Home » මත්පැනට ලොල් වී අනියම් පෙම්වතියට කළ අපරාධය

මත්පැනට ලොල් වී අනියම් පෙම්වතියට කළ අපරාධය

by thanushika
September 7, 2024 12:30 am 0 comment

මාස හතක පමණ කාලයක් අතුරුදන්ව සිටි හේවාහැට සිවලිංගම් දර්ශනීට සිදු වූයේ කුමක් ද යන්න මේ වන විට අනාවරණය වී අවසානය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්රාසි ප්‍රාදේශීය රෝහලේ සාත්තු සේවිකාවක ලෙස රැකියාව කළ දර්ශනී ගැන ආගිය අතක් නැතිවන්නේ 2024 ජනවාරි 21 වැනිදා සිටය.

අනතුරුව ඇගේ සැමියා නල්ලේන්ද්‍රන් දිවාකරන් බිරියගේ ආගිය අතක් නැතිවීම පිළිබඳව ආගරපතන පොලිසියට ද පැමිණිලි කෙළේය. අනතුරුව දිවාකරන් මේ ගැන පොලිස්පතිවරයාට ද පැමිණිලි කිරීමෙන් පසු එම පැමිණිල්ල නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට යොමු කිරීමත් සමඟ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.සී.පී. කුමාරසිංහගේ මෙහෙයවීමෙන් සිදුකළ සූක්ෂ්ම සහ දීර්ඝ විමර්ශනයකින් පසු ඇගේ සිරුර සොයා ගැනුණේ මන්දාරම් නුවර, ගෝනපිටිය, කීනගොල්ල වත්තේ තිබියදීය. මරා වළ දමා තිබූ දර්ශනීගේ සිරුර ඉකුත් අගෝස්තු 21 එනම් ඇගේ අතුරුදන් වීමෙන් හරියටම මාස හතකට පසු එලෙස සොයාගන්නේ ඇයට එම අපරාධය සිදුකළ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගනිමිනි.

දුරකතන දත්ත විශ්ලේෂණ වාර්තා ඔස්සේ සියුම් විමර්ශනයක් සිදු කළ නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ සැරයන් 55763 පොඩි මහත්තයා වැළලෙන්නට ගිය එම අබිරහස් ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීමට සමත් විය. දර්ශනීට අත්වූ එම අවාසනාවන්ත ඉරණම ගැන නුවරඑළිය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොත්පත්වල සටහන් වන්නේ මෙලෙසිනි.

සිවලිංගම් දර්ශනී 36 හැවිරිදිය. හේවාහැට උපතැපැල් කාර්යාලයේ සේවයේ නියුතු නල්ලේන්ද්‍රන් දිවාකරන් සමඟ ඇය විවාහ වී සිටියාය. මේ යුවළට වයස අවුරුදු දෙකහමාර, අට සහ දොළහ යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙකි. දර්ශනී ආගරපතන මන්රාසි රජයේ රෝහලේ සාත්තු සේවිකාවක ලෙස රැකියාව කළාය. ඒ, 2019 වසරේ සිටය. ඇය එම රෝහලේම නේවාසිකාගාරයක රැඳි සිටියාය. සැමියා සහ දරුවන් හේවාහැට පදිංචිව සිටි අතර සැමියා සති අන්තයේ ඇගේ නේවාසිකාගාරයට පැමිණියේය. ඇතැම් අවස්ථාවල ඔහු දරුවන් ද සමඟ එහි පැමිණ දින දෙක තුන ගත කෙළේය.

මේ වසරේ ජනවාරි 21 වැනිදා සිට හිටි හැටියේම දර්ශනී අතුරුදන් වූවාය. අනතුරුව ඇගේ සැමියා දිවාකරන් බිරිය ගැන සෑම තැනෙකම සොයා බැලුවේය. එහෙත් ඇය ගැන තොරතුරක් නොවීය. දින ගණනාවක් ඇය සොයමින් සිටි දිවාකරන්ට තම බිරිය කුමන හෝ මොහොතක නැවත පැමිණේවියැයි විශ්වාසයක් තිබිණි. එහෙත් ඇය නොපැමිණීම නිසා ඉකුත් ජනවාරි මස 30 වැනිදා දිවාකරන් බිරියගේ අතුරුදන් වීම පිළිබඳව ආගරපතන පොලිසියට පැමිණිලි කළේය. එම පැමිණිල්ල පිළිබඳ ආගරපතන පොලිස් නිලධාරින් මූලික විමර්ශන ඇරැඹුවේ ඇගේ ජංගම දුරකතනයේ දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ද ලබා ගනිමිනි. එහෙත් එම විමර්ශනයේ එතරම් ප්‍රගතියක් නොවීය.

