අන්තර් මහද්වීපික සංගීත තරගයේ ආසියාවේ හොඳම ගායිකාව ලෙස Best of Asia සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දක්ෂ ගායිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ද වන වෛද්‍ය කාංචනමාලා රණසිංහ පසුගියදා සමත් වූවාය. මෙවර 12 වැනි වරට පවත්වනු ලැබූ එම තරගාවලියේ අවසන් මහා තරගයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත්කිරීම පහුගිය අගෝස්තු 25 වැනිදා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී සිදු වූයේ හොලිවුඩ්හි ග්‍රැනී අවෝර්ඩ් දිනූ ලෝ සුපතළ සංගීතඥයින් ඇතුළු විද්වත් විනිශ්චය මණ්ඩලයක් හමුවේදීය. ලෝක වාර්තා අතරට එක්වුණු සම්මානනීය රංගන ශිල්පීන් යුවළක් වන මාලිනී රණසිංහ සහ ටෙරන්ස් රණසිංහගේ ආදරණීය දියණිය වන කාංචනමාලා මේ වනවිට ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන අතර කථිකාචාර්යවරියක ලෙසද කටයුතු කරන්නීය. ඇය ද සම්මානනීය රංගන ශිල්පිනියක වීම තවත් විශේෂත්වයකි. ඒ සියල්ල අභිබවා යමින් පසුගිය දා ලද ජයග්‍රහණයත් සමඟින් ඇයගේ නාමය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් වූවා නිසැකය. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඇය එහි සිටම සිය ජයග්‍රහණයේ සතුට අප හා මෙසේ බෙදා ගත්තාය.
පසුගිය දා ඔබ ආසියාවේ හොඳම ගායිකාව බවට පත්වුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඔව්. ඒක මහද්වීප අතර පැවැත්වුණු සංගීත තරගයක්. නව නිර්මාණ ගායනය හා වාදනය කියන අංශ දෙකෙන්ම තරගය පැවැත්වුණා. මං ඉදිරිපත් වුණේ සම්භාව්‍ය ගායන අංශයෙන්. ආසියාව ඇතුළුව හැම මහද්වීපයක්ම ඒ ඒ මහද්වීපයට ආවේණික එක් එක් ශෛලීන්ගෙන් නිර්මාණ ඉදිරිපත් කර තිබුණා. එක් එක් මහද්වීපයෙන් අවසන් වටය නියෝජනය කරන පිරිස පළමුවැනි වටයෙන් තේරුවා. අවසන් මහා තරගයට ආසියාවෙන් තරගකරුවන් 28 දෙනෙක් තේරුණා. වැඩිදුර සංගීතය හැදෑරීම සඳහා අෙමරිකාවෙන් ඔවුන්ට අර්ධ ශිෂ්‍යත්ව පිරිනැමුණා. අවසන් 28 දෙනාගේ ශෛලීන්ගේ විවිධත්වය මත නැවත 11 දෙනෙක් තෝරාගෙන ඔවුන්ට පූර්ණ ශිෂ්‍යත්ව පිරිනැමුණා. පහුගිය අගෝස්තු 25 වැනිදා ලොස් ඇන්ජලීස්හි අවසන් මහා තරගයේ විනිශ්චය සිදු වුණේ හොලිවුඩ්වල ලෝ සුපතළ ග්‍රැනී අවෝර්ඩ් දිනූ සංගීතඥයින් මෙන්ම ලෝ ප්‍රකට නිර්මාණවලට දායක වූවන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් වගේ ලෝ ප්‍රකට විනිසුරු මණ්ඩලයක් හමුවේ. ලාංකේය අනන්‍යතාව රැක ගනිමින් මේ පුංචි රටේ සම්භාව්‍ය සංගීතය ලෝකයට ගෙනයන්න පුළුවන් වුණා වගේම ආසියාවේ හොඳම ගායිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.
තරගය සඳහා ඔබට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
තරගය පැවතුණේ මාර්ගගත ක්‍රමයට. දක්ෂතා තියෙන අයට ලෝකයේ ඕනම තැනක ඉඳන් මේ තරගයට ඉදිරිපත් වෙන්න පුළුවන්. සංගීතයයි වෛද්‍ය විද්‍යාවයි එකතු කරල පර්යේෂණයක් කිරීමේ බලාපොරොත්තුවක් මට තිබුණා. ඒ ගැන තොරතුරු සොයද්දී තමයි මට මේ තරගය ගැන දැනගන්න ලැබුණේ. මං දන්න තරමින් ලංකාවේ කවුරුත්ම මීට කලින් මේ වගේ තරගයකට ඉදිරිපත් වෙලා තිබුණෙ නෑ. ආසියානු මහද්වීපයේ සම්භාව්‍ය ගායන අංශයේ හොඳම ගායිකාව විදිහට Best Of Asia සම්මානය මට හිමි වුණා.
