අලුත් ගමනක් යාමට සූදානම් වූ ඔබ කලින් සිටි පක්ෂයකටයි නැවතත් ආවේ. ඇයි මේ වගේ පක්ෂ මාරු කරන්නේ…?
මම සමගි ජන බලවේගයේ සාමාජිකයෙක් වෙලා හිටියේ නැහැ. කලින් ගිවිසුමක් මත සන්ධානයක සිටියේ. කවුරුත් මඩ ගැහුවට අපි සිටින්නේ හිටපු තැනයි.
දේශපාලනයේ විවිධ අය විවිධ ප්‍රකාශ කරනවා. අපි පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කළා. ඡන්දය පිළිබඳවත් අපි කටයුතු කළේ ස්වාධීනව. එසේම අපි විවෘතව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර පක්ෂ සමඟ සාකච්ඡා කළා. එහිදී සමගි ජන බලවේගය තමයි අපිට සෑහීමකට පත්වන ආකාරයේ පිළිතුරක් දුන්නේ.
ඔබගේ එක්සත් ජනරජ පෙරමුණේ ගමන් මඟ කෙසේද?
ඒ පක්ෂයේ අනන්‍යතාව තබාගෙන ඉදිරියට යනවා. සන්ධානගත වීමක් පමණයි සිදු වුණේ. විසුරුවා හැරීමක් වැනි දෙයක් සිදු කළේ නැහැ.
මොනවද සජබයත් සමඟ සන්ධානගත වීමේදී එකඟ වූ කොන්දේසි?
කිසි කොන්දේසියක් නැහැ. අපි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳ මූලික එකඟතාවක් ඇති වුණා. සමගි ජන සන්ධානයට එහි ඇති වැදගත් කරුණු එකතු කරන්න සූදානමක් පවතිනවා.
ඔබ තුළ විශ්වාසයක් පවතිනවාද සමගි ජන සන්ධානයට හොඳ ගමනක් මෙවර ජනාධිපතිවරණය හරහා සැකසෙන බවට?
අනිවාර්යයෙන්ම. ඉතිහාසයේ ප්‍රථම වතාවට බංකොලොත් වූ රටක මෙවර ජනාධිපතිවරණ සටන තියෙන්නේ විපක්ෂ දෙකක් අතර මිස ආණ්ඩුවයි විපක්ෂයයි අතර නෙමෙයි. එනම් ජාතික ජන බලවේගයයි, සමගි ජන සන්ධානයයි අතර. මාක්ස්වාදී ජාතික ජන බලවේගය වෙනුවට සමාජ ප්රජාතන්ත්රවාදි සමගි ජන සන්ධානය ජයග්‍රහණය කරනවා.
නමුත් මේ වන විට සමගි ජන සන්ධානයෙන් යම් යම් පිරිස් ඉවත් වන ලකුණු පැහැදිලියි?
ඒවා පෞද්ගලික කාරණා. ඒ වගේම තවත් පිරිස් එකතු වෙනවා. එයට තමයි දේශපාලන නිදහස දී ඇත්තේ.
මේ වන විට ආණ්ඩුවටත් යම් යම් පිරිස් එකතු වෙමින් සිටිනවා. ආණ්ඩුවත් ශක්තිමත් වෙමින් පවතින බව පැහැදිලියි නේද?
පුද්ගලයන් ලෙස ආණ්ඩුවේ හොඳ පිරිස් ඉන්නවා. ඒ වගේම නරක පිරිසුත් ඉන්නවා. මේ අර්බුදයට වගකිව යුතු පිරිස් ඉන්නවා. නමුත් අපිට වැදගත් වන්නේ පුද්ගලයන්ගේ හොඳ නරක නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිය දේශපාලන වශයෙන් ප්රජාතන්ත්රවාදි නොවන හා ආර්ථික වශයෙන් නව ලිබරල්වාදී ප්‍රතිපත්තියක්. එය මේ රටට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි සමාජ ප්රජාතන්ත්රවාදි ප්‍රතිපත්තිය තෝරා ගත්තේ.
ඔබ වත්මන් ජනාධිපතිවරයා සමඟ කිහිප විටක්ම සාකච්ඡා කළා. ඉදිරිපත් කළ යෝජනා ඉටු කිරීමට අපොහොසත් වූ නිසා සජබයට සහය දැක්වූ බව පැවැසෙනවා. මොනවද ඉදිරිපත් කළ යෝජනා?