දර්ශනීගේ අතුරුදන්වීම දින සති ගෙවෙමින් මාස ගණනාවක් දක්වා ඇදිණි. පොලිස් විමර්ශන ද ඉබි ගමනේ හෙයින් දිවාකරන් බිරියගේ ආගිය අතක් නොමැති වීම ගැන පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කළේ ආගරපතන පොලිසියට කළ පැමිණිල්ලෙන් නිසි සාධාරණයක් නොවූ බව ද සඳහන් කරමිනි.

මේ අතර දර්ශනීගේ සැමියා සහ ඥාතින් ඒ වන විට සැක කළේ දර්ශනී ළඟින් ඇසුරු කළ එම රෝහලේම සාත්තු සේවකයකු වූ අබේකෝන් සමඟ ඇය පලාගොස් කුමන හෝ පලාතක ජීවත්වෙනවා ඇතිය යන්නය. දර්ශනීගේ අතුරුදන් වීමෙන් දින කීපයකට පසු අබේකෝන් ද රැකියාවට ද නොපැමිණි අතර ඔහු නිවසේ ද නොවීය. දර්ශනීගේ සැමියා පොලිස්පතිවරයාට කරන ලද එම පැමිණිල්ල නුවරඑළිය දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහට යොමු කිරීමත් සමඟ නියෝජ්‍ය පොලිස්පතිවරයා එය නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මණට යොමු කෙළේය. ඒ අනුව එහි විමර්ශන නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.සී.පී. කුමාරසිංහ වෙත පැවැරුණේ ඉකුත් ජූලි මස 2 වැනිදාය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරසිංහ මේ ගැන පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස උපදෙස් දෙන්නේ සැරයන් 55763 පොඩි මහත්තයා වෙතය. ඒ පසුගිය අගෝස්තු 12 වැනිදාය. එම ලිපිගොනුව අධ්‍යයනය කළ සැරයන්, ආගරපතන පොලිසිය විසින් ලබාගන්නා ලද දර්ශනීගේ දුරකතන විශ්ලේෂණ වාර්තාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළේය. එහිදී සැරයන්වරයා දර්ශනී අතුරුදන් වූ ජනවාරි 21 වැනිදා දින පෙරවරුවේ සිට සවස 2.30 පමණ වනතුරු සම්බන්ධ වූ දුරකතන අංක කෙරෙහි දැඩි අවධානය යොමු කළේය. එහි එක් අංකයක් සමඟ දර්ශනීගේ දුරකතන අංකය අතර එම කාලයේදී දුරකතන ඇමතුම් වාර 12ක් සිදුවී තිබිණි. දර්ශනීගේ දුරකතන විශ්ලේෂණ වාර්තාවේ සඳහන් කුලුනු වාර්තාව අනුව ඇය එදින සවස 2.30 පමණ වෙද්දී නුවරඑළිය නගරයට ගොස් ඇති බවත් අනතුරුව සැරයන්ගේ අවධානයට යොමුවූ අංකය සමඟ කිසිම මොහොතක සම්බන්ධ වී නොතිබිණි.

