්න කරාමයක් අරින්න විතරයි තියෙන්නෙ. ජල නළ හෝ වතුර මල් ඔස්සේ හැම උයනකටම වතුර යනවා. ඒ වගේම මුළු පාසලම නිතරම ශුද්ධ පවිත්‍ර කරලා තියෙන්නෙ. හෙට ජනාධිපතිතුමා හෝ විශේෂ අමුත්තෙක් ආවත් කිසිම පූර්ව සූදානමක් නොවී ඔවුන් පිළිගන්න පුළුවන් මට්ටමට පාසල සහ අවට පරිසරය ලස්සනට, පිළිවෙළට තිබෙනවා. ඒ ගෞරවය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් අපේ දරුවන්ටත් මවුපියන්ටත් හිමිවිය යුතුයි.”
සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ වීර නිවුන් සංසදය ක්‍රීඩා සහ කලා කුසලතාවලින් පිරිපුන් දරුවන්ගෙන් සමන්විතය. වීර නිවුන් සංසදයේ දරුවන්ගෙන් සමන්විත නර්තන කණ්ඩායමක් ද ඇති අතර, සංගීතයට, ඉංග්‍රීසි භාෂාවට සහ දමිළ භාෂාවට විශේෂ දස්කම් දක්වන දරුවෝ ද වෙති. නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.එම්. තිලකරත්න විසින් ආරම්භ කරන ලද වයස අවුරුදු 21න් පහළ කාන්තා එල්ලේ කණ්ඩායම මේ වන විට කොට්ඨාස මට්ටමේ ජයග්‍රහණ හිමිකරගෙන සිටින අතර පළාත් තරගවලට ද සහභාගි වීමට සුදුසුකම් ලබා සිටිති. ඒ කණ්ඩායමට ද නිවුන් සංසදයේ දරුවන් දෙදෙනකු ඇතුළත් අතර, විද්‍යාලයීය කැඩේට් කණ්ඩායමේද නිවුන් දරුවන් දෙදෙනකු වේ. නිවුන්නු යනු විශේෂ කණ්ඩායමක් වන අතර ඒ විශේෂත්වය පිළිබඳ නිවුන් දරුවන් පනස් හතර දෙනෙකු සම්බන්ධයෙන් දිගුකාලීන අත්දැකීම් ඇති නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.එම්. තිලකරත්නගෙන් විමසුවෙමු.
“ඔවුන්ගෙන් සමහරු පෙනුමෙන් එක සමානයි. තවත් අය එකිනෙකාට වෙනස්. මේ දරුවන් පහස් හතර දෙනාගෙන් බොහෝ දෙනකු මට නම් වශයෙන් වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. ඇතැම් දරුවන් වෙන්කර හඳුනා ගන්න බැරි තරමට පෙනුමින් එක සමානයි. සමහර නිවුන් යුගල අතර එක් දරුවෙක් අධ්‍යාපනයට විශේෂ දක්ෂතා දක්වද්දි අනෙක් දරුවා තරමක් දුර්වලයි. ඔවුන්ගේ පන්ති භාර, විෂය භාර ගුරුවරුන් සමඟ සාකච්ඡා කරලා අධ්‍යාපන මට්ටම ඉහළ නංවන්න අපි උත්සාහ කරනවා. පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට අපේ පාසලේ නිවුන් දරු සංසදයේ නිවුන් නිවුන් දරු යුගල 4ක්, දරුවෝ 8 දෙනෙක් පෙනී සිටියා. එයින් දරුවො දෙන්නෙක් ඒ සාමාර්ථ නවයක්ම ලබාගනියි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔවුන් දැනටමත් විද්‍යා අංශයෙන් උසස්පෙළ හදාරන්න සූදානමින් සිටිනවා.
ගුරුවරයෙක් විදිහට මගේ එකම අරමුණ හැම දරුවකුටම හොඳින් උගන්වන එක. නමුත් අපේ නිවුන් සංසදයේ දරුවන් ගැන මගේ විශේෂ බලාපොරොත්තුවක් තිබෙනවා. එසේ නැතිව නිකම්ම නිවුන් සංසදයක් පිහිටුවා ගැනීමෙන් පමණක් ඵලක් නැහැ. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම, විශේෂ දක්ෂතා, කුසලතා මේ සියල්ලම ඉහළ නංවා ඔවුන් දරුවන් අතර විශිෂ්ටයන් බවට පත්කිරීම මගේ බලාපොරොත්තුවයි.” නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.එම්. තිලකරත්න (54)ගේ ඒ අදහස් වත්මන් ගුරු භූමිකාවට අපූරු පූර්වාදර්ශයක් යැයි ඔහුගේ දිවි සැරිය තුළින් පෙනී යයි.
මේ වන විට ඔහුගේ ගුරු ජීවිතයට වසර 34කි. මහනුවර තෙල්දෙණියේ උපත ලැබූ ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ තෙල්දෙණිය දුම්බර මහා විද්‍යාලයෙනි. පසුකලෙක අම්පාරට පැමිණෙන හෙතෙම සිය මුල්ම ගුරු පත්වීම ලබන්නේ නුවරගල මහ විද්‍යාලයටය. අනතුරුව පහළ යක්කුරේ කනිටු විදුහලේ කලක් සේවය කළ ඔහු 2014 වසරේ සිට සේවය කරන්නේ සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේය.
“මේ ඉස්කෝල තුනටම මගේ විශේෂ ආදරයක් තියෙනවා. ඒ වගේම මගේ ජීවිතේ මෙතෙක් ගෙවුණු විදිහත් හරි සුවිශේෂියි කියලා හිතෙනවා. මම ඉපදුණේ මධ්‍යම පළාතේ. දැන් පදිංචි වෙලා ඉන්නේ නැඟෙනහිර පළාතේ වැවගම. වැඩ කරන්නේ උතුරුමැද පළාතේ සිරිපුර ඉස්කෝලෙ. ගෙදර ඉඳන් හැමදාම උදේ හවස කිලෝමීටර් 30ක් මම යතුරුපැදියෙන් ඉස්කෝලෙට එනවා. ඒ වගේම නැඟෙනහිර පළාතේ ඉන්න මම සතියකට දවසක් වැවගම තව කිලෝමීටර් තිහක් ගෙවාගෙන ගෙදරට ඕන කරන බඩු ටික ගන්න ඌව පළාතේ මහියංගනය පොළට යනවා. ඒ හැර වෙන කිසිම පොළකට මම යන්නෙ නැහැ. ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දි මට හරිම සතුටුයි. මම ඉතාම ආශාවෙන් ආදරයෙන්, කැපවීමෙන් ගුරු වෘත්තියේ කටයුතු කරන්නේ. ඒ කැපවීම, ආදරය මගේ පෞද්ගලික ජීවිතය හා සමානයි. මගෙන් ඉගෙන ගත් දරුවන්ගේ ජයග්‍රහණ දකිද්දි මට පුදුමාකාර සතුටක් ලැබෙනවා. ඒක මිල කරන්න බැරි සතුටක්. අපේ පාසලේ නිවුන් දරු සංසදයේ දරුවන් පාසල් සිසුන් අතර විශිෂ්ටයන් බවට පත්වනවා දැකීම මගේ එක් සිහිනයක්.”
ඔහු වැනි සැබෑ ගුරු මවුපියවරුන් නිසා ඒ සිහිනයට පියාපත් ලැබෙන දවස වැඩි ඈතක නොවනු ඇත.
ඡායාරූප – සිරිපුර, මධුශානි අබේසිංහ
සුරේකා නිල්මිණි ඉලංකෝන්