ඔබේ ජයග්‍රහණය තහවුරු කළ නිර්මාණය ගැන කතා කළොත්?
ජයමාලී චරිතා බණ්ඩාර විසින් පද රචනය කළ, ප්‍රවීණ සංගීතඥ නාලක අංජන කුමාර විසින් තනුව යොදා සංගීතවත් කළ මවිසින් ගායනා කළ ‘පතිනියක වී‘ ගීතයේ වීඩියෝ එක තමයි තරගයට ඉදිරිපත් කළේ. එහි කැමරාකරණය නාරද අමරතුංග, වේශ නිරූපණය උපුල් මහානාම, පටිගත කිරීම අනුර රණසිංහ ඉන්වේව් ස්ටුඩියෝ, වීඩියෝ නිර්මාණය සංජය සෝමසිරි වගේම වාදන ශිල්පීන් ඇතුළු ලොකු පිරිසක් මේ සඳහා දායකත්වය දුන්නා. ඔවුන් හැමෝම මේ මොහොතේ ස්තුතිපූර්වකව සිහිපත් කරනවා. ජයග්‍රහණයත් එක්ක මට සුබපැතුම් ගලාගෙන එන්න පටන් ගත්තා. ඒ අතරේ ප්‍රවීණ සංගීතඥයින් රාශියක් හිටියා. නාලක අංජන කුමාර, ආචාර්ය රෝහණ වීරසිංහ, රත්න ශ්‍රී විජේසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර, අසිත අතපත්තු ඇතුළු ප්‍රවීණයන් සුබ පැතුම් එක්කළ වීඩියෝ එවල තිබුණා. සෝෂල් මීඩියා හරහා වගේම පත්තරවලිනුත් සුබපැතුම් එක් කරලා තිබුණා. මගේ මවත් සමඟ සිංහබාහු වේදිකා නාට්‍යයේ සිංහබාහු චරිතයට ජීවය දුන් නිශ්ශංක දිද්දෙණිය හදවතින්ම ලියූ කවි සමූහයක් මඟින් සුබපැතුම් එක්කර තිබුණා. ඔවුන්ගේ ආදරේ මට ගොඩක්ම දැනුණා. ජයග්‍රහණයට කලින් දවසෙ මට හිතුණා ‘මට මොකක් හරි සම්මානයක් ලැබුණොත් හොඳයි මගේ රටට අරන් යන්න. ගෞරවයක් ලබාදෙන්න‘ කියලා. හැමෝගෙම ආදරය වගේම ඒකත් මේ ජයග්‍රහණයට ආශීර්වාදයක් වෙන්න ඇති කියලා හිතෙනවා.
ඔබ හැදී වැඩුනෙ කලා පසුබිමක. ඒ ගැනත් කතා කරමු?
මම ඉපදුණේ මහනුවර. මගේ පාසල මහනුවර උසස් බාලිකා විද්‍යාලය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නිර්මාණයේ සුප්පාදේවිය සහ පොතේගුරු ලෙස දර්ශන වාර 5000 ඉක්මවා රඟදක්වා දීර්ඝතම කාලයක් එකම නාට්‍යයක එකම චරිතයට පණ පෙවූ නළු නිළි යුවළ ලෙස ලෝක වාර්තා පොතට එක්වුණු මාලිනී රණසිංහ සහ ටෙරන්ස් රණසිංහ කියන්නෙ මගෙ අම්මයි තාත්තයි. පාසල් කාලෙ ඉඳන්ම මං සංගීතය, නාට්‍ය කලාව, ක්‍රීඩා අංශවලින් සමස්ත ලංකා වගේම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ හිමිකරගෙන තියෙනවා. පාසලේ පෙරදිග වාදක කණ්ඩායමේ සිතාර් වාදනය, බටහිර තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව වගේම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදිහටත් වගකීම් දරලා තියෙනවා.
ඔබ වෘත්තියෙන් වෛද්‍යවරියක් ?