ඒ අනුව සැරයන් පොඩි මහත්තයා සිදුකළ විමර්ශනයෙන් අනාවරණය වූයේ එම දුරකතනය භාවිත කළ පුද්ගලයා නිසැක ලෙසම නුවරඑළිය නගරයේදී දර්ශනී හමුවන්නට ඇති බවය. වැඩිදුරටත් දර්ශනීගේ දුරකතනයේ කුලුනු වාර්තා පරීක්ෂාවේදී ඇය පදියපැලැල්ල දක්වා ගොස් ඇති බව ද හෙළි විය. ඒ අතර තවත් දුරකතනයකින් ද ඇමතුම් ලැබී තිබිණි. සැරයන්වරයා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුවත් කළේ දර්ශනී නුවරඑළියට යන අතර දුරකතන ඇමැතුම් ගත් පුද්ගලයා සොයාගතහොත් ඇය ගැන කිසියම් හෝඩුවාවක් අනාවරණය කරගත හැකි බවය. එම දුරකතනය හිමි පුද්ගලයා රත්නායක මුදියන්සේලාගේ විජේරත්න නමැත්තෙකි. හුළුගඟ, අලකොළවැව පදිංචිකරුවකු වන ඔහු ඒ වන විට අනුරාධපුරේ තිරප්පනේ බේකරියක ‘බාස්‘ කෙනෙකු බව අනාවරණය කරගත් සැරයන් පොඩි මහත්තයා, ඔහු ඉකුත් අගෝස්තු 19 වැනිදා නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට කැඳවීය. අනතුරුව මුලින්ම විජේරත්න නමට වූ එම දුරකතන අංකය ගැන විමසුවේ එම අංකය ඔහුගේම ද යන්න තහවුරු කරගැනීමටය.

“මේ ටෙලිපෝන් අංකේ කාගේ ද?“ සැරයන්වරයා විමසීය.

“ඒක සර්… මගේ අංකේ තමයි…“ යැයි ඔහු දෙවරක් නොසිතා පිළිගත්තේය.

පසුව සැරයන්වරයා, විජේරත්න ඉකුත් ජනවාරි 21 වැනිදා ලබාගත් දුරකතන ඇමතුම් ගැන එකිනෙක පවසන්නට වූයේ ඔහු නුවරඑළිය නගරයට ද ගොස් ඇති බවට හෙළි වන බව කියමිනි.

“තමුන් කෝල් ගත්ත ගෑනු ළමයත් ආගරපතනේ ඉඳන් නුවරඑළි ටවුන් එකට ඇවිත් තියෙනවා. ඊට පස්සේ තමුන්ලා අතර කිසිම කෝල් එකක් හුවමාරු වෙලා නෑ…“ යැයි පවසමින් සැරයන්වරයා විජේරත්නගෙන් ප්‍රශ්න කෙළේ, “තමුන් මේ කියන ගෑනු ළමයා මුණ ගැහුණා නේද?“ යැයි කියාය.

“ඔව් සර්… මට එයා මුණ ගැහුණා…“ යැයි විජේරත්න පැවසුවේද තරමක් චකිතයකිනි.

“එහෙනම් දැන් තමුන් දන්නවද? ඒ ගෑනු ළමයා ආගිය අතක් නැහැ කියලා…?“ සැරයන්වරයා විජේරත්නගෙන් විමසීය.

ඒ සමඟම නිරුත්තර වෙමින් බිම බලාගත් විජේරත්න ඉකි ගසමින් හඬන්නට විය. අනතුරුව ඔහු සියල්ල පාපෝච්චාරණය කරන්නට වූයේ එතෙක් අතුරුදන් යැයි සිතා සිටි දර්ශනීට සිදුවූ අහස පොළොව නුහුලන අපරාධයේ සියලු තතු හෙළි කරමිනි.

“සර් අබේකෝන් මාමා මාවත් එක්කගෙන ගිහින් දර්ශනීව මැරුවා… ඊට පස්සෙ වළ දැම්මා…“ යැයි විජේරත්න පවසද්දී සැරයන් පොඩි මහත්තයා ඔළුවේ අත ගසා ගත්තේය.

“ඇයි මනුස්සයෝ ඒ ගෑනු කෙනා මැරුවේ…?“ සැරයන් දැඩි ස්වරයෙන් විමසීය.

“සර්… අපිට සල්ලි නැති නිසා එයාගේ රන්මාලේ ගන්න දර්ශනී මරමු කියලා අබේකෝන් මාමා තමයි කිව්වේ…“ ඔහු පැවැසීය.

අනතුරුව පොලිස් නිලධාරින් විසින් විජේරත්නගේ පාපෝච්චාරණය අනුව මන්දාරම් නුවර, ගෝනපිටියේ, කීනගොල්ල වත්තේ වළ දමා තිබූ දර්ශනීගේ සිරුර වලපනේ මහේස්ත්‍රාත් සියපත් වික්‍රමසිංහ ඉදිරියේ ඉකුත් 21 වැනිදා ගොඩ ගන්නා ලදි. එම මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරින් වන අමින් ඉෂාඩ් සහ එච්.ඊ. කොළඹගේ විසින් සිදු කරන ලදි.

