එක කාලෙක ගුවන් විදුලි සංස්ථාවේ ප්රවෘත්ති විකාශයේ ගිය තේමා වාදනය කාලයකට අමතක නොවන එකකි . “ඇන් ඇම්ට පුළුවන්ද මේ රජය පෙරළන්න”යන අර්ථය එහි වන බව සමහරු කීහ. ඒ කතාව වෙනස් කරගෙන දැන් කියන්නට තියෙන්නේ “සෙනඟකට පුළුවන්ද ආණ්ඩුව පෙරළන්න”කියලාය.
මේ දිනවල සියලුම පක්ෂ තරගයට මෙන් මහා රැලි පවත්වයි. ඔවුන් බොහෝ දෙනා විශ්වාස කරන්නේ සෙනඟ පෙන්වා දැවැන්ත ජන රැලි පැවැත්වීමෙන් ආණ්ඩු බලය ලබා ගත හැකි බවයි. එහෙත් ඇත්ත ඒක නොවේ.
දැවැන්ත යැයි පෙන්වන බොහෝ රැලිවල ඇත්තටම දැවැන්ත සෙනඟක් නැත. හුණ්ඩුවක් වැනි කුඩා පිට්ටනියක් තෝරා ගෙන එය පිරෙන්නට සෙනඟ ගෙන්වා පවත්වන ජන රැලියක ඡායාරූප පිටතට මුදා හරින්නේ අලුත් තාක්ෂණයට පින් සිද්ධ වෙන්නටය. ජනතා විමුක්ති පෙරමුණ තංගල්ලේදී පැවැත්වූ ජන රැලියට ලක්ෂ ගණන් සෙනඟ ආ බව පැවසුවත් ඇත්තටම එම ස්ථානයට ලක්ෂයක් තබා විසි දහසක සෙනඟක්වත් කැඳවන්නට නොහැකිය. පන්දහසක සෙනඟ ලක්ෂයක් ලෙස පෙන්වීමට එම රැලිය පවත්වන ක්‍රීඩාංගනය හෝ ස්ථානය අපූරුවට යොදා ගත හැකිය. ඉන් අනතුරුව කළ යුත්තේ ඩ්‍රෝන කැමරා පද්ධතියක් යොදාගෙන මහා සෙනඟක් මවා පෙන්වීමය. පසුගියදා සමගි ජන බලවේගය සිය මංගල රැලිය පැවැත්වූයේ කුරුණෑගල සත්‍යවාදී පිටියේදීය. එම ක්‍රීඩාංගනය පිරී ඉතිරී යන පරිදි ගාල් කළ හැක්කේ දස දහසකට අඩු ජනකායකි. හැබැයි ඔවුන් මවා පෙන්නන්නේ ලක්ෂ ගණනක ජන සහභාගිත්වයක් ඊට තිබූ බවය. මේ විහිළුසහගත චිත්‍ර සැබෑවක් බවට පත්වන්නේ මැතිවරණයෙන් පසුවය.
“ද ස්පරිට් ඕෆ් ලෝස්” කෘතියේ මොන්ටෙස්කපු පැවසූ ආකාරයට, මැතිවරණයකදී ජනතාව රටේ පාලකයන් මෙන්ම වැසියෝ ද වෙති. ඡන්දය ප්‍රකාශ කිරීමේදී වරණීය හැකියාවෙන් ඔවුහු පාලකයන් වෙති. විශේෂයෙන් ප්රජාතන්ත්රවාදයන් සහ ජන රජයන්වල ඇති විශේෂ ලක්ෂණ නම්, ජනතාවගෙන් සහ ජනතාව වෙනුවෙන් හදන රජයකට නෛතික බලය හිමි වන්නේ ජනතාවගේම කැමැත්තෙන් වීමය.
හැත්තෑ හතේ මහමැතිවරණය පවත්වන තුරුම, එවකට පැවැති මැතිනියගේ රජය විශාල ජන සහභාගිත්වයෙන් යුතු රැස්වීම් රට පුරාම පැවැත්වීය. ඒවාට දහස් ගණනින් සෙනඟ සහභාගි වූහ. බස් දමා සෙනඟ ඇදිල්ල ඇරැඹුවේ හැත්තෑවේ ආණ්ඩුව වූ අතර විද්‍යුත් ජනමාධ්‍ය නොතිබූ එකල, පුවත්පත් පිටු පිරෙන්නට ජනතාව පෙන්වීමෙන් ජන රැල්ල තමන් ළඟ බව පෙන්වීමට රජය උත්සාහ ගත්තේය.
හැබැයි ඒ වෙනුවට එවක විරුද්ධ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය අනුගමනය කළේ වෙනස් වැඩපිළිවෙළකි.
