Home » ඩුබායි අසංකගේ මත්කුඩුවලට විද්ද කතයි සගයයි ඇතුළටම යැවූ සී.සී.ටී.වී. හෝඩුවාව

ඩුබායි අසංකගේ මත්කුඩුවලට විද්ද කතයි සගයයි ඇතුළටම යැවූ සී.සී.ටී.වී. හෝඩුවාව

by sachintha
August 31, 2024 12:30 am 0 comment

බියගම ගෙදරක තිබෙන මත්ද්‍රව්‍ය කිලෝ හතරක් ගැන හෙළිවන්නේ හිටපු සෙබළකුගෙන්

සෙබළා සමඟ නාකොටික් නිලධාරීන් බියගම ගියත් ඒ වෙන කොටත් බඩු උස්සලා

හොරුන්ගෙත් හොරු කම්බ හොරු යැයි කතාවක් ඇත. එම කතාව ඉතාම සත්‍යයක් බවට හෙළි වන සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙනි.

එම කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

‘ගොත අසංක’ මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. එහෙත් මේ වන විට ඔහු සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. එහි සිටින අසංක නිකම් සිටින්නේද නැත. ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය මත්ද්‍රව්‍ය ජාවාරමයි. ඒ නිසා ඩුබායිහි සිට ක්‍රියාත්මක වන අසංක මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන යයි.

අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන ඇස ගසාගෙන සිටින පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය අසංකගේ ගෝලබාලයන් ගැන සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන සෙවිල්ලේ පසුවන අතර ඔහුගේ ගෝලබාලයන් කීප දෙනෙකුම පසුගිය දිනවලදී අල්ලා ගන්නේ ඒ අනුවය. ගොත අසංකගේ මත්ජාලයේ ප්‍රධාන පුරුකක් ද පසුගිය දා අත්අඩංගුවට ගැනු‍ණේ සපුගස්කන්ද ප්‍රදේශයේදීය. ඒ පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට එලෙස පත්වූ ගොත අසංකගේ ගෝලබාලයන් සිවුදෙනා අතර හිටපු හමුදා සෙබළකුද සිට ඇති අතර මේ සෙබළාගෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ප්‍රශ්න කරන්නේ ඔහුගෙන් අසංකගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව තොරතුරු හෙළිකර ගැනීම සඳහාය.

හිටපු සෙබළාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් හෙළිකර ගන්නේ අසංකට අයත් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් බියගම ප්‍රදේශයේ පිහිටි නි‍ෙවසක සඟවා ඇති බවය.

එම මත්ද්‍රව්‍ය කිලෝ 4 සොයා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අසංකගේ ගෝලයා වන හිටපු සෙබළා සමඟ බියගම අදාළ නි‍ෙවසට යන්නේ ඉන් අනතුරුවය. අදාළ නි‍ෙවසට ගිය සෙබළා නි‍ෙවස ඇතුළට ගොස් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට පවසන්නේ එම මත්ද්‍රව්‍ය කිලෝ 4 සඟවා තිබූ ස්ථානයේ ඒ වන විට නොමැති බවකි. මේ මත්කුඩු කිලෝ 4 කිසිවකු විසින් සොරකම් කර ඇති බවට තමාට සැක බවද හිටපු සෙබළා මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධරයන්ට පවසන්නේ ඒ අනුවය.

හිටපු සෙබළා අත්අඩංගුවට ගෙන ඇති බව අසංක ඒ වනවිට දැන සිටියේ නැත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉන් අනතුරුව සිදු කරන්නේ හිටපු සෙබළා ලවා අසංකට දුරකතන ඇමතුමක් දීමයි.

එහිදී අසංක අමතන හිටපු සෙබළා ඔහුට පවසන්නේ බියගම නිවෙසේ සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 4 අස්ථානගත වී ඇති බවයි. ඒවා කිසිවකු විසින් සොරා ගන්නට ඇතැයි තමන් සිතන බවද හිටපු සෙබළා අසංකට පවසන්නේ මේ අතරතුරදීය. හිටපු සෙබළා වන තම ගෝලයාගේ කතාවට සවන් දෙන අසංක ඔහුට පවසන්නේ “උඹ දැන්මම ඔතනින් පලයං” යැයි කියාය. ඉන් අනතුරුව ඔහු දුරකතන ඇමතුම විසන්ධි කෙළේය.

