රනිල්, සජිත් සහ අනුර යන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන දැන් නිකුත් වී තිබේ. මේවායේ අන්තර්ගතය පරීක්ෂා කරන විට දක්නට ලැබෙන එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එම සෑම ප්‍රතිපත්ති ප්‍රකාශනයක්ම බොහෝ දුරට සමාන දැක්මක් අනුව සැකසී ඇති බවයි. සමහර අවස්ථාවලදී එම සමානාත්මතාව කොතරම් ඉහළ මට්ටමකට පත්ව ඇත්තේ ද යත් එකම කරුණ ප්‍රතිපත්ති ප්‍රකාශන හෝ පක්ෂ ප්රකාශනවල එකම ආකාරයෙන් දක්නට ලැබෙන අවස්ථා ද තිබේ.
උදාහරණයක් ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයන් දරන සමාන ප්‍රතිපත්ති පිළිබඳ දැක්විය හැකිය. ජනාධිපතිවරණය ආසන්නයේදී විවිධ අංශවල රාජ්‍ය සේවකයන් විසින් වැටුප් සහ දීමනා වැඩිකර ගැනීමට වැඩ වර්ජන සහ උද්ඝෝෂණ ආරම්භ කරන ලදි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒවා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූයේ රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ වැටුප් විෂමතා සොයාබලා වාර්තා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමෙනි. එම කමිටුවේ නිර්දේශ අනුව 2025 වසරේ අයවැය ලේඛනය මගින් වැටුප් විෂමතා ඉවත් කිරීමට සහ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව එම කමිටුව පත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මාසයක් ඇතුළත එම කමිටුව තම වාර්තාව ඉදිරිපත් කළේය. සියලුම රජයේ සේවකයන්ට රුපියල් 25,0000/- ක ජීවන වියදම් දීමනාවක් ලබාදීමටත්, රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 33,000/- දක්වා ඉහළ දැමීමටත් එම කමිටුව නිර්දේශ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ලබන වසරේ ජනවාරි 01 වෙනිදා සිට එය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා ගත්තේය. ඒ අනුව එදින සිට රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප රුපියල් 53,000/- දක්වා ඉහළ යන අතර සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප 24%ත් 35%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.
මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද තමන්ගේ ජනාධිපතිවරණ ප්රකාශනවල රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ සඳහන් කර තිබේ. ඔහු රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනටමත් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති වැටුප් වැඩි කිරීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව ප්රකාශනවල ද දැන්වීම්වල ද විශාල ප්‍රසිද්ධියක් ලබා දෙමින් ප්‍රකාශයට පත්කර තිබේ. සියලු දෙනාම දන්නා සත්‍යය වන්නේ රු.25,000/- දක්වා ජීවන වියදම් දීමනාව වැඩි කිරීම සහ රු.33,000/- දක්වා මූලික වැටුප් වැඩිකර රාජ්‍ය සේවයේ මූලික අවම වැටුප රු.55,000/- දක්වා වැඩි කිරීමට දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කර ඇති බවයි. එම අකාරයේම වැටුප් වැඩි කිරීමක් ලබාදෙන බව ඊට සමාන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත.
ඒ තුළින් ගම්‍ය වන ප්‍රධාන කරුණ වන්නේ රටේ ප්‍රබලම ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මැතිවරණ පොරොන්දුවල නිර්මාපකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි. එයද මද සමාන කමකින් නොවේ. රනිල් වික්‍රමසිංහගේ පොරොන්දු ප්‍රධානම දේශපාලන අපේක්ෂකයෙක් විසින් ඒ ආකාරයෙන්ම තමන්ගේ ප්රකාශනවලට ඇතුළත් කර තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්‍රතිපත්තිය සහ ක්‍රියාමාර්ග හැසිරවීම කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශාල බලපෑමක් ඇති කරන බවයි. මා සඳහන් කළේ එක උදාහරණයක් පමණි. අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය නිකුත් වූ පසු මුහුණු පොතේ වයිරල් වු පෝස්ටුවක සඳහන් වන්නේ මෙසේය. “ ඔබ රනිල් වික්‍රමසිංහයන්ගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව කියවා නැතිද? එසේ නම් අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න” අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන විට මෙම පෝස්ටුව කෙතරම් දුරට සත්‍යදැයි වැටහෙනු ඇත.
