ලෙවල් ලෙස් ව්‍යාපාරය බ්‍රිතාන්‍යයයේ ආරම්භ වන්නේ, එකල සිටි රජු සහ ප්‍රභූන් නම් ඉහළ මට්ටම් සමතලයකට ගෙන ජනතාව සමඟ උරෙන් උර ගැටී සිටින ‘සම සමාජයක්’ බිහි කරගැනීම උදෙසාය. අඛණ්ඩව පීඩිත වී සිටී ජනයා, මේ කාලයේ නොඉවසුම් සහගතව, මේ සඳහා දායක වූයේය. සමස්ත ජනතාව සිය නිදහස උදෙසා අවදිවීමට පටන් ගෙන තිබුණි. සමාජ ස්ථරයේ සියලු මට්ටම් එක් තලයක් සඳහා රැගෙන ඒමට බාධාවක් වූයේ, රජුගේ ආධිපත්‍ය නමැති, හැරවිය නොහැකි පාලක ආඥාවය. ඒ හා බැඳුණු පූජක පැළැන්තිය සහ ඉහළ පන්තිය නම් ත්‍රිකෝණයට මැදිව දිගින් දිගටම වහල්භාවයේ යෙදීම ප්‍රිය නොකළ ලෙවල් ලෙස් ව්‍යාපාරය, අප්‍රියභාවයේ ගැලී සිටිනවා වෙනුවට ඉන් නැඟිටීම සඳහා වූ සංවිධානාත්මක ජනතා කවයක් විය.
මේ දේශපාලන චලනය සඳහා න්‍යාය පත්‍රයක් අවශ්‍ය විය. මැතිවරණ අයිතිය, නීතිය ඉදිරියේ සමානතාව, ජනගහනය අනුව නියෝජනය, පෞද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ආගමික නිදහස සහ ආගම් අතර අන්‍යොන්‍ය සුහදතාව ආදී අභිලාෂ රැසක් සමඟ ලෙවල් ලෙස් ව්‍යාපාරය සිය අවශ්‍යතා ලිඛිත කර ගත්තේය. 1647දී ප්‍රකාශයට පත් කරන ලද ‘ජනතාවගේ ලියැවිල්ල’ නම් වූ එය ලොව පළමු දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස හඳුනාගත හැක්කේය.
ජනාධිපතිවරණය සඳහා තව දින දහ නවයක් ඉතිරිව තිබේ. මේ වන විට ප්‍රධාන අපේක්ෂකයෝ සිවු දෙනාගෙන් තිදෙනෙක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දක්වා අවසන්ය. ප්‍රතිපත්ති ප්‍රකාශ මේ රටේ සෑම මැතිවරණයකදීම එළියට ආවේය. ඡන්දයෙන් පසු ඒවා නොපෙනී ගියේය. බලයට ආ පසුව පාලකයෝ පළමුව සැඟවීම සඳහා උත්සාහ දරන්නේ, ඊට මාස ගණනකට පෙර, අතේ තබාගෙන වේදිකා මත්තේ, දිවුරා පොරොන්දු දෙමින් ක්‍රියාත්මක කරන බව කියන, ප්‍රතිපත්ති ප්‍රකාශනයය. බොහෝ පක්ෂ මේ කාලයේ ජනතාවට ලබාදෙන ප්‍රතිපත්ති ප්‍රකාශන වනාහි, රාජ්‍ය පාලනයේ ඉදිරි දැක්ම සඳහා දායක වන්නාවූ සැලසුම් හෝ ඉදිරි දැක්ම අනුව සකස් කරන ලද ලියැවිලි නොවේ. සපුරාම ‘කැරට් පාත්ති’ වේ. ඒ තරමට සහනාධාර සහ පොරොන්දු පුරවා ඒවා සකස් කර ඇත්තේය. ලංකාවේ පක්ෂ ක්‍රමය ආරම්භ වූ දා සිට ඒ ආකාරයේ පොරොන්දු, කද බැඳගෙන දුන්නේ මුත්, මේ ගතවෙන්නේ එහෙව් කාලයක් නොවේ. සෑම පක්ෂයක්ම ඡන්දය ආකර්ෂණය කර ගැනීම සඳහා ‘මල් වට්ටි වෙන්දේසියේ’ මෙන් ‘එහෙට වඩා මෙහෙන්’ දෙන බව කියමින්, සහනාධාර, රැකියා අවස්ථා ආදිය ඇතුළත් කරමින් ප්‍රතිපත්ති ඉදිරිපත් කළ කාලය දැන් නිමාවට පත්ව තිබේ.
