Home » බොරු රන් නෙළුමක් ලක්ෂ 50කට විකුණන්න හැදූ ජාවාරමා කොටුකරන්න පොලිසිය ගහපු ගැටේ

බොරු රන් නෙළුමක් ලක්ෂ 50කට විකුණන්න හැදූ ජාවාරමා කොටුකරන්න පොලිසිය ගහපු ගැටේ

-නිධානයකින් ගත්තා කියා කියලා;

by sachintha
August 31, 2024 12:18 am 0 comment

රුපියල් පනස් ලක්ෂයේ ගනුදෙනුව ලක්ෂ දහයට බැස්සූ හැටි

දූෂණ මර්දන ඕ.අයි.සී. පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාර ව්‍යාපාරිකයකුට අඳී

මිථ්‍යා විශ්වාස සහ මිථ්‍යා මත දරන බොහෝ දෙනෙක් මේ ජන සමාජයේ සිටිති. ඒ අය අතරින් වැඩි දෙනෙක් පුරාවස්තු ළඟ තබා ගැනීමට කැමති අය බව කීවොත් වැරදි නැත. නිදන් වස්තු ලබාගැනීමට තැත් කිරීමද මේ මිථ්‍යා විශ්වාස දරන්නන්ගේ චර්යාවේ එක් පැතිකඩකි. නිදන් හැරීමට ගොස් හිරේ විලංගුවේ වැටුණු මිථ්‍යා මතධාරීන්ගේ ද අඩුවක් නැත.

පුරාණ පුස්කොළ පොත් සොයා ගෙන ඒවායේ සටහන් වී ඇති අන්දමට පුරාවස්තු සොයමින් වගවලසුන්ගෙන් ගහන මහා කැලෑ මැද මුතු මැණික් ධන නිධාන සොයන්නට යන අය අතර වැඩිපුර සිටින්නේ සල්ලි බාගේ ඇති අය යැයි කීවොත් වැරදි නැත. ඔවුන් මෙලෙස මහා දුකක් විඳින්නේ නිදන් සොයා කෝටි ගණනක තව තවත් ධනය, වස්තුව තමා වෙත ළඟා කර ගැනීමට වුවත් එසේ ධනවත් වූ අය ගැනනම් කිසිවකුත් මේ වන තෙක් අසා නැති වීමද සුවිශේෂීය.

වාලම්පුරි සහ හක්ගෙඩි එකතු කිරීමද ඇතැම් අය මහා ලොකු විශ්වාසයකින් කරන දෙයකි. එහෙත් මේ අය නිසා වැඩිපුර වාසි ලබන කල්ලි කණ්ඩායම් සිටි. ඒ මෙවැනි මිථ්‍යා මතධාරින් රවටා කුමක් හෝ හොර බොරුවක්, වංචාවක් කර මුදල් හරිහම්බ කරගන්නා අයයි.

නිදන් වස්තු සේම ‘ගජමුතු’ ද කාලයක් ‘ලොකු බිස්නස්’ එකක් වූ දෙයකි. ගජමුතු යැයි කියා වර්ණ ගන්වන ලද ගල්වලට හසුවුණු බොහෝ දෙනෙකුගේම අන්තිමේදී අත තිබූ මුදලත් නැති විය. ගජමුතු ජාවාරම ගැන පසුගිය දිනවල පුවත් රැසක් ද පළ විය. ගජමුතු යැයි කියා පාට කළ ගල් රුපියල් කෝටි ගණන්වලට අලෙවි කිරීමට ගිය සංවිධානාත්මක කල්ලි කණ්ඩායම්වල සැලකිය යුතු පිරිසක් පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ හමුදා බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගත් පුවත් පසුගිය දිනවලදී අසන්නට ලැබිණි. ආසන්නම විමර්ශනය සිදු කරන ලද්දේ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අයත් දුෂණ මර්දන අංශයේ පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාර විසිනි. රුපියල් පනස් ලක්ෂයකට අලෙවි කිරීමට ගිය ගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් දඹුල්ල නගරයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාර ඇතුළු කණ්ඩායමට හැකි විය.

එම ගජමුතු කතාවේ විමර්ශන දඹුල්ල මූලස්ථාන පොලිසිය සිදු කරද්දී තවත් එවැනිම වංචනික ක්‍රියාවක සුලමුල හෙළි කර ගැනීමට පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාර ඇතුළු කණ්ඩායමට හැකි වන්නේ පසුගියදාය. ඒ නිධානයකින් ගොඩ ගත් ‘රන් නෙළුම් මලක්’ බව පවසා වංචනික ලෙස සකස් කළ නෙළුම් මලක ආකෘතියක් රුපියල් ලක්ෂ 50කට අලෙවි කිරීමට යද්දී අදාළ පුද්ගලයා සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාර ඇතුළු කණ්ඩායමට හැකි වන්නේ සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.

නිධානයකින් ගත් බව කියන රන් නෙළුම් මලක් රුපියල් ලක්ෂ 50කට අලෙවි කිරීමට කිසියම් පුද්ගලයකු උත්සාහ කරන බවට මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාරට තොරතුරක් ලැබෙන්නේ සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙනි. මේ ගැන සොයා බලන පොලිස් පරීක්ෂකවරයා සැකකරු සමඟ රන් නෙළුම් මල අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදන්නේ ඉන් අනතුරුවය. මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ, සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත රත්නායක සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර මේ ගැන දැනුම්වත් කළ පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාර එම නිලධාරීන්ගේ උපදෙස් මත සැකකරු සහ රන් නෙළුම් මල අත්අඩංගුවට ගැනීම සඳහා සැලසුමක් සකස් කළේය.

ඒ අනුව ව්‍යාපාරිකයකු ලෙස වෙස්වළා ගත් පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාර රන් නෙළුම සන්තකයේ ඇතැයි කියන පුද්ගලයා සමඟ දුරකතන සංවාදයක නිරත විය. රුපියල් පනස් ලක්ෂයේ රන් නෙළුම රුපියල් ලක්ෂ 10කට මිල අඩුකර ගැනීමට පොලිස් පරීක්ෂකවරයාට හැකි විය.

රන් නෙළුම රුපියල් ලක්ෂ 10කට විකිණීමට පැමිණි පුද්ගලයා පොලිස් ගැටේට හසු විය. ඔහු පොලිස් අත්අඩංගුවට ගන්නේ ඒ මෙහොතේමය. සැකකරු මාතලේ කවුඩුපැළැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හෙළි වන්නේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය.

මේ පුද්ගලයා එසේ මෙසේ අයකු නොවන බව විමර්ශනවලදී අනාවරණය විය. ඔහු ඓතිහාසික අළුවිහාරයට නුදුරුව ගල් තලාවක් අබියස ගැවසෙමින් පුරාවස්තු සොයා එන පුද්ගලයන් රවටා ව්‍යාජ පුරාවස්තු ලබා දී රුපියල් ලක්ෂ ගණන් මුදල් ගරන වංචාකාරයකු බව හෙළිකර ගැනීමට පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාර ඇතුළු කණ්ඩායමට හැකි විය.

මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත රත්නායකගේ අධීක්ෂණයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාරගේ මෙහෙයවීමෙන්, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division