අධ්‍යාපන ධවල පත්‍රිකාවේ සඳහන් පොකුරු පාසල් ක්‍රමය ඇතුළු සැළකිය යුතු යෝජනා ප්‍රමාණයක් එහි අන්තර්ගත වේ. අනුර කුමාර රටේ දුගී ජනතාවගෙන් ඇතැම් පිරිසකට රු.10,000/-ක දීමනාවක් ලබාදීමට ප්‍රතිපත්ති ප්රකාශනය මගින් පොරොන්දු වේ. සජිත් එම ජනතාවට රු.20,000/-ක් ලබාදීමට පොරොන්දු වී තිබේ.
මේ දක්වා තිබුණේ වෙසක් සහ පොසොන් දන්සල් ය. එහෙත් මැතිවරණයෙන් පසු බිනර දන්සල් ද ලංකාවේ ඇතිවීමට ඉඩ තිබේ. ඒ තරමටම මැතිවරණ ප්රකාශනවල එක් එක් පුද්ගලයාට ලබාදෙන තෑගි පිළිබඳ සටහන් වී තිබේ. කෙසේ වුවද ජනාධිපතිවරණය දිනන තුරු අපේක්ෂකයන්ට ඕනෑම පොරොන්දුවක් ලබාදිය හැකිය. ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන් පොරොන්දුවලට බොහෝ විට රැවටෙන බව මේ අපේක්ෂකයෝ හොඳාකාරව දනිති. සැබවින්ම එම පොරොන්දු ඉටු කිරීමට හැකිද යන්න පිළිබඳ සමහර ඡන්ද දායකයන් කල්පනා කරන්නේ නැත. මවන සුරංගනා ලෝකය තුළ ජනාධිපතිවරණයෙන් පසු තෑගි මලු රැගෙන එන නත්තල් පප්පා ගැන සළකා ඡන්දය දීමට ඇතැම් ඡන්ද දායකයෝ පෙලඹෙන බව නොරහසකි.
ශ්‍රී ලංකාවේ ඡන්ද විමසීම් ආරම්භ කළ කාලයේ සිටම පොරොන්දු දේශපාලනයට මහජනතාව රැවටුණු ආකාරය පිළිබඳ කොතෙකුත් උදාහරණ තිබේ. 1970 මහ මැතිවරණයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හඳෙන් හෝ සහල් ගෙනැවිත් සහල් සලාකය නැවත ලබාදෙන බවට පොරොන්දු විය. එහෙත් බලයට පැමිණි පසු ඉතිරි සහල් ප්‍රමාණයෙන් කොටසක් ද කපා දැමුවාය. ජේ. ආර්. ජයවර්ධන මහතා 1977 මහ මැතිවරණයේදී ධර්මිෂ්ඨ පාලනයක් පිහිටුවා ධාන්‍ය රාත්තල් 8 ක් ලබාදෙන බව ප්‍රකාශ කළේය. එහෙත් කිසි දිනෙක එම පොරොන්දු ඉටු වූයේ නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් ලබා දුන්නාය. එම ඡන්දයට ඉදිරිපත් වී සිටි ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නිහාල් ගලප්පත්ති මහතා එම පොරොන්දුව චන්ද්‍රිකා මැතිණිය විසින් ඉටු කරන බවට ඇති කරන ලද එකඟතාව මත තම අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගත්තේය. එහෙත් එවැන්නක් සිදු නොවීය. මා ඉදිරිපත් කළේ මේ රටේ දේශපාලන ඉතිහාසයේ ප්‍රකාශයට පත්වු ප්‍රසිද්ධ පොරොන්දු කීපයක් පිළිබඳ වාර්තාවකි.
රාජ්‍ය සේවකයා පසුගිය කාලය තුළදී ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩනයකට ලක්වූ බව නොරහසකි. බඩු මිල, ප්‍රවාහන ගාස්තු ආදිය ඉහළ යෑම හේතුවෙන් ඔහු තරම් පීඩාවට පත්වූවකු නැති තරම්ය. එබැවින් මෙම ජනාධිපතිවරණයෙන් පසු ඔහුගේ ජීවන පැවැත්ම කෙරෙහි අපේක්ෂා සහගත තත්ත්වයක් ඇති වන්නේ නම් එය ඔහුගේ සතුටට හේතුවනු ඇත. එසේ වුවද ඉතිහාසය පුරාම රාජ්‍ය සේවකයන් පමණක් නොව මහජනතාව ද පොරොන්දුවලට රැවටුණු ආකාරයෙන් නැවත වරක් නොරැවටෙන ආකාරයේ තීන්දු ගත යුතුව ඇත.