ජේ. ආර්. කියන්නේ අමුතු මිනිහෙකි. විරෝධතා දැක්වීම සඳහා ‘පා ගමන්’ යොදා ගැනීමේ ආරම්භකයා ඔහුය. බණ්ඩාරනායක ආණ්ඩු කරන කාලයේ නුවරට පා ගමන් ගිය ජේ. ආර්. 70 – 77 කාලයේ රට පුරා සත්යග්රහ පැවැත්වීය.
එහෙත් ඒ කාලයේ ආණ්ඩුව තුට්ටුවකට කලබල වුණේ නැත. මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා හිතුවේ ජනතා රැලිවලට සහභාගි වන ජනකාය හේතු කොටගෙන ඔවුන් අනිවාර්යෙන්ම එම මැතිවරණය ජයග්‍රහණය කරන බවය. ඊට අමතරව ඒ කාලයේ වාමාංශිකයෝ රතු තොප්පි දමාගෙන ගම්වල සැරිසරමින් ඡන්ද එකතු කරමින් සිටියහ. ඔවුන් පවත්වන රැලිවලට ද විශාල සෙනඟක් පැමිණ සිටි අතර වාමාංශික පක්ෂවලට 77 විශාල බලයක් ලැබෙන බවට පූර්ව නිගමන ද නිකුත් විය. එහෙත්
මැතිවරණ ප්‍රතිඵලය පූර්ව නිගමන සියල්ල බිඳ දමා තිබිණි. ශ්‍රී.ල.නි.ප.ය අන්ත පරාජයකට පත්ව මන්ත්‍රීවරුන් අට දෙනකු පමණක් හිමි විය. වාමාංශික පක්ෂ දේශපාලන භූමියෙන් අතුගෑවී ගොස් සිටියේය. එ.ජා.ප.ය හයෙන් පහක බලයක් හෙවත් අතිවිශාල ජන වරමක් ලැබීය.
77 මැතිවරණය එන්නේ ජේ. ආර්. පා ගමන් ගිය හින්දා නොව, ඉන්දියාවේ ගාන්ධිලාත් මැතිවරණයට යෑමට පාර්ලිමේන්තුව විසිර වූ හින්දාය. එවක සිරිමා ආණ්ඩුව වැඩ කළේ ඉන්දිරා හුස්ම ගන්න තාලයටය.
අන්තිමට දස දහස් ගණනින් සෙනඟ පෙන්වා මැතිවරණ ප්රචාරක රැලි කළ මැතිනිය පරාජයට පත් විය. පා ගමන් ගොස් ගම් මට්ටමේ සහ බිම් මට්ටමේ දේශපාලනය කළ ජේ.ආර්. ජයග්‍රහණය කළේය.
1987–89 මහා භීෂණ සමයේදී ජේ.ආර්. හා රජීව් ගාන්ධි අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව සුවිශාල ජන සහභාගිත්වයකින් විරෝධතා ව්‍යාපාර පැවැත්විණි. ඒවා පිටුපස සිටියේ ජනතා විමුක්ති පෙරමුණය. ඔවුහු දැවැන්ත පරිමාණයේ රැස්වීම් සංවිධානය කළ අතර දහස් ගණන් ජනතාව ඊට සහභාගි වී සිටියහ.
එහෙත් භීෂණ සමයේ මහා ජීවිත හා දේපළ විනාශයෙන් පසුව 1989දී පැවැත්වූ මහමැතිවරණයේදී පැහැදිලි බහුතරයක් දිනා ගන්නට එක්සත් ජාතික පක්ෂ රජය සමත් විය. එපමණක් නොව ජනාධිපතිවරණයෙන් ද 1988දී ජය ලැබුණේ එජාපයටය. එහෙත් මැතිවරණ සමය තුළ එජාප රැස්වීම් බොහොමයක් තිබුණේ කුණාටුවකට හසුවය.
ප්‍රේමදාස රැස්වීම් පැවැත් වූයේ හිස් පිට්ටනිවලය. යකඩ කටින් ඔහු නිවෙස්වල මිනිස්සුන්ට ඇහෙන්නට කතා කළේය. අන්තිමට ජවිපෙ රැල්ල සුන් විය. ප්‍රේමදාස දිනුවේය.
ප්‍රේමදාසගේ කාලයේ මහින්දලා ‘පාද යාත්‍රා’ගියහ. හැබැයි ආණ්ඩුව අවුරුදු ගාණක් යනකම් හෙල්ලුණේවත් නැත. සෙනඟ ගෙන්වා ආණ්ඩුව හෙල්ලූ අනෙක් සමීපතම අවස්ථාව වාර්තා වෙන්නේ එජාපය කළ ‘ජනබල මෙහෙයුමෙ’නි. දෙවුන්දර තුඩුවේ සිට කොළඹට එදා ජන බල මෙහෙයුම ගෙනාවේ ‘ජනාධිපතිවරණයක්’ ඉල්ලාය. ඒ කියන්නේ සටන පටන් ගත්තේ දකුණෙන්ය. එවක ජනපති චන්ද්‍රිකාය. විපක්ෂ නායක රනිල්ය. හැබැයි එජාපයේ ජනබල මෙහෙයුමට ආශීර්වාද කළේ මහින්දය.