විජේරත්නගේ පාපෝච්චාරණය අනුව දර්ශනී ඝාතනයේ ප්‍රධාන සැකකරු දෑවකෑල්ලේගෙදර අබේකෝන් නමැත්තා බව හෙළි විය. ඒ වන විට පොලිසිය සිදුකළ විමර්ශනයේදී ද අබේකෝන් ගැන හෙළිවී තිබුණේ ඔහු හා දර්ශනී අතර යටින් ඇසුරක් තිබූ බවටය.

දර්ශනීගේ සිරුර ගොඩගැනීමත් සමඟ විමර්ශන නිලධාරි කණ්ඩායම අබේකෝන් ගැන ද සොයන්නට විය. එහිදී සැරයන් පොඩි මහත්තයා අබේකෝන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ අනාවරණය කරගත් තොරතුරු ඔස්සේ ඔහු ඉකුත් 25 වැනිදා වෑන් රථයකින් බදුල්ල දෙසට පලා යමින් සිටියදී ගම්පොළ – නුවරඑළිය මාර්ගයේ ලබුකැලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණි.

අනතුරුව දෙදෙනාගේ පාපෝච්චාරණය අනුව දර්ශනී අවසන් ගමන් යවා ඇති අයුරු අකුරෙන් අකුර හෙළිවන්නේ මෙලෙසය.

52 හැවිරිදි දැවකෑල්ලේගෙදර අබේකෝන් මන්දාරම් නුවර, ගෝනපිටියේ, කීනගොල්ල වත්තේ පදිංචිකරුවෙකි. විවාහකයකු වන ඔහුට දරුවන් තිදෙනෙකි. අබේකෝන් සහ ඔහුගේ බිරියද රජයේ රෝහල් සාත්තු සේවයේ රැකියාව කළහ. එසේම ඔහු කට්ටඩියකු ලෙස බලිතොවිල් ආදිය ද කළ අයෙකි. අබේකෝන් සහ බිරිය ගෝනපිටිය රෝහලේ රැකියාව කළ අතර 2023 වසරේදී ගෝනපිටිය රෝහලේ ජෙනරේටරයක් සොරකම් කිරීමේ වරදට අබේකෝන් එම වසරේ මැද භාගයේදී මන්රාසි රෝහලට මාරු කරන ලදි. එම සොරකමට අදාළව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වන විට නඩුවක් ද පවතී.

මන්රාසි රෝහලට ගිය අබේකෝන්ද එහි නේවාසික නිවෙසක නතර විය. ඔහු දර්ශනී සමඟ මිතුරු වී මුදල් ගනුදෙනු සිදු කරන්නට විය. එසේම ඔහු විසින් දර්ශනීගේ ස්වර්ණාභරණ ද උකස්කර මුදල් ලබාගෙන තිබුණේ ඔහුගේ අරපරෙස්සමක් නැති දිවිය නිසාවෙනි. කෙසේ හෝ දෙදෙනා අතර දැඩි හිතවත්කමක් ගොඩනැඟි තිබිණි. සෙසු සේවකයන්ට ද එය රහසක් නොවීය. ඇතැම් දිනවල අබේකෝන් දිවා රෑ කෑම ලබාගෙන තිබුණේ ද දර්ශනී නැවතී සිටි නිවසිනි. අබේකෝන්ගේ වැඩිමල් සහෝදරියකගේ පුතෙක් වන 46 හැවිරිදි විජේරත්න අලකොළවැව, හුළුගඟ පදිංචිව සිටියේය. දෙදරු පියකු වන බේකරි බාස් රැකියාව කළ විජේරත්න, අබේකෝන් මුණගැසීමට මන්රාසි රෝහලට නිතර ආව ගියේය. එලෙස සති අන්තවල නේවාසිකාගාරයට පැමිණෙන විජේරත්න සහ අබේකෝන්, දර්ශනී බලන්නට නේවාසිකාගාරයට පැමිණෙන ඇගේ සැමියා සමඟ එක්ව කීප විටෙකදීම මත්පැන් සාද ද පවත්වා තිබිණි.