2015 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවක වැටුප රු.10,000/- කින් වැඩි කරන බව ප්‍රකාශ කළේය. බොහෝ දෙනකු සිතුවේ එය තවත් ඡන්ද පොරොන්දුවක් පමණක්ය යන්නයි. එසේ වුවද රාජ්‍ය සේවකයා රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කළේය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට පෙර රාජ්‍ය සේවකයන් සඳහා මෝටර් සයිකල් ලබා දුන්නේය. වැටුපට අතුරු දීමනාවක් එකතු කළේය. උපාධිධාරීන් 50,000කට නව පත්වීම් ලබා දුන්නේය. එසේ වුවද රාජ්‍ය සේවකයා එම අවස්ථාවේදී විශ්වාසය තැබුවේ රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳය. ඒ ඔහු කියන වචනය කඩ නොකරන්නකු වු නිසාය. අනෙක් අතට තමන්ට ලැබීමට නියමිත වැටුප් වැඩිවීම අහිමිකර ගතහොත් එය ජීවිත කාලයටම බලපාන කරුණක් වන බැවිනි. ඒ දක්වාම රාජ්‍ය සේවකයෝ තම ඡන්ද වලින් බහුතරය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාට වුවද 2015 වර්ෂයේදී එය වෙනස් විය. රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු ඉටු කළේය. රාජ්‍ය සේවකයන්ට 2015 වර්ෂයේදී රු.10,000/-ක වැටුප් වැඩිවීම ලැබුණු අතර 2016 වර්ෂයේ සිට එය පියවර කීපයක් යටතේ මූලික වැටුපට එකතු කරන ලදි. අද රාජ්‍ය සේවක වැටුපෙන් 60%කට වැඩි ප්‍රමාණයක් එකතු වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් වැටුප් වැඩිවීම් හේතුවෙනි. රට බංකොළොත්ව තිබියදී ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය මගින්ද රාජ්‍ය සේවකයා පිළිබඳ සැළකිලිමත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා උනන්දු විය. 2024 වර්ෂයේදී රු.10,000/-කින් වැටුප් වැඩිකර අදියර දෙකකින් එය ක්‍රියාත්මක කළේය.
ළඟ එන ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන් සඳහා විකල්ප බොහෝ ගණනක් නැත. අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ කිසිඳු ආකාරයකින් රනිල් වික්‍රමසිංහ මහතා වැටුප් වැඩි කිරීමට කර ඇති යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි බවයි. සජිත් ප්‍රේමදාස මහතා නම් එම යෝජනාව කොපිකර තම ප්‍රතිපත්තිවලට එකතු කරගෙන තිබේ. වසර 76ක අසාර්ථක දේශපාලන ක්‍රමය වෙනස්කළ යුතු බවට සමහර අපේක්ෂකයෝ ප්‍රකාශ කරති. ඒ සඳහා අරගල කළ තරුණයන් බලාපොරොත්තු නොවු ආකාරයේ ප්‍රතිඵල අරගලයෙන් පසු අත්විඳීමට සිදුවූ ආකාරය මතක ඇතැයි සිතමි. සටන් පාඨවලට හෝ සොඳුරු කතාවලට ඡන්දය දීමෙන් ඇතිවන ප්‍රතිපලයක් නැත. එහෙත් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක වන්නේ නම් සෑම සේවකයකුගේම දළ වැටුප අවම වශයෙන් රු.5000/-කට වඩා මාසිකව ඉහළ යන බවත් එය තම ගෘහ ජීවිතයට සැළකිය යුතු සහනයක් ගෙන දෙන බවත්, සටන්පාඨ වෙනුවෙන් එය අහිමි කරගත යුතුද යන්නත් පිළිබඳ සංසන්දනය කිරීම ඉතා වැදගත් වනු ඇත.
lජනමිත්‍ර