ඉක්මන් ජනපතිවරණයක් ඔහුට ඕනෑ විය. මැතිවරණ කොමසාරිස් ජනාධිපතිවරණයට දින නියම කළේය. ඒ වන විට රනිල් ජන බලය පෙන්වා සිටියේය. ඒ මහා සෙනඟක් කොළඹට ගෙන්වා ගනිමිනි. ජනපතිවරණය ගැනීමේ ‘වීරයා’ රනිල් බව හැම තැනම කතා විය. අන්තිමට සෙනඟ පෙන්වූ රනිල් පරාජය වී පැත්තක සිටි මහින්ද දිනුවේය.
සෙනඟ ආව පලියට ආණ්ඩු පෙරළෙන්නේ නැත. දේශපාලනය යනු බල අරගලයකි. මැකියාවෙලී ‘කුමාරයා’ හි ලියූ පරිදි එය බලය ලබා ගැනීමට අරගල කිරීම, බලය ලබාගැනීම, බලය පවත්වාගෙන යාම වැනි බල ක්‍රියාන්විතයකි. ඒ උදෙසා නොයෙක් උපාය, උපක්‍රම භාවිත කිරීම දේශපාලන සංවිධානවල අනවරත ක්රියාදාමයකි. චිරාත් කාලයක් තිස්සේ එය දේශපාලනයේ අත්‍යන්ත ස්වභාවයකි. පෝස්ටර්, අත්පත්‍රිකා, දැන්වීම්, පෙළපාළි මැතිවරණ සමඟ සහසම්බන්ධ කාරණාය.
කරුණු කාරණා කෙසේ වෙතත්, මැතිවරණ රැලි සහ සෙනඟ මෙරට සමාජය තුළ මුල් බැසගෙන ඇත්තේ ‘ජනප්‍රිය’ අර්ථකථනයකිනි. කිසියම් රැලියක් සඳහා පැමිණෙන සෙනඟ අතිමහත් උජාරුවකින් උලුප්පා දක්වමින් සමාජගත කිරීමට වෑයම් කරනුයේ ‘මැතිවරණය ජයගන්නා හෝ පරාජය වන’ නියැදියය. එහෙත් ඒ වූ කලී හුදු භ්‍රමණයක් පමණක් බවට උදාහරණ ඕනෑ තරම් ගත හැකිය.
77 මහ මැතිවරණය වන විට එක් අතකින් එක්සත් ජාතික පක්ෂයත් අනෙක් අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දැවැන්ත ජනහමු පැවැත්වීය. ජේ. ආර්. ජයවර්ධනගේ රැලිවලට සේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රැලිවලට ද උතුරන්නට සෙනඟ පැමිණියහ. කවුරුන් දිනාවිදැයි සිතාගත නොහැකි තරමට රැළිවල සෙනඟය.
එහෙත් එජාපය මැතිවරණය ජයග්‍රහණය කළේ හයෙන් පහක බලයක් ලබාගෙනය. දෙවැනි ජනාධිපතිවරණය අවස්ථාවේ මෙරට සමාජයේ තිබුණේ රැස්වීමක් තබා දැන්වීමක්වත් ප්‍රදර්ශනය කළ නොහැකි වාතාවරණයකි. භීෂණයේ හස්තය රට පුරා ව්‍යප්තව පැවැතිණි. අපේක්ෂකයන් ජනහමු ඇමතුවේ ‘යකඩ කටට’ පින්සිදු වන්නටය. රැලිවලට මිනිස්සු පැමිණියේ නැත. එහෙත් රණසිංහ ප්‍රේමදාස මැතිවරණය දිනුවේය. සෙනඟ පෙන්වූ තරමට ඡන්ද දිනන්නට නොහැකි බවට ආසන්නම උදාහරණය ගත හැක්කේ ඉකුත් ජනාධිපතිවරණයෙනි.
එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රැලිවලට සෙනඟ රැස් කළේ දස දහස් ගණනින්ය. ඇතැම් රැලිවලට ලක්ෂයක පමණ සෙනඟක් රැස්කොට තිබිණි. අනුරාධපුරයේ පැවැත් වූයේ එවැනි රැලියකි. එවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මංගල ජන රැලිය අනුරාධපුරයේදී පැවැත්වූ අතර ඊට ලංගම බස්රථ 1,200ක සංඛ්‍යාවකින් ජනතාව කැඳවා තිබිණි.