බංකොලොත් යුගයෙන් පසු ශ්‍රී ලංකාව යනු ආර්ථික අතින් එකසර රාජ්‍යයක් නොවේ. තනිව හැසිරීම සඳහා දැන් අපට තීරණගත නොහැක්කේය. නිදහසින් පසු යුගයේ, එකලාව අප ගත් ආර්ථික තීන්දු, පස්සෙන් එළවන්නට පටන් ගත් පසු, රටක් ලෙස ගල් ගැසී බලා සිටීම හැර අන් යමක්, ඉතිරිව තිබුණේ නැත. 2019 වසරේ අගභාගයේ බදු කපාහැරීම හේතුවෙන්, දළ දේශීය නිෂ්පාදනයෙන් 4%ක් අහිමි වීම සමඟ, කොවිඩ් වසංගතය පැමිණියේය. මේ දෙක අතරේ රටේ ආර්ථිකය පමණක් නොව ජනජීවිතය ද තෙරපෙන්නට පටන් ගත්තේය. 2022 පෙබරවාරි සිට, මාස 03ක් ඇතුළත, ඩොලරයට සාපේක්ෂව රුපියල 40%කින් පිරිහී ගියේය. 2022 වසරේ ආර්ථික වර්ධනය 7.8%කින් හැකිළි ගියේය. 2022 සැප්තැම්බර් මාසයේ උද්ධමනය 70%ක් ඉක්මවූ අතර, ආහාර උද්ධමනය 95% දක්වා ඉහළ බලා ඇදුණි.
රටේ සමස්ත ණය බර ඩොලර් බිලියන 83.6ක් විය. ඉන් ඩොලර් බිලියන 41.5ක් විදේශ ණය විය. ණය බර, දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 128%ක් වී තිබුණි. ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණය ආපසු නොගෙවෙන තත්ත්වය හේතුවෙන්, 2022 අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා හිඟ ණය ප්‍රමාණය, ඩොලර් බිලියන 2.7ක් බවට පත්විය.
දේශයේ මූලික අවශ්‍යතා සන්තර්පණය පිණිස, අවශ්‍ය අඩුම කුඩුම ගෙන්වා ගැනීම සඳහා වන ණයවර ලිපියක් විවෘත කර ගැනීමට දින ගණන් ළත වූ කාලයක් තිබුණි. මේවා හිටිවන ආපසු හැරුණේ නැත. බංකොලොත් යුගය සඳහා නිමාව සටහන් වූවේ මුල්‍ය අරමුදල සමඟ රාමුගතව, රටේ අනාගතය සඳහා වූ ගිවිසුමකට යෑමෙනි. එහි වෙනස අත්දැකීම පිණිස වසර දෙකකට පෙර තිබූ, පෝලිම් යුගය සහ අද විඳින ආර්ථික වශයෙන් සුවදායි පරිසරය, පාඨකයා මතක් කරගත යුත්තේය. මුල්‍ය අරමුදල සමඟ වන මෙම එකගතාව අවසන් වන්නේ ‘2048 ශ්‍රී ලංකාව’ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීමෙනි. මේ වනාහි ක්‍රියාකාරී සැලැස්මක් මිස දේශපාලන අතේ රෝලක් නොවේ. එහි පහසුකම් සලසන්නා ලෙස සිටින පාර්ශ්වය මුල්‍ය අරමුදල බැවින්, මෙම න්‍යාය පත්‍රය අනිවාර්යෙන්ම ඉටුවන දෙයකි. අද ලබා ඇති දියුණුව, මේ ඉදිරි ගමන පිළිබඳ සාක්ෂි දරන්නේය.
නිදහසේ සියවස සමරන අවස්ථාවේ සංවර්ධිත දේශයක් සඳහා වූ සැලසුම මුලික කුලුනු සතරකින් යුක්ත විය. රාජ්‍ය මූල්‍ය හා ප්‍රතිසංස්කරණ, ආයෝජන ප්‍රවර්ධනය, සමාජ ආරක්ෂණ ජාලය සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යන මේ කුලුනු සඳහා රටට දැන් නිශ්චිත සැලසුමක් තිබේ. ඒවා එක් එක් දේශපාලන අභිමතාර්ථ අනුව එහා මෙහා කළ නොහැක්කේය. එසේ වූ සැණින්, මුල්‍ය අරමුදල, අතට අතදී අපට සමුදෙන්නේය. ඒ සමඟ යළි බංකොලොත් ලේබලය යටතේ සමස්ත රටම ‘ මාවතේ අපි’ බවට පත් වන්නේය.
මෙපමණ දුරක්, සිළුමිණ කතුවැකිය ගලා ආවේ නිකුත්ව ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධයෙන්, ජනතාව වෙත මිනුම් දණ්ඩක් සපයාදීම සඳහාය. මේ රාමු ගලවා, දන්සල් සහ වෙස්සන්තර රාජ ජවනිකා යමෙක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මවා පාන්නේ නම්, ඒ මුසා බසකි. රට අගාධය සඳහා ගෙන යෑමකි. රැවටීමේ සීමාව සහ රටේ අනාගතය සඳහා වූ ජනතා තේරීමට මේ ‘මානය’ ප්‍රමාණවත්ය.