කල් යද්දී අබේකෝන්ට දැඩි මුදල් අවශ්‍යතා ඇති විය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණේ ඔහුගේ සහ විජේරත්නගේ බීමත්කමය. එම මුදල් අවශ්‍යතාවට ඔහු දර්ශනීගේ පිහිට පැතුවේ ඇගෙන් මුදල් ඉල්ලමිනි. දර්ශනී අතුරුදන් වීමට දින ගණනාවකට පෙරද එලෙස මුදල් ඉල්ලා තිබිණි.

“අනේ අබේකෝන් අයියේ මගේ අතේ සල්ලි නෑ… මං මහත්තයගෙන් ඉල්ලලා දෙන්නම්…“ යැයි දර්ශනී කීවාය. එහෙත් ඇය, සැමියාගෙන් ඉල්ලා මුදල් දෙන දිනයක් නොවීය.

දිනය 2024 ජනවාරි 20 දාය. එදින අබේකෝන් සහ විජේරත්න දර්ශනීලාගේ හේවාහැට නිවසට ගියෝය. එදින දර්ශනී රෝහලේ සේවය කළ අතර ඇගේ සැමියා පමණක් නිවසේ සිටියේ දරුවන් ද පාසල් නිවාඩුව හෙයින් මන්රාසි රෝහ‍ෙල් දර්ශනීගේ නේවාසිකාගාරයට ගොස් නිසාය. දෙදෙනා එම නිවසට ගොස් තිබුණේ දර්ශනී කී පරිදි ඇගේ සැමියා මුදල් දේවි යැයි සිතාය. එහෙත් ඔවුන් දර්ශනීගේ සැමියාගෙන් මුදල් ඉල්ලුවේ නැත. එදින රාත්‍රීයේ තිදෙනා මත්පැන් සාදයක් ද පැවැත්වීය.

පසුදා පාන්දරම එම නිවසින් පිටත්වූ දෙදෙනා රිකිල්ලගස්කඩට ගොස් පදියපැලැල්ල නගරයේ සිට කිලෝමීටර් හයක් පමණ දුරක් ගෙවා ගෝනපිටිය දක්වා ගොස් තිබුණේ පා ගමනිනි. එලෙස දෙදෙනා පා ගමනින් යද්දී කතිකා කරගත්තේ, මුදල් නොලැබුණු හෙයින් දර්ශනී ඝාතනය කර ඇය ගෙල බැඳි පවුම් තුනහමාරක් පමණ වන රන් මාලය ගලවා ගමු කියායි. එදින ජනවාරි 21 දාය.

“විජේරත්න අද දර්ශනී 2ට ඕෆ් වෙලා නිවාඩු එනවා… මං දර්ශනීට කතා කරලා කියන්නම් ශාන්තිකර්මයක් කරන්න තියෙනවා… එන්න කියලා… ඕකී මං කතා කළ ගමන් එනවා… උඹ නුවරඑළියට ගිහින් ඒකී එක්කගෙන වරෙන්… හැබැයි 5.30ට නුවරඑළියෙන් තියෙන අන්තිම බස් එකේ වරෙන්…“ යැයි අබේකෝන් විජේරත්නට උපදෙස් දුන්නේය. ඒ අනුව විජේරත්න නුවරඑළියට ගිය අතර අබේකෝන් කීනගොල්ල වත්තේ නිවසට ගියේය. නුවරඑළියට ගිය විජේරත්න කීප වරක් දර්ශනීට දුරකතන ඇමතුම් දෙමින් ඇය සමඟ සම්බන්ධ වෙමින් සවස 3ට පමණ දර්ශනී මුණගැසිණි.

අනතුරුව දෙදෙනා අබේකෝන් කී පරිදි නුවරඑළියෙන් අවසන් බස් රථය වූ සවස 5.30ට පිටත්වූ බසයෙන් කිලෝමීටර් 40ක් පමණ ගෙවා ගෝනපිටිය හන්දියට ගියෝය. ඒ වන විට වේලාව රාත්‍රී 7.30ට පමණය. එහිදී මඳ දුරක් පා ගමනින් යද්දී දෙදෙනාට අබේකෝන් ද මුණගැසිණි. ඒ වන විට අබේකෝන්ගේ බිරිය රාත්‍රී රාජකාරියට ගොසිනි. නිවසේ සිටියේ වයස අවුරුදු 21ක් පමණ වන දියණියයි. අබේකෝන් දියණියට කීවේ මත්පැනට ලොල් වූ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු එන නිසා මව සිටින හෙයින් රෝහලට ගොස් එදින රාත්‍රිය ගත කරන ලෙසයි. ඒ බව දන්වා අබේකෝන් බිරියට ද දුරකතන ඇමතුමක් දුන්නේ දියණිය රෝහලට එවන බව කියමිනි.