අනිවාර්යයෙන්ම සාකච්ඡා කළා. ඒ සිරිකොත මූලස්ථානයටම ගිහින්. නමුත් අපිට ඒ කාරණා සම්බන්ධයෙන් සැහීමකට පත්වීමට හැකියාවත් ලැබුණේ නැහැ. උදාහරණයක් විදියට බලශක්ති ක්ෂේත්රය. මේ සම්බන්ධව ජනාධිපතිවරයා අනුගමනය කරන වැඩපිළිවෙළට අපි සපුරා විරුද්ධයි. රාජ්‍ය ආයතන සම්බන්ධයෙනුත් එසේමයි. රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ගැන එතුමා ගත් ඇතැම් කාරණා සම්බන්ධයෙන් යම් අදහසක් තියෙනවා. මත්පැන් නිෂ්පාදකයන්ගේ බදු පොලු නවත්වන්න ආණ්ඩුවට නොහැකි වෙලා.
සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් මේ තත්ත්වයේ වෙනසක් ඇති කරන්න පුළුවන් වෙයිද?
මෙය කණ්ඩායම් උත්සාහයක්. ප්‍රතිපත්තිමය කාරණා මතයි අපි ඉන්නේ. අපි බලන්නේ අනිත් පැත්තේ අනතුරු. මේ රට වෙනිසියුලාව හෝ කියුබාව බවට පත් කරන ජනකාන්තවාදි මාක්ස්වාදී ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. මේ ව්‍යාපෘතිය නතර කරන්න ආණ්ඩුවේ ව්‍යාපෘතියට බැහැ. පලවා හල ආණ්ඩුවක් තමයි මේ ඉන්නේ. ඒ අයට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න අසීමාන්තිකව බලාගෙන සිටින මහජනතාවක් ඉන්නේ. වර්තමානයේ ජනාධිපතිතුමා අධිකරණ නියෝග නීතිය නොතකා කටයුතු කරනවා. එය ඉතාමත් නරකයි.
ආණ්ඩුව වටා රාජපක්ෂවරුන්ගේ එකතු වීම ඔබ ප්‍රතික්ෂේප කිරීමට හේතුව බව පැවසෙනවා. දැන් රාජපක්ෂවරු ඉවත් වෙලානේ?
යම් යම් දූෂමාන ආරංචි පැතිරුවා. ආණ්ඩුවේ ජනාධිපතිවරයාට සහය පළ කරන කණ්ඩායම් සමඟ අපි බොහොම සුහදයි. ඇතැම් අයගේ ප්‍රතිපත්ති සමඟ එකඟතාවක් පවතිනවා. ප්රශ්නය වන්නේ කිසි කෙනෙක්ගේ ප්‍රතිපත්ති සලකන්නේ නැතුව තමන් කැමැති ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම රාජපක්ෂවරු සිටින කිසිම සන්ධානයකට අපි එකතු වෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණට වඩා ඔවුන් මේ අපරාධයට වගකිව යුතුයි. මේ අවස්ථාවේ ඔවුන් ගැන කිසිම ආකාරයක සන්ධානගත වීමක් නැහැ. මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බංකොලොත්භාවයට හේතු වූ රාජපක්ෂවරුන්ට විරෝධය පළ කර පොහොට්ටුව බින්දුවට බස්සන්න කියලා. ඒ වගේම මෙතැන තියෙන ප්රශ්නය රාජපක්ෂවරු ඉවත් වීමම නෙමෙයි. ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළටත් අපිට එකඟ වෙන්න බැහැ.
ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා, සජිත්ගෙයි රනිල්ගෙයි මැතිවරණ ව්‍යාපාරය වී ඇත්තේ පනින අය එකතු කිරීම බව?
ජාතික ජනබලවේගය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණමයි. ජනතා විමුක්ති පෙරමුණ සිය ඉතිහාසයේ එනම් 1994 සිට ආවේ කොහොමද? 94 ඉදිරිපත් වුණේ ආරිය බුලේගොඩ මහතාගේ මල් පෝච්චි ලකුණින්. ඒ විජේතුංග මහතා ජනතා විමුක්ති පෙරමුණු තහනම ඉවත් කර තිබියදි. පසුව සීනුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වුණා. එහි නායකයා නන්දන ගුණතිලක අද එක්සත් ජාතික පක්ෂයේ. අවසානයේ අනිත් සියල්ලටම ගහලා උණුත් එකයි මුණුත් එකයි කියලා සීනුවෙන් තරග කළා. පසුව ඔවුන් 2005 දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ගියා. මෙහි ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට උදවු කළා. උතුරු නැගෙනහිර යුද්ධයක් සමඟ ගැටෙන අවස්ථාවේදි ඔවුන් එයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයක් සමඟ එකතු වුණා. පසුව ඔවුන් සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජනතා සන්ධානය සමඟ එකතු වී 2010 ඡන්දය කළා. 2015 දි අපිත් සමඟ එකතු වී සිරිසේන මහතාගේ ඡන්දය කළා. ඉන්පසුව මාලිමාව හදාගෙන ඡන්දය කළා. ඔවුන් ගැන කුමන කතාද? දේශපාලනයේ ලොකුම විහිළුව එයයි. මේ පක්ෂයට අලුතින් ඇවිත් ඉන්න කිහිප දෙනෙක් පසුගිය කාලයේ හිටියේ ගෝඨාභය සමඟ. ඒ වෘත්තීයවේදීන්. වියත්මඟ හදාගෙන රට බංකොලොත් කිරීමට දායක වූ අය අද අත සෝදාගෙන ඉන්නවා.
