Home » මත්ලෝලී දෙමිතුරන්ගේ අපරාධ චාරිකාව

මත්ලෝලී දෙමිතුරන්ගේ අපරාධ චාරිකාව

by thanushika
September 7, 2024 12:30 am 0 comment

සරදියෙල් පන්නයේ අපරාධකාරයෝ ද සිටිති. ඒ අය තමන් අපරාධවල නිරතව සොයාගත් මුදල් හදල් වියදම් කර මත්ද්‍රව්‍ය මිලදීගෙන පානය කරනවා මෙන්ම උදවු අවශ්‍ය අයට ඒ මුදලින් උදවු පදවු ද කරති. මේ එවැනි ‘සරදියෙල්’ පන්නයේ අපරාධකරුවන් තිදෙනකු වටා ගෙතුණු කතාවකි. වාර්තා වූයේ බස්නාහිර පළාත් දකුණු අපරාධ විමර්ශන කොට්ඨාසයෙනි.

‘ගිහාන් බඩා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන 27 හැවිරිදි පුද්ගලයකු වෙසෙන්නේ රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේය. ඔහු අපරාධකාරයෙකි. අත්බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි ‘ගිහාන් බඩා’ බොරැල්ල පොලිස් අත්අඩංගුවට පත්වන්නේ මීට වසර එකහමාරකට කලිනි. ඔහුට එල්ලවූ චෝදනාව වන්නේ මහජන පීඩාවන් වන ආකාරයට කටයුතු කිරීමයි.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරෙන ‘ගිහාන් බඩා’ වසර එකහමාරක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හරින්නේ මීට සති තුනකට පමණ පෙරය. එළියට ආවත් බලු වලිගයේ ඇද ඇරීමට නොහැකිය යන කතාව සනාථ කරමින් ‘ගිහාන් බඩා’ සිය අපරාධ චාරිකාව නැවත ආරම්භ කරන්නේ ඔහු සමඟම ඇප මත මුදා හැරුණු ‘ඇතුල්කෝට්ටේ ප්ලේන්ටියා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයකු සමඟය.

මේ දෙදෙනා එක්ව සිදුකරන ප්‍රථම කොල්ලය වන්නේ පෑලියගොඩ සිට කැලණියට ත්‍රිරෝද රථයකින් පැමිණෙන අතරේ එහි රියැදුරුගේ ගෙලට පිහියක් තබා ත්‍රිරෝද රථ රියැදුරු සන්තකයේ තිබුණ ජංගම දුරකතන දෙකක් රුපියල් 8500ක් සහිත මුදල් පසුම්බියක් සමඟ ත්‍රිරෝද රථයත් කොල්ලකා පලා යාමයි. පසුව එම ත්‍රිරෝද රථයෙන් මිරිහානට එන ‘ප්ලෙන්ටියා’ සහ ‘ගිහාන් බඩා’ කරන්නේ මහමඟ ගමන් කරන කාන්තාවකගේ රන්මාලය කොල්ලකෑමයි. අනතුරුව එම ත්‍රිරෝද රථයෙන් පෑලියගොඩට එන මේ අපරාධකාරයන් දෙදෙනා ත්‍රිරෝද රථය පෑලියගොඩදී අතහැර දමා මාර්ගයේ ධාවනය වෙමින් තිබුණ වෙනත් ත්‍රිරෝද රථයක් කොල්ලකා පලා ගොස් එය තමන්ගේ පෞද්ගලික පරිහරණයට තබා ගන්නා අතර ඔවුන් කඩවතදී තවත් ත්‍රිරෝද රථයක් කොල්ලකන්නේ අනතුරුවය. එම ත්‍රිරෝද රථයෙන් ගමන් කරන අතරේ බොරැල්ලේදී මහමඟ ගමන් කරන කතකගේ ගෙල බැඳි රන් මාලය ද මේ දෙදෙනා විසින් කොල්ලකා තිබිණි.

අනතුරුව එම ත්‍රිරෝද රථය ද බොරැල්ල ප්‍රදේශයේදි අතහැර දැමූ මේ දෙදෙනා පලා ගොස් තිබිණි. මේ කොල්ලකෑම් සියල්ලම ‘ගිහාන් බඩා’ සහ ‘ප්ලේන්ටියා’ විසින් සිදුකර තිබුණේ ඇප මත මුදා හැරීමෙන් පසු බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුවය.

‘ප්ලේන්ටියා’ සහ ‘ගිහාන් බඩා’ විසින් සිදුකරන ලද කොල්ලකෑම් ගැන ඒවා සිදුවූ පොලිස් බලප්‍රදේශවල පොලිස් නිලධාරින් ද විමර්ශන සිදුකරනවාට අමතරව බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් ද පරීක්ෂණ පවත්වමින් සිටියේ අදාළ කොට්ඨාසයට ද මේ අපරාධ පිළිබඳ වාර්තා වී තිබුණු බැවිනි.

බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැරයන් (38723) රංජිත් නිලධරයාට ‘ගිහාන් බඩා’ සහ ‘ඇතුල්කෝට්ටේ ප්ලේන්ටියා’ ගැන තොරතුරු ලැබෙන්නේ මේ අතරතුරදීය. අපරාධ රැසක සුලමුල සොයාගෙන අපරාධකරුවන් ගණනාවක් අල්ලාගෙන අපරාධකරුවන් ගණනාවකගේ වතගොත සුලමුල ද දැන සිටින දක්ෂ විමර්ශන නිලධරයකු වන සැරයන් (38723) රංජිත් තමාට එලෙස ලද තොරතුරු මත ‘ප්ලේන්ටියා’ සහ ‘ගිහාන් බඩා’ අල්ලා ගැනීම සඳහා දැල එළන්නේ ඔය අතරය.

සැරයන් (38723) රංජිත් සිදුකරන ලද විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසට ‘ගිහාන් බඩා’ අල්ලා ගැනෙන්නේ රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවතේ නිවෙසක සැඟවී සිටියදීය. ඒ පොලිස් කණ්ඩායම සිදුකළ වැටලීමකදීය.

ගිහාන් බඩාගෙන් ප්‍රශ්න කරන්නේ ඔහු සිදුකළ අපරාධ පිළිබඳවය. හිරෙන් පැමිණි දා සිට සති තුනක් තමන් කළ කී දෑ පොලිස් නිලධාරින්ට හෙළි නොකර සිටීමට ‘ගිහාන් බඩාට’ හැකි වන්නේ නැත.

‘ගිහාන් බඩා’ගෙන් හෙළිකර ගත් තොරතුරු අනුව පෑලියගොඩින් කොල්ලකෑ ත්‍රිරෝද රථය සොයා ගැනිණි. උණු කරන ලද රන් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 780ක්, ජංගම දුරකතන 5ක්, කොල්ලකන ලද රන් මාල දෙකක්, උකස් ආයතනයකට උකස් කර තිබුණු රිසිට්පත් පොලිස් නිලධාරින් විසින් සොයා ගන්නේ අනතුරුවය.

‘ගිහාන් බඩා’ සහ ‘ප්ලේන්ටියා’ විසින් කොල්ලකන ලද රන් ආභරණ උකස් හල්වලට උකස් කිරීමට දෙදෙනාට සහාය වූ ‘සාදු’ නමැති පුද්ගලයකු ද සැරයන් (38723) රංජිත් ඇතුළු කණ්ඩායමට කොටුවන්නේ ඉන් පසුවය.

‘ගිහාන් බඩා’ සමඟ එක්ව අපරාධ සිදුකරන ලද ‘ප්ලේන්ටියා’ අල්ලා ගැනීම සැරයන් රංජිත් (38723) ඇතුළු කණ්ඩායමේ ඊළඟ අරමුණ වුවත් ඔහු පිළිබඳ කිසිම තොරතුරක් පොලිස් නිලධාරින්ට සොයා ගැනීමට නොලැබුණි. අපරාධ වාර්තා පිළිබඳ සොයා බලද්දී පොලිස් නිලධරයන් හෙළිකර ගන්නේ ‘ඇතුල්කෝට්ටේ ප්ලේන්ටියා’ ඒ වනවිටත් සිරගෙදර ‘කල්දේරම් බතේ’ රස බලමින් සිටින බවය. ඒ පුද්ගලයන් කීපදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනාව මතය.

‘ගිහාන් බඩා’ සහ ‘සාදු’ ගේ ‘පැටිකිරිය’ සොයන සැරයන් රංජිත් (38723) ඇතුළු නිලධාරින් හෙළිකර ගන්නේ මේ දෙදෙනාම මත්ලෝලීන් බවයි. කොල්ලකෑ මුදල්වලින් කොටසක් මේ දෙදෙනා වියපැහැදම් කර ඇත්තේ දිළිඳු පවුල් වෙනුවෙනි. දිළිඳු පවුලක අවමංගල්‍යයකදී මිනිපෙට්ටිය මිලට ගෙන දී ඇත්තේ ‘ගිහාන් බඩා’ සහ ‘සාදු’ විසිනි. ඊට අමතරව මොවුන් දිළිඳු පවුල් කීපයකටම, කොල්ලකෑ මුදල්වලින් ආහාර, ඇඳුම් පැලඳුම් මිලදී ගෙන තිබුණු අතර ඉතිරි මුදල්වලින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන පානය කර තිබුණි.

‘ප්ලේන්ටියා’ සහ ‘ගිහාන් බඩා’ කොල්ලකන ලද ත්‍රිරෝද රථ තුනක් පෑලියගොඩ, බොරැල්ල, කඩවත ප්‍රදේශවල අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ‘සාදු’ සහ ‘ගිහාන් බඩා’ගේ එලෙස අවසන් වුණ අපරාධ චාරිකාවෙන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා බොරැල්ල පොලිසියට භාර දෙනු ලැබීය.

බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජනක කුමාරගේ මෙහෙයවීමෙන් එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, එහි ඒකක 02 ස්ථානාධිපති උප පරීක්ෂක චින්තක දසනායක, සැරයන් (38723) රංජිත්, (60161) වසන්ත, (61248) ලංකා, (5108) හේරත්, කොස්තාපල්වරුන් වන (83774) සුදී, (88721) යාපා, පොලිස් කොස්තාපල් රියැදුරු ((50734) ජයතුංග ඇතුළු නිලධරයෝ වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – කොට්ටාව ප්‍රදීප් කුමාර

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division