එහෙත් දියණිය ඊට අකමැති වූවාය. ඇය කීවේ කාමරයේ දොරගුළුලාගෙන නිදාගන්නා බවය. අනතුරුව විජේරත්න සහ දර්ශනී අබේකෝන්ගේ නිවසට පැමිණි අතර දියණිය කාමරයේ සිටියදී අබේකෝන් පිටතින් ද දොරෙහි අගුලලා දොර වසා දැමුවේ ඇයට කිසිසේත්ම පිටතට ඒමට නොහැකි ලෙසිනි. පසුව විජේරත්න සහ අබේකෝන් මත්පැන් පානයට ද තැත් කළත් මුදල් හිඟතාව නිසා එය වැළකී ගියේය. ඊට දර්ශනීගෙන් මුදල් ඉල්ලුවද ඇය මුදල් නැති බව කීවාය. දර්ශනී නින්දට ගිය පසු දෙදෙනා ඔවුන්ගේ සැලැසුමට සුදානම් වූහ. ඒ, දර්ශනීගේ ගෙලට ලනුවක් දමා තදකොට මළසිරුර වළක් කපා වළ දමන සැලැසුමයි. ඒ අනුව දර්ශනීගේ මළසිරුර නිවසින් මීටර් 300ක් පමණ ඈතින් වූ කඳු දෙකක් අතර වළ දැමීමට දෙදෙනා කතිකා කරගෙන නින්දට ගියේය.

පසුව තිදෙනාම අලුයම 1.30ට පමණ අවදිව ශාන්තිකර්මයට අවැසි දෙහි, අළු වැනි කළමනා රැගෙන එම ස්ථානයට යාමට පිටත් විය.

“මේ ශාන්තිකර්මයට ගන්න දෙහි, අළු මනුස්සයන්ට පේන්න තියන්න බෑ… ඒවා වළලනවා වගේ වළ දාන්න ඕන…“ යැයි කී අබේකෝන් වළ කැපීමට උදැල්ලක් ද ගත්තේය. දෙදෙනා තීන්දු කරගත් ස්ථානයට ගොස් වළක් කැපීය. එය අඩි හයක් පමණ දිගැති අඩි දෙකහමාරක් පමණ ගැඹුරින් යුතුව කැපීය. දර්ශනීට වළ අසල සිට ගැනීමට කියා ඇගේ මුහුණ වැසෙන්නට ඇඳ ඇතිරිල්ලක් දමා ලනුවක් ගෙන ඇගේ ගෙලට දමා දෙදෙනා දෙපසට අදිනවාත් සමග දර්ශනී, ‘අයියා… අයියා… අයියා…‘ යැයි තෙවරක් කීවා පමණි. ඇගේ අවසන් හුස්ම පොද වාතලයට එක්විය. අනතුරුව ඇගේ ගෙල බැඳි රන් මාලය ගලවාගත් දෙදෙනා මළසිරුර කැපූ වළට දමා පස් දමා වසා නිවසට පැමිණ පාන්දර 5.30ට පමණ නිවසින් පිට වූහ. අනතුරුව දෙදෙනා පැමිණෙන්නේ හුළුගඟ පිහිටි විජේරත්නගේ නිවසටය. විජේරත්න ද ඒ වන විට අබේකෝන් සේම බොරුවක් කියා නිවැසියන් වෙනත් නිවසකට යැවීය.

දෙදෙනා නිවසට යන අතරේදී දර්ශනීගේ පවුම් තුනහමාරේ රන්මාලය හුළුගඟ බැංකුවකට විජේරත්න නමින් උකස් කර රුපියල් තුන්ලක්ෂ විසිපන් දහසක මුදලක් ලබාගෙන එය අබේකෝන්ට රුපියල් 175000ක් සහ විජේරත්නට රුපියල් 150000ක් ලෙස බෙදාගෙන තිබිණි.