ඒ අනුව ඒවා ජන රැලිවලට එහා ගිය බස් රැලි බවට පත්ව තිබිණි. අනුරාධපුර එම රැස්වීම් භූමියේදී ජනතාව තෙරපීමට ලක්වීමෙන් 6 දෙනකු පමණ ක්ලාන්තව සිහිසුන් වූහ. ඊට පෙර 2009 දකුණු පළාත් සභා මැතිවරණ සමයේදී මැදමුලන දන්සල් භූමියේදී බත් පැකට් ලබාගැනීමට ජනතාව පොරකෑමේදී පෑගීමෙන් එක් අයෙක් මිය ගියේය. එහෙත් ප්‍රතිඵලය වූයේ අනුරාධපුරයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වීමය.
තත්ත්වය එසේ වුවද බොහෝ විට තවමත් සමහරු ‘සෙනඟ’ පෙන්වා මැතිවරණ ප්‍රතිඵල අනුමාන කිරීම සිදු කරති. විශේෂයෙන්ම ස්වකීය දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක මාධ්‍ය, මැතිවරණ රැලිවල සෙනඟ පෙන්වීමට දන්නා සියලු උපක්‍රම භාවිත කරයි. ඇතැමුන් මේ රැලිවලට සහභාගි වන්නේ සිය කුඩා දරුවන් ද කරපින්නා ගෙනය. එයින් සිදු වන පීඩාව ගැන තැකීමක් නොකරන ඔවුහු රැලිවලට එක් වෙති. බොහෝ රැළි සඳහා සෙනඟ ගෙන්වීමේ ක්‍රියාන්විතය ‘කුඩා ප්‍රමාණයේ’ යුද්ධයක් තරමේ කටයුත්තකි. බස් යොදවා සෙනඟ කැන්දවා, බත් පැකැට් පිරිනමා, බොන අයට ඒ අඩුවැඩිය ද සපයා ‘සූර්’ වූ පිරිසක් උන්මාදයෙන් මෙන් ගෙන්වීම සුලබව සිදුවන්නකි. සවිඥානිකව රැලියක සිටින්නන් සොයාගත හැක්කේ දුලබවය. ඒ අනුව බොහෝ දෙනෙකුට රැලිවලට සහභාගි වීම ‘ආතල්’ ගැනීමකට යාමක් වැනිය. හිට්ලර් ජර්මනියේ සිටි ආඥා දායකයෙකි. ඔහුගේ රැලිවලට සෙනඟ පැමිණියේ ලක්ෂ ගණනින්ය. එමතු නොව ඔහුට උන්මාදයෙන් මෙන් ‘ආදරය’ පෙන්වන කෘත්‍රිම ‘රටාවක්’ හිට්ලර්ගේ මාධ්‍ය විසින් ගොඩනංවා තිබිණි. එහෙත් තීරණාත්මක මොහොතක හිට්ලර්ගේ ආධිපත්‍යය දියවී ගියේය. කෘත්‍රිම මවාපෑම්වල අවසානය එබඳුය.
රැලිවලට සහභාගි වීම, දේශපාලනික කාරණා පිළිබඳව දැනුම්වත් වීම වරදක් හෝ ගැටලුවක් නොවේ. එහෙත් රටක පාලන තන්ත්රය වෙනස් කරනුයේ හෝ බිහි කරනුයේ උන්මාදයෙන් රැලිවලට යන මිනිසුන්ට වඩා කල්පනාකාරීව තීන්දු ගන්නා මිනිසුන්ය. 2015 වසරේදී සිදු වූයේ එවැන්නකි. වගේ වගක් නැතිව ඔහේ යන එකට කියන්නේ ‘ගඩ්‍රිකා ප්‍රවාහය’ කියලාය. එදා මෙදාතුර ගිය ඕනෑම පා ගමනකට, විරෝධතාවකට ඉලක්කයක් තිබිණි.
බැටළු දෙනක් පසුපස විචාරයකින් තොරව ඔහේ ගමන් ගන්නා බැටළු රංචුව හඳුන් වනුයේ ගඩ්‍රිකා ප්‍රවාහය කියාය. බැටළුවන්ට මොළයක් නැත. මහ බැටළුවාට ද මොළයක් නැත. ඒ නිසා යන්නේ කොහිද, කරන්නේ මොනවාද කියා ගඩ්රිරිකා ප්රවාහයේ යෙදෙන බැටළුවන් දන්නේ නැත. තැනක් නොතැනක් නැතත් දහස් ගාණක් ඔහේ ඇවිදිමින් සිටිති. ඒ ඔවුන් බැටළුවන් නිසාය. මිනිස්සුත් එහෙම වෙනවා නම් ඉතින් දෙයියන්ගේම පිහිටය.
අනුරාධ සේනාරත්න