ඉන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිදු කරන්නේ සැකකරු ලබාදුන් තොරතුරු සත්‍යදැයි සෙවීම සඳහා සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමයි. බියගම පිහිටි අදාළ නි‍ෙවස අසලට පැමිණෙන සැක කටයුතු ත්‍රිරෝද රථයක් පිළිබඳව දර්ශන විමර්ශන නිලධාරීන් විසින් හෙළිකර ගන්නේ ඒ අනුවය.

අදාළ ත්‍රිරෝද රථයේ හිමිකරු සොයා ගැනීම සඳහා එහි ලියාපදිංචි අංකය අනුව විමර්ශනවල නිරත වන නාකොටික් නිලධාරීන් හෙළිකර ගන්නේ එම ත්‍රිරෝද රථයේ නියම අයිතිකරු ගාල්ලේ පදිංචිකරුවකු බවයි. ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ එය මේ වන විට කඩවත ප්‍රදේශයේ පදිංචි අයකු පරිහරණය කරන බවයි. ඉන් අනතුරුව කඩවත මංකඩ පාරේ නි‍ෙවසකදී එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි විය.

එම පුද්ගලයා විමර්ශන නිලධරයන්ට පවසන්නේ මාවරමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ තවත් පුද්ගලයන් තිදෙනෙක් එම ත්‍රිරෝද රථයෙන් තමා සමඟ බියගම අදාළ නි‍ෙවසට ගොස් එහි තිබුණ හෙරොයින් කිලෝ 4 සොරකම් කරගෙන ආ බවය. ඒ සඳහා ගාස්තුව ලෙසට හෙරොයින් ග්‍රෑම් 500ක් තමාට ලැබුණු බවද එම පුද්ගලයා විමර්ශන නිලධරයන්ට පවසන්නේ තමන්ට ගැලවීමක් නැති බව දැනගෙනය.

එම හෙරොයින් ප්‍රමාණයට අමතරව සෙසු පුද්ගලයන් තමාට අයිස් මත්ද්‍රව්‍ය යැයි කියා කුඩා පාර්සලයක් දුන් බවත් එය නි‍ෙවසට ගෙන ගොස් බැලීමේදී එය අයිස් මත්ද්‍රව්‍ය පාර්සලයක් නොව පිස්තෝල උණ්ඩ සහිත පාර්සලයක් බවට හෙළි වූ බවත් සැකකරු විමර්ශන නිලධරයන්ට පවසා තිබිණි. සැකකරු සතුව තිබූ නයින් එම් එම් පිස්තෝලවලට යොදන ජීව උණ්ඩ 12ක් විමර්ශන නිලධරයන් සොයා ගන්නේ ඉන් අනතුරුවය.

සැකකාර ත්‍රිරෝද රථ රියැදුරු තදින්ම අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකි. ඔහුට ලැබුණ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සහ ග්‍රෑම් 350 ක් පෑලියගොඩ වැලිපාර ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවිකර ඇති බව හෙළි වූ අතර එම පුද්ගලයාද විමර්ශන නිලධාරීන් විසින් පසුව අත්අඩංගුවට ගෙන ඇත. ඉතිරි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 සැකකරු ඔහුගේ මිතුරන් අතර ඉතා අඩු මිලට සහ සමහර අයට නොමිලේ බෙදාහැර ඇති බව හෙළි වී ඇත.

බියගම නිවෙසේ රැඳී සිටි සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව සිටින බව දැනගත් ප්‍රධාන සැකකාරිය සහ සැකකරුවා මත්ද්‍රව්‍ය සොරකම් කර ඇති බව හෙළි වී ඇත.

මත්ද්‍රව්‍ය කිලෝ 4 සොරකම් කිරීමෙන් පසු අනුරාධපුරයට පලාගොස් සිටි ප්‍රධාන සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ඉතා සුක්ෂ්ම ලෙස සකස් කරන ලද වැඩපිළිවෙළකට අනුව කොළඹට ගෙන්වා අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී ඇත. සැකකාරිය සහ සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරගෙන යයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්තගේ උපදෙස් මත බුද්ධි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර, උප පරීක්ෂක වනිගසේකර ඇතුළු කණ්ඩායම වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division