ඔව්. මේ වෙද්දි මං ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස සේවය කරනවා. ඒ වගේම රිෆිත් වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරනවා. ඊටත් අමතරව ඔප්ටිමන්කෙයා ඔස්ට්‍රේලියා සංවිධානයත් එක්ක එකතුවෙලා වෛද්‍ය පර්යේෂණ කටයුතු කරන්න උදවු කරනවා. ඒ සඳහා මට ජාත්‍යන්තර සම්මාන ලැබිලා තියෙනවා.
මුලින්ම මං සේවය කළේ මහනුවර මහ රෝහලේ වෛද්‍යවරියක් විදිහට. ඊට පස්සේ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ක්ෂුද්රජීවී අංශයේ කථිකාචාර්යවරියක් විදිහට සේවය කරමින් ඉද්දි පශ්චාද් උපාධිය සඳහා මට ශිෂ්‍යත්වයක් ලැබෙනවා ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයට. ඒත් එක්කම 2005 වසරේ අපි බ්‍රිස්බේන්වල පදිංචියට යනවා. දර්ශනවේදී උපාධිය නිමාවීමත් එක්ක විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා රෝහල් ගණනාවකට යොමු වෙනවා. ඔස්ට්‍රේලියාවෙදී මං හදිසි ප්‍රතිකාර, අනතුරු අංශය සහ පවුල් වෛද්‍ය විද්‍යාව කියන අංශ දෙකම හැදෑරුවා. විශේෂඥ වෛද්‍ය උපාධි හතරක් ගන්න හැකියාව ලැබුණා.
පවුලේ තොරතුරු කියනව නම්?
මං ඔස්ට්‍රේලියාවට ඇවිත් දැන් වසර 20ක් පමණ වෙනවා. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. ඔවුන් හොඳින් ඉගෙන ගන්නවා. ඒ වගේම කලාවටත් දක්ෂතා දක්වනවා. දුව අරවින්දි. රිෆිත් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ගමන් සංගීතය පැත්තටත් දක්ෂතා දක්වනවා. සංගීත අංශයෙන් ඔස්ට්‍රේලියාවේ තියෙන ඉහළම විභාගයට ඇය සූදානම් වෙනවා. පුතා ප්‍රවීන්. ඔහු තාම 11 වසරේ ඉගෙන ගන්නවා. ඔහු මේස පන්දු ක්‍රීඩාවට දක්ෂතා දක්වනවා. මේ වනවිට ඔහු ක්වින්ස්ලන්තයේ ප්‍රාන්ත තරගවලට වගේම ජාතික තලයේ තරගවලටත් සහභාගී වෙනවා. මමත් ක්වීන්ස්ලන්තයේ ජ්‍යෙෂ්ඨ මේස පන්දු කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට ජාතික තරග සඳහා ඉදිරිපත්වෙලා තියෙනවා.
ඔබත් සම්මානනීය රංගන ශිල්පිනියක්. ඒ අත්දැකීම ගැන කතා කළොත් ?
ඔව්. 1992 ටවර් හෝල් රඟහලේ පැවැති අන්තර් පාසල් පාඨශාලීය නාට්‍ය තරගයේ සමුද්‍රදේවී ලෙස රඟපාමින් දිවයිනේ හොඳම නිළිය ලෙස සම්මාන ලබන්න මට හැකියාව ලැබෙනවා. ඊට පස්සෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය හදාරණ අතරේ තමයි මහාචාර්ය නිමල සේනානායක සර් මාව සරසවි සංස්කෘතික කුමරා සහ කුමරිය තරගයට යොමු කරවන්නේ. 1996 සරසවි කුමරිය බවට පත්වීමත් එක්ක ඉංග්‍රීසි කථනය හා රචනය සඳහා ජපානයේ ටෝකියෝහි පැවැති තරගයට ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ මගේ පළමු ජාත්‍යන්තර තරග සහභාගීත්වය.
ඔබේ මව රඟදැක්වූ සුප්පාදේවියගේ චරිතය රඟන්න ඔබටත් ඕන වුණා?