ඔබ හිතනවද ජනතා නියෝජිතයන් මාරු වූ සැණින් ජනතාවගේ කතිරය වෙනස් වෙයි කියලා?
සමහර අනුගාමිකයන්ට එහෙම වෙන්නේ නැහැ. කණ්ඩායම කුමක්ද කියලා බලලයි ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ. බංකොලොත්භාව ප්රශ්නය නිසා සාම්ප්‍රදායික පක්ෂවලට ලොකු අභියෝගයක් තියෙනවා; ඡන්ද ගැනීම සම්බන්ධව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ඡන්දයේදී අවලංගු වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය අවලංගු වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවලංගු වීමට නියමිතයි.
ඔබටත් තිබුණානේ මෙවර ජනාධිපතිවරණ සටනට එකතු වන්න…
රටේ අභියෝග දෙකක් තියෙනවා. ආර්ථික අභියෝගයෙන් ගොඩ එන්න කණ්ඩයමක් අවශ්‍යයි. දෙවැන්න මේ රට ජනකාන්තවාදයට ගොදුරු වෙලා වෙනිසියුලාවක් වීම වළක්වා ගැනීමට අවශ්‍යයි. එය තනියම කරන්න බැහැ.
පසුගිය කාලයේ ඔබ ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ යම් අගය කිරීමකට ලක් කළා…
රාජ්‍ය මූල්‍ය ස්ථාවරකරණය පිළිබඳව රාජපක්ෂලා සමඟ සන්සන්දනය කරද්දි රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර ප්‍රසංසනීයයි. නමුත් මෙය අලුත් දෙයක් නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති අනුගමනය කර ආර්ජන්ටිනාවේ ආණ්ඩුව ආ ආකාරයෙන් ගොඩ ආවා. පාකිස්ථානයත් රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ළඟා කර ගත්තා. විශේෂයෙන් එය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුදුසුකමකට වඩා මූල්‍ය අරමුදලේ මූලධර්මවලින් ලැබුණු දෙයක්. ඒවා කරන්න රාජපක්ෂ පවුලේ පැකිළීමක් තිබුණා. අනිත් පසින් ඔහු කළ වරද වන්නේ මේ අර්බුදයේ බරපැන සාමාන්‍ය ජනතාව මත පැටවීම.
සැප්තැම්බර් 21 න් පසු මෙරට ස්වර්ණමය යුගයක් ඇති වන බව ඔබ පවසනවා. සජිත් ප්‍රේමදාස රජයකට රට ගොඩ නැඟීමේ කාර්යයට සාර්ථකව මුහුණ දෙන්න හැකි වෙයිද?
අපි කණ්ඩායමක් ලෙස අනිවාර්යයෙන්ම මේ රටේ අලුත් ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරනවා. මේ රටේ ආර්ථිකය, රාජ්‍ය ආදායම් වැඩි කරන්න නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. අසීරු අභියෝග අපි ජයගෙන තියෙනවා. තනි පුද්ගල සාධකයකට වඩා සාමූහික ප්රයත්නයක් මඟින් මෙය ඉටු කිරීමටයි අපි බලන්නේ. සජිත් ප්‍රේමදාස මහතා අනුගමනය කළ ලිහිල් ප්රජාතන්ත්රවාදි ක්‍රියාදාමය ඊට පහසුවක් වෙනවා.
පක්ෂයේ ජයග්‍රහණය ගැන පුරෝකථනයක් කළ හැකිද?
මේ සටනේදී වැදගත් සාධාකයක් වන්නේ සියලු ජන කණ්ඩායම්වල එකඟතාව ලබා ගැනීම. එසේම මේ සම්බන්ධයෙන් විදේශ රටවල් සමඟ ප්‍රායෝගික ආකාරයේ ගනුදෙනුවක් සිදු කළ යුතුයි. මේ කාරණා දෙක සම්බන්ධයෙන් සමගි ජනබලවේගයට ලොකු අවස්ථාවක් තියෙනවා. මෙවර දෙවැනි වටයකට යාමේ අවශ්‍යතාවක් පැන නඟින්නේ නැහැ. අවසාන සතියේදී අපේක්ෂයෝ දෙදෙනායි ඉදිරිපත් වන්නේ. ඒ ජාතික ජනබලවේගය හා සමගි ජන බලවේගය.
සුභාෂිණී ජයරත්න