මත්පැන් බෝතල් එකහමාරක්ද ගෙන විජේරත්නගේ නිවසට ගිය දෙදෙනා එදින එනම් 22 වැනිදා දවස පුරාම නිවසේ සිට මත්පැන් පානය කිරීමෙන් පසු එදින රාත්‍රියේ ගැටුමක්ද ඇතිකරගෙන තිබුණේ අබේකෝන්ට දර්ශනී සිහිපත් වීමෙන් හඬා වැටීම නිසාය. දෙදෙනාගේ එම ගැටුමෙන් අබේකෝන්ගේ ඉලඇට දෙකක්ද කැඩී තිබිණි.

පසුව 23 වැනිදා සවස් වන විට අබේකෝන් ඔහුගේ නිවසට ගිය අතර, විජේරත්න සිය නිවසේ නතර විය. අබේකෝන් නිවසට එන අතරේදී දර්ශනීගේ අත්බෑගය සහ ජංගම දුරකතනය පදියපැලැල්ලේ පරණ පාලමෙන් පහළට විසි කෙළේය. එසේම අබේකොන් නිවසට එද්දී හාල් කිලෝ 50ක මිටියක් ඇතුළු කළමනා ගෙනවිත් තිබිණි. 23 දා රාත්‍රී නිවසට පැමිණි අබේකෝන් පසුදා මන්රාසි රෝහලේ සේවයට ගියේය. එලෙස රැකියාවට යන අතරේ බස්රථයේදී නින්ද යාමෙන් අබේකෝන්ගේ මුදල් පසුම්බිය කඳපොළ නගරයේදී සොරාගෙන තිබුණේ රන්මාලය විකිණීමෙන් ලද මුදල්ද සමඟිනි. ඒ සමඟ රෝහලට යාම පසෙකලා ඔහු නැවත නිවසට ගොස් හයිපොරස්ට් පොලිසියට පැමිණිලි කළේ ජාතික හැඳුනුම්පත සමඟ මුදල් පසුම්බිය නැති වූ බව කියමිනි.

අබේකෝන් පසුව 25 දා රැකියාවට ගියේය. එහෙත් ඔහුට රැකියාව කිරීමට හිතක් නොවීය. මිතුරන් ද ඔහුගෙන් ඒ වන විට දින හතරක් පමණ අතුරුදන්ව සිටි දර්ශනී ගැන විමසන්නේ නොයෙක් කතා ද කියමිනි. ඒ වන විට දර්ශනීගේ සැමියාද ඇය සොයමින් සිටියේය. ඔහු අබේකෝන්ගෙන් ද ඈ ගැන විමසා තිබිණි. 26 දා නිවාඩු දා රෝහලෙන් පිටව ගිය අබේකෝන් නිවසේ සිට දින 10ක් පමණ ප්‍රතිකාර ගත්තේ විජේරත්නගෙන් පහර කෑමෙන් ඉලඇට කැඩී යාම හේතුවෙනි. අබේකෝන්ට නිවසේ සිටීම ද එපා විය.

“ඊට පස්සේ සර්… මං රස්සාවක් හොයාගෙන කොළඹ ගියා… ඒ ගිහින් තොටළඟ කඩේක වැඩ කළා… එහෙම ඉන්නකොට තමයි සර් විජේරත්න සර්ලට කොටු වුණේ… පස්සේ මං බදුල්ල පැත්තට යන්නයි ගියේ… එතකොට තමයි සර්ලට අහුවුණේ…” යැයි අබේකෝන් පැවැසීය.

එලෙස නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ගේ අත්අඩංගුවට පත් දෙදෙනා වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

නුවරඑළිය දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහගේ උපදෙස් මත නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මණගේ අධීක්ෂණයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.සී.පි. කුමාරසිංහගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක එච්.එම්. හේමපාල, සැරයන්වරුන් වන 55763 ජී.ජී. පොඩි මහත්තයා, 56345 රවිචන්ද්‍රන්, 34873 සිසිර, 35686 ප්‍රියන්ත, කොස්තාපල්වරුන් වන 92407 රාජපක්ෂ, 75645 රත්නායක සහ කොස්තාපල් රියැදුරු 80507 මනතුංග යන නිලධාරීහු විමර්ශනවලට එක්වූහ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division