කාලෙක ඉඳන් මගේ හිතේ තිබුණු ලොකු ආසාවක් ඒක. 2018 දී තමයි මං අම්මගෙන් ඒ ගැන අහන්නෙ. අම්මත් පුදුම වෙලා කිව්වා ලලිතා සරච්චන්ද්‍රයන්ගෙන් අවසර ගන්න කියලා. ඇගේ කැමැත්තත් ඇතිව මං අවුරුදු දෙකක්ම අවුරුද්දට හතරපස් පාරක් ඔස්ට්‍රේලියාවේ ඉඳන් සිකුරාදා ලංකාවට ඇවිත් සෙනසුරාදා පුහුණුවීම් කරලා නැවත ඉරිදා ඔස්ට්‍රේලියාවට ගියා. 2019 ජූලි මාසේ එල්ෆින්ස්ටන් රඟහලේදී මගේ මව රඟදැක්වූ සුප්පාදේවිය ප්‍රතිනිර්මාණය කරමින් මම සුප්පාදේවිය ලෙස මගේ පළමු අත්දැකීම ලබාගන්නවා. මගේ මව ඉදිරියේ එවන් අත්දැකීමක් ලබන්න ලැබීම ගොඩක් සතුටක්. ඒ වගේම එදා සිංහබාහු නාට්‍ය යේ රඟදැක්වූ බොහෝ පිරිසක් ඒක බලන්න ඇවිත් තිබීම මට ලොකු ශක්තියක් වුණා. ඒ ලැබුණු ප්‍රතිචාර මට ලොකු ආශීර්වාදයක් විදිහට දැනුණා. මේ වනවිට දර්ශන වාර 6ක් කරල තියෙනවා. දරුවන්ගේ නිවාඩු කාලයට ඉඩ ලැබෙන විදිහට ලංකාවට ඇවිත් ඒ සඳහා සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
එතකොට ඔබ සංගීතය පැත්තට යොමු වෙන්නෙ?
පාසල් කාලයේ මං සංගීතය ඉගෙන ගත්තා. මගේ පාසලේ සිරිමා වරුෂකෝන් ටීචර් නිසා තමයි මං හින්දුස්ථානී සංගීතයට යොමු වෙන්නේ. ඊට අමතරව රානි ෆොන්සේකා ටීචර් ගෙනුත් ඉගෙන ගත්තා. ඒත් එක්කම මං MGP කලායතනයේ ආනන්ද පෙරේරා සහ අශෝක පෙරේරාගෙන් සිතාර් වාදනය සහ ගායනය හැදෑරුවා. මං ලංකාවට එන හැම වතාවෙම සංගීත් නිපුන් අසිත අතපත්තු රාගයක කොටසක් හරි හැමදාම මට ඉගැන්නුවා. දැනට අවුරුදු 3l විතර ඉඳන් සංගීත් නිපුන් චාන්දනී වරුෂකෝන් ලංකාවේ ඉඳන් ඉතා උනන්දුවෙන් ඔන් ලයින් ඔස්සේ මාව සංගීත විශාරද විභාගවලට සූදානම් කළා. මේ වෙද්දී විභාග දෙකක් අවසන්. අවසන් විභාගයට සූදානම් වෙමින් ඉන්නවා. විශාරද විභාග සඳහා ඉදිරිපත් වෙන්න උදවු කළේ විශාරද තනූජා ඒකනායක.
ඔබේ මවත් දැන් ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ?
ඔව්. මගේ තාත්තා ටෙරන්ස් රණසිංහ 2008 වසරේ ජීවිතයෙන් සමු ගන්නවා. දැන් මගේ මව ජීවත් වෙන්නේ මාත් සමඟ ඔස්ට්‍රේලියාවේ. ඇයත් මගේ දරුවන්ගේ දක්ෂතා දැකලා ගොඩක් සතුටු වෙනවා. මම සම්භාව්‍ය ගීත ගායනයට යොමු වෙන්නත් මගේ මවගේ උදවුවෙන්. 2018 වසරේ ඇය රචනා කළ ‘ගවුගණන් දුර’ කවිය තමයි නයනසේන වන්නිනායක අතින් ගීතයක් බවට පත්වෙලා දර්ශන වික්රමතුංගගේ සංගීත මුසුවෙන් මං ගායනා කරන්නේ. එතැනදී තමයි මං සම්භාව්‍ය ගීත ගායනයට යොමු වෙන්නේ. මේ වෙද්දී ප්‍රවීණ වගේම නවක සංගීතඥයින්, ගී පද රචකයින් රාශියක් මං වෙනුවෙන් ගීත රාශියක් නිර්මාණ කර තියෙනවා.
නාමලී ගමගේ